Sunday, August 29, 2010

සුරාබදු කොමසාරිස් ජෙනරාල්ගේ වාර්තාව මහින්ද චින්තනයට අනුව කියවමු

මහින්ද චින්තනයේ ආරම්භයේම දක්වා තිබෙන අරමුණක් වන්නේ වසර තුනක් ඇතුලත මතට තිත තබනවා යන්නයි. 2009 සුරාබදු කොමසාරිස් ජෙනරාල්ගේ වාර්තාව නිකුත්වන්නේ මහින්ද චින්තන 1 (2009දී මහින්ද චින්තන 2 නිකුත්වුනු නිසා) එලි දක්වා වසර 5ක් පමණ ගෙවී ඇති සමයකයි. එනම් මතට තිත ව්‍යාපෘතියේ දක්වා ඇති අරමුණු ඉටුකරගන්නවා යයි දක්වා ඇති කාළවකවානුව ඉකුත්ව ගිය සමයකයි.

කොමසාරිස් ජෙනරාල්තුමාගේ වාර්තාවේ දක්වා ඇති ඉලක්කම් ආසන්නතම විශාල අගයට ගත්විට ශ්‍රී ලංකාවේ දෙකෝටියක් වන ජනතාව දේශීය මත්පැන් ලීටර් කෝට් 14ක් ගිලදමා ඇත. එනම් එක් පුද්ගලයෙකු දළවශයෙන් ලීටර් 7ක් බී ඇත. ලංකාවේ ජනගහනයන් 50%කට ටිකක් වැඩිවන්නට කාන්තාවන් සිටින නිසාත් ලංකාවේ කාන්තාවන් මත්පැන් නොබොන නිසාත් ඒක පුද්ගල මත්පැන් පාරිභෝජනය එක් පිරිමියෙකුට දළවශයෙන් ලීටර් 14ක් වනු ඇත. මේ අගය තවත් ශුද්ධ කල යුතු වන්නේ ජනහනයට වැඩිහිටියන් පමණක් නොව ළමයින්ද අයත්වන නිසායි. ඒ අනුව අඩුම වශයෙන් වැඩිහිටි පිරිමියෙක් දළවශයෙන් ලීටර් 30ක් වත් වසරකට පානය කරනු ඇතැයි සිතිය හැක්කේ ලංකාවේ නීතියෙන් මත්පැන් පාරිභෝජනය කල හැක්කේ අවුරුදු 18 වැඩි අයවලුන්ට වීම හා රටේ ජනගහනයෙන් විශාල ප්‍රතිශතයක් ලාබාල පරපුර වීම නිසාය. 18ට වැඩි වැඩිහිටි පරපුර අතර නොබොන්නන්නද විශාල ප්‍රමාණයක් සිටින නිසා බොන කට්ටිය මොනතරම් හොඳට බොනවා ඇත්දැයි සිතා ගත හැකිය.

ඉහත දක්වා ඇති සාර්ථකත්වය, චින්තනයේ ඇති මතට තිත සංකළ්පයෙන්ම තේරුම් ගත යුත්තේ මේ වැදගත් වැඩසටහන ඉතාමත් ද්වේෂ සහගත ලෙස වැරදියට අර්ථකථනය කර ඇති නිසාය. "මතට තිත" යන තේමා පාඨයෙන්ම වැඩසටහන ගැන නිසි විස්තරයක් කරයි. ගමේ භාශාවෙන් තිතට දෙනවා යනු නියමෙට කරනවා, නැත්නම් විශිෂ්ඨව කරනවා යන්නයි. ගමේ මිනිහෙකු වන, ගැමිකම, ගැමි වහර හොඳින් දන්නා මහින්ද මහරජාණෝ ගැමි වහරට අනුව මේ වැදගත් වැඩසටහන නම් කොට ඇත. ඒ අනුව "මතට තිත" යනු මත නියමෙට, නැතිනම් ඉතා විශිෂ්ඨව ප්‍රචලිත කරනවා යන සටන් පාඨයයයි. ලංකාවේ පක්ශ විපක්ශ දේශපාලකයින් අතරින් රජතුමාගේ චින්තනය නිවැරදිව වටහාගත් එකම ප්‍රබුද්ධයා විද්‍යාචක්‍රවර්තිතුමා පමණය. උන්නාන්සේ රජමාලිගාවේ මතට තිත ගැන ඉතා නිරවුල්ව අදහස් ප්‍රකාශකලේ එබැවිනි.

ඒ අනුව ගත්කල මහින්ද චින්තනයේ දක්වා ඇති පරිදි මතට තිත වැඩසටහන ඉතාමත් සාර්ථකව ඉලක්ක සපුරාගෙන ඇති බව පෙනේ. 2009දී බාර් ලයිසන් 970ක්ම නිකුත් කොට තිබීමෙන් මේ වැඩසටහනේ සාර්ථකත්වය පෙනේ. ලක්ශ්මන් යාපා අබේවර්ධන මහතා ජාම බේරාගන්නට පැවැත්වූ ප්‍රවෘත්ති සාකඡ්ඡාවකදී කියූ පරිදි කාමර පහක් හෝ ඊට වැඩි හැම සංචාරක හෝටලයකටම බාර් ලයිසමක් දියයුතුව තිබේ. එතුමා එලෙස කියන්නේ බාර් ලයිසන් දෙන්නේ සංචාරක හෝටල් වල ඉන්නා සංචාරයකයින්ට බොන්නට මිස දේශීයයන්ට බොන්නට නොවන බව පෙන්නන්නටය. ඔය වගේ කාමර පහේ දහයේ හෝටල්වල නවතින්නේ අතේ සතේ නැති හිපියන් මිස බාර් එකකින් සර්විස් චාර්ජ් හා ටැක්ස් ගෙවා විස්කි අඩියක් ගහනට වත්කමක් ඇති සුද්දන් නොවන බව ලක්ශ්මන් යාපා අබේවර්ධන මහතා උවමනාවෙන්ම අමතක කර ඇත. හිපියන්ට අමතරව ඔය පොඩි හෝටල් ව්ලට යන්නේ හොර අඹුවන්/ගණිකාවන් රැගෙන තාවකාලික සතුටක් ගන්නට යන සුළු ව්‍යාපාරිකයින්, රජයේ හා පෞද්ගලික අංශවල සේවය කරන යමක් කමක් ඇති මිනිසුන්ය. ඒ අනුව  කාමර පහේ දහයේ හෝටල්වලට නිකුත් කරන බාර්වලින් අඩිපුඩි ගහන්නේත් අපේම එවුන් මිස සංචාරකයින් නොවේ.

එහෙත් එතුමාට ඔයවැනි මෝඩ නිදහසට කාරණා දීම අවශ්‍යය නොවේ. මහින්ද චින්තනයේ ඇති තවත් වැදගත් ලක්ශණයක් වන්නේ ඔනෑම කෙනෙකුට මහින්ද චින්තනයේ දක්වා ඇති කරුණු ඕනෑම විදියකට අර්ථදක්වාගෙන එයට සහයෝගය පළකල හැකි වීමයි. ඒ අනුව "මතට තිත යනු මත වර්ධනය කිරිම" ලෙස අර්ථ දක්වාගෙන පුරාවිද්‍යා චක්‍රවර්තිටත්, අබේවර්ධනටත්,ආණ්ඩුවේ සිටින අනෙකුත් කනබොන මිනිසුන්ටත් ඒ අනුව මහින්ද චින්තනයට සහය දිය හැකිය. අතුරලියේ රතනලා, චම්පකලා වැනි බීමට මුළුමනින්ම විරුද්ධ අමද්‍යපලාට "මතට තිත යනු මත නැවැත්වීම" ලෙස අර්ථ දක්වාගෙන රජයට සහය දිය හැකිය. ඒ අනුව 2009දී බීම වැඩිවන්නට ඇත්තේ 2011 වන විට බොන්නට නැතිවෙන බව දැනගෙන බේබද්දන් වැඩිපුර බී ඇති නිසා වන්නට ඇතැයිද, අප රජයට සහයදෙන්නේ මේ එක අඩුපාඩුවක් දෙකක් ගැන සිතා නොව සියල්ල එකට ගෙන සංයුක්ත පුංජයක් සලකාගෙන යයිද කියමින් තමන්ගේ මෝඩ අනුගාමිකයින්ව ගොනාට ඇන්දවිය හැකිය.

මතට තිත වැඩසටහනේ තවත් සාර්ථක අංගයක් ජෙනරාල්ගේ වාර්තාවේ අඩංගුකර නැති වීම අඩුපාඩුවකි. එනම් දේශීය ගංජා කර්මානතයේ වර්ධනයයි. ලඟදී පාර්ලිමේන්තුවේ පවා මේ කර්මාන්තයේ වර්ධනය ගැන බොහෝ අදහස් හුවමාරුවුනේ ගැමි ආර්ථිකය වර්ධනය කරන්නට මහින්ද චින්තනයෙන්ම යෝජනා කොට ඇති "අපි වවමු රට නගමු" වැඩසටහනට අනුව ගංජා වගාව ප්‍රචලිත වී ඇති නිසා වන්නට ඇත. මහරජතුමා පදවිප්‍රාප්ත වන්නට පෙර බොහෝ ගැමි තරුණයින් ගොවිතැන හැරගියත් අද "අපි වවමු රට නගමු" වැඩසටහන යටතේ බොහෝ තරුණයින් ගංජා වගාවට යොමුවී සිටීම ජයග්‍රහණයකි. රට ගොඩනගන්නට පිහිටුවා ඇති නිල් බලකායේ පෙරමුණේ රාළලා වී ඇත්තේද ගංජා ගොවිතැන් කරන, ගංජා බෙදාහරින හා ගංජා පාරිභෝජනය කරන ගංජා කල්චර් එකේ තරුණයින් වීමද මහත්වූ සතුටකි. රටේ අනාගත නායකයන් වනු ඇත්තේ මලක් ඇද ආතල් එකක් ගන්නට, බෝතල් බාගයක් බී කෙලින් ඉන්නට හැකි තරුණයන් වීම සැනසිල්ලට කරුණකි. ඕනෑම විදේශීය කුමණ්ත්‍රණයකට සාර්ථකව මුහුණදිය හැකිවන්නේ කරටි කඩාගන්නේ නැතිව ආතල් එකක් ගන්නට හැකි තරුණ පරපුරකටයි.

එපමණක් නොවේ, රජතුමා මේ ලඟදී තරුණ දිනයේදී සඳහන් කළ පරිදි මේ රටේ දැන් සිටින්නේ සිනහසෙන තරුණ කැළකි. කොතරම් ඇත්තක්ද? ගංජා උගුරු දෙක තුනක් ඇද්දවිට කාමරයේ බිත්තිය, සිවිලිමේ ඇති ෆෑන් එක දෙස බලාගෙන වුවත් බඩ අල්ලාගෙන සිනාසෙන්නට පුළුවන් බව එතුමා දන්නවා ඇතයි උපකළ්පණය කලහැක්කේ එතුමාගේ ගමවන බෙලිඅත්ත, ගංජාවලට සුප්‍රසිද්ධ තණමල්විල ආසන්නයේම නිසා විය නොහැකිය.

8 comments:

Anonymous said...

ලංකාවේ වැඩිහිටි පිරිමි 30% නම් සහ ඉන් 2/3 බොන්නේ නැතැයි උපකල්පනය කලත් බොන උන් බොන්නේ අවුරුද්දටම ලීටර 70කි. මෙය බෙදීමේ පහසුවට ලීටර 73 ලෙස ගත්තත් දිකනට පානය ලීටර 1/20. එනම් මි.ලී. 50කි. දවසට මි.ලී. 50 ගානෙ මාර බීමක් තමයි අපේ උන් බොන්නෙ!

රංචාගොඩ මුදියන්සේ said...

@ Anon,

අවුරුද්දකට ලීටර් 70නම් මිලි ලීටර් 70,000කි. එනම් දිනකට 70,000/365 = 191.78. එනම් දිනකට මිලිලීටර් 191ක් බැගින් 365දවසේම මුන් බොයි.

365දව්සේම බොන්නේ නැතුව, ඒ අරක්කු ගොඩ සති අන්තයේ විතරක් බොනවා කියලා හිතුවොත්, 191X7 = මිලිලීටර් 1337 සති අන්තයේ බොයි.

අරක්කු බෝතලයකට මිලි ලීටර් 750කි. එනම් සති අන්තයේ මුන් බෝතල් 1.7ක් බොයි.

===

මම බලන් හිටියේ උඹ කවදා හරි මේවගේ ගොන් කතාවක් කියලා නැට්ට ලී පලුදෙක අතරින් වැටී තිබෙද්දී කූඤ්ඤය ගලවනකම් තමයි.

ඇනෝනිමස් වෘශභයානෙනේ කොහොමද කෑම?

Anonymous said...

අති විශිෂ්ඨයි සෑර්

රවා said...

කණ්ඩු ඔයා වැරදියටනෙ වටහාගෙන තියන්නෙ. මතට තිත තිබ්බෙ මත නවත්වන්න නෙමෙ, බොන වුන් ටික පොවලා ඉක්මනට මරවන්න.

මම ඔයාගෙ ලිපි මුල ඉදලම කියවනවා, සිළුමිණ පත්තරෙ ගැන තිබුනු ලිපිය ලස්සනයි.

ඔය ඇනා ඇවිල්ලා අපෙම එකෙක්.

මැක්සිමස්ගෙ පින්තුරෙ දාන් හිටියට තරහාගන්න ඔනැ නැහැ ඇනාලත් එක්ක.

රවා said...

ඔය සුරාබදු එක හරහා යන එවානෙ, කොහොමද පෙරාපුවායි, මැදපුවයි, කස්ටම් එකෙන් පන්නන එවයි එකතු වුණාම. ආතල් නෙ, මතක් වෙද්දිත් කැරකෙනවා.

Anonymous said...

රටේ ජනගහණය = කෝටි 2

ම්න් 30%ක් වැඩිහිටි පිරිමින්ය එනම් 60 000ක්ය

මින් 60%ක් මත්පැන් පානය කරයි එනම් 36 000ක්ය

මුළු මත්පැන් පරිභොජනය = ලීටර් කෝට් 14

එක් අයෙකු වසරක පරිභෝජනය = ලීටර් 38.88

එනම් සතියකට ලීටර් 0.745 ක් පමණය

එනම් සතියකට බෝතලයකි.

ම්ම්ම්ම් අවුලක් පෙනෙන්නට නැත

Anonymous said...

බෝතලයක් දුන්නොත් අපේ කණ්ඩුල අයියත් නොබී ඉදියි! හැක්...හැක්...හැක්...අපේ ගොඩක් උදවිය ඔය වගේ තමයි, අර සත්තු මරන්න එපා කියල පෙල පාලිගිය අයත් මස් කුට්ටි කුට්ටි කෙලින අය තමයි...

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...

බෝතලයක් දුන්නොත් අපේ කණ්ඩුල අයියත් නොබී ඉදියි! හැක්...හැක්...හැක්...අපේ ගොඩක් උදවිය ඔය වගේ තමයි, අර සත්තු මරන්න එපා කියල පෙල පාලිගිය අයත් මස් කුට්ටි කුට්ටි කෙලින අය තමයි..
====================

හැක් හැක්, මල්ලී, මම කනබොන මනුස්සයෙක්, කන වෙලාවට කනවා, බොන වෙලාවට බොනවා, ඒකෙ කිසිම අවුලක් නෑ. මම මෙතන කතා කරන්නේ බීමේ ගුණදොස් නෙමෙයි, ආණ්ඩුව මතට තිත කියලා කරන මහා බොරුව ගැනයි මේ කතාකරන්නේ.

මතට තිත කියලා ව්‍යාපෘති ගෙනන්නා, බොරුවට සද්දෙ දාලා, හාමුදුරුවන්ගෙන් ලකුණු දාගෙන ඒ අයවත් රවට්ටලා ගෙනියන මහින්ද අන්කල්ගේ සිහින කොදෙව්ව ගැනයි කතාව.