Wednesday, August 25, 2010

ඉනාමළුවේ සුමංගල රජතුමාට ඒකාධිපති පාලනයකට විවරණ දෙයි!

ජනාධිපති රාජපක්ශ සීගිරි ලළනාවන් ආරක්ශාකරගන්නා ආකාරය ගැන පුරාවිද්‍යා විශේෂඥයින්හට උපදෙස් දී, දැනටමත් නවත්වා ඇති ඉදිකිරීම් නවත්වන ලෙස නියෝගකොට වෙන වැඩක් නැති නිසා සීගිරි නැරඹීමට පැමිණි ජනයා සමග කතාබස් කරමින් සිට, තවත් කා දමන්නට කාළය ඇති නිසා රන්ගිරි දඹුළු විහාරයට ගොස් ඉනාමලුවේ සුමංගල හාමුදුරුවෝ හමුවී ඇත.

දැන් ආරංචි වන විධියට උන්වහන්සේද කල්යල් බලා තාච්චිය රත්වී ඇති බව හොඳින් දැනගෙන එතුමාට වටිනා අනුසාසනාවක් කර ඇත

මොකක්ද මේ වටිනා අනුසාසනාව?

"  ජනපතිතුමනි, මේ රට දියුණු කරන්නට මානවහිතවාදී ඒකාධිපති පාලනයක් අවශ්‍යය. මම දන්නා හොඳම මානව හිතවාදියා ඔබතුමායි. ඒ නිසා ඉදිරි වසර හය මානවහිතවාදී ඒකාධිපති පාලනයක් ගෙනයන්න! "


ඔන්න රජෙක් හෝ නායකයෙක් රටක් පාලනය කලයුත්තේ කෙසේදැයි දශරාජ ධර්මය තුලින් පෙන්වා දුන් ගෞතම බුදුන්වහන්සේගේ අනුගාමිකයෙකු වන සංඝ නායකයෙකු දෙන උපදෙස්. ඉනාමළුවේ හිමියනි, අපේ මහරජතුමා ඔබ ඔය දේශනාකල උපදෙසේ "මානව හිතවාදී" කෑල්ල අමතක කොට ඒකාධිපතියෙක් පමණක් වුනොත් (දැනටමත් එහෙමනෙ ඉතින්) ඔබ වහන්සේ කරන්නේ කුමක්ද?

ඔබවහන්සේලා මෙවැනි භයානක උපදෙස් දෙන්නේ කාගේ අවසරයකින්ද? මේ රටේ මිනිසුන් වන අපි ඒකාධිපතියෙකු යටතේ සිටිය යුතුයයි ඔබ නිගමනය කලේ කෙලෙසද? ඔබ වහන්සේගේ දායකදායිකාවන්, උවැසියන් පෝලිමේ පැමිණ, "අනේ හාමුදුරුවනේ, ජනාධිපතිතුමාට ඒකාධිපතියෙක් වෙන්න කියා අනුසාසනාවක් කරන්න, අපි හරි ආසයි ඒකාධිපතියෙක් යටතේ ගව ගාලක් වගේ පාලනය වෙන්න..." යනුවෙන් ඇවිටිලි කරනවාද?

ඒකාධිපතියන් යටතේ දියුණුවුනු රාජ්‍ය මොනවාදැයි ඔබ දන්නවාද? මුලු ලෝකයටම එවැනි රටවල් ඇත්තේ පහක්  පමණක් (සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව,චීනය, තායිවානය) බව ඔබවහන්සේට කවුරුවත්ම කිව්වේ නැත්ද? සිම්බාබ්වේ, උතුරු කොරියාව, ලාඕසය, බුරුමය, පකිස්තානය, කියුබාව සහ තවත් දුසිම් ගණනක් හිඟන රටවල් පාලනයවෙන්නේ (නැතිනම් මෑතක් වන තුරු පාලනය වුනේ) ඒ රටවල් වල පත්තර කියන විදියට "මානවහිතවාදී ඒකධිපතියන්" අතින් නොවේද?

දකුණු ඇමරිකාවේ තෙල් සම්පතින් අනූන වූ, සෑහෙන්නට දියුණු රටක් වී සිටි වෙනිසුවේලාව අද වනවිට සෘණ දල ජාතික නිශ්පාදිතයක හිමිකරුවා වෙමින් සිටින්නේ ( 2009 est. -3.3%, source : CIA World Factbook) මානව හිතවාදී හියුගෝ චාවේස් ඇමරිකාවට පාට් දමමින් ගැලරියේ වීරයා වෙන්නට ගොස් ඇනගැනීම නිසා නොවේද?

ඉනාමළුවේ හිමියනි, කරුණාකර මේ ගෙවෙන්නේ වැඩවසම් රාජකීය යුගය නොවන බව දැන්වත් අවබෝධ කරගන්න. කාගේවත් යටත්වැසියන් වී සිටීමට අපට අවශ්‍යය නැත. අපිට රජෙක් නුවමනාය. රජෙක් අවශ්‍යවී ඇත්තේ දීන මානසිකත්වයක් ඇති නුඹලාටය. ලෞකික සැපසම්පත්, බෙන්ස් කාර්, රාජානුග්‍රහය හා තාන්න මාන්න වලට ගිජුවී මේ රටේ මිනිසුන් වහලුන් කර ගැනීමට පාලකයින්ට උඩගෙඩි නොදෙන්න. නුඹලාගේ ඔය බක පණ්ඩිත අනුශාසනා නිසා මේ රටේ වසන්නට බැරි වන්නේ ඔබවහන්සේලාට නොව අහිංසක මිනිසුන්ටයි.

ඔබවහන්සේලා සියළු සැප සම්පත් විඳිමින්, රජ ගෙදර පරෙයියන් මෙන් ජීවත්වී අපවත්වූ විට මහජන මුදලින් රාජ්‍ය ගෞරව සහිතව ආදාහනය වෙයි. රටේ ජනතාවට වෙන්නේ නුඹලාගේ ආත්මාර්ථකාමී අනුසාසනාවලින් බලය තවත් තහවුරු කරගන්නා ඒකාධිපතියන්ගේ සපත්තුවට (නැත්තහොත් සෙරප්පුවට) පෑගී පවු ගෙවන්නටය.

No comments: