Monday, August 23, 2010

නොහික්මුණු අසම්මත දේශපාලනය සාමාන්‍යකරණයකොට ආයතනගත කිරීම. (Normalisation & institutionalisation of political immorality)

දේශපාලන අශික්ෂිතකම් ගැන කතාකරනවිට නිතැතින්ම සිහියට නැගෙන්නේ අපේ ඉඳුරුවේ ...වැරදුනා කැළණියේ ආචාරියාය. එහෙත් කැළණියේ ආචාරියාට පෙර තවත් දේශපාලන අශික්ෂිතයෙකු මෙරට ගඳගැස්සුවේය. ඒ, ජා ඇල තුඩැල්ල හරියේදි කොටි ක්ලේමෝරයකට අහම්බෙන් දිවිපුදා චුත වුනු ද මූ දසනායකය. ඔහු මියගිය සමයේදී ඉතා නිහඬ චරිතයක් වුනත් කලක් කැළණියේ ආචාරියාට නොදෙවෙනි නැටුමක් සිය ගම් පෙදෙස වුනු ආනමඩුවේ නැටූ ගරා යකෙකු විය. ඒ චෞර රැජිනගේ පාලන සමයේදීය. චෞර රැජිනගේ බොහෝ පක්කලි වැඩ කරදුන් හිලව්වට ආනමඩුවේ කැළෑ ආණ්ඩුවක් ගෙනයාමට නිදහස ලැබූ දමූට ඉහලින් එදා කපුටෙකුවත් ඉගිල නොගිය බව ඔබට දැන් මතක් වෙනවා ඇත. එකල සියලු විපක්ශ ක්‍රියාකාරින්ට ආනමඩුව හා අවට ප්‍රදේශ තහනම් විය. විපක්ශ නායකයෙකු එනවිට පාරවල් වල ටයර් පුලුස්සා, කලුකොඩි දම්මවා, තාර බැරල් වරින් පාරවල් අවහිර කරවීම මොහුගේ සාමාන්‍ය මෙහෙයුම් ක්‍රියාවලිය විය. විපක්ශ ක්‍රියාකාරීන්ගේ ගෙවල්, ව්‍යාපාරික ස්ථාන ගිණිතැබීම, වෙඩි තැබීම්, බෝම්බ ගැසීම එකල සුළභවිය. චන්දකාලයට ආණමඩුව එකම ගිණිවිජ්ජුම්බරයක් විය. පොලිස් සොක්කන් මෙන්ම ලොක්කන්ද පයිසෙකට මායිම් නොකල දමුට රජයේ ඉහල නිළධාරීන්ද දැක්වූයේ ඉමහත් බියකි.

දමු විරාජමාන වුනු කාලයේ, මා සමග සේවය කල මිත්‍රයෙකුගේ මව එක්තරා අමාත්‍යාංශයක නියෝජ්‍ය අධ්‍යක්ශකවරිය වූවාය. දිනක් චන්ද්‍රිකා ආණමඩුවේ සහභාගීවන උත්සවයක එම අමාත්‍යාංශය නියෝජනය කිරීමේ වගකීම ඇයට පැවරුණි. ඇය මා සමගම ප්‍රකාශකල ආකාරයට ඇය ඒ ගමන ගියේ යම් භීතියකිනි. ජ්‍යෙෂ්ඨ රජයේ නිළධාරිණියක් වුවත් දමු ගේ බල පරාක්‍රමයට ඇය බිය වූවාය.

ඒකල දමූ වෙනුවෙන් ආණ්ඩුවේ ලොක්කන්, පොලිස් ලොක්කන් පෙන්වූ භය පක්ශපාතකමත්, අද කැළණියේ ප්‍රේතාචාරියා දුටුවන සුලුදිය පහවන්නටම බියවන පොලිස් හා හුන්ඩුවේ ලොක්කන් අතරත් වෙනසක් තිබේද? නැත, ඒ මන්දයත් එදා දමු යකා නැටුවේත්, අද ප්‍රේතාචාරියා යකා නටන්නේත් විධායකයෙන් කෙලින්ම ලැබෙන අනුබලයෙනි. එනම් දමු මෙන්ම ප්‍රේතාචාරියාත් සර්වබලධාරී විධායකයේ දශාවතාරයෙන් එක් උමතු අවතාරයකි.

කරුණු එසේවුවත් චන්ද්‍රිකාට යම් සාධාරණත්වයක් ඉටුකල යුත්තේ චන්ද්‍රිකා හොරකම, වංචාව හා දූශණය සාමාන්‍යකරණයකොට ආයතනගත කලත්, ඇය රජතුමා තරම්ම අසම්මතය දේශපාලන මෙවලමක් (immorality as a political tool) ලෙස භාවිතා නොකල නිසාය. පාර්ලිමේන්තුවේ එක් චන්දයක් පමණක් තිබෙද්දීත්, කෝටි ගණනින් භාන්ඩාගාර මුදල් විසිකිරීමේ හැකියාව සතුවෙත්දීත් ඇය විපක්ශ මන්ත්‍රීවරුන් මුදලට බිලිබාගැනීමට දැඩි වෑයමක් නොදැක්වූවාය. ඇය ඒ අරමුණ ඉටුකල ගත්තේ එස්.බී හා මංගලගෙන් ලැබුණු සටකපට දේශපාලන උපදෙස් මත ගොඩනගාගත් උප්පරවැට්ටි උපයෝගීකරගෙනය. ඇයගේ එකොලොස් වසරක පාලන සමයේදී ඇය ආණ්ඩුවට බඳවාගත්තේ රෝහිත බෝගොල්ලාගම, සරත් අමුණුගම වැනි අතලොස්සක් පමණි. තොන්ඩමාන්ලා, අශ්රොෆ්ලා සමග ඇය වෙනම ගේම් ගැසූ බවත් අශ්රොෆ්ගේ මරණින් පසු ඇය මුස්ලිම් කොන්ග්‍රසය දෙකඩ කලබවත් සැබෑය, එහෙත් ඇය රජපස කරනා තරමටම කරමින් ඒවා සාධාරණීකරනය නොකලාය.

අදවනවිට, මහරජතුමෙකු විසින් රාජ්‍යය විචාරන මේ සිංහල නට්සි රයිකයේ අසම්මත,නොහික්මුණු දේශපාලනක්‍රියා දේශපාලන සමත්කම හා නායකත්වයේ ජවය පෙන්වන නිර්ණායකයක් තරමටම ආයතනගතකොට ඇත.

මිනිසෙකුගේ සියලූම මානව අයිතීන් මෙන්ම ආත්ම ගරුත්වයද විනාශකරමින් ඔහුව ගස් බඳින විට, රටේ ජනප්‍රිමයයි තමන්ම කියාගන්නා ස්වර්ණවාහිණිය එය මහා වීරකමක් ලෙස තලු මර මරා සමීප රූපරාමු මගින් පෙන්වන්නේත්, එයටම නොදෙවෙනි ජඩ ෆොටෝග්‍රැෆර්ලා ඒ අහිංසක මිනිහා ගස් බැඳසිටිනවා උඩින් යටින් කිසිදු හිරිකිතයක්, සිත්වේදනාවක් හෝ අඩුම ගණනේ යම් පිළිකුළක් හෝ නොමැතිව ෆොටෝ ගහන්නේත් මේ අසම්මත,නොහික්මුණු දේශපාලන ජඩ ක්‍රියා මුලුමහත් සමාජයේම ආයතනගතවී, සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇති නිසා නේද?

මේ රයිකය බිහිවුනේ ජවිපේ කරමතින් හා සංවිධාන ශක්තියෙන් බව නොදන්නා කෙනෙකු නැත. හන්දිගානේ ගිරියකඩාගෙන කෑගසමින්, රෑ දෙගොඩ හරියේ රටපුරා පෝස්ටර් ගසමින් එතුමා රජකිරීමට ජවිපෙ උන් මොනතරම් වෙහෙසක් ගත්තාද?ජවිපෙ කළ උදව්වට පයින්ගසා, අළුමතින් නැගීසිටින්නට වෙරදරන ඒ පක්ශය කෑලිවලට කඩා බිමදැම්මේ මොහොතක හෝ පසුතැවීමක් නොමැතිවයි. මොනතරම් තරුණ ජීවිත ඒ පක්ශය වෙනුවෙන් කැපවී දිවි පුදා ඇත්දැයි මොහොතකට හෝ සිතුවානම් එවන්නක් කරන්නේ නැත. ඉහල නැගි ඉණිමග කඩාබිඳ දැමීමේ ඒ ක්‍රියාව ජවිපේ දුර්වලකමක් හා තුමාගේ සමත්කමක් ලෙස පෙන්වන ලදී, කාටූන් අන්දවන ලදී. මෙයින් අදහස් කෙරෙන්නේ ජවිපය ඉතා හොඳ බව නොවේ. එහෙත් වලෙන් ගොඩ එන්නට උදව්කල මිනිස්සුන්ට මෙලෙස පන්න පන්නා ගසන්නේත්, එය සාධාරණීකරණය කරන්නේත් කොටියාට ගැසුවාටත් වඩා අන්ත ලෙසය. අද මහ කොටියන් මිතුරුවී ඇති බැවද අමතකලයුතු නැත. වෙනසට හේතුව පැහැදිලිය.

රනිල් සමග ගිවිසුමක් ගසා හැරෙන තැපෑලෙන් 17දෙනෙකු බිලිබාගත්තේය. එයද රනිල්ගේ නිවටකම හා තුමාගේ සමත්කම, පෞරුශය හා නායකත්ව ලක්ශණලෙස අර්ථ දැක්වින. මෝඩකමින් මෙන්ම පුද්ගලයින් නිවැරදිව හඳුනාගැනීමට නොහැකිකමෙන් පෙලෙන රනිල් මේ නොබෝදා යලිත් දෙන්නෙක් පූජාකලේ විහින් නිවටයෙකු වෙමිනි.

එතුමා දිනවන්නටම ස්ථාපිතවුනු ජාතික හෙළ උරුමයට බෙදුනේද ඒ හැන්දෙන්මය.පක්ශය ඉල්ලු කෙනාට නොදී තමාට ඉතා කීකරු පුරාවිද්‍යා චක්‍රවර්තිට මන්ත්‍රීකමක් දෙමින් ඉමහත්ලෙස උදව්කල හෙළ උරුමයටද කෙලින්නට උත්සහකල මුත් ගොනා හැරෙනවා බලාසිටි හෙළඋරුමේ මොලේ ඇති ගිහි/පැවිදි පිරිසක් චක්‍රවර්ති නායකකමින් පන්නාදමා තාවකාලිකව හෝ පක්ශය බේරාගති.

ඒ අනුව බලන කල අද ශ්‍රිලනිපය හැරෙන්නට වෙනත් දේශපාලන පක්ශ තිබෙන්නේ එතුමා කරතියාගෙන ගොස් පසුව කැඩී බිඳී වෙන්වීමට හා බලු බැනුම් ඇසීමටයි. මෙවැනි ක්‍රියා ශිෂ්ඨසම්පන්න සමාජයක් ඇති වෙනත් කිසිම රටක අසන්නට දකින්නට නැති ඉණපටියෙන් පහල දේශපාලන ක්‍රියාවන්වේ (below the belt). ලඟදී එලි දැක්වුනු දිගම්බරම් හා ගනේශන් වැට පැනීමේ නාඩගම කියවිය යුත්තේද මෙරට ආයතනගතවී ඇති ජඩ දේශපාලනය කියවන ඇස් කණ්නාඩියෙන්මය.

විපක්ශ දේශපාලන පක්ශයකට ආදරය කරන මිනිසුන් පිරිසක් සිය ධනය, දහඩිය මහන්සිය මෙන්ම දේපොල යානවාහනාදියත් ලංසුවට තබා වැඩකොට, චන්දය දී මිනිහෙකු එම පක්ශයෙන් පාර්ලිමේතුවට යවන්නේ පක්ශයේ මතවාදය ඉදිරිපත් කිරීමටත් ආණ්ඩුවේ බලය සීමාකරීමටත්ය. ලංකාවේ දේශපාලනික පරිසරය අනුව SLFP රජ ජනපතිවරණය දිනූපසු කිසිදිනක UNP ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකිබව දැන දැනත්, එක්සත් ජාතික පාක්ශිකයින් චන්දය දී මිනිසුන් පාර්ලිමේතුවට එවන්නේ තමන්ගේ ගමේ බෝක්කුව හදාගන්නට නොවන බව නොදන්නා මෝඩයෙකු නැත. බෝක්කුව හදාගන්නට නම් චන්දය දිය යුත්තේ දිනන බවට ඉර හඳසේ විස්වාස රජගේ පක්ශයේ බෝක්කු කටාලාටය.

ඒ අනුව විපක්ශයේ ඉඳගෙන අපේ ජනතාවට වැඩක් කිරීමට නොහැකි බවත් ඒ නිසා රජට මුක්කු ගැසීමට තීරණය කල බවටත් සිදම්බරම් හා ගනේසන් ඉදිරිපත් කරන තර්කය පට්ටපල් බොරුය. ජනපතිවරණය දිනූ රජගේ පක්සය පරදා මහ මැතිවරණයෙන් එජාපය දිනන බව හිතාගෙන එජාපෙන් චන්දය ඉල්ලුවානම් මුන් දෙන්නාම පල් මෝඩයින්ය. ඇත්ත එසේ නොවේ, කෙසේ හෝ කවුන්සිලයට රිංගාගත්පසු, රජපස කිසිදු හිරිකිතයක් නැතුව ඉල්ලන දෙයක් පොරොන්දුවී (ඉල්ලන දෙයක් දී නොවේ) ඔවුන්ව බිලිබාගන්න බව ඔවුන් හොඳින් දැනසිටියෝය.

දේශපාලන අශික්ෂිතකම සාමාන්‍යකරනයවී ආයතනගතවී ඇති ආකාරය මුන් දෙන්නාගේ ක්‍රියාකලාපයෙන්ම නොපෙන්නෙන්නේද? මුන් පක්ශයෙන් චන්දය ඉල්ලා ඇත්තේ පක්ශයට වැඩ කිරීමට නොව,පක්ශයත්, පාක්ශික චන්දදායකයිනුත් රවටා කවුන්සිලයට තේරීපත්වුනු පසු දොලපිදේනි සහිතව ආණ්ඩුපක්ශයට පැනගැනීමේ එකම අරමුණිනි. එසේ පැනීමට රජගෙන් නිසැකවම ආරාධනා ලැබෙන බව රජගේ කැරැට්ටුව දන්නා මේ කපටින් නිවැරදිව ගණන්බලා තිබුණි. පසුව ඒ කපටි වැඩය සාධාරණීකරණය කිරීමට කඩේයන ස්වාධීන මාධ්‍ය හා ආණ්ඩුවේ මාධ්‍ය හරහා කෙබර කෙලිමින් සංදර්ශණ පවත්වන ලදී. මේවාට උල්පන්දන් දෙන්නට, ඒවා රජගේ එළ ක්‍රියාවන් බව පෙන්වීමට මන්දිරෙන් බුරියානි කෑ පසු එතුමා අපහසුතාවයට පත්වෙන කාටුන් අඳින්නේ නැති ගොබ්බ කාටූන්කාරයෝද එක පෙලට සැදී පැහැදී සිටිති. මේ කුලීකාරයින්, කපටි දේශපාලුවන් කරන මේ නසරානි ක්‍රියාවන් විපක්ශේ පරාජය හෝ මෝඩකම නිසා බව පෙන්වන්නට හදන්නේ යූනුස් මතක්වෙන නිසාවෙන්ද නැත්නම් චිකන් කෑලි තවමත් දත් අස්සේ හිරවී තිබෙන නිසාදැයි කියන්නට නොතේරෙයි.

Lankadeepa 10/08/2010

වඩාත් භයානක දේනම් political immorality ක්‍රියාවන් දැන් දැන් කවුන්සලයේ ඔලුගෙඩි සෙල්ලම් වලින් මෙපිටට පැමිණි වෙනත් අරමුණු සාක්ශාත් කරගැනීම සඳහාද යෙදැවෙන බව පෙනෙන්නට තිබීමයි. මෙයට එක් නිදසුනක්, එක්තරා බ්ලොග් ලිපියක සටහනක් තැබූ සහෘදයෙක් ප්‍රකාශකොට සිටියේය. ඔහුට අනුව මිට දින කිහිපයකට ඉහතදී ආණ්ඩුවේ රූපවාහිණී චැනලයක රජයේ සේවකයින් පිරිසක් ජංගම දුරකථනවලින් කථාබහ කරමින් සිටිනා රූප පෙලක් පෙන්වමින්...."අඩුමිල දුරකථන ඇමතුම් නිසා කාර්යාලීය සේවකයින් වැඩ නොකර මොබයිල් ෆෝන් වලින් නන්දඩවමින් සිටින බව" පවසා එය TR‍C ලොක්කාගේ අවධානයට යොමුකර ඇත.

ඒ අමනයින්ට අනුව, රජයේ සේවකයින් වැඩ නොකර වෙනත් දේවල් කරමින් සිටීම TR‍C ලොක්කා අවධනය යොමුකලයුතු දෙයක් වී ඇත. එතකොට ඒ කාර්යාලවල ප්‍රධානීන්, අමාත්‍යාංශ ප්‍රධානීන්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ප්‍රධානීන් සිටින්නේ පොල් ගාන්නටද? ඇයි ඔවුන්ගේ අවධානයට මෙය යොමු නොකරන්නේ? රජයේ රූපවාහිනී අමනයින් කරනදේ පැහැදිලිය. අඩුමිල පැකේජ වලට කෙලීමේ රජයේ උවමනාව සාධාරණීකරණය කිරීමට යොදාගන්නා අශික්ෂිත උපක්‍රමයකි මේ. රජයේ සේවකයින් රාජකාරි වෙලාවේ වැඩ නොකර උපහාර පැකේජයෙන් නන් දොඩවමින් සිටින බවත්, එය අහෝසි කරයුතු බවත්ය මුන් මේ නොකියා කියන්නේ. ඔනෑම දෙයක් වැඩිපුර හිතන්නේ මතන්නේ නැතුව පිලිගන්නා ශ්‍රී ලාංකිකයින්, මේ ගහල වැඩය තවත් ලෙහෙසිකරයි.

මේ විධියට ගියහොත්, කැළණියේ ආචාරියාට හෝ වෙනත් කපටි දෙස්පලුවෙකුට කාගේ හෝ ඉඩමකට, දේපොලකට වහ වැටුනහොත්, "....අහවල් ඉඩම, අහවල් දේපොල රාජ්‍ය විරෝධී කුමණ්ත්‍රනයකට/සමාජවිරෝධී ක්‍රියාවකට යොදාගැනීමට ඉඩ ඇත, ඒ නිසා ඒ ඉඩම/දේපොල රජයට අත්පත්කර ගැනීමට බලධාරීන්ගේ අවධානයට මෙයින් යොමුකරවනු ලැබේ...." කියලා නිවුස් යන්නටද බැරි නැත.

1 comment:

Ramachandra said...

මර්වින් සිල්වා මහින්දානන්ද අලුත්ගමගේ රෝහිත අබේගුනවර්ධන දමු දසනායක සහ එකී නොකී සියලු ආකාර වල ප්‍රාදේශීය චන්ඩි ලංකාවේ පසුගාමි දේශපාලන සංස්කෘතියේ අනිවාර්ය අංගයකි.මොවුන් නඩත්තු කරන්නේ සුදු ඇදගත් සාධු ජාතික දේශපාලන නායකත්වයයි.මෙවැන්නවුන් ගනනක් අතර මර්වින්ගේ වෙනස අනෙකුන් මෙන් නොව මාධ්‍ය ඉදිරියේ ජෝකරයෙකු මෙන් කැපී පෙනීමට ඔහු තුල තිබුන කචල්මය ආසාව පමනි.මර්වින්ට සත්තමක් දැම්මාට ප්‍රාදේශීය චන්ඩි නඩත්තු කරන සිස්ටම් එක දශමයකිනුදු වෙනස් නොවනු ඇත.