Friday, August 27, 2010

අගෝස්තු 22 ඉරිදා සිළුමිණ මුල් පුවත ඇත්තක් බව ඔප්පුවේ! : මෙන්න සාක්කි!!

අගෝස්තු 22 ඉරිදා සිළුමිණ

අගෝස්තු 22 ඉරිදා සිළුමිණේ මුල් පිටුවේ හෙඩිම දැක්ක ගමන් මට හිතුනේ "මොන පල් බොරුවක්ද මේ?" ඒ නිසාම ඒ ගැන බ්ලොග් සටහනක් තියෙන එකෙනුත් වැඩක් නෑ කියලා හිතුනා. ඒත් ඊයේ මගේ මිතුරෙක් ඔය කියන නිව්ස්වීක් සමීකශණයේ අන්තර්ජාල සංස්කරණයේ ලිපිනය මට එවලා තිබුණ  නිසා ඒක බලන්න ඉස්සෙල්ලා මොකක්ද මේ සිළුමිණ කාරයා කියන්නේ බලන්න නිකමට වගේ කවදාක්වත් නොකියවන සිළුමිණේ අන්තර්ජාල සංසකරණය තුලින් ඒ ලිපිය කියවන්න හිතුනා.

ශ්‍රී ලංකාව නොබෝ දිනකින් ම ආසියාවේ ආශ්චර්යය බවට පත්වීම නිසැක යැයි විද්වත්හු රැසක් පෙන්වා දෙති. නිව්ස්වීක් සඟරාව මඟින් කරන ලද අන්තර්ජාතික මට්ටමේ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකාව හිමි කැරගෙන ඇති අද්විතීය ස්ථානයෙන් ඒ බව නැවත වරක් ඔප්පු වී ඇතැයි ඔවුහු සඳහන් කරති. මෙරට ප්‍රවීණ ආර්ථික විශ්ලේෂකයකු වන මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මේ පිළිබඳව ‘සිළුමිණ’ ට අදහස් දක්වමින් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව යොමුව සිටින සංවර්ධන ප්‍රවේශය මත 2020 දී ආසියාවේ ආශ්චර්යය බවට පත්වීම වැළැක්විය නොහැකි බවයි. නිව්ස්වීක් සඟරාවෙන් අනාවරණය කළ පරිදි ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අංක එකේ රට වන අතර ආසියානු කලාපයේ හොඳම රටවල් අතරින් සිවුවැනි ස්ථානය දිනා ගෙන ඇති බවත් ඔහු කීය.

ආචාරියලා මහාචාරියාලා ගොඩදෙනෙක් කියලා තිබුණේ, මේ නිවුස්වීක් සමීක්ශණයේ තොරතුරුමත ලංකාව ආසියාවේ ආශ්චර්‍යය වන එක වලක්වන්නම බෑ කියලා. නිවුස්වීක් සමීක්ශණ ප්‍රතිපල වෙබ් සංස්කරණය හරහා පරීක්ශාකරපු මට මේ කතාව ඇත්තම ඇත්ත බව ඔප්පු වුනා.

නිවුස්වීක් සමීක්ශණයේ වෙබ් සංස්කරණය බොහොම අපූරු මෙවලක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ තමයි රටවල් දෙකක් සමීක්ශණය කරලා තියෙන අංශ සියල්ලෙන්ම ලබාගෙන තියෙන ප්‍රථිපල සංසන්දනය කිරීමේ හැකියාව. ඒ අනුව ලංකාවේ දත්ත ලෝකේ අනෙක් ඕනෑම රට දත්ත එක්ක ක්ශණිකව සන්සන්දය කොට පෙන්වනවා.

ලංකාව ඉංදියාවත් පරද්දලා උඩින් ඉන්න නිසාත් දකුණු ආසියාවේ අනෙක් රටවල් ඉංදියාවට වඩා පහලින් ඉන්න නිසාත් ඉංදියාවයි ලංකාවයි සංසන්දනය කිරීම කාලය නාස්තිකිරීමක් විධියට මට හැඟුනා. වියට්නාමය, තායිලන්තය, ඵිලිපීනය වගේ වේගයෙන් දියුණුවෙන රටවල් එක්ක බැලුවත් ගොඩක් අංශවලින් ලංකාව ඉදිරියෙන් තිබුණ බව පෙනුන නිසා ඒවා සමග සංසංදනයත් වැඩක් නෑ.

ඒත් එක්කම මට මතක්වුනා චීනය. හම්බන්තොට වරාය හදන්න කොන්ත්‍රාත්තුව ගත්තට පස්සේ උන් හරියට ආඩම්බර වෙලා බව. කරදියවර මහෝත්සවයේදී වරාය හදන රස්සාවල් වලින් වැඩිහරියක් බදාගෙන හිටියත් එක චීනෙක්වත් අපේ මහ රජාණෝ එක්ක වතුර වක්කරන්න ආවේ නෑ. ඒ නිසාමයි මට හිතුනේ චීන්නුන්ගේ පම්පෝරියේ ඇත්ත නැත්ත බලාගන්න තව අවුරුදු 10කින් ආසියාවේ ආස්චර්යය වෙන අපිත් එක්ක චීනය පෑහෙන්නේ කොහොමද කියලා බලාගන්න.

පුදුමයි ඒත් ඇත්තයි!

නිවුස්වීක් සමීක්ශණ දත්ත අනුව ලෝකයේ 66වැනි ස්ථානයේ සිටිනා ශ්‍රී ලංකාව, අපිට වඩා ස්ථාන 8ක් ඉදිරියෙන් 59වැනි ස්ථානයේ ඉන්න චීනය තරම්ම හෝ ඒ ආසන්නයටම දියුණු බව පෙනුණි!

මෙන්න සාක්කි.....

Economic Dynamism හෙවත් ආර්ථික ජවය සංසන්දනය කරනවිට.


Productive Growth of GDP හෙවත් සාපල්‍ය දල ජාතික නිශ්පාදිතයේ වර්ධනය බැලුවම ලංකාවට වඩා චීනෙ වැඩි ඩොලර් දෙදහක් වගේ සොච්චම් මුදලක්. 2/3 මුහුදයි, 1/3 ගොඩබිමයි දැන් නිදහස් නිසා ඔය සොච්චම අවුරුදු දෙකතුනකදී අල්ලන්න අපිට පුලුවන්වෙයි. Services sector අපි චීනාට වඩා උඩින් ඉන්නේ...හුරේ! කාර්මික නිශ්පාදන වලින් නම් චීනා උඩින් ඉන්නේ, ඒත් වැඩිය නෙමෙයි කොල්ලෝ.

Innovation index හෙවත් නවෝත්පාදන ආර්ථික කටයුතු සඳහා සඵලව යොදාගැනීම අතින් අපිට වඩා සොච්චමයි චීනා....ඔහොම යං. Ease of doing business ඒකියන්නේ ව්‍යාපාර කටයුතු කිරීමේ පහසුව අතිනුත් ලංකාව ඉදිරියෙන්. අනිත් දෙකත් කරට කර....ඇත්ද චීනා උඹට?

Life Expectancy


චීන්නු අපිට වඩා අවුරුදු තුනයි වැඩිපුර ජීවත්වෙන්නේ, ලැජ්ජාවෙ බෑ..

Education/Literacy 

මාඕ සේතුංගේ කාලෙ ඉඳන් අකුරු බැරි ආච්චිලා සීයලා පවා ඉස්කෝලේ යවලත් අපිට වඩා 0.2 ඉස්සරහින් ඉන්නේ. චීන්නු අවුරුදු දෙකක් වැඩිපුර ඉස්කෝලේ යනවා කියලා තියෙන්නේ උන් ෆේල් වෙවී එක පංතියෙ අවුරුදු දෙක තුන ලගිනවා ඇති මගෙ හිතේ.

Political Environment : දේශපාලන වටාපිටාව.


Freedom house rating හෙවත් ජනමාධ්‍ය නිදහස අතින් අපි චීනට වඩා ගව්වක් ඉදිරියෙන්. නරකම ඉලක්කම 7 වෙනකොට චීනා 6.5, අපි හතරයි. ඒකනේ පුවත් පත් කතෘවරුන්ගෙන් රජතුමා, තමුන්නාන්සේලාට ගැටලු තියෙනවාද කියලා ඇහුවම උන් ඔක්කෝම, "අනේ නෑ ස්වාමීනී, අපි ෆුල් ආතල් එකේ මේ ඉන්නේ" කියලා කියන්නෙ. දේශපාලන කටයුතු සඳහා වන ජන සහභාගිත්වයෙනුත් අපි කොච්චර ඉදිරියෙන්ද?

අපේ රටේ වගේ ප්‍රජාචන්ච්‍රවාදයක් නැතුව ඒකාධිපති කොමියුනිස්ට් පාලනයක් තියෙන නිසා දේශපාලන ස්ථාවරභාවයෙන් නම් උන් ඉදිරියෙන් ඉන්නේ. මුළු ලෝකෙම කුමණ්ත්‍රණය කරනවානෙ මේ ජනතාප්‍රේමී ආණ්ඩුවට කොටන්න, ඒකයි ස්ථාවර භාවය අඩු. ලඟදිම විපක්සෙන් තව 10ක් යනවලු, එත්කොට ඔය ප්‍රස්නෙත් ඉවරයි ඕං....ඊට පස්සෙ ඉතින් කොන්ක්‍රීට් වගේ ස්ථාවරයි ආණ්ඩුව.

Quality of life



Quality of Life හෙවත් ජීවනයේ ගුණාත්මක භාවයෙන් අපි චීනාට දීලා තියෙනවා පොරි හැලෙන්න. එළකිරි. මිනීමැරුම් (homicides) ටිකක් වැඩිවෙලා තියෙන්නේ මේ දවස්වල පොලීසියෙන් පාතාලයෝ හොයාගෙන සුද්දයක් දෙනවනේ, ඒකයි.

පෙනවානේ දැන් සිළුමිණ වත්, ඒකෙ කොමෙන්ට් කොරපු ආචාරිය මාහාචාරිය කට්ටියවත් අබමල් රේණුවක බොරුවක් කරලා නැතිබව?

මටනම් පුදූම සංතෝසයක් දැනුනේ, අපි ඇමරිකන් කාරයොත් බය, ඉංදියන් කාරයොත් බය චීනෙට හොඳ ගේමක් දීපු එක ගැන. මලක් අදින්ට තරම් සොමියක් ආපු නිසා වේළපු පැලෑටියක් එවප්ං කියලා යාළුවෙකුට ඊමේල් එකක් ගහනකොට දැක්ක ගූගල් එකේ නිවුස් එකක්. තාමත් මට මොකුත්ම හිතා ගන්න බෑ, මල අදින්නත් ඉස්සෙල්ලා මල් වෙලා වගේ....

මෙන්න ඒ නිවුස් එක......

"චීනය, ජපානය අභිබවා ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථික බලවතා බවට පත්වෙයි, දැන් චීනය දෙවැනි වන්නේ අමෙරිකා එක්සත් ජනපදයට පමණි!  -  නිව්යෝක් ටයිම්ස්"

කිරි අප්පොට බල්ලො පැනපි! දැන් මොකෑ කරන්නේ?....මං තක්කු මුක්කු වෙලා. ඔය අස්සේ අර මොකෙක්ද සුද්දෙක් කියාපු "There are lies, damn lies and statistics " කියන හරුපෙත් යාන්තමට මතක් වුනා.

කළබල වෙන්න එපා, මම මේ කියන්නේ සිළුමිණ බොරුකලා කියලා නෙමෙයි, ඇත්ත වශයෙන්ම බොරු කියලා තියෙන්නේ නිවුස්වීක්, නැත්නම් නිව්යෝක් ටයිම්ස්....

http://www.nytimes.com/2010/08/16/business/global/16yuan.html?_r=1


7 comments:

Anonymous said...

එවුනාට අපිටනම් ඔය නිවුස් එකෙන් සතියක් විතර බඩ පුරවගන්න පුලුවන්නේ.

Anonymous said...

ගත යුත්තක් නැත.

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...

එවුනාට අපිටනම් ඔය නිවුස් එකෙන් සතියක් විතර බඩ පුරවගන්න පුලුවන්නේ.

===

කතාව ඇත්ත තමයි, සතියක් රෝල් කරගන්න හොඳ නිවුස් එක. ලබන සතියේ රෝල ගෙනියන්නේ මොන නිවුස් එකෙන්ද දන්නේ නෑ නේද?

NidahasAdahas said...

ඇයි ගෝතයෝ, තේරෙන්නෙ නැද්ද? අපි ටික දවසකින් චීන්නුන්ව පැරැද්දුවාම ලෝකෙ දෙවෙනි තැන අපි. අම්මපා, ඇමරිකාවත් පරද්දලා පළවෙනි තැනට එන්නත් පුලුවන් වේවි. එතකොට අපි ගායනා කරමු "ලෝකෙන් උතුම් රට ලංකා‍වයි..."

Anonymous said...

අඩෝ අපේ මහරජතුමා ලබන සතියටහත් අනිවා පට්ට ආතල් එකක් දෙනවා. එව්වා නවත්තලා කොහොමද රට දියුණු වෙන්නේ.

Kandula (කණ්ඩුල) said...

Anonymous said...

අඩෝ අපේ මහරජතුමා ලබන සතියටහත් අනිවා පට්ට ආතල් එකක් දෙනවා. එව්වා නවත්තලා කොහොමද රට දියුණු වෙන්නේ

======

ඇනෝනිමස් රිප්ලයි වලට ඉඩදී තිබෙන්නේ අදහස් ප්‍රකාශකිරීමේ අයිතියට ඉඩදීම සඳහාය. කරුණාකර "අඩෝ" වැනි නොගැලපෙන වචන භාවිතා නොකරන්න.

දුකා said...

mekath mare maru . . .. !