Monday, August 9, 2010

හිට්ලර් ස්ටැලින් ගිවිසුම හා රාජපක්ශ කේ.පී ගිවිසුම.

හිට්ලර්ගේ කොමියුනිස්ට් විරෝධය හා සිංහල නට්සීන්ගේ කොටි විරෝධය

හිට්ලර් යනු උග්‍ර කොමියුනිස්ට් විරෝධියෙකි. ස්ටැලින් සෝවියට් රුසියාවේ අසහාය නායකයා මෙන්ම කොමියුනිස්ට්වාදයේ ලොකු තාත්තාද විය. රාජපක්ශලා උග්‍ර කොටි විරෝධීන් මෙන්ම කොටි වනසා රට බේරාගත් විරුවන්ද වෙයි (මෙය කිසිදු සැකයක් නැති සත්‍යයකි). 



සිංහල සෙබලුන්ගේ සිරුරු විනිවිද ගිය හැම වෙඩි උණ්ඩයකම කේ.පීගේ නම සටහන්වී තිබුණ අතර ඔහු පිරබාහරන්ගේ හොඳම ගෝලයා, යාලු මනමාලයා මෙන්ම ඔහු මියගිය පසු කොටි ධජය දෑතටගත් කොටි නායකයාද වෙයි.

හිට්ලර්ගේ කොමියුනිස්ට් විරෝධය කොතරම්ද යත් හිට්ලර්ට බලය අල්ලා ගැනීමටත්, නැවත සන්නද්ධ වීමටත් උපකාර කලේ හෙන්රි ෆෝඩ් වැනි දැවැන්ත ඇමරිකන් කර්මාන්තකරුවන්, එවක ලෝක තෙල් වෙළඳාම පාලනය කල රොකෆෙලර්ලා මෙන්ම  යුදෙව් සම්භවයක් ඇති ඇමරිකන් බැංකු හා මූල්‍ය රජවරුන් වුනු සුප්‍රකට/කුප්‍රකට (දැක්ම අනුව) රොත්ස්චයිල්ඩ් පවුල වැනි කොමියුනිස්ට්කාරයින් සිය පරම සතුරන් ලෙස දුටු ධනවාදීන්ය.

"මයින් කෙම්ප්ෆ්" හෙවත් "මගේ වෑයම" යනුවෙන් හිට්ලර් ලියූ පොතට අනුව ජර්මනියේ සියලු ප්‍රශ්ණ හා පසුබෑම් වලට මුල්වුනේ එවක ඒ සමාජයේ මුල්බැසගෙන සිටි ධනවත් යුදෙව්වන්ය. හිට්ලර් ජර්මන් ජනතාවට කියා සිටියේ මේ යුදෙව් ගැටලුවෙන් ජර්මනිය මුදවාගැනීමටනම් යුදෙව්වන් පන්නාදමා ජර්මනියේ ආර්ථික, කාර්මික, විද්‍යාතාක්ශණ, ලලිතකලා හා සාහිත්‍යකලා ආදී සියලුම සමාජ පදනම් වල මුලු පාලනය ආර්ය-ජර්මැනිකයින් හට ලබාගතයුතු බවයි.

මෙලෙස යුදෙව් විරෝධය නට්සීන් සිය දේශපාලන න්‍යායේ මුදුන්මුල බවට පත්කරගෙන සිටියත් කොමියුනිස්ට්වරුන් හට ඇති බිය නිසාම අමෙරිකාවේ හා යුරෝපයේ ධන කුවේර කර්මාන්තකරුවන් හා බැංකුකරුවන්-යුදෙව්වන් පවා යුදෙව් විරෝධී හිට්ලර්ට අතදුන්නේ ඔහු ඊටත් වඩා කොමියුනිස්ට්වාදයේ සතුරෙකු බවට වුනු විස්වාසය නිසාමය. එවක යුරෝපය පුරාවට නපුරු පිළිකාවක් මෙන් වේගයෙන් පැතිර යමින් සිටි (රුසියාව විසින් ඉතා උනන්දුවෙන් පතුරවමින් සිටි) කොමියුනිස්ට් විප්ලව ආපසු හැරවීමට අන්ත දක්ශිණාංශික නට්සීන් හැකිවේයයි ඔවුන් බලාපොරොත්තු වුනා.

දැන් දැන් මතුවන රජපස භීතිකාව

ලේඛකයාට සිතෙන අන්දමට ලංකාවේ තත්වයත්  1930 ගණන්වල ජර්මනියේ තත්වයට යම් දුරකට සමානය. රාජපක්ශලාගේ ඒකාධිපතිවාදයට හා පවුල්වාදයට වඩා පිරබාහරන්ගේ මිනිස් බෝම්බයට බියවුනු ජනී ජනයා, සියලු අයිතිවාසිකම් රාජපක්ශ නට්සි රෙජිමයට පාවාදුන්නේ පිරබාහරන් හා උගේ කොටි නඩය වනසනවානම් රාජපක්ශලා වෙන මොනවාකරත් කමක් නෑ කියමිනි. එතකින් නොනැවතුනු ඔවුන් "මුන් පොඩ්ඩක්වත් ශුවර් එවුන් නෙමේ" යයි කියු අපවැන්නවුන්ට දේශද්‍රෝහී කොටි ලේබල් අලවමින්, දේශපාලන වේදිකා, රූපවාහිනී සාකච්චා මණ්ඩප, පත්තර පිටු හා තාප්ප දෙවනත් කලහ.

හිට්ලර්, යුදෙව්වන් හරකුන් මෙන් කෝච්චිවල පටවා වහල් වැඩ කඳවුරු වලට පටවන්නට ගත්විට කෑදර ඇමරිකන්/යුරෝපීය ධනපති යුදෙව්වන්ට ඇහැරුනාසේම;

පිරබාහරන් නසන්නට දුන් බලය පාවිච්චි කරමින් ෆොන්සේකා හිර කරන විට, සංඝ සමුලු තග දමා නවත්වන විට, මන්දිරේ පාටි වලදී බලෙන්ම රාජපක්ශලා සමග තොඳොල් වෙවී, "අපි හරි ක්ලෝස්" කියලා ශෝ දමමින් සිටි සංගීතාගේ සියතට ගිණි වදිනවිට, රාජපක්ශලාට කොටි නසන්නට සියල්ල දොලදිය යුතු බවට මොරදුන් සඟ වෙද ගොවි ගුරු කම්කරු බිස්නස්කාරයෝ කලාකාරයෝ මාද්දියවේදියෝ වෘත්තීය සමිතිකාරයෝ හා කොලිෆයිඩ් ප්‍රොෆෙශනල් පොරවල් යන දශමහා බලවේග තක්කු මුක්කු වී සිටින බව පෙනේ.

අගෝස්තු 8වැනි දින ඉරිදා දිවයිනේ "ගස් බැඳිය යුත්තේ ඇමතිවරුන්වයි...." යනුවෙන් රනිල් වික්‍රමසිංහ කල ප්‍රකාශයක් මුල් පිටුවේ හෙඩ්ලයිනය ලෙස පලකරන්නට දිවයින කාරයාට සිතුනේ රාජපක්ශ භීතිකාව සැබැවින්ම දැන් දැන් ඇටමිදුලු වලටම දැනෙන නිසා වන්නට ඇත. සැමදා ගහලයෙකු ලෙස හා නිවටයෙකු ලෙස රනිල්ට සැලකූ දිවයිනට රනිල් කියූ ඒ නොවැදගත් ප්‍රකාශය "හෙඩ්-ලයින් මැටීරියල්" ලෙස පෙනෙනට ඇත්තේ එබැවිනි.

හිට්ලර් ස්ටැලින් ගිවිසුම හා කේ.පී ගණුදෙනුව

ජර්මන් යුදෙව්වන් වහල් කඳවුරුවලට ගාල් කරමින් හිට්ලර්, යුරෝ-ඇමරිකන් යුදෙව්වන් තුල ඇතිකල තුවාලයට ලුණු ගම්මිරිස් වැටුනේ හිට්ලර් කොමියුනිස්ට් ස්ටැලින් සමග "non aggression pact" එකක් හෙවත් ආරවුල් වලින් වැලකී  සිටීමේ ගිවිසුමක් අත්සන් කිරීමත් සමගයි. තමන් කිරිපොවා ඇතිදැඩි කල විශඝෝර නාගයා තමන්ව සපාකෑමෙන් නොනැවතී තමන්ගේ පරම සතුරා වුනු පොළඟා සමගද ගිවිසුම් ගසාගැනීම ඔවුනට ඉවසුම් නොදෙන්නක් විය.

ලේඛකයා රාජපක්ශ රයිකය හා කේ.පී අතර ගනුදෙනුව කියවන්නට උත්සහ කරන්නේත් හිට්ලර් හා ස්ටැලින් අතර ඇතිවුනු ගිවිසුමට සමාන්තරවය. හිට්ලර් ස්ටැලින් සමග ගිවිසුමෙන් බලාපොරොත්තු වුනේ සිය නැගෙනහිර දෙශසීමාව යුධ මුක්තව තබාගැනීමයි. ඒ අනුව ඔහු මුලු වැර යොදා බටහිර යුරෝපීයයන් සමග යුධවැදීමට හමුදා නිදහස් කරගන්නා ලදී. ස්ටැලින්ගේ අරමුණ වුනේත් හිට්ලර් සමග සදාකාලික සාමයක් නොව, නුදුරු අනාගතයේ දිනක නිසැකවම සටන්වැදීමට සිදුවන ජර්මන් යුධ යන්ත්‍රයට මුහුණදීම සඳහා සිය ජාතිය සන්නද්ධකර ගැනීමට ඉස්පාසුවක් පමණකි.

මේ මොහොතේදී යමෙකුට "හිට්ලර් ස්ටැලින් ගිවිසුම ගැහුනේ යුද්ධයට කලින් ඒත් රාජපක්ශලා කේ.පී සමග හවුල් වෙන්නේ කොටි නැතිකලාට පස්සේ නේද?" යනුවෙන් සාධාරණ ගැටළුවක් ඉදිරිපත් කල හැකිය. කතාව ඇත්තය, එහෙත් හිට්ලර් මෙන්ම රාජපක්ශ රයිකය යුද්ධ කලේත් සිය පැවැත්ම සඳහාමය. පරදෙමළුන් නසන දුටුගැමුණුට ඇඳගැනීම හෙළයේ ඇත්තන් සදාකාලිකවම ගොනාට අන්දවා ගැනීමේ ස්ට්‍රැටජිය බව රාජපක්ශවරුන් මුල සිටම දැනසිටියහ. ඒ අනුව දෙමළ කොටි උවදුර නසන්නට හැකි එකම බලවේගය තමන් බව ඔවුන් මුලින්ම සංඝයාවහන්සේටත් (ශ්‍රී රෝහණ ජනරංජන නම්බුනාම) ඔවුන් හරහා කලින් දක්වා සිටි දසබලවේගයේ අනෙක් නවයටත් ඒත්තු ගැන්වීය.

හිට්ලරුත් එහෙමමය. ඔහු ජර්මානුවන් හට පොදු සතුරන් දෙදෙනෙකු පෙන්වා දුනි. එකෙක් ජර්මන් යුදෙව්වායි, අනෙකා කොමියුනිස්ට් කාරයායි. මුන් නිසා ජර්මන් ජාතිය විනාස වන බවත්, ජර්මන් ජාතිය ගලවාගැනීමට ශක්තිය ඇත්තේ නට්සීන් හට බවත් හිට්ලර් ඉතා දක්ශ ලෙස ජර්මන් ජනයාට කාවද්දන ලදී. සැබැවින්ම ඕනෑම ඒකාධිපති පාලනයකට මෙලෙස ජනයාට පෙන්වා බිය කරගැනීමට බිල්ලෙකු අවශ්‍යය. බිල්ලා නිර්මාණයකරගත් පසු ඌ නැසීමට හැක්කේ තමන්ට පමණක් බව සමාජගත කරයි. රෙජිමයට හෝ රයිකයට විරුද්ධවන්නන් නිරායාසයෙන්ම බිල්ලාගේ කොන්ත්‍රාත් කරුවන්බවට පින්තාරුකරයි.

නැවතත් කේ.පී ගණුදෙනුව දෙස බැලූකල, කොටි නැතිකල පසු රයිකයට අලුත් සතුරෙකු (බිල්ලෙකු) අවැසිවිය. GSP+ හරහා EU එක මගින්ද  බැන්කීමූන් ගේ උපදේශක කමිටුව හරහා  UN එක මගින්ද සිංහල නට්සීන් හට ඉක්මණින්ම තවත් බිල්ලෙක් සොයාගැනීමට හැකිවිය. යුධය දිනූ රණවිරුවන් ජ්‍යාත්යන්තර අධිකරණයට ගෙනයාමේ කුමණ්ත්‍රණය මේ නව සතුරායි. නව සතුරා බිහිවීමත් සමගම ඇතිවුනු ගැටළුව නම්, කොටි හිතවාදී මෙන්ම හිතවාදී නොවන එහෙත් රයිකය පිළිකෙව් කරන උගත් දෙමළ ඩයස්පෝරාව ඉතා පහසුවෙන් UN හා EU සමග සබඳතාගොඩ නගාගෙන රයිකයේ පැවැත්මට සැබෑ තර්ජනයක් කලහැකි තැනකට කටයුතු සිදුවීමයි. 



අඩස්සියේ සිටි කේ.පී ගේ වටිනාකම රයිකයේ නායකයින් හට දැනුනේ මෙකී ඩයස්පෝරාවෙන් කොටසක් හෝ නැටවිය හැකි හෝ අඩුම ගණනේ කළකට මුළාකරගෙන හීලෑකරගත හැකි පපට් මාස්ටර් කෙනෙකු බවට කේ.පී පත්කරගැනීමේ හැකියාව රාජපක්ශවරුන්ගේ තීක්ශණ බුද්ධියට අවබෝධවීමත් සමගයි.

සිංහලෙන් "බුහ් බුහ්"  ඉංග්‍රීසියෙන් "ඤාව්"

ඒ අනුව සිංහල බසින් " EU/UN කාරයින්ගේ කැවුතු කන්නට..." ශපතකරන ගමන්ම කේ.පී ගේ ආධාරයෙන් ඩයස්පෝරාව දෙකඩකොට, කොටසක් කඩාගෙන, මේ "කීකරු ඩයස්පෝරාව" හරහා EU/UN කාරයින්හටත් අවශේෂ බටහිර රටවල් වලටත්  "...අපි හිටපු කොටි සටන්කාමීන්ට සමාව දෙනවා.....දෙමළ ඩයස්පෝරාවත් අපේ පැත්තේ.....අපි මේ හදන්නේ මොවුන්ගේ උදව්වෙන් උතුරු නැගෙනහිර ප්‍රස්ණ විසදන්නයි...." යනුවෙන්, EU/UN/Norway කාරයින් අසන්නට ආසාවෙන් සිටින දේවල් හොර රහසේ ඉංග්‍රීසියෙන් කියා දැමීමටයි. ලක්ශ්මන් කිරිඇල්ලගේ අර්ථකථනයට අනුව මෙය සිංහලෙන් "බුහ් බුහ්" කියා ඉංග්‍රීසියෙන් "ඤාව්" කීමයි.  



කිසිසේත්ම අනුවනයින් නොවන රාජපක්ශවරුන්ගේ අරමුණ සැමදා ජාත්‍යන්තරය රැවටීමට නොව, තම කෙටිකාලීන අරමුණු ඉටුවන තෙක් අවුරුද්දක දෙකක ඉස්පාසුවක් ගැනීමයි.රාජපක්ශවරු මෙන්ම කේ.පී ගේ සිතුවිලිත් මෙලෙසම බව ලේඛකයාගේ විස්වාසයයි. වසර 25ක් තිස්සේ ලොව පුරා අවි ජාවාරම්කරුවන්, මාෆියා ගෝඩ්ෆාදර්ලා හා මත්ද්‍රව්‍ය බෙදාහරින කුඩු රජවරුන් සමග නිතර ගනුදෙනු කරමින්, ඒ කාගේවත් "ඉලක්ක ලැයිස්තුවට" (hit list) ඇතුලත් නොවී යහතින් කල්ගෙවූ කේ.පී, ජවිපේ ලංකා පත්තරේ පවසන අන්දමට, තමන් සතු සියලු ධනය රාජපක්ශලාට දන් දී ඇඟිලි ලෙවකමින් "මහරජාණෙනී" ගීතයට නැටීමට තරම් වෘශභයෙකු නම් නොවේ.

කේ.පී ගේ අරමුණු හා රයිකයේ අරමුණු

ලේඛකයාගේ විස්වාසයට අනුව කේ.පී, සිංහල නට්සීන් සමග කරන ගණුදෙනුවෙන් පහත ප්‍රතිලාභ බලාපොරොත්තුවේ;

1) ෆොන්සේකාමෙන් හිරේ නොවැටීම - කෙටිකාලීන මූලික අවශ්‍යතාවය

2) අන්තර්ජාතික පොලීසියේ (Interpol) රතු ලැයිස්තුවෙන් ඉවත්වීම - කෙටිකාලීන

3) කරුණා හා පිල්ලියාන් මෙන් ෆියුරර්තුමා ඇටවූ උගුලේ නොවැටී සල්ලං නොවි සිටීම - මධ්‍යකාලීන

4) සඟවා ඇති ලේ තැවරුණු කලු සල්ලි සුදුකරගෙන ආයෝජනය කිරීම. මේ සඳහා සෑහෙන ප්‍රමාණයක් දන්දීමට කේ.පීට සිදුවන නමුත් අවසානයේ ලාභය ශුද්ධ ලාබයකි-මධ්‍යකාලීන

5) ත්‍රස්තවාදී ලේබලය ගලවාගෙන බලසම්පන්න දෙමල සංවිධානයක නායකයාවී ජත්‍යන්තර කීර්තිය දිනා ගැනීම-දිගුකාලීන


අවුරුදු 1-2 කාලයකදී ඉටුකරගැනීමට බලාපොරොත්තුවන කෙටිකාලීන ඉලක්ක හා අවුරුදු 2-3 අතර කාලයකදී ඉටුකරගැනීමට බලාපොරොත්තුවන ඉලක්ක සපුරා ගැනීමෙන් පසු EU/UN කාරයින් ලංකාව දෙකටනමා කක්කා පුච්චේ ගසාගත්තද කේ.පීට කම් නැත. EU/UN කාරයින්ගෙන නපුරක් සිදු නොවුනහොත් දිගුකාලීන අරමුණවූ දෙමළ ජනනායකයෙකුවීමේ සිහිනයද සැබෑවනු ඇත.

සිංහල නට්සීන්ද කේ.පී ගෙන් බලාපොරොත්තුවෙන අරමුණු තිබේ. ඩයස්පෝරාව කළමණාකරණයකරගෙන
EU/UN/Norway/USA ඇජෙන්ඩාවන්හට පොහොර සැපයිමෙන් ඔවුන් වැලැක්වීම මූලිකම අරමුණයි. ඒහා සබැඳි ජාත්‍යන්තරයේ පීඩනය කලමාණකරණය කරගන්නටද ඔවුන් කේ.පී සහය පතයි. ඩයස්පෝරාවේ ආධාරයෙන් උ/නැ ගැටළුවිසදනවා යන චිත්‍රය පිංතාරුකිරීමෙන් ජාත්‍යතරයේ බලපෑම කෙටිකාලීනවහෝ අවම කරගතහැකියයි ඔවුන් සිතනවා ඇත. මේ අනුව අවුරුද්දක් දෙකක් අන්තර්ජාතික දඬුඅඬුවෙන් ගැලැවී රටේ ආර්ථිකය යම් පමණකට ශක්තිමත්කරගෙන (විශේෂයෙන්ම සංචාරක කර්මාණ්තය හරහා ) ඉදිරියට මුහුණදීම ඔවුන්ගේ අරමුණයි. මේ අරමුණ ඉටුවෙනතාක් කේ.පී ආරක්ශාකරගෙන සිටීම ගණුදෙනුවේ කොටසකි. එහෙත් කරුණා/පිල්ලියාන්මෙන් කේ.පී ද පමණට වඩා ඉදිමෙන්නට ගියහොත් ඔහුටද සිදුවනුයේ කරුණා/පිල්ලියාන් යුවල මෙන්ම එක්ස්පයර් වන්නටය.

දශමහා බලවේගයේ සිත්වේදනාව.

ලේඛකයා සිතන අන්දමට, ජවිපෙටත් වඩා (ශ්‍රිලනිපය කරපු මගුලක් නැත) සිංහල නට්සි රෙජිමය බලයට ගෙන එන්නට අවශ්‍යය ආකල්පමය වෙනස, විශේෂයෙන්ම එජාපය/චන්ද්‍රිකා/මංගල ගේ සුදු නෙළුම ව්‍යාපාරය හා අනෙකුත් සාම ඇන්ජීඕ කාරයන් වපුරා තිබූ, කොටින් යුධයෙන් පරාජය කිරීම කළනොහැකිය යන ආකල්පය  ජන මනසින් තුරන්කොට, ඒ වෙනුවට "...කුමන මිලක් ගෙවාහෝ කොටි නැසිය යුතුය, කොටි කියන පදයට නැටීම සිංහල ජාතියට මහත්වු අවමානයකි,කොටි සාකච්ඡා කරන්නේ ශක්තිමත්වී ආපසු යුදකිරීමටයි, එයට කිසිසේත් අසුනොවිය යුතුය..."  යන චින්තනය ජනයාතුලට කාවද්දා සිංහල නට්සි රයිකය බලයට ගෙන ඒමට අවශ්‍ය පසුබිම සකස්කලේ කලින් සඳහන් කල සඟ වෙද ගොවි ගුරු කම්කරු බිස්නස්කාරයෝ කලාකාරයෝ මාද්දියවේදියෝ වෘත්තීය සමිතිකාරයෝ හා කොලිෆයිඩ් ප්‍රොෆෙශනල්ස් යන දශමහා බලවේගයයි.

සඟබලමුලුවේ හදවත මුල්වරට කීරිගැසුනේ ෆියුරර් විසින් එක් සංඝපාර්ශවයක් යොදවමින් මහානායක හාමුදුරුවන්ගේ සංඝසභාව නැවැත්වීමෙනි. දැන් පංසල් ඩෝසර් කරමින් හෝටල් තනන එක ගැන වැඩිය මුකුත් නොකියන්නේ තමන්ගේ පංසල් වත්තෙන් ආයුද, හොර සල්ලි හෝ වෙනත් භූතයෙකු මතුවන්නට ඉඩඇති නිසාවිය යුතුය. පංසලේ ඩ්‍රැයිවර්ගේ හොරගෑනි, "මම හාමුදුරුවන් සමග යහන්ගත වුනා" යයි සාක්කිදෙන්නටද බැරි නැති නිසාය.

රජයේසේවක උන්නැහේලා අනාතය, ශ්‍රමිකයින් හාවෘත්තීය සමිතිකාරයෝ වැටෙන කට්ටක් ලෙවකා සතුටුවිය යුතුය. වීරවංශට ඇති සාමකාමී උද්ඝෝශණ අයිතිය උන්ට නැත. පැය 24රේම කඩේගිය අනෙක් උන්දැලාගේ තත්වය බලන්නටත් දුකය.මේ දශමහා බලවේග නඩය ඉස්සර හචිං එකක් ඇරියත් ඒ අවස්තාව සජීවීව දෙන්න, කොලම් ලියන්නට රාජ්යමාද්දිය හා අවසේස කඩේයන මාද්දිය පෝලිමේය. ඒත් දැන් පංසල් ඩෝසර් කරනවිට, ඒවාට විරුද්දව බ්‍රිස්ල් බෝඩ් කෑලිවල සටන්පාඨ ලියාගෙන කරන උද්ගෝසන ගැන ඇහැක් ඇරලා බලන්නට බල්ලෙක්වත් නැත.

මන්දයත් ඕවාට බුරන බල්ලන් සියල්ලමට කොටි ලේබලය අලවා වාශ්පකර දැමුවේ ඔය දසබලවේග කාරයින්ම බැවිනි.

මේ කට්ටිය කොතරම් සල්ලංවී ඇත්දයත් කොටින් මෙරට සිදුකරන ලද දසදහස් ගණනක් වුනු සියලු ඝාතනවලට අවශ්‍ය මිලමුදල් හා ආයුධ සපයාදුන් එකා සමග ප්‍රසිද්ධියේ ගනුදෙනුවක නිරතවෙන රජපස රයිකයට විරුද්ධව වචනයක්වත් කියාගන්නට, අඩුම ගණනේ ෆියුරර්තුමාට ශ්‍රී රෝහණ ජනරංජන පට්ටම ලබාදුන් සංඝ පාර්ශවයටත්, බැරුව ඇත. මහින්ද! ඔය මිනිමරුවා ඔඩොක්කුවේ දාගෙන, ජෙනරාල් හිරේදාගෙන ඔය නටන්නට හදන නාඩගම මොකක්දැයි අහන්නට කොන්දක් ඇති සංඝයාවහන්සේ කෙනෙක් හොයාගන්නට නැත. සමහටවිට එහෙම සංඝ පීතෲවරුන් ඇති, එහෙත් මහානායකලාට වුනාක් මෙන් තම ගණයවිසිම තමන් පාවාදෙනු ඇතැයි යන විස්වාසය නිසාත්, තමන් බොරු චෝදනාවකින් හෝ හිරේ වැටුනොත් තමන්ගේ සහයට දුසිම් භාගයකට වඩා එකතු නොවන බව විශ්වාස නිසා කටපියාගෙන සිටිනවා නිසැකය. අරලිය මංදිරේ දන් ආරාධනාවලට පෝලිමේ වැඩියත්, තවත් කහසිවුරක් බොරු චෝදනාවකට හිරේ වැටුනුවිට එතුමන් වෙනුවෙන් බලය පෙන්වන්නට තරම් එකමුතුවක් අපේ සංඝසමාජයට නැත.

හෙට මේ නට්සි රයිකය කේ.පී උතුරේ මහ ඇමතිකොට, පොලිස් බලතල හා ඉඩම් බලතල දුන්නත් මේ කට්ටියට කලහැක්කක්ද නැත.

5 comments:

charmi said...

කදිම විග්‍රහයක්.
link එකක් දැම්මා.
http://reargate.blogspot.com/

Anonymous said...

කදිම ලිපියක්.

කලින් ලිපි මේ ලිපියට සම්බන්ධ නිසා, මේ ලිපියේ තියෙන කලින් ලිපිවලින් හඳුන්වල දීපු වචන (උදා: රයිකය,ෆියුරර්තුමා)කලින් ලිපියටම link කළා නම් හොඳයි කියලා සිතනවා.

SL said...

"කේ.පී ගේ අරමුණු"

00. Be ALIVE.......

He can never be a so called supreme leader of Tamils. He was just a puppet of CIA. As soon as CIA realized that KP was not valuable they let him go. Then only the SL Intel could get hold of him.

Anonymous said...

උපරිමයි
වත්මන් සමාජතත්වය කදිමට විග්‍රහ කිරීමක්

Mundeer said...

Good reading. Well done!

Was the yellow font intentional? Not very legible.