Tuesday, August 10, 2010

හම්බන්තොට වරාය නැරඹීමට ජනගඟ ගලයි! (විනෝදාස්වාදයට මං ඇහිරුනු රටක මිනිසුන් ෆන් ගන්නා හැටි)



"හම්බන්තොට වරාය නැරඹීමට ජනගඟ ගලයි!" මේ ගිය සතියේ සිට මේ සතියේ මුල දක්වාම නිතර අසන්නට ලැබෙන පුවතකි. දසදහස්ගණනින් ජනයා ගොඩබිම වරායක් හදන හැටි බලන්නට පෝලිමේ එන හැටි පේන්නට තිබේ. හම්බන්තොටට දැන් සරුපාටය.

චීන්නුන්ට කන්නට චීන එළවලු වවා හම්බුකරන අතරම චීන්නුන්ගේ කෑමකඩවල්වල, හෝටල්වලත් රැකියා අවස්ථා ඇතිවී ඇත. දැන් අලුත් ඉල්ලමකි. හම්බන්තොට ගිණිකාශ්ඨක අව්වේ වරාය බලන්නට එන ජන ගඟට කූල් වතුර බෝතල්, පැණිබීම, අරක්කු සිගරට්, අඹ ලොවි අන්නාසි, මම්මා පප්පා නලා, බැලුම්බෝල හා තවත් මෙකී නොකී දේ විකුණා තම ආර්ථිකය වැඩි දියුණුකරගැනීමේ අවස්ථාව හම්බන්තොටියන්ලාට ලැබී තිබේ.

මෑත ඉතිහාසය ගතහොත් මෙවැනි ජන ගංගා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගැලූ බව ඔබට මතක ඇත. ආසන්නයේම ජනගඟ ගැලුවේ සෝමාවතියේ කොතෙන් රැස් විහිදෙනවා බලන්නටය. යන්තම් එකෙකු දෙන්නෙකු විතරක් මියෑදී ඒක අවසන්වුනේ දෙයියන්ටම පිංසිද්ධ වෙන්නටය.

කොළඹ දැයට කිරුල තිබුණු දවස්ද ඔබට මතක ඇත. සතියක් දෙකක් යනකම් බෞද්ධාලෝක මාවත අවට රැකියාකරන, පදිංචිවීසිටින, පාසැල් යන මිනිසුන්ගේ, දරුවන්ගේ දෛනික කටයුතු වලට පුදුමාකාර වදයක් වෙමින්, උදේ හතේ සිට රෑ දොළහවෙනතෙක් ටැෆික් වලින් පාරවල් පුරවමින් ජනගඟ ප්‍රදර්සනය බලන්නට වැලනොකැඩී පැමිණියහ. කාලයක් දොළුකන්දටද, තවත් කාලයක් කොහෙදෝ බෝ ගහකින් මතුවන බුද්ධරූපයක් බැලීමටද ජන ගඟ ගැලුවේය. පිල්ලෑවේ පන්සලේ හාස්කම් වලින් සෙත ශාන්තිය ලබාගන්නට ආපු ජනගඟ පැමිනි ඩොල්ෆින් වෑන් වලින් ඒ පාරේත් ඒකාලයේ පුදුම ට්‍රැෆික් තිබුණේය.

ඒ අනුව බලනවිට ශ්‍රී ලංකාවේ පොදු ජනයා කියන කට්ටිය රටේ කොහේහෝ තැනක මොකක් හෝ ජංජාලයක්, ඉන්ද්‍රජාලයක් හෝ ජාපාලයක් ඇතැයි, කිසිදු වගකීමක්, වගවිභායක් නැති කොත්තුරොටි පත්තරකාරයෙක් ෆොටෝ එක්ක පත්තරේ දැමූවිට ජනගඟ සේ වැන් හයර් කරගෙන, දරුමල්ලන් අතින් කටින් ගෙන ගලන්නට පටන්ගනී. හම්බන්තොට වරායට ඔය ගඟ ගලන්නට පටන්ගත්තේත් "කරදියවර" යයි ලස්සන නමක් පටලවාගත් පට්ටපල් බොරුවක් රජයේ මාධ්‍ය හා ස්වාධීන ලෙස කඩේයන මාධ්‍ය ප්‍රචලිත කල නිසාය. හම්බන්තොට වරායේ වැඩ බොහෝදුරට අවසන්බවත් නැව් ගෙන එන්නට වතුර පුරවන උස්සවය "කරදියවර" ලෙස පැවැත්වෙන බවත් ප්‍රසිද්ධ කල මොහොතේ සිට හම්බන්තොටියන්ලාගේ අතමිට තවත් සරුකරමින් ජනගඟ පටන්ගති. හැබැයි ඇත්තටම වෙන්නේ මාළු බෝට්ටුවක් වත් පාවෙන්නට බැරි උසකට, අඩි හතරකට ජලය පිරවීමයි.

ඉතින් මොකද මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සු ලැබෙන හැම අවස්ථාවකදීම දහයක් යන්නට පුලුවන් වෑන් එකක විස්සක් පැටවී කොහේහරි තැනකට දුවන්නේ?

ලේඛකයාට හිතෙන විධියට මේවා දැනුම ලබාගැනීමට හෝ ශ්‍රද්ධාවෙන් කරන ගමන් නොවේ. විනෝදාස්වාදයක් ලබාගැනීමට, ටිකක් රිලැක්ස් වීමට ඇති සියලු අවස්ථා පොදු මිනිහාට අවහිර කරන ලද නැතහොත් මිළ අධික නිසා ලබාගත නොහැකි රටක මිනිසුන්, යම් ආකාරයක විනෝදයක් නැත්නම් ෆන් එකක් ලබාගැනීමට යන ගමන්ය. පොහොසත් රටවල් පැත්තකට දැමුවත්, ඉංදියාව වැනි දුප්පතුන් ගහන රටක පවා දුප්පත්ම මිනිහාටත් අතේ ඇති මුදලින් ලබාගත හැකි විනෝදාස්වාද තිබේ.

ලංකාවේ වගේ චිත්‍රපටියක් බලන්නට ත්‍රී වීලර් ගාස්තු හා ටිකට් ගාස්තුත් එක්ක රුපියල් 1000ක් 1500ක් වියදම කරන්නට ඉංදියාවේ තරුණ පෙම් යුවලකට සිදුවන්නේ නැත. තරුණ දෙමව්පිය යුවලකට ළමයි දෙන්නා පාක් එකට සෙල්ලම් කරන්න ගෙනියන්න ත්‍රී වීල් ගාස්තු, කෑම බීම වියදම් එක්ක 1000 පන්නන්නේද නැත. ඉංදියාවේ ත්‍රීවීලර් ගාස්තු අඩුය, චිත්‍රපට ගාස්තුද අඩුය, කෑම හිතාගන්නට බැරි තරමට ලාබය. ඒවගේම යන්නට, බලන්නට තැන් බොහෝය. ඒවගේම නිදහසද ඇත. "තමුසෙලා කොහෙද යන්නේ? මෙයා කවුද? තමුසෙලා බැඳලාද?" කියා අතිශය පෞද්ගලික ප්‍රශ්ණ කිසිදු ගරුසරුවක් නොමැතිව කෝචොක් එකට මෙන් අසමින් ත්‍රීවීලය තුලට එබෙන පොලිස් ගඩ්ඩන් එහෙ නැත. ඉන්දියානු පොලීසිය එලියට එන්නේ නීතිය හා සාමය රැකීමට මිස ලංකාවේ මෙන් මහජනතාවට 24/7 පව් දීමට නොවේ.ඒ නිසා තරුණ පෙම් යුවලකට, කුඩා දරුවන් සිටින තුරුණු පවුලකට යම් විනෝදාස්වාදයක් අතේ ඇති මුදලට ලබාගැනීමේ අවකාශ ඕනා තරම් ඇත. තුරුලුවී අහිංසක ප්‍රේමාස්වාදයක් ලබන ආදරවන්තයින් කුදලාගෙන පොලීසියට ගෙනියන පරපීඩක මොන්ගල් පොලිස් ලොක්කන්ද එහි නැත. දුප්පත් වුනත්, දැඩි සංස්කෘතික බලපෑම් තිබුණත් ඉංදියාව මිනිස් නිදහස ඉහලින්ම අගයන රටකි. ලංකාවෙ නම් තරුණ කෙල්ලන් කොල්ලන්ගෙන් පරිස්සම් කිරිමේ වගකීමත්, සිරිත්-විරිත් කියාදීමත්,හැසිරීම ඉගැන්වීමත් කිසිදු විනීතකමක් නැති හාල්පාරු පොලීසිය සිය කරට ගෙන තිබේ. උන් නොකරන්නේ හොරකම්, වංචා, දූශණ ඇල්ලීම පමණකි.

ඒ වගේම ලංකාවේ කොළඹ/නුවර/ගාල්ල/මාතර වගේ හවස 6න් පස්සේ පාරවල් පාළුවටයාමක් ඉන්දියාවේ මුම්බායි, චෙන්නායි, කල්කටා, හයිඩ්‍රබාඩ්, බැංගලෝර් වගේ ලොකු නගරවල නැත. දුප්පත් මිනිහාටත් විවරවුනු මුහුදුවෙරලවල්, සල්පිල්, රෑ පුරාවට අඩු මිලට නානාප්‍රකාර කෑම බීම විකුණන රාත්‍රී කෑම කඩපිල් (night food markets) හැමතැනමය. ඒ නිසා නගරවාසි දුප්පත් ඉංදියානුවාට පවා සිය පවුල හෝ පෙම්වතිය සමග මසකට වරක් දෙවරක් විනෝදවීමට අවස්ථා ඕනෑතරම් ඇත.

දුප්පත් මිනිහා පැත්තකින් තිබ්බත්, ලංකාවේ මෝටර් සයිකලයක්, සෙකන්ඩ් හෑන්ඩ් කාරෙකක් ඇති සාමාන්‍ය මධ්‍යම පාංතික මිනිහෙකුට වුවත් දවාල පැත්තකට තිබ්බත් රාත්‍රි කාලයේ පවා එලියට බැස ගමනක් යන්නට නිදහසක් තියෙනවාද? රෑ වෙනවිට හැම ලයිට් කනුවකටම මුවාවී සිටින පොලිස් කාරයෙක් අත අල්ලයි. ඌට මුලු විස්තරයම කිව යුතුය. ගමන හමාරවනවිට ස්ථාවර චෙක්පොයින්ට්, ජංගම චෙක්පොයින්ට්, පොලිස් චෙක්පොයින්ට්, ට්‍රැෆික් පොලිස් චෙක් පොයින්ට් වැනි චැක් පොයින් දහයකවත් නවත්තලා රැකෝඩ් එක ගැසිය යුතුය. රාලහාමිගේ මූණට පිඹ බීලා නැති බව පෙන්විය යුතුය. බිරිඳ ලාබාල පෙනුමක් ඇත්තියෙක් නම් විවාහ සහතිකය ලඟ තබාගැනීම හොඳය.

ඊටත් වඩා ලොකුම ප්‍රස්නය ඔය සියලු කරදර බාධක ඉවසාගත්තත් යන්නට තැනක්, විනෝදවන්නට තැනක් නැති වීමයි.

සල්ලිකාරයින්ට ඇරුණු නයිට් ක්ලබ් කීපයක් හැරුනකොට කොළඹ නගරයේ සාමාන්‍ය පවුලකට/යුවලකට විනෝදය සඳහා යා හැකි ස්ථාන කොපමණ තියෙනවාද?

මේ ලඟදී කොළඹ නගරයේ CEO ලෙස රජතුමා විසින් පත්කල ඕමාර් කාමිල් මහතා ලඟදීම නයිට් ෆූඩ් මාකට් එකක් කොළඹ පටන්ගන්නවා යයි කියනවා ඇසුනි. හොඳ අදහසකි. ඒ කාලයේ රවී කරුණානයකට ඔය ෆූඩ් මාකට් දානවා, සතොස රෑ බොරුවට ඇරලා තියෙනවා, පැය 24ම ඇහැරිලා තියෙන කොළඹ නගරයක් ගැන රවියා පිස්සු කෙලිනවා කියලා හිනාවුනු උත්තමයින්ට රවීගේ ප්ලෑන යලි මතක් වීම හොඳය. දැන් එය මහින්ද චින්තනයට අනුකූල ඇතැයි සිතේ.

එහෙත් ඕමාර් කාමිල් මහත්තයාට එකක් කිව යුතුව තිබේ, ඔය මාකැට් එකට එක සැරයකට වඩා මිනිහෙක්/පවුලක් ආයෙත් ගෙන්වා ගන්නට නම් ඔය මාකට් එකේ හතරමායිමට ට්‍රැෆික් පොලීසියට එන්නට දෙන්නට එපා. ඒ මොකද යත්, ඔය මාකැට් එක පටන් ගන්න ඉස්සෙල්ලාම ට්‍රැෆික් කාරයෝ ඔය ස්ථානයේ ඉඳලා කිලෝමීටර් භාගයක් යනකම් "නෝ පාකින්" සෝන් එකක් කරනවාමය. කිලෝ මීටර් බාගයක් ඈත (වාහන වැඩිනම් ඊටත් ඈත) වාහනය නවත්වා දරුමල්ලන්, වයසක දෙමාපියන්, ගැබ්බර බිරිඳ කැන්දාගෙන ඔය ෆුඩ් මාකැට් එකට එන එක කීදෙනෙක් කී දවසක් කරයිද? ලංකාවේ රාත්‍රී ආර්ථිකය දියුණු කිරීමටනම් පොලීසිය මිනිස්සුන්ට පවු දෙන එක නැවැත්විය යුතුමය. නැත්නම් දවල්ටත් පරිප්පු කා ගෙදරයන මිනිහා ආයෙත් වාහනය අරගෙන නයිට් මාකට් එකන් කන්න කොළඹ එයිද?

මේ සියල්ලෙන්ම වෙන්නේ මිනිසුන් ගෙවල් තුල මුළු ගැන්වී එක්කෝ ටී.වී, ඩී.වී.ඩී බලමින් නැත්නම් මොබයිල් ෆෝන් එකකෙන් මල් කඩමින් ගතකරීමට පුරුදුවීමයි.  ඔහොම ඉඳලා ඉඳලා මොකක් හරි මගෝඩියක්, සංදර්ශනයක් නැත්නම් පිච්චමල් පූජාවක් හෝ තියෙන බව ආරංචි වුනු වහාම ඩොල්ෆින් එකක් හයර් කරගෙන එතනට දුවන්නේ ගේ අස්සටම වී ටැලිවිශනයේ යන පවුකාර ටෙලිනාට්ටිය බලලා බලලා ඇති වුනාමය. දැන් හම්බන්තොට වරාය, විනෝදයක් ගන්නට අවස්ථාවක් නැති මිනිසුන්ගේ අලුත්ම ෆන් ලොකේශන් එකය. කැත චීන්නු එලවන, පස්ගොඩවල් තල්ලු කරන ඩෝසර් බලලා, ලොලිපොප් එකක්, අන්නාසි මුලක් කාලා ගෙදර යන එකත් මේ අහිංසක මිනිස්සුන්ට විනෝදයක්ය. ඔය ටික තේරුම් නොගන්නා රාජ්‍ය මාධ්‍ය මැට්ටෝ හිතන් ඉන්නේ මිනිස්සුමේ එන්නේ රජපස ආණ්ඩුව කරන මේ විශ්වකර්ම සංවර්ධන වැඩ දැකබලාගෙන පහන් සංවේගය උපදවාගන්න කියලාය. අඳෝමැයි.

6 comments:

දුකා said...

Very Good Post . .. . !! excellent

Anonymous said...

එළකිරි...කණපැලෙන්නම ලියල තියෙනව.

බොත්තා. said...

අම්මපා ඇත්ත! මේ අර සින්දුවකුත් තියෙන්නේ මේ රටේ මිනිස්සූ තනිකර කෙලින්නේ පිස්සූ කියලා...

ඇද නැති බලු බෙට්ටක් ගැන ප්‍රවෘත්තියක් ගියොත් හෙම ලංකාවෙං බාගයක් ඉඳියි එතන ඒක බලන්න.. හි හි... අපේ පොරවල් වලට කරන්න වෙන දෙයක් නෑ නේ...

සුදේශ් කරුණාතිලක said...

"දුප්පත් මිනිහා පැත්තකින් තිබ්බත්, ලංකාවේ මෝටර් සයිකලයක්, සෙකන්ඩ් හෑන්ඩ් කාරෙකක් ඇති සාමාන්‍ය මධ්‍යම පාංතික මිනිහෙකුට වුවත් දවාල පැත්තකට තිබ්බත් රාත්‍රි කාලයේ පවා එලියට බැස ගමනක් යන්නට නිදහසක් තියෙනවාද? රෑ වෙනවිට හැම ලයිට් කනුවකටම මුවාවී සිටින පොලිස් කාරයෙක් අත අල්ලයි. ඌට මුලු විස්තරයම කිව යුතුය. ගමන හමාරවනවිට ස්ථාවර චෙක්පොයින්ට්, ජංගම චෙක්පොයින්ට්, පොලිස් චෙක්පොයින්ට්, ට්‍රැෆික් පොලිස් චෙක් පොයින්ට් වැනි චැක් පොයින් දහයකවත් නවත්තලා රැකෝඩ් එක ගැසිය යුතුය. රාලහාමිගේ මූණට පිඹ බීලා නැති බව පෙන්විය යුතුය. බිරිඳ ලාබාල පෙනුමක් ඇත්තියෙක් නම් විවාහ සහතිකය ලඟ තබාගැනීම හොඳය.

ඊටත් වඩා ලොකුම ප්‍රස්නය ඔය සියලු කරදර බාධක ඉවසාගත්තත් යන්නට තැනක්, විනෝදවන්නට තැනක් නැති වීමයි.'

සුදේශ් කරුණාතිලක said...

"දුප්පත් මිනිහා පැත්තකින් තිබ්බත්, ලංකාවේ මෝටර් සයිකලයක්, සෙකන්ඩ් හෑන්ඩ් කාරෙකක් ඇති සාමාන්‍ය මධ්‍යම පාංතික මිනිහෙකුට වුවත් දවාල පැත්තකට තිබ්බත් රාත්‍රි කාලයේ පවා එලියට බැස ගමනක් යන්නට නිදහසක් තියෙනවාද? රෑ වෙනවිට හැම ලයිට් කනුවකටම මුවාවී සිටින පොලිස් කාරයෙක් අත අල්ලයි. ඌට මුලු විස්තරයම කිව යුතුය. ගමන හමාරවනවිට ස්ථාවර චෙක්පොයින්ට්, ජංගම චෙක්පොයින්ට්, පොලිස් චෙක්පොයින්ට්, ට්‍රැෆික් පොලිස් චෙක් පොයින්ට් වැනි චැක් පොයින් දහයකවත් නවත්තලා රැකෝඩ් එක ගැසිය යුතුය. රාලහාමිගේ මූණට පිඹ බීලා නැති බව පෙන්විය යුතුය. බිරිඳ ලාබාල පෙනුමක් ඇත්තියෙක් නම් විවාහ සහතිකය ලඟ තබාගැනීම හොඳය.

ඊටත් වඩා ලොකුම ප්‍රස්නය ඔය සියලු කරදර බාධක ඉවසාගත්තත් යන්නට තැනක්, විනෝදවන්නට තැනක් නැති වීමයි.'

Venus E'cafe & Solutions said...

Pissu..