Thursday, August 12, 2010

"නීතියේ විස්වාසය තහවුරුකරන්න යයි නීතිඥ සංගමය අගවිනිසුරුගෙන් ඉල්ලයි! ": දෙයියෝ සාක්කි! අගවිනිසුරුගේ රස්සාව නීතියට අර්ථකථන සපයා නීතිය පිළිබඳ විස්වාසය තහවුරු කිරීම නොවේද?

Source : LankaeNews.com - 11/08/2010

ලංකාව නම් ආසියාවේ නෙමේ, මුළු ලෝකයේම ආස්චර්යය වෙලා ඉවරයි වගේය. ලංකාවේ ආණ්ඩුව නොකරන්නේම ආණ්ඩුකරන එකය. මුලු රටම වෙලාගෙන ජීවිත දෙතුන් සීයක් බිලිගන්න ඩෙංගු පාලනය කරන්නට මතක්වෙලා තියෙනේ දැන්ය. ඒකත් කරන්නේ ජනතාවට දඬුවම් දෙමින්ය. රජයේ කාර්යාලයකින් වැඩක් කරගන්නට දවස් ගණන් රස්තියාදු විය යුතුය. මිනිස්සුන්ගේ ප්‍රස්ණ ගොඩ ගැහිලාය. ඒත් ආණ්ඩුව කරන්නේ සංදර්ශණ, මාධ්‍ය මෙහෙයුම් හා ප්‍රදර්ශණ නඩු ඇසීම් (show trials) පමණකි.

පොලීසියත් එලෙසමය. විකිපීඩියා විශ්වකෝශය පොලීසියේ රාජකාරිය හඳුන්වාදීම ආරම්භකරන්නේ මෙලෙසිනි. The police are persons empowered to enforce the law. එන්ෆෝර්ස් (Enforce)යන වචනය මදුරගේ ඔන්ලයින් ශබ්දකෝශයේ අර්ථදක්වන්නේ බලගන්නවනවා යනුවෙනි.

ඒත් අපේ පොලිසිය කරන්නේ දෙස්පල්ලන්ගේ අනුග්‍රහය පිට නීති කැඩීමයි. බොරු චෝදනා ගොනුකරමින් මිනිසුන් අත්ඩංගුවට ගෙන රඳවා තබාගැනීම, අධිකරණයට බොරු වාර්තා ගොනුකිරීම තවත් රාජකාරිවේ. ට්‍රැෆික් පොලිස් රාලහාමිලා ලයිට් කනුවලට, ටෙලිෆෝන් පෙට්ටිවලට මුවාවී හැංගී රියැදුරන් වැරද්දක් කරනකම් බලාසිට, පාරට පැන වීරයන්සේ වාහන නවත්වන හැටි බලන්නටත් කැතය. පොලීසියේ රාජකාරිය නීතිය බලගැන්වීමයි. නීතිය කඩනකම් හැංගී බලාසිට අල්ලාගැනීම මට හිතෙන විධියට නීතිවිරෝධීය, කලයුත්තේ නීතිය කැඩීමට ඇති අවස්ථා අඩු කිරීමයි, එනම් පෙනෙන්නට සිට, රියදුරන් නීත්‍යානුකූලව රිය පැදවීමට බල කරවීමයි.

ඒත් බස්සා අල්ලාගන්නට බැරිව සිටින, ප්‍රගීත් තමන්වම අතුරුදහන් කරගත්තේ කොහාටදැයි හොයාගන්නට බැරිව ඉන්න පොලිස්පතිතුමාට ඕවා කියලා වැඩක් නැත. එතුමා ආපු ගමන් පැවැත්වූ ප්‍රවෘත්ති සාක්ච්ඡාවේදීම එතුමාගේ චින්තනය අපූරුවට පැහැදිලි කලානේ. මුලු රටම සුදුවෑන් භීතියෙන් වෙලී සිටියදී එතුමා බොහෝම සැහැල්ලුවෙන්, කඩේයන මාධ්‍යවේදීන් කුල්මත් කරමින් කියාසිටියේ "   මාත් මේ ඔය සුදුවෑන් එක හොය හොයයි ඉන්නේ..."   ඉතින් පොලීසිය ගැන කවර කතාද?

යාන්තමට හරි ඉතුරුවෙලා තිබුණේ අධිකරණය විතරය. සරත් නන්ද සිල්වා එය ඌරු කොටුවක් කල අතර අලුත් චිෆ් ජස්ටිස් තුමා ආපු අලුත එහෙට මෙහෙට එයා ෆ්‍රෙශ්නර් ටිකක් වීසිකොට ගඳ අඩුකරන්නට හැදුවා විතරය. දැන් එතුමත් ඒ ඌරු කොටුවේම ඉඳගෙන අගේට වැඩ ටික කරගෙන යනවාය. නැත්නම් බරපතල චෝදනා තියෙන විනිසුරුවරයෙකුට විරුද්ධව පියවර ගන්නට නීතිඥ සංගමයට කියන්නට වෙන්නේ නෑනෙ. චීෆ් ජස්ටිස්තුමා පත්තර බලනවානම් සිද්දිය දැනගෙන මොනවද ගත් ක්‍රියාමාර්ග කියලා සොයා බලන්නට තිබුනානෙ. එතුමා ඇස්-කන් පියාගෙන ඉන්නේ ස්ත්‍රී හිංසනය ව්‍යවස්තාවට හෝ රටේ නීතියට අනුකූල නිසාද? එතුමා බුදියාගෙන සිටීමෙන් කරන්නේ තවත් කාමාතුර ජජ්ලාට කාන්තා ජීවිත විනාසකරමින් තමනගේ පරපීඩක කාමාශාවන් ඉටුකරගැනීමට ඉඩ සැලසීමය. ජජ්ලාට පුලුවන්නම් ඒවාම කරන පොලිටික්කන්ට, පොලිස් හමුදා ලොක්කන්ට, ලෝයර්ලාට, ඔෆිස්වල ලොක්කන්ට විරුද්ධව නඩුදාන්න, තීන්දු දෙන්න පුලුවන්ද?

CJතුමා නින්දේ සිටින්නේ පරපීඩක විනිසුරුලා ගැන විතරක් නෙවේය. අද නීතිපති දෙපාර්තමේන්තුව කරන්නේ රාජපක්ශ පවුලේ සතුරන්ට නඩු පටලවන්න නඩු නිමිති හොයන එක හා ඒ නඩුවලට ඔනෑකරන සාක්කි නිශ්පාදනය කිරීම බව පැහැදිලිය. නීතිපති දෙපාර්තමේන්තුවෙන් කෙරෙන ඕනෑම නිර්දේශයක් ඔහේ පිලිගන්නට අද මුලු අධිකරණ පද්ධතියම සූදානම්ද බව පෙනේ. පොලිසියත් හරි හරියට සාක්කි නිශ්පාදනය කරමින් නීතිපති දෙපාර්තමේන්තුවත් සමග කරට කර වැඩේ කරගෙන යයි.

එතුමා මේවා ගැන සොයන්නේ බලන්නේ නැත්තේ කළගුණ සලකන්නට විය යුතුය. CJතුමා කළගුණ සලකන එකට විරුද්ධ වෙන්නට අපි මොක්කුද? එතුමාට තියෙන්නේ " අධිකරණයට අපහාස කරපු අර බ්ලොග් කාරයා අල්ලාගෙන වර! " කියලා නියෝගයක් දෙන්නටය. එතකොට පොලිස්පතිතුමා නින්දෙන් ඇහැරිලා, ටී.ආර්.සී ලොක්කාවත් ඇහැරවගෙන ISP පස්සේ පන්න පන්න බ්ලොග්කාරයින් හොයනු ඇත. ඔය අස්සේ ITNඑකේ වලං සෝදන්නන් මොකක් හෝ අසභ්‍ය දෙයක් ලියන බ්ලොග් එකක් හොයාගෙන ලැජ්ජා නැතුව ඒක පෙන්න පෙන්න, ජාතියේ සුජාතභාවය ආරක්ශා කරගැනීමට බ්ලොග් හැතිකරයම බෑන් කලයුතු බවට TRC ලොක්කාගේ අවධානයට යොමුකරනු ඇත.

ඒ නිසා CJතුමා එක්ක බලන කල නිකම්ම අපි නිකන් හුජ්ජ කොල්ලන්ය. එහෙත් බයේ වෙවුල වෙවුලා හරි, එකත්පස්ව හිඳගෙන බැගෑපත්ව මේ ටික කිවයුතුය.

"ස්වාමීනී, ඔබතුමාගේත්, මුලුමහත් අධිකරණ පද්ධතියේත් බලය රැඳී තිබෙන්නේ, එම බලය පිලිගන්නට, එයට කීකරුවන්නට මිනිසුන් සූදානම් වනතුරු පමණකි. අධිකරණ තීන්දුවලට හිස නොනැමීම ගැන, අධිකරණයට අපහාස කිරීම ගැන එකෙකු දෙන්නෙකු හිරේ දැමිය හැකිය. එහෙත් සියක් දෙසීයක්, දාහක්, පන්දාහක් හිරේ දැමිය හැකිද?

ඔබතුමාට මා මේ කියන්නට තටමන දේ වැටහෙනවා ඇත. අධිකරණ තීන්දුවලට ගරු නොකරන්නට මිනිසුන් තීරණයකලවිට ඔබතුමා නායකත්වය දෙන ඔය සිස්ටම් එකටම සිදුවන්නේ ෆේල් වන්නටය. System Failure එතරම් අමාරුනැත. අවශ්‍යවන්නේ බය නැති, ජනතාව පිලිගන්නා හොඳ නායකයෙකු පමණි. එහෙම නායකයෙකු පැමිණ, අපි මේ බ්ලොග්වල ලියන දේවල් ගමේ ගොඩේ නගරේ පොඩි මිනිහාට පැහැදිලිකරදී උන්ව නැකිට්ටුවා ගත්තොත් බොහෝ දේ සිද්දවන්නට පුලුවනි.

ඒනිසා ඉතා බැගෑපත්ව අයද සිටින්නේ යුක්තිය පසිඳලින ලෙසයි. මේ රටේ ජනතාව ඔබතුමාගෙන් බලාපොරොත්තු වන්නේ පොලිසිය දාන නඩු, නීතිපති දාන නඩු, පුරවැසියන් ඉදිරිපත් කරන පෙත්සම්, ඉල්ලීම්, රටේ නීතියට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට අනුකූලදැයි සොයා බලා සාධාරණය ඉශ්ඨකරන එකය. ඔබතුමා ඔය සියල්ලම රාජපක්ශලාට නැතිනම් මහින්ද චින්තනයට හෝ යාලුමිත්‍රාදීන්ට එකඟදැයි,අනුකූලදැයි බලා තීන්දු දෙන්න ගියහොත් සිදුවන්නේ මහජනතාව නීතිය අතටගෙන පොලිසියට ගසා පන්නා අධිකරණයට බම්බු ගහගන්නට කියලා තමන්ම නඩු විසඳන එකය. එවිට කුමක් කරන්නද? ප්‍රභාකරන් දියබරියෙක් වගේ කළපුවක මඩකාගෙන මැරෙයි කියලා කවුරුත් හිතපු නැති එකේ, මේව නොවෙතැයි විස්වාසයෙන් ඉන්නට නම් එපා."

>

2 comments:

ඇටමැස්සා said...

වැඩේ තියෙන්නෙ මේක කියවන්න ඔය හාදයට වෙලාවක් නැතිකමයි. කියෙව්වත් තේරුම්ගන්න විඥානයක් ඉතිරිවෙලා නැතිකමයි.
මොකද කිව්වත් වගේ අපි කලගුණ සලකන්නම උපන්ජාතියක්නෙ. කිඹුල කට අරිනකොට ඇස් වැහෙනව වගේ අපෙ උන් කලගුණ සලකන්න ගියාම මොළේ _කට බහිනවා.

charmi said...

මම නම් මේ වෙන දේවල් වලට කැමතියි. හොඳට නටනකොට තමා කාට කාටත් හොඳටම හෙලුව පේන්නෙ.
හැබැයි ඒකට තව කී දෙනෙක් බිලිවෙන්ඩ වෙයිද දන්නෙ නෑ.

(කමෙන්ට්ස් වල Word verification එකත් අයින් කරමුද?)