Tuesday, August 10, 2010

රනිල් / සජිත් : අසමත්කම් හා සමත්කම්

රනිල්

රනිල්ට නායකයාවී තවදුරත් සිටීමට ඇති නුසුදුසුකම් මොනවාද? එකදිගටම පැරදීම රෝග ලක්ශණය මිස රෝග නිධානය නොවන බව මගේ වැටහීමයි. මොනවාද රනිල්ගේ අසමත් කමේ රෝග නිධාන?

1/ රනිල්ට පෞරුශයක් නෑ,මාකට්කරන්න පුලුවන් පෙනුමක් නෑ - කාලයක සිට යූඇන්පී කාරයෝ පවා කියන කතාවකි.

යූඇන්පී නායකයින්ට පවා අමතකවුනත්, මේ කථාව මංගලගේ නිර්මාණයකි. එකල තරුණවූ චන්ද්‍රිකාගේ පිරිපුන් කාමුක දේහයට සමකරන විට අනාකර්ශණීය දේහ සෝබාවක් ඇති රනිල්ට බනින්නට දේවල්වල වූ හිඟය නිසාම ප්‍රචලිත කරනලද්දකි. මේ කතාව විස්වාස කරන යූඇන්පී මෝඩයින් ශ්‍රිලනිපයේ පතාක යෝධයාවුනු SWRDගේ රූපසෝභාව පිංතුරයක් දෙස බලාහෝ සිතට ගන්න. කෙට්ටු සිරුරකින් හා මිනීඔලුවක් මෙන් තට්ට හිසකින්ද යුක්තවුනු SWRD දමාගෙන සිටි රවුම් බෝතල් අඩි උපැස් යුවලත් සලකන විට, රෙදි නැතුව කඩේයන්නට ජාතික රූපවාහිනිය හා අයිටීඑන් නොතිබුනු 1956දී ශ්‍රිලංකා කාරයෝ මූව කොහොම මාකට් කලාදැයි සිතාබැලිය යුතුය, නැත්නම් කථානායකතුමාවගේ පනස් හයේ අංකල් කෙනෙකුගෙන් අසා දැනගත යුතුය.

දේශපාලන නායකත්වයට බාහිරපෙනුම වැදගත්වනුයේ වෙන දෙයක් නැත්නම් පමණකි. චන්ද්‍රිකාට විශාලවශයෙන්ද, හයයි-හතරේ පොරක් වුනු මහින්දට අඩුවශයෙන්ද මෙය අවශ්‍යය විය. බාහිර පෙනුම වැදගත්නම් ජේආර්ලාට ප්‍රේමදාසලාට මෙන්ම SWRDටත් කිසිදිනක මේ රටේ නායකත්වයට පත්වීමට නොහැකිවනු ඇත.

2/ රනිල් බටහිර ගැත්තෙකි, රට පාවාදෙන්නෙකි යන මතය රටට කාවැදී තිබීම

ඔවු පෙනුමින් එසේය. හොඳින් ඉංග්‍රීසි හැසිරවීමත්, යුරෝපීය ඇඳුම් කට්ටලයත් සුද්දන් සමග ගනුදෙනු කිරීමේ අපූර්ව හැකියාවත් නිසා මෙරට බොහෝ දෙන එසේ සිතනවා ඇත. එහෙත් ලේඛකයාගේ මතය අනුව, මහින්දගේ ආණ්ඩුවේ ඉන්නා ග්‍රීන් කාඩ් දේශප්‍රේමින්හට වඩා රනිල් මේ රටට ආදරේය. මෙහෙන් හූරගෙන ඇමරිකාවේ, එංගලන්තයේ බැංකුගිණුම් පුරවන්නට රනිල්ට අවශ්‍යතාවයක් නැතිවුනත් රාජපක්ශ රජයේ හැම එකෙක්ම ඔය තක්කඩි වැඩේ කරනවාය. එසේ කරමින් ඔවුන් රනිල්ට දේශද්‍රෝහී ලේබලය අලවනවාය. රට පාවා දෙන්නෑ හමුදුරුවනේ කියමින් පපුවට ගහගන්නා මහින්ද ඉන්දියාවටත්, චීනයටත් අයි එම් එෆ් එකටත්, ඩොලර් බැඳුම්කර (dollar bonds) හරහා සුද්දන්ගේ බැංකුවලටත් මේ රට උකස්කරමින් ඉන්නා බව තේරුම් ගන්නට මේ රටේ මිනිසුන් හට නොහැකි වන්නේ රනිල්ගේ අවාසනාවට නම් නොවේ.

රනිල් රට පාවාදෙන්නෙකු යන මතය කාවැදී ඇති නිසා රනිල් දිනවීම අපහසු යයි කියන්නේ රනිල් ප්‍රොමෝට් කිරීම බාරගෙන ඒ වැඩය හරියට කිරීමට අසමත්වුනු  UNP දෙවෙනිපෙල නායකයින්ය.

මෙය බොරුවක් බවට හොඳ උදාහරණයක් ඇත. චන්ද්‍රිකා බලයට පත්ව 1995 කොටි සමග සාම සාකඡ්චා ඇරඹූ අලුත "මගේ ජීවිතයට බලවත්ම තර්ජනය ඇත්තේ ප්‍රභාකරන්ගෙන් නොව, මගේම යුධ හමුදාවෙනි" යනුවෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශකලාය. එහෙව් චන්ද්‍රිකා 2000 ජනපතිවරණයේදී එස් බී හා මංගල එක්ව ජාතිය ගලවාගැනීමේ මාතාව, කොටි සමග යුධ වදින නිර්භීත සේනාධියායිකාව බවට පත්කලේ කෙසේද? ඒ කෙසේද යත්, මංගල හා එස්.බී ජනවිඥානය හඳුනාගෙන සිටිනිසාත්, චන්ද්‍රිකා කල හැකි සියල්ලම කොට තමා දිනවීමේ පූර්ණ බලය ඔවුන් දෙදෙනාට පවරාතිබීමත් නිසාය. රනිල් ඔතන සිටියානම් එකත් එකටම කරන්නේ මංගල හා එස්.බී තමාට තර්ජනයක් යයි සිතා කාගේ හෝ ලනුවක් කා වැඩ බැරි නරියෙකුට බලය පවරා ඉල්ලාගෙන කෑමයි.

ලේඛකයාගේ විස්වාසය අනුව රනිල්ට දිනන්නට පමණක් නොව සිය පක්ශය පවා එකමුතුව තබාගෙන මිනිසුන්ගෙන් වැඩගන්නට නොහැකිවී ඇත්තේ රනිල් රට පාවාදෙන්නෙකු යන මතය නිසා හෝ හයයි-හතරේ පුරුසයෙක් නොවන නිසා නොව ඔහුතුල නායකයෙකු සතුවියයුතු මහඟු ගුණාංග නොමැති නිසාය.

මොනවද මේ රනිල්ට නැති නායකත්ව ගුණාංග?

a) සුදුසු දෙයට සුදුස්සන් සොයාගෙන බලය පැවරීමටත්, වැඩ ගැනීමටත් ඇති නොහැකියාව.

මෙය මහින්දට මෙන්ම චන්ද්‍රිකාටද ඉතා ඉහලින්ම තිබෙන ගුණාංගයකි. ලේඛකයාගේ ජනප්‍රිය උදාහරණ වන්නේ චන්ද්‍රිකා එස්.බී හා මංගලගෙන් ගත් ප්‍රයෝජනත් මහින්ද කෙහෙලිය රඹුක්වැල්ලගෙන් ගන්නා ලබාගත් සේවාවත්ය. යූඇන්පී යේ ඉන්නාවිට එතරම් වගකීමක් පවරා නොතුබුනු කෙහෙලිය රඹුක්වැල්ලගේ සන්නිවේදන හැකියාව, අදහසක් ඉතා නිරවුල්ව, අසන්නාට සත්‍යයයි හැඟෙන පරිදි ප්‍රකාශකිරීමේ හැකියාව මහින්ද ඉතා ඉක්මණින් තේරුම්ගෙන ඔහුට වගකීම පැවරුවේය. රෙදි අපුල්ලන කතා කොතරම් හැදුවත්, රඹුක්වැල්ල තමාට පැවරුණු ඒ දුශ්කර වගකීම ඉතා විශිෂ්ඨලෙස ඉටුකලේය. ගෝඨාභය හා සරත් ෆොන්සේකා මහින්දගේ තවත් විශිෂ්ඨ සොයාගැනීම්ය.

රනිල්ට රඹුක්වැල්ලගේ මේ හැකියාවෙන් වැඩක් ගෙන එජාප මතවාදය ජනතාව වෙත ගෙනයන්නට නොහැකිවිය. සරත් ෆොන්සේකා මෙන්ම ගොඨාභයත් ඉලක්කයටම විදින දක්ශ වැඩකාරයින් බව තේරුම් ගැනීමටද රනිල් අසමත්විය. අනාගත්තේ එබැවිනි. එය බරපතල අසමත් කමකි.

b) සතුරා මිතුරා හඳුනා ගැනීමේ ඉව නැතිකම.

රනිල්ට මේ ඉව නැත්තටම නැත්තේය. නායකයෙකු වූ විට, මිනිහෙක් හැරෙනකොට හැරෙන්නේ මොකකටදැයි කිව හැකි ඥානය/ඉව තිබිය යුතුමය. ඒ විතරක්ම නොවේ, සියල්ලන් ගැනම තමාවෙත නිරන්තරයෙන්ම නිවැරදි තොරතුරු ගලාඑන තොරතුරු ජාලයක්ද ඇතිකරගැනීමේ හැකියාව තිබිය යුතුය. ගලාඑන තොරතුරුත් සහජ ඉවත් මුසුකල විට අඩුමගණනේ 90% අවස්ථාවලදී තමා අසලින්ම සිටින මිනිසුන් සැරසෙන්නේ කුමකටද යන්න මෙන්ම ලංකරගතයුතු මිනිසුන් ගැනද, දුරින් තබාගත යුත්තේ කවුරුන්ද යන්න නිවැරදිව තක්සේරු කරගත හැකිය. රනිල් හැමදෑම ලංකරගන්නේ එක්කෝ වැඩ බැරි එවුන්ය, නැත්නම් වැඩ අනාගන්නා එවුන්ය නැතහොත් ආත්මාර්ථකාමි තක්කඩින්මය.

නැතිකරගන්නේ හොඳ මිනිසුන්ය. රංගේ බන්ඩාර එක් හොඳ උදාහරණයකි. පක්ශය වෙනුවෙන් සියල්ලම නැතිකරගත් ඒ මිනිහාට කළගුණ සලකන්නට, කුඩා දරු දෙදෙනෙක් හා තරුණ බිරියක් සිටින ඒ මිනිහාගේ දුක සැප නිතර බලා කලයුතු උපකාර නොවලහා කරන්නට බැරි එකා නායකයෙක් නොවේ. මිනිසුන් නැතිකරගන්නා වාතයෙකි. රනිල් මේ ආකාරයටම ජෙනරාල් සරත් ෆොන්සේකා පමණක් නොව එස්.බී දිසානායකද පාවාදුන්නේය. ඉතින් රනිල්ට දිනන්නට බැරි එක අරුමයක්ද? යූ ඇන් පීයේ වැඩකාරයින් බොහොමයක් රනිල්ගේ මිනිසුන් නිවැරදිව හඳුනාගැනීමට බැරි දුර්වලකම මෙන්ම දක්ශයින් පාවාදෙන ජඩ ගතියද දන්නෝය. ඔවුන් කර අරින්නේ එබැවිනි.

c) ජන විඥානය එනම් මිනිසුන් සිතන පතන ආකාරය තේරුම් ගැනීමේ හා එයට ක්ශණිකව ප්‍රතිචාර දැක්විය හැකි නම්‍යතාවය නොමැතිකම.

රනිල්ට මේ හැකියාවත් නැත්තටම නැතැයි සිතිය හැකිය. රනිල් බඩුමිල ගැන කතාකරන්නේ මිනිසුන් කෙසේ හෝ යුද්ධය ඉවරකර සිටිය යුතුයයි සිතන අවස්ථාවකය. රනිල් යුද්ධය ගැන කතාකලේ ජනතාව අසන්නට ආශාකරන ජයග්‍රාහී මානසිකත්වයකින් නොවේ, "ඔක හරියන්නේ නෑ" යන පරාජිත මානසිකත්වයෙනි. ශ්‍රී ලංකකාරයින්ගේ දරුවන් පමණක් නොව දුප්පත් යුඇන්පී කාරයින්ගේ දරුවන්ද යුධබිමේ යුධ වැදී සිටින බව තේරුම්ගන්නටත්, ඒ දරුවන්ගේ ජයග්‍රහණ අවතක්සේරු කිරීමෙන් එවැනි පාක්ශිකයින්ද නැතිවන බවත් තේරුම් ගැනීමට තරම් ජන විඥානයක් රනිල්ට නොතිබුනේය.

රනිල් ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ගැන දොඩවන්නේ මිනිස්සුන් ඒ කෙහෙල්මල් නොව, හම්බෙන ගානට මාසය ජීවත්වෙන්නේ කෙසේදැයි සිතමින් කල්ගෙවන මොහොතකය. මේ නොදැනීමට හේතුව ගමේ පංසල්වල හාමුදුරුවරු, පොඩි පල්ලිවල පූජකවරු, බිම් මට්ටමේ එජාප නායකයින්, ක්‍රියාකාරින් සමග කිසිදු සංවාදයක් නොතිබීමය. රෝයල් කොලීජියේ නාකි ඕල්ඩ් බෝයිස්ලා හා කොළඹ බිස්නස් කැප්ටන්ලා සෙට් එක සමග සම්භාශණවල යෙදී පිටරට කොන්ෆරන්ස් වල දේශන කරමින් ජනවිඥානය පහලකරගන්නට නොහැකිය. ඒකට ගමේ මිනිහා ආශ්‍රය කල යුතුය නැත්නම් ගමේ මිනිසුන් ආශ්‍රය කරන බිම්මට්ටමමේ නායකයින් සමග නිරන්තර සංවාදයක් තිබිය යුතුය. රටවටෙන්ම නිරන්තරව නිවැරදි තොරතුරු ගලාඑන බුද්ධි තොරතුරු ජාලයක් තිබිය යුතුය. රනිල්ට මේවා නැත්තටම නැත, නැතිබව දන්නේද නැත, ඇත්තේ ලනුදෙන්නන් පමණකි.

විඥානය තිබිලාද මදිය, එය දේශපාලන වාසියක් කරගැනීමටනම් එයට ක්ශණිකව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව, නිවැරදිව ජනතාව තේරුම්ගත් බව ජනතාවට ඇඟවීමේ මාර්ග තිබිය යුතුය. ඒකට කේම්බ්‍රිජ් ටෙරස් එකේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා හරියන්නේ නැත, මොකද ඔය ප්‍රෙස් කොන්ෆරන්ස් වල කියන කතාවලින් 90%කම රජයට කඩේයන මාධ්‍ය, ඒකියන්නේ ලංකාවේ සියලුම ඉලෙක්ට්‍රොනික හා මුද්‍රිත මාධ්‍ය (eNews, LNW, රාවය, ඉරුරැස හා ලංකා හැරුනකොට) වාරණය කරන නිසාය.

සජිත්

සජිත්ට චෝදනා ගොඩකි. ඒ චෝදනා රනිල් හිතවාදීන් හා ආණ්ඩුව සමග රෑ දනියෙල් ගේමක් ගහන හොර යූ ඇන් පී කාරයන්ගේ චෝදනා යයි නොකියා මේ චෝදනාවල ඇත්ත නැත්ත හැකිතාක් සොයා බලමු.

1/ සජිත් භික්ශූන්වහන්සේලා ආශ්‍රය නොකරයි, බෞද්ධයෙකුද යන්නත් ශුවර් නැත.

සජිත් ඉන්න තරමක් ඉන්නේ හම්බන්තොට සිය චන්ද කොට්ඨාශයේය. චෝදනාකරන්නවුන් ඉන්නේ කොළඹය. සජිත් කොළඹ පංසල් හා අසපුවලට නොයනවා වෙන්නට පුලුවන්ය. සිය බලප්‍රදේශයේ දුප්පතුන් හට විශාල සේවාවල් කරන සජිත්, ඒ පලාත්වල දුප්පත් මිනිස්සුන්ට උපකාරකරනවා වගේම ඒ පලාත්වල දුප්පත් පංසල්වලට උපකාර නොකරනවා, ඒ භික්ශූන්වහන්සේ ආශ්‍රය නොකරනවා යයි කිව හැක්කේ කාටද? මේ කථා කියන කොළඹ හතේ යූඇන්පීකාරයන් යූඇන්පීයට තිබුණු එකම පංසල, එනම් ගංගාරාමයේ පංසලත් නැතිකරගත් නිවට රැලකි. ඒ විතරක් නොවේ, සජිත්ගේ චැලෙන්ජර් වුනු රවී මහත්තයා සැදැහැවත් කිතුනුවෙකි.

2/ හම්බන්තොට කෙරුම් කරනවා වාගේ රටක් පාලනය කල නොහැක.

ඇත්තය. ඒත් ගැමුණු කුමාරයා රටගොඩ නංවන්නට බේසික් ට්‍රේනින් එක ගත්තේ නාමල් කුමාරයා වගේ රජවාසලේ කේවට්ටයින්ගෙන් නොව කොත්මලේ පැත්තේ ඌරුපැලැස්සේ ගොයි මහත්තයෙකුගේ කුඹුරේ වැඩකරමින් බව, ඔය සජිත්ට චෝදනාකරන කට්ටිය ගෙන්ම කවුරුහරි ඇහුවොත් ඔවුන් කියාදෙනු ඇත. මිනිස්සුන්ගේ ප්‍රශ්න තේරුම්ගෙන ගමක් හදන්නට ට්‍රේනින් එකක් නැති එකා ලොකුපුටුවට කඩාවැටුනුවිට රටක් හදන්නේ කෙසේ /ද? විජය මැරුණාට පසු ලන්ඩන් වල ශොපිං කරකර හිටපු චන්ද්‍රිකා ජනපති පුටුවට කඩාපාත්වී මේ රට අනපු ඇනිල්ලෙන්ම බේසික් ට්‍රේනින් එකේ වැදගත්කම තේරෙනවාය. අනිත් එක ගමහදා රට හදමු සංකල්පය නිර්මාණයකොට ක්‍රියාත්මක කලේ වෙනකවුරුවත් නොව සජිත්ගේ තාත්තාය, කුහක නොවී සිතනවානම් මේ රටට ඒතරම් වැඩකරපු මිනිහෙක් වෙන ඉන්නවාදැයි සැකය. මේ ඒ තත්තාගේ පුතාය. තාත්තාගේ රාජධානිය වුනු මැදකොළඹ අතහැර හම්බන්තොටට ආවේ තමන්ගේම ගමනක් යන්නටය. එවැනි ආත්මශක්තියක් ඇති මිනිහෙක් පක්ශයක නායකත්වයට සුදුසු නැතැයි කියන්නේ යූඇන්පිය සැමදා විපක්ශයේ තබාගැනීමෙන් වාසි ලබාගන්නා කුහකයින්මය.

තවද, හම්බන්තොට ගමේ කෙල්ලන්ට මහන මැසින් අරන්දෙන්නට, මොන්ටිසෝරි හදන්නට ලෝකෙවටේ පෝසතුන්ගෙන් සල්ලි එකතුකරගන්නට ට්‍රේනින් එකක් ඇති සජිත්ට ජනපති වුන විට අයි.එම්.එෆ් වැනි සංවර්ධන ආයතන සමග රටට වාසිදායක ගනුදෙනුවක් කරගන්නට බැරිවෙනවා යයි කියන්නේ කෙසේද? සජිත්ට කිසිවෙකුත් හෙල්පින් හම්බන්තොට පනනයේ චෝදනාවක් තවමත් නොකරන නිසා ඔය හම්බුවෙන ආධාර ඇත්තටම මැශින් වලට වියදම් වෙනවායයි සිතන්නටද පුලුවන්. එහෙව් මිනිහෙක් රටබාරගත්විට හොරකම් නැතිවීම කෙසේවෙතත් අඩුවීමට හැකියයි සිතිය හැක. ඒ අනුව, හම්බන්තොට කෙරුවාව නුසුදුසුකමක් නොව, මහත්වු සුදුසුකමකි.

3/ සජිත් පාර්ලිමේතුවේ අසන ප්‍රස්න හිනායනවාය, ජාතික වැදගත් කමකින් යුතු ප්‍රස්නයක් අසන්නේම නැත.

ජාතික වැදගත්කමකින් යුතු ප්‍රස්න නාසන බව ඇත්තය. එහෙත් කිවයුත්තක් තිබේ. නායකයෙකු වෙන්නට බලාසිටින කෙනෙකු ප්‍රථමයෙන් පුහුණුවිය යුත්තේ හොඳ අනුගාමිකයෙකු, පසුපෙල සාමාජිකයෙකු වීමටය. ජාතික ප්‍රස්න අසන්නට පක්සනායකයා, උපනායකයා, සංවිධායකයා හා තව ජ්‍යේෂ්ඨයෝ බුරුත්තක් සිටියදී සජිත් තම චන්දදායකයාගේ ප්‍රශ්ණවිමසමින් පසුපෙල භූමිකාව හොඳින් සිදුකරයි.

අනිත් එක ඔය ඉන්නා ජ්‍යේෂ්ඨයින් කීයෙන් කීදෙනකුට තම චන්ද කොට්ඨාශයේ කැඩුනු පාරක නමක්, බිඳීගිය අමුණක්, වැව්තාවුල්ලක නමක් කියන්නට හැකිද? තම චන්ද කොට්ඨාශයේ චන්දදායකයින් යන පාරක තත්වය, වැවක, අමුණක තත්වය නොදන්නා එකා රටක නායකයෙකු වුනුවිට, මුලු රටකම ප්‍රස්ණ හිසමත පැටවුනු විට මොනතරම් අන්දමන්දයෙකු වේ දැයි හිතාගත හැකිද?

යූඇන්පියට නැත්තේම ගමේ මිනිහා තේරුම්ගන්නට ඇති හැකියාවයි. මේ රටේ ආණ්ඩු හදන්නේත් පෙරලන්නේත් කොළඹ මධ්‍යම පාංතිකයා නොව ගමේ මිනිහායි. ගමේ මිනිහාගේ සිතුම් පැතුම්, ප්‍රස්ණ හඳුනාගත් නායකයා බාගෙට දිනලා ඉවරය. සජිත් මහත්තයා හම්බන්තොට දුප්පත් ගම්මානවල මිනිස්සුන්ගේ ප්‍රස්ණ පාර්ලිමේන්තුවට ගෙනාවා වාගේ, කිසිම දේශපාලන බලයක් නැතුව, පිනට ලැබෙන ආධාර වලින් දුප්පත් මිනිස්සුන්ට උදව් කලාවගේම ජනාධිපති වුනාම දුප්පත් අපේ වී ටික මුදලාලිලා කුණුකොල්ලෙට උදුරාගන්න එක, ගමේ දරුවන්නේ ඉස්කෝලේ ගුරුවරු නැති, පහසුකම් නැති ප්‍රස්නේ, ගමට යන්නට පාරක් නැති ප්‍රස්නේ විසඳලා දෙයි කියලා ගමේ මිනිහාට විතරක් නෙමෙයි, පේමන්ට් එකේ බඩු විකුනන මිනිහාටත්, වතු කම්කරුවාටත්, අන්ධ රාජපාක්ශික නොවන රජයේ සේවකයාටත් හිතෙන්නට පුලුවන. එහෙම නොහිතෙන්නට විදියක් නැත. ඇඟ හිරිවට්ටගෙන ප්‍රස්න අමතක කරගන්නට යුද්ධෙකුත් නැති නිසා දුප්පතාට වැඩකල R ප්‍රේමදාසගේ පුතා ගැන විස්වාසය වැඩිවෙන්නට පුලුවන.

හැබැයි චෝදනා තාර්කික නොවන බව ඔප්පුවුනා කියා සජිත් සාර්ථක නායකයෙකු වෙනබවට කිසිම සහතිකයක් නැත. ඇතිකර ගත හැක්කේ බලපොරොත්තුවකි. සාර්ථක නායකයෙකු වන්නට කලින් විස්තරකල නායකත්ව ගුණාංග තුන තිබිය යුතුමය. සජිත්ගේ ඒ ගුණාංග විශ්ලේශණය කරන්නට කල් තවම වැඩිය. කොහොම වුනත් ටයි කෝට් රවීට වඩා සජිත්ට සුදුසුකම් තිබෙනවාය. ඒ කියන්නේ රවීට භූමිකාවක් නොතිබෙනවා යන්න නොවේ. රටේ කර්මාන්ත දියුණුකිරීමට, විදෙස් ආයෝජන වැඩිකර ගැනීමට , ආර්ථිකය කළමණාකරණය කරගැනීමට රවීගේ ආර්ථික දැනුමත් ව්‍යාපාරික ඥානයත් ඉතා වැදගත් වනු ඇත, හැබැයි චන්ද දිනන්නට ගම හඳුනන, ගමේ මිනිහාට විස්වාසයක් ඇති මිනිහෙක් නායකයා විය යුතුය.

රවී පාර්ලිමේන්තුවේ නගන ආර්ථික ප්‍රශ්ණ පොඩි මිනිහාට තේරෙන්නේ නැත. ගමේ ඥානවතී දන්නේ එළවලු කොටුවේ එළවලු පොලට ගෙනියන්නට පාරක් නැති විත්තිය විතරය. ඒක හදලා දෙන්නට පුලුවන් යයි සිතන එකාට ඇයගේ හා පවුලේ ඡන්දය හිමිවේ. සෝමදාසට ඕනෑ සහතික මිලට වී ටික ඉක්මණට විකුණාගන්නටය, ඊළඟ කන්නෙට පෝර ටික, බිත්තර වී ටික නියමිත වෙලාවටය, කුඹුරට වතුර එන අමුණ, ඇනිකට් එක කැඩිලා නම් ඒක හදාගන්නටය. ඩොලර් බැඳුම්කරවලට ආණ්ඩුව ගෙවන පොලිය කීයද යන්න සෝමදාසට වැඩක් නැත. රටට වැදගත්ය ඒත් චන්ද ගන්නට බැරිය. රට හදන්නට නම් චන්දය දිනාගෙන සිටිය යුතුය. හරි හමන් නායකයෙක් ඕනෑ චන්දය දිනාගන්නටය.

2 comments:

Isuru said...

GOod post! 100% agreed

Muzain86 said...

Absolutely Correct