Headline, DailyMirror - 13/08/2010 |
ආර් ප්‍රේමදාස මහත්තයා "පැල්පත් කඩාපි" ලෙස හැඳින්වූයේ 1976 අවුරුද්දේ කොළඹ නගරසභාවේ නගරාධිපති පදවිය හෙබවූ ෆවුසි මැතිතුමාය. ෆවුසිට ආර් ප්‍රේමදාස මහත්තයාගෙන් පැල්පත් කඩාපි නම්බුනාමය ලැබුනේ නොබැඳි සමුලුව වෙනුවෙන් කොළඹ නගරය පියකරු නගරයක් කිරීමේ උතුම් චේතනාවෙන් කොළඹ දුප්පත් මිනිසුන් විසු පැල්පත් මුඩුක්කු පොඩි පට්ටම්කොට ඒ අහිංසකයින් වෙනත් ප්‍රදේශවලට පන්නා දැම්ම නිසාය.
"සමුළුවට ගඩාෆි ආපි! ෆවුසි පැල්පත් කඩාපි!" දුප්පතාගේ හැබෑ හිතවතා වුනු ප්‍රේමදාස මහත්තයා පාර්ලිමේතුවේදී ආණ්ඩුව පතුරු ගැහැව්වේ එහෙමය.
"පැල්පත් කඩාපි" දෙවන මෙහෙයුම නිළවශයෙන් ඇරඹුනේ අයිෆා උළෙලට කොළඹ නගරය සූදානම් කිරීමේ කටයුත්තක් ලෙසයි. කොළඹ නගරය පුරා අනවසර ඉදිකිරීම් ලෙස සැළකුනු පෙට්ටිකඩ, පදිකවේදිකාවට වෙනතෙක් කඩයේ ඉස්තෝප්පුව ඉදිරියට ගෙන ආ අවස්ථා, විවිධ මඩු අටවාගෙන පදිකයින්ගෙන් පදික වේදිකාව උදුරාගත් අවස්ථා වැනි නීති විරෝධී ඉදිකිරීම් හා ගොඩනැගිලි කඩා ඉවත් කරන ලදී. ලේඛකයාද ඇතුලුව මෙරට බොහෝ දෙනෙක් රජයේ මේ ව්‍යායාමයට සහය දැක්වූවේ මේ පදිකවෙළඳුන් හා අනවසර ඉදිකිරීම් නිසා මහජනයාට හිරිහැරයක් වනවා මෙන්ම කොළඹ නගරය මුඩුක්කු නගරයක (shanty town) සිරි ගනිමින් තිබුණ නිසාය.
දැන් මේ මෙහෙයුමේද දෙවන අදියරට පැමිණ තිබේ. එනම් පැල්පත් හා මුඩුක්කු ඉවත් කිරීමේ මෙහෙයුමයි. සැබැවින්ම මේ මෙහෙයුමේ පෙර-පුහුණුව (ඩ්‍රෙස් රිහසල් එක) පැවැත්වූයේ ආරක්ශක විද්‍යාලයට තව ඉඩ අවශ්‍යයයි කියමින් ඔප්පු පවා තිබුණු මියුස් වීදියේ පදිංචිකරුවන් පන්නා දැමීමෙනි. විපක්ශනායකයා පාර්ලිමේතුවේදී ප්‍රකාශකොට සිටියේ මේ මිනිසුන් පන්නා දැමුවේ එම වටිනා ඉඩම සුපිරි නිවාස සංකීර්ණයක් තැනීම සඳහා ආණ්ඩුවට සම්බන්ධ සිටුවරයෙකුට ලබාදීම සඳහාය. එහෙත් සුපුරුදු පරිදි දින දෙක තුනකින් විපක්ශ නායකතුමාට එය අමතකවී ඇත. දැන් දෙතුන් වතාවක් එතුමා ජනපති හමුවුනත් මේ මිව්ස් වීදියේ දුපපතුන්ට පොරොන්දුවූ පරිදි විකල්ප ස්ථාන ලබාදුන්නේද යන්න ඇසීමට එතුමාට අමතක වෙන්නට ඇත. ප්‍රේමදාසගෙන් ඔප්පු ලබාගත් ඒ මිනිසුන් අද ප්‍රේමදාස මහත්තයා හිටියානම් යනුවෙන් සුසුම් හෙලනවා ඇත.
අගෝස්තු 13වැනි සිකුරාදා ඩේලි මිරර් පත්‍රයේ හෙඩ්ලයින් එකට අනුව දැන් මේ පැල්පත් වාසින් පන්නා දැමීමේ මෙහෙයුම නිළවශයෙන් පටන්ගැනීමට සූදානම්ය. සාමාන්‍යයෙන් හැමදේට කොලේ වහන, ගැලවිජ්ජාවෙන් පිළිතුරුදෙන අනුර ප්‍රියදර්ශණ යාපා හොර බොරු නැතුව මෙහෙයුමේ ඇත්ත අරමුණ කියා තිබේ. එනම් මේ මුඩුක්කු (අනවසර පදිංචිකරුවන් සිටින ස්ථාන) වානිජමය වශයෙන් ඉතාමත් වටිනා බිම් කඩවල් වේ. එම රජයේ ඉඩම් සංවර්ධනය කිරීම සිදුවිය යුතුය.
බොහෝවිට රජය විවේචනය කරන පුද්ගලයෙකු වුවත්, මම පෞද්ගලිකව රජයේ තීරණයට එකඟ වෙමි. මේ ඉඩම් වල වානිජමය වටිනාකම කෝටි ගණනකි (පර්චසයක් මිලියන දෙක බැගින්, අක්කර 78ක් කල්බදු දීමට බලාපොරොත්තුවේ). එහෙත් මේවාවල අනවසරයෙන් පදිංචිවී සිටිනා මිනිසුන් ඉන් ඉවත් කිරීමට නොහැකිවී ඇත්තේ දේශපාලන බලපෑම් හේතුවෙනි. මේ කුඩා බිම්කඩවල් වල පවුල් සියගණනක් එනම් පුද්ගලයින් ලෙස ගත්විට 500-1500 දක්වා පදිංචිව සිටී. ඒවා නගරයේ දේශපාලකයින්ගේ වටිනා චන්ද කුට්ටි වේ. එම චන්දකුට්ටි අහිමි කරගැනීමට ඔවුන් කිසිසේත් සූදානම් නැත. මේ ජාතික හා ප්‍රාදේශීය දේශපාලකයින් වෙනුවෙන් මේ මුඩුක්කු ජනපදවල නොනිළ පාලනය ගෙනියන්නේ එම දේශපාලකයින්ගේ පාතාල ගෝලයින් විසිනි. ඒ නිසා මෙම බිම්කඩවල් පැහැදිලිවම කුඩු ව්‍යාපාරය, ගණිකා ව්‍යාපාරය, හොරබඩු ජාවාරම වැනි සමාජවිරෝධී ක්‍රියාවල මූලස්ථානය වෙයි. දේශපාලකයින්ගේ රැකවරණය නිසා පොලිසියට මේ ප්‍රදේශ තහනම් ප්‍රදේශ වේ. වඩාත් සුළභ වන්නේ පොලිස් ලොක්කන්ගේ අනුදැනුම ඇතුවම මේවා සිදුවීමයි.
ජනපතිවරයා ඉතා සූක්ශම ආකාරයට මේ ප්‍රශ්ණය දෙස බලා ඇතිබව නාගරික සංවර්ධන අධිකාරිය සිය සොයුරු ගෝඨාභය රාජපක්ශ මහතාට පැවරීමෙන් පෙනීයයි. ජනපතිවරයාගෙන් පසු රජයේ ඉතාම බලසම්පන්න පුද්ගලයා වන ගෝඨාභය දේශපලකයෙකුද නොවන නිසා ඔහු මේ ගැටලුව දෙස බලන්නේ දේශපාලකයින් බලන ආකාරයට චන්ද කුට්ටිවලට ගිජුකමකින් නොවේ. ඔහු මේ දෙසබලන්නේ පරිපාලනමය හා ව්‍යාපාරික කෝණයකින් පමණකි. ඒ නිසා කුමන රජය ආවත් හොලවන්නට බැරි මේ අනවසර පදිංචිකරුවන් කිසිදු අපහසුවකින් තොරව, අවශ්‍ය නම් බලය යොදා පිටමන් කිරිමේ මේ හැකියාව ඔහුට ඇත.
බලසම්පන්න දේශපාලකයින් සෙවනේ රැකෙන පාතාලයන්හට මුහුණදීමේ හැකියාව ඇත්තේද ඔහුටම පමණකි. ඒ අනුව, කොළඹ නගරය මෙන්ම අනෙකුත් නගරත් පිලිවෙලකට සැලසුමකට අනුව පාලනය කිරීමේ වැඩපිලිවෙල ජනපතිවරයා විසින් ඉතා හොඳින් සිතාමතා සිදුකල එකක් බව පෙනීයයි. එය ප්‍රසංශණීයය.
එහෙත් මේ ප්‍රශ්ණය තනිකරම වටිනා ඉඩකඩම් නිදහස් කරගැනීමේ චේතනාවෙන් පමණක්ම සිදුනොකල යුතුය. මන්දයත්, දුප්පතුන් වුවත්, මේ මිනිසුන් අප සමාජයේම කොටස්කරුවන් බැවිනි. අපට ඇති සියළු අයිතිවාසිකම් ඔවුනටද ඇත. එබැවින් ඔවුන් හට සුදුසු විකල්ප ස්ථාන ලබාදී, ඔවුන්ගේ මූලික අවශ්‍යතා ඉටුවන පරිදි මේ කාරිය සිදුකල යුතුය.මේ මිනිසුන් බොහෝවිට මෙම ඉඩම් වලින් ඉවත් වීමට අකමැත්ත ප්‍රකාශකරන්නේ ඔවුන්ගේ රැකියා කරගැනීමට නොහැකිවෙනවා යයි කියමිනි.එහි සත්‍යතාවයක් තිබේ. මේ මිනිසුන් බොහෝ දෙනෙකුට ස්ථිර රැකියා නැත. වැඩි දෙනෙක් හොකරුන් (hawkers) ලෙසත්, වරායේ අනියම් සේවකයින් ලෙසත් සේවය කරයි. තවත් කොටසක් කොළඹ කඩවල්වල, මැනිං මාකට්ටුවේ හා මාළු මාකැට්ටුවේ සේවය කරයි. තවත් සමහරුන් එම ප්‍රදේශයේම තේකඩ, කෑම කඩ වැනි සුලු ව්‍යාපාර කරමින් පසුවෙයි. මේ මොන ජීවිකාව කරගෙන ගියත්, ඔවුන් කොළඹ ආසන්නයේම පදිංචි නොකලහොත් ඔවුන්ගේ ජීවිකාව අඩාලවෙයි.
ප්‍රවෘත්ති සාකච්චාවේ කියවුනු කරුණක් අනුව දැනටමත් එවැන්නක් සිදුවිය හැකිබවට සැකයක් පවතී. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති (ගෝඨාභය රාජපක්ශ නොවේ, ජනක කුරුකුලසූරිය නැමැත්තෙකි ) කියන අන්දමට කොළඹ නගරය තුල විකල්ප නිවාස ලැබෙන්නන්හට සිය නිවාස සඳහා මිලක් ගෙවීමට සිදුවෙනු ඇත. කොළඹින් පිට තදාසන්න පෙදෙස්වල පදිංචි කරවන අයගෙන් නිවාස වලට මුදල් අය නොකරසිටීමට දැඩි වෑයමක් ගන්නවා ඇත.
මෙය නම් වැඩේ නොකෙරෙන තැනට නඩු හබ වැටෙන, නැත්නම් මිනිසුන් පාරට වැටෙන පිස්සු සැලසුමකි. ස්ථිර ආදායමක් නැති, ණයක් ගැනීමට ඇපකරුවෙකු සොයාගත නොහැකි, අඩුම ගණනේ බැංකු ගිණුම් වත් නැති මේ මිනිසුන් කෙසේ අලුත් නිවසකට ගෙවන්නද? නිවසක් මිලට ගන්නවා යන්න ඉහල මධ්‍යමපාංතිකයින්ටත් අමාරු කාරියකි. ස්ථිර රැකියා ඇති, වෘත්තීයමය මට්ටමේ රැකියා කරන පහල මධ්‍යම පාංතිකයින්ට නම් එය වසර 20-30 යනතෙක් ගෙවන්නට වෙන, ගඩොලින් ගඩොල ගොඩ නැගෙන සිහිනයකි. කරුණු එසේනම්, මේ දුප්පතුන් ගැන කවරකතාද?
නාගරික සංවර්ධන අධිකාරියේ නිසිබලධාරියා වන ආරක්ශක ලේකම්තුමා සමහරවිට ඇමරිකාවේ තත්වය මත හිඳගෙන ගණන් බලනවා විය හැකිය. ඇමරිකාවේ නම් ගෙවීමේ ශක්තිය අඩු, එතරම් විස්වාසදායි නොවන මෙවැනි ගනුදෙනුකරුවන් සඳහා වුවද විවිධ අන්දමේ නිර්මාණශීලී නිවාස උකස් සැලසුම් (house mortgague plans) මගින් නිවසකට උරුමකම් කීමේ වාසනාව ලැබේ. එහෙත් මේ ඇමරිකාව නොවේ.
ස්ථිර රැකියාවක් ඇති, අවුරුදු ගණනාවක ස්ථිර පදිංචියක් ඇති තමාගේම නිවසක අයිතිකාරයෙකුව වුවද හත්මුතු පරම්පරාවේම විස්තර ලබානොදී, දෙන්නෙකුට කන්කෙඳිරි ගා ඇපකරුවන් වෙන්නට කැමතිකරගෙන මිස මරුටියක් වැනි කුඩා වාහනයක් පවා ලීසින් කරගත නොහැකි මේ රටේ මේ මිනිසුන්හට වන්නේ ලස්සන සැළසුම් වලට ඉඩදී පාරවල්ගානේ උද්ඝෝෂණ කරමින් ගුටිකන්නට, හිරේ වැටෙන්නට පමණි. අපේ අහිංසක පොලීසිය මෙවැනි මිනිසුන්ගේ උද්ඝෝෂණ දුටුවිට ගේමට සෙට් වන හැටි අපිට හොඳින් දැක පුරුදුය. සැමදා වකුටුවී නිදාසිටින අහිංසක පොලීසිය අතපයේ හිරි ඇරගන්නේ උද්ඝෝෂණ මැඩලීමේ මෙහෙයුම් වලිනි.
එබැවින් ආරක්ශක ලේකම්තුමාගෙන් ඉල්ලා සිටින්නේ, මේ ප්‍රශ්ණය දෙස රුපියල්ශත කෝණයකින් පමණක් නොබලන ලෙසයි. මේ මිනිසුන්හට බලයක් නැති වුනත්, ඔවුන් මනුශ්‍යයන් බැවින්, ඔවුනට සැලකිය යුත්තේ ඔවුන්ගේ ප්‍රශ්ණ මානුශික කෝණයකින්ද බැලීමෙනි. කොළඹ නගරය නූතන නගරයක් ලෙස සංවර්ධනය කිරීමේ ඔබගේ වෑයමට අපිදු ආශිර්වාද කරමු, එහෙත්, නගරය අලංකාර කරන අතරම මේ මිනිසුන්ද රැකගත යුතුය.
No comments:
Post a Comment