Friday, August 13, 2010

෴~ මගේ ප්‍රණාම පෝස්ට් එක ~෴

ජනපතිතුමාට ප්‍රණාමය පලකරන්න අව්වේ හිටං ඉන්න සමුර්දි නියාමක කට්ටිය දැක්කම මටත් හිතුනා යුතුකමටත් එක්ක ප්‍රණාම පෝස්ට් එකක් දාන්න.

මගේ පළමුවන ප්‍රණාමය;

පක්ශයේ නීති මෙන්ම රටේ නීතිද නිතරම කඩකරන මර්වින් සිල්වාට විරුද්ධව, වෙනදාවගේ දැක්කේ නෑ, ඇහුනේ නෑ වගේ ඉන්නේ නැතුව, නිර්භීතව, වරද නුහුලන සිංහරාජයෙකුසේ නැගීසිට, සාමාන්‍යයෙන් ගමේ මරණාධාර සමිතියකත් තියෙන සම්ප්‍රදාය වන, සාමාජිකයෙකු/පාක්ශිකයෙකු වරදක් කලවිට ක්‍රියාත්මක කලයුතු යයි පක්ශ/සමිති ව්‍යවස්තාවේ සඳහන් ප්‍රතිපාදන ක්‍රියාත්මක කොට, මුලු ලොවටම ආදර්ශයක් දුන් අපේ ජනාදිපතිතුමාට ප්‍රණාමය. එතුමා තරාතිරම නොබලා ඉඳලා හිටලා හෝ ක්‍රියාත්මකවීම රටේ පොලීසියටද ආදර්ශයකි. ඒ අනුව පොලිස්පතිතුමාටත් ඉඳලාහිටලා හෝ රාජකාරිය හරියට කිරීමට ට්‍රයි එකක් දිය හැකිය.

නිරිඳුනි! ඔබ ඇමරිකාවෙන් හැමදාම ගේම ඉල්ලන හියුගෝ චාවේස්ටත් වඩා ලෝක පූජිතයි.

මගේ දෙවන ප්‍රණාමය;

වෙනදාවගේ, "ඔව්වා මහ කැත වැඩ, ඔව්වාට අපි විරුද්ධයි, ඔවැනි ක්‍රියාවලට දෙවියන් නිසි දඬුවම් දෙනු ඇත" කියලා නිවට හිනාවක් දාන්නේ නැතුව, මර්වින්ට දඬුවම් කිරීමේ ක්‍රියාදාමය ඉතා ව්‍යක්තව, ඉතා සෘජුව ජනතාව ඉදිරියේ ප්‍රකාශ කොට සිටි මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ට ප්‍රණාමය. මර්වින්ට දඬුවම් දෙන ලෙස ඔබ නිතර දෙවේලේ දෙවියන් හට කරනලද යාදිනි වලට දෙවියන් සවන්දී ඇත. ඔබ වැනි යාඥාවට දක්ශ මහ ලේකම් කෙනෙකු ජනපතිට ශක්තියකි.

මගේ තුන්වැනි ප්‍රණාමය;

මැරවින් ගස් බඳීවි දෝ යයි බයෙන් ගිණි කාශ්ඨක අව්වේ වේලෙමින්, දහඩිය මුගුරු හෙලාගෙන කුණු ගොඩවල් අදින, කාණු හරියට සුද්ද කරන, මග දෙපස ලඳු කැළෑ කපන මහ නගරසභා, නගර සභා, සුලු නගර සභා හා ප්‍රාදේශීය සභාවල සුලු සේවකයින්ට ප්‍රණාමය. වෙනදා වගේ උඩින් පල්ලෙන් අතුගාලා, කැඩිච්ච ට්‍රැක්ටරෙන් පාරදිගේ කුණු හලහලා ගිහින්, උදේ නවය දහය වන විට වෙනත් රස්සාවල් වලට පිටත්වී යනවා වෙනුවට ඔබ මේ පෙන්වන කැපවීම විශිෂ්ඨයි. තව එක මාසයක් ඔය විධියට වැඩ කලහොත් ඩෙංගු මදුරුවෙක් කල්කයකටවත් හොයාගන්නට බැරිවනු ඇත.

මගේ සිවුවැනි ප්‍රණාමය;

සෞඛ්‍ය ඇමතිකමෙන් පන්වනු ලැබ, වාරිමාර්ග ඇමතිවුවත්, සෞඛ්‍ය විෂයට ඇති දැඩි ඇල්ම නිසා, සෞඛ්‍ය ඇමති සහභාගී වියයුතු විදේශීය සෞඛ්‍ය සම්මේලනවලට අතින් වියදම් කරගෙන සහභාගීවී ඔබ පෙන්වන කැපවීම ලෝක පූජිතයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිකර ගැනීමට ඕනා තරම් සුද්දන් සිටියදී ඔබ වැනි සද්දන්ත පුරුසයෙකු එම සංවිධානයේ සභාපති කරගත්තේ ලොවපුරා පැතිරයන ස්ථුලභාවය හා අතිපෝශණයේ භයානකකම පිළිබඳව වැදගත් පණිවුඩයක් ලොවට ලබාදීමටයි. ඔබ මේ ලක් දෙරණට ගෙන ආ ගෞරවය අමරණීයයි. ඔබ වැනි මහත මිනිසුන් මේ රටට වැඩි වැඩියෙන් අවශ්‍යය කාලයකි.

මගේ පස්වැනි ප්‍රණාමය;

රජපස රජවුනු දිනේ සිට පාර්ලිමේන්තුවේදීත්, සිරසේදීත්, සුවර්නවාහිනියේදීත්, ජාතික රූපවාහිනියේ චූ-කක්කා ෆයිට් එකේදීත් ඔබතුමා දුන් පට්ට ආතල්, දමුගෙන් ලැබුණු ආතල් වලට වඩා සුනම්‍යයි, සුකොමලයි.

මැතිඳානෙනි, සියලු චෝදනාවලින් නිදොස්වී, නැවතත් බුදුන් වැඩි කැළණිපුරවයේ ඕගනයිසර් වී, කැබිනට් ඇමතිකමකිනුත් පිදුම් ලබා නොවැම්බරයේදී දකිණු කැමැත්තෙමි. ඔබතුමාව බලු පාට් එකට ඇන්දවූ කාටුන් කාරයන්ට ගේමක් දී වැඩ ඇල්ලිය හැකිය.

No comments: