There was an error in this gadget

Sunday, August 15, 2010

තාරුණ්‍යයට හෙටක්?

Rate this post 

"තරුණ ඔබ කෙරෙහි අප විශ්වාසය තබා තිබෙනවා. ඔබ වැනි තරුණ පිරිස්‌ තමන්ගේ මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් ලබා දුන් මේ නිදහස රැකගෙන ඉදිරියට යා යුතුයි. රට සංවර්ධනය කරමින් විනයගරුක සමාජයක්‌ ගොඩනැඟීමට ඔබගේ දායකත්වයත් කැපවීමත් තියෙන විශ්වාසය අපට තිබෙනවා. ඒ වගකීම වගේම මේ රටත් ඔබට භාරයි. රට තුළ යහපත් සමාජයක්‌ ගොඩනැඟීමට ඔබ සැමට ආරාධනා කරනවා." - ජාත්‍යන්තර තරුණ වර්ෂය සැමරීමේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. (දිවයින-13/08/2010)

ජනාධිපතිතුමා කියන මේ කතාව එතරම් පිලිගන්නට අමාරුයි නේද? මේ රටේ තරුණයින් ඇස්, ඉස්, මස්, ලේ දන්දී රට බේරාගත් බව ඇත්තකි. එහෙත් ඒ සඳහා නායකත්වය සැපයූවේ පරිණත, අත්දැකීම් බහුල ආරක්ශක ලේකම් වරයාත්, උපායශීලී විශිෂ්ඨ සේනාපතියෙකු වුනු ජෙනරාල් ෆොන්සේකා හා අනෙකුත් හමුදාපතිවරුන්ය. එහෙම නොමැතිනම් යුද්ධය දිනන්නට තිබුණේ මීට කලින්ය. ජෙනරාල්ට පහරගහන්නට ආණ්ඩුවම ප්‍රකාශකල පරිදි, ඉස්සර තිබුණේත් මේ හමුදාවමය, වෙනස්වුනේ නායකත්වය පමණි.

තාරුණ්‍යයේ ඇති විශිෂ්ඨත්වය නම් යම් අරමුණකට එළඹිකල බාධක මැඩගෙන ඒ ඉලක්කය කරා යාමට ඇති හැකියාවයි. යුද්ධයේදී මෙන්ම ආදරයේදීත් තරුණයින් එසේය. ජනාධිපතිතුමා කියන ආකාරයට මේ තරුණ ජවය රටේ සංවර්ධනය සඳහා යොමුකර ගැනීමටනම් ඔවුන්ව ඒ අරමුණ වෙත යොමුකොට එහි එලබවිය හැකි හික්මුණු, පරිණත නායකයින් ඔවුනට මග පෙන්විය යුතුය.

එහෙත් ජනපතිතුමනි, අද මේ තරුණ කැලට එවන් නායකත්වයක් ලැබේද?

අද බලන බලන තැන ඇත්තේ නොහික්මුණු අශිලාචාරබවයි, අවනීතියේ රජවීමයි. සමාජයේ බහුතරය සියලු නීතිරීතිවලට යටත්වුනත් බලවත් සුලුතරයට ඒ නීති කිසිවක් නැත. රියැදුරෙකු අතින් පදිකයෙකුට අණතුරක් වුවහොත් පොලීසිය නීතිය උපරිමයෙන් ක්‍රියාකරවයි, එහෙත් ඒ රියදුරාගේ බලවත් අනුග්‍රාහකයෙකුගෙන් පොලීසියට දුරකථන ඇමතුමක් නොලැබෙනතාක්ය. මෙයින් තරුණයින්ට දෙන පණිවුඩය කුමක්ද? විනයානුකූලව, නීතිගරුකව රියපැදවීම මෝඩයින්ගේ, චමින්දලාගේ වැඩය. අවශ්‍යවන්නේ ලොක්කෙකුගේ පුතෙකුගේ යාලුවෙකු හෝ බලවතෙකුගේ සේවකයෙකු වීම පමණකි. එතකොට ගන්ජා උරමින් පේමන්ට් එකේ රිය පැදෙව්වත්, කහඉරි උඩ බඩදරු අම්මලා යට කෙරුවත් කමක් නැත. නීතිය ක්‍රියාත්මක කරන රාළහාමි කෙනෙක් වෙතොත් කිලිනොච්චි යාමට බෑග් පැක් කරගතයුතුය. ගන්ජා තරුණයාත් වාහනයත්
පැයෙන් එලියේය.

දරුවා ලෙඩවීම නිසා ශ්‍රමදානයට නොපැමිණි සමුර්ධි නිළධාරියා ගස්බැඳුනාට අමතරව කැමැත්තෙන් බැඳගත්තායයි ලියුම්ද ලියා දිය යුතුය. එහෙත් ඩෙංගු වසංගතය මෙරට වෙලාගැනීමට වගකිවයුතු හිටපු සෞඛ්‍ය ඇමතියාත්, ඔහුගේ නායකයාත් යෙහෙන් වැජබේ.

ජනාධිපතිතුමා විනයගරුක සමාජයක් ඇතිකරන්නට තරුණයින්ට කතාකරන්නේ මෙවැනි සමාජයක් රටට උරුමකරදුන් නායකයා ලෙස වීම කණගාටුවට කරුණකි. මේ රටේ අවනීතිය රජකරවන්නේ එතුමාගේ රජයට සම්බන්ධ පුද්ගලයින් විසින්ය. මේ හැම දෙයකටම රජපක්ශ පවුලට බනිනවායයි වරදවා වටහාගත යුතු නැත. එහෙත් මර්වින්ට වුවත් එතුමා දඬුවමක් දෙන්නේ බැරිම තැන ඉතා අකමැත්තෙන් බව අපට විශ්වාසය. එසේ සැක මතුවන්නේ කලින් සිදුකරන ලද ඊටත් වඩා බරපතල ක්‍රියාවලදී නියපිටින් පහරක් හෝ නොවැදුන බව ජනතාව හොඳින් දන්නා නිසාය. මුලු රටේම පිලිකුලට බඳුන්වුනු මෙවැන්නෙකුට ක්‍රියා නොකරනවානම්, වෙනත් අවනීතිවලට කෙසේ ක්‍රියාකරයිද? ජනපතිට වගකීම ඇත්තේ එතනය.

රජයට කත් අදින්නන්ට හැර අන් සැමට නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපත්තියක් අද ඇත. මෙහි බලාපොරොත්තුව මිනිසුන් තමන්වෙත රඳවාගැනීම බව අපට විශ්වාසය. එහෙත් එහි ඇති අණතුර නම්, හැමෝම නීතියෙන් ප්‍රතිශක්තිය ලැබීමට (be immune from law) රජයට මුක්කු ගැසීමයි. එය වාසියක් ලෙස සිතුවත් ඇත්තටම අවාසියකි. මන්දයත් සියල්ලන්ම පාලකයින් වූකල, පාලිතයින් නැතිවූකල රජයක් පවතින්නේ කෙසේද යන ගැටලුව පැන නැගීමයි. හැමෝම බොස්ලා වෙන්නට ගියාම කොයි ව්‍යාපාරයත් බන්කොත්වෙන බව ලෝක සත්‍යයකි. කුක්-අප්පුලා වැඩිවුනුවිට ඩිනර් එකට කෙලවෙන්නේත් එලෙසමය.

අද රටේ තරුණයින් වැඩි දෙනෙක් ඉතාලි පනින්නට, කොරියාවට පැනගන්නට නැත්නම් අඩුම ගණනේ මැදපෙරදිග රැකියාවකට රට හැර යන්නට බලාපොරොත්තුවන බව නොරහසකි. සියලු වරප්‍රසාද අම්බැට්ටයින්ටම ලැබෙන, තරුණයන්ට නායකයින්ගේ කටින් මිස වෙනත් ආකාරයකින් හව්හරණක් නොලැබෙන රටක රටේ සංවර්ධනයට තාරුණ්‍යයට අඬගැසීම විහිලුවකි. "...ඔය බයිලා වලින් වැඩක් නෑ, මම රට පනිනවා...." ගොඩක් තරුණයින් හිතන්නේ එහෙමය.

රටේ තරුණයින් පැත්තකට දමා නායකතුමාගේ නව යොවුන් ලොකු පුතා දෙස බලමු. නාමල් යනු මැරවින්ගේ පුත් මාලක මෙන් නයිට් ක්ලබ් වල වැසිකිලි තුලට වැදීගෙන හෙරොයින් උරන පිස්සෙක් නොවේ. ඔහු ගුණයහපත් තරුණයෙකි. පියා රාජකාරි අධික දේශපාලන නායකයෙකුව සිටියදී මෙවැනි හොඳ පුතාලා තුන්දෙනෙකු හදාවඩාගත් ශිරන්තී මැතිණියට අවංකවම අපගේ ප්‍රණාමය පුදකල යුතුය. ඇය හොඳ මෑණියන් කෙනෙකි.

එහෙත් අවාසනාවට අද නායකතුමා නාමල්ව යවන්නේ වැරදි පාරකය, ඒ අනුව තාරුණ්‍යයට දෙන්නේ වැරදි පණිවුඩයකි. එතුමා නාමල් කුමරුට ඉහලට නැගීමේ ශෝට් කට් පෙන්වමින් සිටී. රටේ සංවර්ධනයට ශෝට්-කට් නැතුවාසේම රටේ නායකත්වයටද ශෝට්-කට් නැත. අද විපක්ශ මන්ත්‍රීන් බිලිබාගැනීමේ වැඩසටහන නාමල් හා බැසිල් මාමා තරඟයට මෙහෙයවන බව ඇසේ. විපක්ශ මන්ත්‍රී ජෝඩුවක් සිය පක්ශය හා චන්දය දුන් ජනතාව පාවාදී ආණ්ඩු පක්ශයට එකතුවුනු විට නාමල් ද එහි සිටියේය . සැබැවින්ම අවාසනාවකි, දක්ශ නායකයෙකුට ආණ්ඩුපක්ශය තුල මෙන්ම විපක්ශයතුලද ප්‍රසාදයක් තිබිය යුතුය, එහෙත් අද නාමල්?

නැගී එන තරුණ නායකයෙකු පුහුණුවිය යුත්තේ මිනිසුන් මුදලට වරප්‍රසාදවලට, බිලීබාගැනීම නොව මිනිසුන් හම්බ කිරීමටයි. මේ රටේ දැවැන්ත නායකයින්, මහින්ද ජනපතිතුමාද ඇතුලුව, බොහෝ සෙයින් මිනිසුන් හම්බුකල නායකයින්ය. මුදලට ගන්නා ගනේශන්ලා බලය නැති කල සාවුන් මෙන් පැනයයි. බලය නැති කාළයකදී ඉතුරුවන්නේ හම්බුකල මිනිසුන් පමණකි. ජනපතිතුමාගේ යුතුකම තරුණ නාමල්ට මේ ටික කියාදීම මිස වයසින් මෙන්ම අත්දැකීම් වලිනුත් නොමේරූ නාමල් මෙවැනි සටකපට ක්‍රියාවලට පුහුණු කිරීම නොවේ. ඔහු මේවා දැනගත යුතුය, එහෙත් ඊටකලින් ඔහු දැනගත යුතු දේවල් බොහෝය. අද නාමල් ආණ්ඩුපක්ශයේ බොහෝ මන්ත්‍රීන් හා මැති ඇමැතිවරුන් අතර එතරම් ජනප්‍රිය චරිතයක් නොවන්නේ මේ ශෝට්-කට් නිසාය. නාමල් පස්සේ වැටී සිටින අය එසේ සිටින්නේ නොමේරු නාමල්ගෙන් අයුතු ප්‍රයෝජන ලබාගැනීමටත් නායකතුමාගෙන් ලකුණු දාගැනීමටත් පමණක් බව නොදනේ නාමල් පමණක්ම විය හැකිය.

නාමල්ට දේශපාලනයේ මූලික පුහුණුව එනම් බූට්-කෑම්ප් පුහුණුව ලබානොදී ස්නයිපර් ට්‍රේනින් දෙන්නට යාමෙන් සිදුවන්නේ වෙඩි තැබීමට හැකි, එහෙත් උවමනාවූ විට පණබේරාගෙන දුවන්නටවත් නොදන්නා දේශපාලන සෙබලෙක් බිහිවීම මිස යුද්ධ ජයගතහැකි දේශපාලන සෙන්පතියෙකු බිහිවීම නොවේ. පණබේරාගන්නට දිවීම සෙබලෙකුට අත්‍යාවශ්‍ය පුහුණුවකි. හමුදා පුහුණු පාසැල්වල වෙඩිතියන්නට උගන්නන්නට පෙර දුවන්නට හා දිවිගලවාගන්නට උගන්වන්නේ එබැවිනි. දැන් නාමල්ට ලැබෙන crash-course-to-leadership පුහුණු පාඨමාලාවෙන් සිදුවන්නේ දේශපාලන දැවැන්තයෙකු බිහිවීම වෙනුවට මුලින් පිම්බී පසුව හැකිලෙන දෙශපාලන සක්විති කෙනෙකු බිහිවීම බව ඉතාමත් අකමැත්තෙන් වුවද කිව යුතුය. නාමල් වැනි හොඳ කොල්ලෙකුට එසේ කීමට වීම දුකකි. එහෙත් සැබෑ මිතුරන් යනු කිවයුතු දෙය මුහුණටම කියන්නන් මිස බොරු මූනිච්චාවට මුට්ටි අල්ලන්නන් නොවේ.

සක්විතිද දක්ශ තරුණයෙකි, එහෙත් ධනයට, බලයට කෙටි පාරවල් සෙවීම නිසා අද ඔහු හිගන්නෙකි. රාජපක්ශලා බොහෝකාලයක් මේ රටේ දේශපාලන නායකත්වය ආණ්ඩුපක්ශයේ හෝ විපක්ශයේ සිට හොබවනු ඇති. එහෙත් ඒ සැම රාජපක්ශවරයෙකුගේම මුල් නම මහේන්ද්‍ර පර්සි නොහොත් මහින්ද නොවනු ඇත. දේශපාලනයේ survival training ලැබිය යුතුකාලයේ නොලබන, මිනිසුන් සල්ලිවලට ගැනීමට මිස හම්බුකිරීමට නොදන්නා නාමල් එවැනි භූමිකාවක කෙසේ තැනක් ලබාගනියිද?

ඒ අනුව බලනකල රටේ නායකත්වය බාරගන්නට ඉන්නා නාමල්ට නොලැබෙන නිවැරදි මගපෙන්වීම සංවර්ධනය නියමුවන් වන්නට අඬගහන රටේ අනෙකුත් තරුණයින් හට ලැබෙන්නේ කෙසේද?

එතකොට ජනාධිපතිතුමා කල කථාව ගත යුත්තේ කෙසේද? - එයත් වෙනදා කරන කතා මෙන්ම තවත් එක් කථාවකි, නැත්නම් පොලිටිකල් ස්පීච් එකකි.