Monday, August 30, 2010

හකීම්ගේ ඛේදවාචකයෙන් හා විමල්ගේ අනාථභාවයෙන් කියැවෙන රාජපක්ශ චරිතයේ යතාර්ථය.

ජනාධිපති මහින්දට 3වාරයක් හෝ ඊට වැඩි ගාණක් බලයේ එල්ලී සිටිය හැකි ව්‍යවස්ථා සංශෝධනයට පක්ශව චන්දය දෙන්නට මුස්ලිම් කොන්ග්‍රසයේ විධායක සභාව තීරණය කොට ඇති බව පැවසේ. මු.කො නායක හකීම් මේ තීරණයට එළඹියේ කිසිසේත්ම කැමත්තකින් නොවන බව නම් පැහැදිලිය. කොන්ග්‍රසයේ කෑදර මන්ත්‍රීන් සතර දෙනෙකු ආණ්ඩුවට එක්වන ලෙස කලක සිට බලපෑම් කරමින් සිටියත් හකීම්ගේ විරෝධය නිසා එය වැලැකී ගියේය. එහෙත් කල්යල් බලා රජපක්ශයානෝ යලිත් තම පක්ශය දෙකට කඩන බව හොඳින් දැන සිටින හකීම්, පක්ශයේ විනාශය වලක්වා ගැනීමට වෙන කරන්නට දෙයක් නොමැතිනිසා මෙයට කැමති වුනු බව සිතිය හැකිය.

ඉතිහාසය ගත්කල මුස්ලිම් කොන්ග්‍රසය තරම් දෙකට තුනට කැඩී ගිය පක්ශයක් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ නැති තරම්ය. අශ්‍රොෆ්ගේ අකළ් මරණයෙන් වැඩිකල් නොගොස්ම අශ්‍රොෆ්ගේ බිරිඳ හා හකීම් අතර වුනු මත ගැටුම් ප්‍රයෝජනයට ගත් චන්ද්‍රිකා මු.කොන්ග්‍රසය දෙකට කඩා ෆෙරියල්ට වෙනම පක්ශයක්  අටවාගන්නට උදව් දී ඇයව ආණ්ඩුවට ගත්තාය. එදා සිට අද දක්වා මුස්ලිම් කොන්ග්‍රයෙන් හෝ අලියා ලකුණින් මු.කො ලයිස්තුවෙන් චන්දෙ ඉල්ලා වාසියට කෑදරකමේ ආන්ඩු පිලට පැනගත් මු.කො සාමාජිකයින් ගණන විශාලය.

පාර්ලිමේතුවේ 2/3 සරි කරගැනීම සඳහා ඕනෑම දෙකේ කොළයේ වැඩක් කිරීමට සූදානම් රාජපක්ශලා මු.කො කෑදර මන්ත්‍රී සතර දෙනාට ඇම දමා "පක්ශය කඩාගෙන හරි වරෙල්ලා" යනුවෙන් පාවඩ එළනවිට හකීම්ට සිදුවුනේ පක්ශය බේරාගනට කල යුතු දේ කරන්නටය. මිනිසුක් දුක්විඳ ගොඩනගාගත් පක්ශ කඩා බිඳ දමන්නට, මහජන මුදල් තමුන්ගේ සේප්පුවේ මුදල් මෙන් වීසි කරමින් ධන ලෝභී මන්ත්‍රීවරුන් කිසිදු සදාචාරයක් නොමැතිව බිලිබාගන්නටත් රාජපක්ශලා දෙවරක් සිතන්නේ නැත. රාජපක්ශ චින්තනය අනුව මෙරට සියලු දේශපාලකයින් හා දේශපාලන පක්ශ තිබෙන්නේ තමන්ට රිසිසේ කඩා බිඳදමමින් තම වරිගයා සදාකාලිකව රජකරවන්නට පාර කපාගන්නටය.

ඒ විතරක් නොවේ, ජොන්ස්ටන් ප්‍රනාන්දුලා වැනි සටකපටින් හට ලෝබ නැතුව ඇමතිධූර පුදකරන රාජපක්ශලා හකීම්ලා ඉල්ලු ඇමතිකම හෝ නියෝජ්‍ය ඇමතිකම නොදුන්නේ හකීම්ගේ බෙල්ල මුලටම තොන්ඩුව හිරවී ඇති බව සහසුද්දෙන්ම දන්න නිසාය. කිසිවක් නොදුන්නත් හකීම්ට තම දෙපතුල ලඟ දනගසා පක්ශය බේරා ගැනීම හැර වෙන විකල්පයක් නැතිබව දන්නා රාජපක්ශ හකීම්ගේ ඇමති පට්ට්ම් ඉල්ලීම ඉවත දැමුවේ ඕනෙනම් වරෙල්ල නැතිනම් මම මට ඕනෑ එවුන් ටික ගන්නවා යනුවෙන් කියමින් වන්නට ඇති. තමුන්ගේ දෙපා ලෙවකන්නවුන්ට වීරයන් ලෙස සැළකීමත් කශේරුකාවක් ප්‍රදර්ශණය කරන්නන් විනාශ කිරීමත් බලය ලැබුනු හීනමානිකයින් අතින් බොහෝවිට සිදුවන්නකි.

හකීම්ට සලකණ හැටි පැත්තකට දැමුවත්, තමන් වෙනුවෙන් උගුර ලේ රහවෙනකම් කෑගසමින්, කෝටිපහේ පගාව වැන රට හිනස්සන සංදර්ශන කරමින් නිරුවතින් කඩේ ගිය, මහින්ද වෙනුවෙන් යටින් අතදමා උණ්ඩුක පුච්චය වුවද එලියට ඇදගෙන කපාගන්නා විමල්ට අද සිදුවී ඇත්තේද කළගුණ නොදත් රාජපක්ශලා ඉදිරියේ අසරණ වීමටය. රාජපක්ශලා විමල්ට මේසේ කොනිත්තන්නේ ඇයි දැයි යමෙකුට ප්‍රශ්ණයක් වන්නට පුලුවන් වුනත් අපට එහි ගැටළුවක් නැත්තේ රාජපක්ශ චරිතයේ ඊර්ශ්‍යයාවද එක් මුල් ගලක් වන නිසාය. විමල් පසුගිය මහ චන්දයේදී අරගත් මනාප ගොඩ දෙස බැලූවිට මේ ඊර්ශ්‍යාවේ පදනම පැහැදිලිය. රාජපක්ශ චින්තනය අනුව රාජපක්ශලාවට වඩා ජනප්‍රිය පුද්ගලයින් සිටිය නොහැකිය. ඒ අනුව අති දැවැන්ත මනාප කන්දක් දිනාගත් තරුණ විමල් කොළඹ රටේදී, බෙලිඅත්තේ රාජපක්ශලාට වඩා ජනප්‍රිය බව අමුතුවෙන් කිවයුතු නැත. විමල්ට කිසිම වැඩක් කළ නොහැකි අමාත්‍යාංශයක් දී විමල්ගේ බල කේන්ද්‍රය පිහිටි කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට කිසියම් සේවාවක් කල හැකි නාගරික සංවර්ධන අධිකාරිය ගලවා රාජපක්ශ කෙනෙකුටම පවරා ඇත්තේ ඒ නිසාය. සැලසුම පැහැදිය. මින් ඉදිරියට ඇති ඕනෑම මැතිවරණයකදී විමල් යන්තම් ගොඩ එන්නට මනාප ගන්නවා මිස රාජපක්ශලාට අභියෝගයක් වන ලෙස මනාප නොගන්නවා ඇත.

මේ සිද්ධි දෙක පෙන්වන්නේත් රාජපක්ශ චරිතයේ ඇඟිලි සළකුණ වන් අනන්‍යවූ ලක්ශණයකි. රාජපක්ෂ වූ කලි මිනිසුන්ගෙන් වැඩ ගැනීමට සහ ඔවුන්ගේ චරිත ඝාතනය කිරීමට දක්ෂ පුද්ගලයෙකු මිස තමන් වෙනුවෙන් කැප වූ පුද්ගලයින්ට කළගුණ සැලකීමට දන්නා පුද්ගලයෙක් නොවේ. කළගුණ, විනය, සදාචාරය, සාදාරණය යන වචන  රාජපක්ෂ  ශබ්ද කෝෂයේ නැත.

එපමණක් නොව, රාජපක්ශලා හොරුන්ට මෙන්ම මිනීමරුවන්ටත් දක්වන්නේ මහත්වූ සහෘදත්වයකි. රාජපක්ශලාම මරන්නට කොටින් සමග හොර ගිවිසුම් ගසා සිටි බවට බුද්ධිඅංශවලින්ම චෝදනා එල්ලවුනු ජොන්ස්ටන්ට ඇමතිකමක් ලැබී හකීම්ට නොලැබෙන්නේ මේ නිසා වන්නට ඇත. සිය අනියම් බිරිය ඝාතනය කොට ජීවිතාන්තය දක්වා හිරදඬුවම් ලැබූ හිතවත් දේවාල කපුවෙකුට මහා කරුණාව දක්වා නිදහසදී, රට බේරාගත් ජෙනරාල් හිරේ දමා වෛරය සංනොසිඳුනු නිසා දැන් එල්ලන්නට පිඹුරුපත් සකස්කරන්නේත් එබැවිනි. දස දහස්ගණන් මිනිස් ජීවිත බිලිගන්නට ආයුධ එකතුකල කේ.පී රාජපක්ශලාගේ ගෙවල්වලට ගොස් තේ බී කරේ අතදාගෙන ඉන්නේත් "එක ජාතියේ කුරුල්ලන් එක අත්තක වහනවා" යන කියම සැබෑ නිසා දැයි විචාර බුද්ධියෙන් සිතිය යුතුය.

2 comments:

Anonymous said...

තමුන්ගේ දෙපා ලෙවකන්නවුන්ට වීරයන් ලෙස සැළකීමත් කශේරුකාවක් ප්‍රදර්ශණය කරන්නන් විනාශ කිරීමත් බලය ලැබුනු හීනමානිකයින් අතින් බොහෝවිට සිදුවන්නකි.

Great macho ..

SL said...

"ඒ විතරක් නොවේ, ජොන්ස්ටන් ප්‍රනාන්දුලා වැනි සටකපටින් හට ලෝබ නැතුව ඇමතිධූර පුදකරන රාජපක්ශලා හකීම්ලා ඉල්ලු ඇමතිකම හෝ නියෝජ්‍ය ඇමතිකම නොදුන්නේ හකීම්ගේ බෙල්ල මුලටම තොන්ඩුව හිරවී ඇති බව සහසුද්දෙන්ම දන්න නිසාය. කිසිවක් නොදුන්නත් හකීම්ට තම දෙපතුල ලඟ දනගසා පක්ශය බේරා ගැනීම හැර වෙන විකල්පයක් නැතිබව දන්නා රාජපක්ශ හකීම්ගේ ඇමති පට්ට්ම් ඉල්ලීම ඉවත දැමුවේ ඕනෙනම් වරෙල්ල නැතිනම් මම මට ඕනෑ එවුන් ටික ගන්නවා යනුවෙන් කියමින් වන්නට ඇති. තමුන්ගේ දෙපා ලෙවකන්නවුන්ට වීරයන් ලෙස සැළකීමත් කශේරුකාවක් ප්‍රදර්ශණය කරන්නන් විනාශ කිරීමත් බලය ලැබුනු හීනමානිකයින් අතින්
බොහෝවිට සිදුවන්නකි."

Feeling so sad about Hakeem? Who demanded the full pound of flesh from Chandrika earlier?