Tuesday, August 24, 2010

ජනපතිතුමනි, සුද්දට ජංගි මහලා විකුණන්නට GSP+ සහනය ලබාගැනීම රටට කැළලක් නම් කොරියාවේ කක්කුස්සි හෝදන්නට අපේ කොල්ලන් කෙල්ලන් පාන්දර තුනේ සිට පෝලිමේ සිටීම ජාතික අභිමානයට කැළලක් නොවේද?

කොරියාවේ රැකියාවක් ලබාගැනීමේ පලමු සුදුසුකම වන කොරියානු භාශා ප්‍රවීනත්ව විභාගයට අයදුම් කිරීම සඳහා පාන්දර තුනේ සිටි දසදහස් ගණනක් තරුණ තරුණියන් පෝලිමේ සිටි බව වාර්තාවුනේ මේ නොබෝදායි. මෙයින් අපට පසක්වන්නේ කුමක්ද? අපේ රටේ තරුණතරුණියන් හට මේ රට හා එහි ගොඩනගා ගතහැකි අනාගතය පිළිබඳව සතපහක හෝ විස්වාසයක් නැති බවයි.

ජනපතිතුමනි, නිතරම දේශප්‍රේමය ගැන කතාකරමින්, තරුණයින්ට හිනාවෙන්න පුලුවන් අනාගතයක් ගැන නන්දොඩවන ඔබතුමාට, මේ කොරියන් විභාග අයදුම් පත් පෝලිම දුටුවිට, මෙවන් ඉච්ඡාභංගත්වයෙන් පෙලෙන තරුණ කැළක් ජීවත්වෙන රටක නායකයා වීම ගැන ලැජ්ජාවක් නැද්ද? ඔබතුමාගේ අයියන්ඩිය UDA එක හරහා කඩාබිඳ දමන්නට වලිකන කොළඹ මුඩුක්කු ජනපද මෑතක්වනතුරු හැඳින්වූයේ "කොරියාව" යන විශේෂණ පදයෙන් බව හොඳ සිංහලයෙකු වන ඔබතුමා දන්නවා ඇත. එහෙව් අතීතයක් හිමි රටක් අද දියුණුවේ හිණිපෙත්තට නැග අපට කසලශෝධක හා කම්කරු රැකියා දෙන්නට සිය රැකියා වෙළඳපොල විවෘත කරනවිට, ඒ කසලශෝධක/කම්කරු රැකියා වලට යන්නට උන්ගේ භාශාව ඉගෙන ගනිමින්, අපේ රටේ හිරිමල් තරුණකැල පාන්දර තුනේ සිටි පෝලිම්වල ලගිනවිට ඔබට පොඩ්ඩක්වත් ලැජ්ජා හිතෙන්නේ නැද්ද?

GSP+ සහනය යටතේ සුද්දන්ට ජංගි මහලා විකුණන එක ජාතික අභිමානයට මහත් කැළලක් බව අඟවමින් "උන්ගේ ජීඇස්පීය අපට වැඩක් නැත, දෙනවා නම් දීපියව් නැත්නම් නිකන් හිටපියව්!" කියන ඔබතුමාට, අපේ කොල්ලෝ කෙල්ලෝ කොරියන් කාරයින්ගේ කක්කුස්සි හෝදන්නට, පාරවල් අතුගන්නට, කුණු අදින්නට යන්නට පෝලිමේ ඉන්නවිට ඔබතුමා කයිවාරු ගහන හෙළ අභිමානයට කැළලක් බව හිතෙන්නේ නැද්ද?

ඔබතුමා බොරු කයිවාරු කෙලිමින්, ලොකුම කුට්ටිය ලැබෙන ව්‍යාපෘතිවලට කෙලවරක් නැතිව ණයගනිමින් රටේ අනාගතය බිල්ලට දේ. ඔබතුමාගේ පාරවල් හැදීමේ, වරායවල් ගුවන් තොටවල් හැදීමේ ව්‍යාපෘති නරකයයි/අනවශ්‍යයයි නොකියමි. එහෙත්, ඔය දැවැන්ත ව්‍යාපෘති අතලොස්ස හැරෙන්නට, මේ රටේ රැකියා උත්පාදනය සඳහා ඔබගේ රජය කර ඇත්තේ කුමක්ද?

වැඩියමක් නැත.

එහෙත් බොරු දේශප්‍රේමයක් ආරුඪකරගනිමින්, සුද්දන්ට දණ නොනමන්නේය යන පුහු තර්කයට, අඳබාල රටවැසියන් රවටන වහසිබස් වලට වසන්වී ඔබගේ රජය අතින් සිදුවන සාපරාධී ක්‍රියා ලොවට හෙලිවීම වැලැක්වීමට ඔබ රටව වාසිදායක වුනු GSP+ සහනය අහිමිවන්නට කටයුතු කලේය. ඔබ එසේ කලේ තනිකරම ඔබගේ පවුලේ ඥාතීන් ආරක්ශාකිරීමට මිස මේ රට සුද්දන්ගේ තර්ජන වලින් බේරාගැනීමට නොවන බව මොලේ කළඳක් ඇති, අරලියගහ මන්දිරෙන් විසිකරන බත් පැකට්ටුවට, අරක්කු කාලට වහ නොවැටුනු මේරටේ බහුතරයක් ජනතාව දන්නා බව ඔබ දන්නවාද?

ඔබට හා ඔබගේ පවුලට වාසිදායක වන, එහෙත් අනාගතයේ රට මරණමංචකයට වුවද ගෙනයා හැකි ඕනෑම කුහක, ආත්මාර්ථකාමී හෝ මෝඩ තීරණයක් ඉතා ඥාණවන්ත, නිර්භීත හා කාලෝචිත තීරණ බවට කිසිදු හිරිකිතයක් නැතුව රටට මුරගාන්නට හැකි පිරිසක් ඔබ යහමින් වීසි කරන බත්ගොටුවලට වහවැටී ඔබවටා කැරකෙන බවද අපි දන්නෙමු.

"GSP+ නැතිවුනාට අපනයන කඩාවැටෙන්නේ නෑ..." යනුවෙන් පත්තරවලට ප්‍රකාශ නිකුත්කරන අපනයන ව්‍යාපාරිකයින් යයි කියගන්නා වන්දිභට්ටයින් පිරිසක්ද මේ බත්ගොටු පිරිවරට අයත්ය. එවැනි උනට තම කර්මාණ්තශාලාවල සේවයකරණ අහිංසකයින් කීදාහක් පාරට වැටුනද කම් නැත. ඔබතුමාගේ ගොන් වැඩ වලට මුට්ටිය අල්ලා ප්‍රකාශයක් නිකුත්කොට, හෙමින්ම අරලිය ගහ මන්දිරයට රිංගා රක්ශිත වනයක හෝ ලෝක උරුමයක් අසබඩ හෝටලක් ඉදිකරගන්නට නීතිවිරෝධී අවසරයක් ඔබගෙන් හෝ හා ඔබගේ බලසම්පන්න ඥාතීන් අතින් ලබාගැනීම ඔවුන්හට අපනයන වෙළඳපොලේ තරඟකරණවාට වඩා බෙහෙවින් වාසිදායකය.

මේ හේතූන් නිසාම මේ රටේ අනාගතයක් ඇත්තේ ඔබගේ පුතුන්ට හා ඔබගේ ඥාතිමිත්‍රාදීන්ගේ දරුවන්හට පමණක්ම බව අද තරුණ තරුණියන් හට වැටහී තිබේ. එබැවිනි මේ තරුණ කැල ඉගෙන ගැනීමට අමාරු භාශාවක් වන කොරියානු භාශාව නැත්නම් ජපන් භාශාව හෝ ඉතාලි ඉගෙන ගෙන රට පනින්නට හදන්නේ. මෙසේ කොරියාවට, ජපානෙට හෝ ඉතාලියට පැනගන්නට වලිකන තරුණතරුණියන් රොත්තට අමතරව තවත් දස දහස් ගණනක් හෙමින් සීරුවේ අරාබිකරය බලා ගුවන්ගතවෙයි. මේ අතර යමක් කමක් ඇති දෙමව්පියන් ඉඩකඩම් උකස්කොට හෝ ගිණිපොලියට ණය ගෙන හෝ සිය දරුවන් එන්ගලන්තයට, අමෙරිකාවට, ඕස්ට්‍රේලියාවට හෝ කැනඩාවට පටවයි.මොවුන් සියලුදෙනාම රටහැර යන්නේ මානවහිමකම් කඩවන නිසා හෝ සුදු වෑන් පස්සෙන් එන නිසා හෝ නොවේ. ඔවුන් යන්නේ මේ රටේ අනාගතය ගැන ඔවුනට විස්වාසයක් නැති නිසාය.

එහෙව් රටක නායකයා වන ඔබ කරන්නේ කුමක්ද?

සීගිරි ගොස් බිතු සිතුවම් ආරක්ශාකර ගැනීම ගැන උපදෙස් දෙයි, දැනටමත් නවත්වා ඇති සීගිරිගලේ ඉදිකිරීම නවත්වන්නට උපදෙස් දෙමින් කාලය කයි, නැත්නම් හම්බන්තොට ගොස් වරාය/ගුවන්තොට හදන ඉංජිනේරුවන්ට උපදෙස් දෙයි. තව තවත් බොරු බයිලා කියමින්, ඔබ කියන ඕනෑම බොරුවක් බයිලාවක් දේවභාශිතය සේ රටට පෙන්වන මාධ්‍ය හරහා පිම්බෙමින්, මහත්වූ ව්‍යසනකාරී ගමන් මගක මේ රට ගෙනියයි. සුද්දන්ට රට පාවානොදෙන බවට මෝඩයින්ගේ ප්‍රීතිඝෝශා මධ්‍යයේ ශපත කරන ඔබ නිවාඩ් කබ්රාල් හා බැසිල් ලෝකය වටේ යවමින් ගිණිපොලියට සුද්දන්ගෙන් පමණක් නොව චීන්නුන්ගෙන්ද, ඉංදියන් කාරයින්ගෙන්ද ණය ගණිමින් රට උකසට තබයි. පෝයදාට රටට පෙනෙන්නට සිල්ගනියි, එහෙත් "අපි දෙන උපදෙස් පිළිගන්නේ නෑ" යනුවෙන් මල්වතු අස්ගිරි නායක හිමිවරු ඔබගේ බෞද්ධ රජකම ගැන සහතික නිකුත්කරයි.

ජපතතිතුමනි, ඔබ මේ කරන බොරුව ගැන අබැටක තරම්වත් පස්චාත්තාපයක් ඔබට නැද්ද?

නැතිනම් එයට කාලයයි මේ. අද චන්ද්‍රිකා ඉන්නා තැන බලන්න. එදා රට බේරාගත් වීරවරිය ලෙස මාධ්‍යවලින් පිම්බී සිටි චන්ද්‍රිකා මේ රටේ නූතන ඉතිහාසය ලියැවෙන අදවන විට සිටින්නේ මහපාරේය, අනාගතයේ ඔබ ගැන ලියැවෙනවිට ඔබ සිටිනු ඇත්තේ චන්ද්‍රිකා සිටින මහපාරටත් වඩා බොහෝ පහලින් ඇති කුණු කාණුවේය. අද ඔබ මකන්නට හදන ජෙනරාල් පමණක් නොව අනාගතයේදී ඔබත් මැකෙන බව අමතක නොකරන්න.

වයෝවෘද්ධ එළාර ද්වන්ධ සටනකින් පැරදවා පහසු ජයක් අත්පත්කරගත් තරුණ දුටුගැමුණු රජු ජාතියේ මහා වීරයා කල මහාවංශ ලියන්නන් වෙනුවට අද ඉන්නේ බලයේ ඉන්නකම් කට වගෙන ඉඳ බලයෙන් නෙරපුණු විට "චෞර රැජිණ" වැනි පොත් ලියන්නන් බව මතක නොකරන්න. දුටුගැමුණුට දෙමල මහා සෑය හදන්නට තරම්වත් හෘද ශාක්ෂියක් තිබුණු නමුත් ඔබට එවන්නක් නැති බව ඔබ දිනවූ මිනිසුන්හට ඔබ සලකන අයුරින්ම පෙනේ. යම් දිනක ඔබෙන් බැටකා විනාශ වුනු උන් ඔබගෙන් ඒ පලිය ගනු ඇත. අනාගතයේ "කාබාසිනියා රජතුමා" වැනි නමක් ඇති පොතක් ලියන්නේ උන්ගෙන් එකෙකුම වනු ඇත.චෞරරැජින ලියා අද වික්ටර් අයිවන් ඔබතුමාගේ හොඳම යාළුවෙකු වී සිටිනවා මෙන්නම "කාබාසිනියා රජතුමා" පොත ලියන එකා ඒ ආනිසංසයෙන් අනාගත ජනපති කෙනෙකුගේ හොඳම ගෝලයෙකු වනු ඇත.

ඔබ වාසනාවන්තනම් "කාබාසිනියා රජතුමා" පොතෙහි ප්‍රභාකරන් කලපුවේ මැරුණු කාලයේ ඔබ සේනාධිනායකයා වී යම් සාධනීය කාර්‍යභාරයක් ඉටුකල බව පවසන්නට එක් පරිච්ඡේදයක් හෝ වෙන් වනු ඇත. ඉතිරි පරිච්ඡේද සියල්ලම ඔබගේ විශම ක්‍රියා හා මෝඩ තීරණ මෙන්ම ඔබ නොකළ දේවල්වලින්ද පිරෙනු ඇත.

3 comments:

charmi said...

MAXAAAAAAAAAAAAAA.........!!!!

Anonymous said...

යන්නත් කලින් යන්නේ කකුස්සි හෝදන්න බව දන්නේ කොහොමද?

Anonymous said...

"GSP+ සහනය යටතේ සුද්දන්ට ජංගි මහලා විකුණන එක ජාතික අභිමානයට මහත් කැළලක් බව අඟවමින්"

ආ ඔන්න අහු වුනා හොරේ! කෙලින්ම කියල නෑ නෙ? උපකල්පන නේ? ඔහොම යං!