Thursday, August 19, 2010

යුද්දෙට වගේම හම්බන්තොට වරායටත් විරුද්ධවෙන එජාපයේ මෝඩ ප්‍රතිපත්තිය.

හම්බන්තොට වරාය විරුද්ධව නොයෙක් කතා එජාප නායකයින්ගෙන් ඇසේ.
  • කෝටි ගණන් ණයවෙලා, ඔය ණය ගෙවන්නේ කවුද/ කවදා?
  • නැව් එයි කියලා කොහොමද දන්නේ?
  • බංකර් තෙළුයි වතුරයි විකුණන්න මෙච්චර කෝටි ගණනක් මොකටද?
  • රාජපක්ශ පවුල මේකෙන් කොච්චර ගසා කන්නට ඇත්ද?
  • වෙන රටවල් මූද ගොඩ කරනවා, අපි මූද රට ඇතුලට ගන්නවා, මොන මෝඩ වැඩක්ද?
මේ එජාපය මේ දවස්වල අහන ප්‍රශ්ණ වැලයි. මේවා ඇහෙනකොට මටනම් හිතෙන්නේ එජාපය කවදාවත් පාඩමක් ඉගෙන නොගන්න වෘශභ රෑනක් බවයි. යුද්ධෙකාලෙ කියපු ගොන් කතා මතකනෙ? ඒවා ආයෙත් මෙතන ප්‍රතිවාදනය කරලා වැඩක් නෑ. දැන් තමයි යුද්ධෙ හොඳයි කියන්නේ. ඒත් පාඩම නම් තවමත් ඉගෙනගෙන නෑ. යූඇන්පී ඉදිරිපෙල කට්ටිය අහන ප්‍රශ්ණ ඇත්ත තමයි. හම්බන්තොට වරාය හදන්නේ චීන ආධාර ඇතුව නෙමෙයි. චීන බැංකුවකින් ගත්ත ණය මුදලකින් තමයි හදන්නේ. ඒවගේම ඒ ණය මුදලේ පොලියත් වැඩියි. රාජපක්ශ පවුල හොඳට හම්බකරගන්නත් ඇති. ඒ වගේම තමයි වරාය හදලා අවුරුදු දෙකක් තුනක් යනකම් කියන්න බෑ නැව් එයිද කියලා. සම්හරවිට මේ මුළු ව්‍යාපෘතියම සුදු අලියෙක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා එජාප කට්ටිය අහන ප්‍රශ්ණ හරි.

එහෙමනම් ඇයි මම මේ ප්‍රශ්ණ මෝඩ ප්‍රශ්ණ විදියට හඳුන්වන්නේ?

මේ ප්‍රශ්ණ මෝඩ ප්‍රශ්ණ වෙන්න එකම එක හේතුවයි තියෙන්නේ. ඒ හේතුවම තමයි එජාපෙ මේ විදියට ගොඩ එන්න බැරි නරාවලක ගිල්වලා පක්ශය පැරදි පැරදී ඉන්න මූලික. ඒ හේතුව තමයි ජනතාව හිතන විදිය තේරුම් ගන්න එජාපයට ඇති පුදුම නොහැකියාව. මම කලින් ලිපියකත් මේ නොහැකියාව ගැන කතාකලා.

අපි මේ විදියට හිතමු;

ඔය වරාය ටිකෙන් ටික ටිකෙන් ටික ගොඩනැගීගෙන එනකොට, නිතර දෙවේලේ ඒදෙස බලාගෙන ඉන්න හම්බන්තොට හා ඒ ආශ්‍රිත දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ හිත්වල ගොඩ නැගෙන බලාපොරොත්තු කොයි වගේද? කාශ්ඨක පරිසරයක, නියඟෙන් බැටකමින්,හරිහමන් ජීවිකාවක් නැතුව ජීවත් වෙන ඒ මිනිස්සුන්ට තියෙන්නේම බලාපොරොත්තු විතරයි. වරාය ගොඩ නැගෙනවා බලාගෙන ඉන්න බිරින්දෑවරු හිතනවා ඇති, අනේ මගෙ මනුස්සයටත් ඔතන රස්සාවක් ලැබුණොත් අපිට කොච්චර වාසනාවක්ද? ඒ වගේම පාර අයිනෙ කටු මැටි පැලවල් වල ඉඳගෙන මීකිරි විකුණන තරුණ කොල්ලො කෙල්ලොත් ඔය වරාය ගොඩනැගෙනකම් ආසාවෙන් බලාගෙන ඉන්නවා ඇති එක්කො වරායේ නැතිනම් වරාය ආශ්‍රිතව ඇතිවෙනවායයි කියන/සිතන කර්මාන්තශාලාවල, කන්තෝරුවක රස්සාවක් ගන්න. ඔය වරාය බොරු වැඩක්, ඕක අසාර්ථක වෙයි, සල්ලි නාස්තියක්, වෙන කරන්න වැඩ නැද්ද? කියන අහන එජාප නායකයින්ගේ කතා ඇහෙනකොට වරාය ගැන බලාපොරොත්තු වලින් හිත පුරවාගෙන ඉන්න අහිංසකයින්ගේ හිත් මොනතරම් කීරි ගැහෙනවා ඇත්ද?

එතකොට ඔය මිනිස්සුන්ට එජාපෙ නායකයෝ පේන්නේ තමන්ගේ ජීවිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව නැති කරන්න, විනාස කරන්න ආපු යක්ශයෝ ටිකක් විදියට නෙමෙයිද? මේ විධියට එජාපෙ ගැන මිනිස්සු කළකිරුණට පස්සේ, මිනිස්සු ආණ්ඩුව කියන ඕනෑම බොරුවක් - ඒකියන්නේ එජාපෙ සුද්දට රට විකුණන්න යනවා, රට පාවා දෙන්න යනවා, සමුර්ධිය/පෝර සහනාධාරෙ කපන්න යනවා - කියන ඕනෑම කතාවක් පිලිගන්න සූදානම්. (මේ චෝදනාවල ඇත්ත, නැත්ත මෙතනදී සාකච්චාවට ගැනීමට බලාපොරොත්තු නොවෙමි).

ඒ විතරක් නෙමෙයි, හම්බන්තොට දැන් චීන කොළණියක් වෙලා, වරායේ වැඩකරන්න චීනෙන් කම්කරුවෝ ගෙනල්ලා වගේ බොරු කිව්වාට ඇත්ත ඒක නෙමෙයි. ලංකාවෙන් අඩු මිලට කම්කරුවෝ ගන්න පුලුවන් එකේ, චීනෙන් කම්කරුවෙක් ගෙනල්ලා, කන්ඩ බොන්ඩ දීලා, නවාතැන් දීලා, යන්න එන්න ගුවන් ටිකට්පත් දීලා වැඩ ගන්න එක ලාභ ලැබීමේ ප්‍රමාර්ථයෙන් වරායක් ගොඩ නගන සමාගමකට අන්තිම පාඩුයි. ඒ නිසා චීනෙන් ගෙනල්ලා තියෙන්නෙ මෙහෙ හොයාගන්න අමාරු තාක්ශණික වෘත්තියකයින්. වරායක් වගේ සංකීර්ණ ඉදිකිරීමක් සිදුකරන්න පලපුරුද්ද තියෙන තාක්ශණික ශිල්පීන් ලංකාව ඕනෑ තරම් බිහිකරලා ඇති ඒත් ඒතින් ඒ මිනිස්සු වැඩිදෙනෙක් ලංකාවෙ දැන් නෑනෙ. ඒ නිසා ගොඩක් තාක්ශණික ශිල්පීන් චීනෙන් ගෙන්නගන්න ඇති. තාක්ශණික ශිල්පීන් විතරක් නෙමෙයි, බර වාහන එලවන්න පළපුරුද්ද තියෙන රියදුරන්, ක්‍රේන්, ලෝඩර්, බැකෝ යන්ත්‍ර ක්‍රියාකරවන්න පලපුරුද්ද තියෙන මිනිස්සු වුනත් ලංකාවෙ හිඟයි, වැඩිදෙනෙක් පිටරට ගිහිල්ලා.

ඒ නිසා ලංකාවේ මිනිස්සුන්ට රස්සාවල් නොදී චීන්නුන්ට රස්සා දෙනවා කියන්නේ බොරු කතා, එක චීනෙකුට, ලංකාවෙ මිනිස්සු 10-15 ඔය වරායෙ වැඩකරනවා. ඒ මිනිස්සුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් හම්බන්තොට හා අවට මිනිස්සු. මේ වරාය නිසා ඒ මිනිස්සුන්ගේ ජීවිත වලටත් ටිකක් හරි සහනයක්, එලියක් වැටිලා ඇති. දුප්පත් වරාය කම්කරුවෙකුට වුනත්, ගිය සිංහල අවුරුද්දට බිරිඳට ඇඳුමක්, ළමයින්ට ඇඳුම් ටිකක් අරන්දෙන්න පුලුවන් වෙන්න ඇති. ඉතින් ඒ මිනිස්සුන්ටත් එජාපෙ කට්ටියගෙ කතා ඇහෙනකොට මොනවා හිතෙනවා ඇත්ද? අනිත් එක වරාය හදන්න පටන්ගත්තාට පස්සේ ඒ පැත්තේ පොඩි බිස්නස්කාරයාගේ පවා බිස්නස් දියුණු වෙලා.

ඉතින් මේ කිසිම දෙයක් ගැන දන්නේ නැති, එජාපෙ මහලොකු නායකයෝ, ගයන්තලා වගේ මාධ්‍ය ප්‍රකාශකලා අඩුම ගානේ ඒ පැත්තෙ ටිකක් ඇවිදලා, මිනිස්සුත් එක්ක කතාබහ කරලා, කරුණු හොයාගෙන ඇවිල්ලා කතා කරනවාවත් නෙමේනෙ. ගියත් යන්නේ සංවිධායකගෙ නැත්නම් පලාගෙ මන්ත්‍රී කෙනෙක්ගේ ගෙදර. ගිහිල්ලා කාලා බීලා අඩි පුඩි ගහලා එනවා. එච්චරයි. හම්බන්තොට වරායට බනින එක යූඇන්පී නායකයෙක්වත් වරායෙ වැඩකරන කම්කරුවෙක් එක්ක, ඒ ගොල්ලන්ගේ පවුලක් එක්ක, වරායන් නිසා අතමිට සරුවුනු පොඩි බිස්නස් කාරයෙක්, එලවලු ගොවියෙක්, කෑම කඩයක් කරන මිනිහෙක් එක්ක වචනයක් කතා බහ කරලා නැති බව මට විශ්වාසයි. ඔහේ ගිරව් වගේ හිතෙන් මවාගත්ත දේවල්, නැතිනම් කාගෙන් හරි අහුලගත්ත දේවල් කියනවා විතරයි.

මෙන්න මේ නිසයි මම කියන්නේ එජාපෙ හම්බන්තොට වරායට බැනලා, ආයෙත් කරගන්නේ මහාම මෝඩකමක් කියලා.

එජාපෙට අමතක වෙලා ඇති, ජේ ආර්ගේ ආණ්ඩුවේ ගාමිණී දිසානායක කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය කරනකොට ඒ ව්‍යාපෘතියට මොන තරම් ශ්‍රිලනිපෙන් බැන්නද කියලා.ශ්‍රිලනිපෙ කවදාක්වත් මහවැලිය ගැන කටක් ඇරලා හොඳක් කිව්වේ නෑ . ඔච්චර බැන්නත් යූඇන්පීය පැරදුනාද? නෑ! හැම චන්දෙන දින්නා. මොකද, ශ්‍රීලංකා කාරයෝ කොච්චර බැන්නත්, මහවැලියට, විවෘත ආර්ථිකේට, නිදහස් වෙළඳ කලාපවලට බැන බැන හිටපු ශ්‍රීලනිප නායකයෝ හැමදාම පැරදුනා ඒ පලාත්වල මිනිස්සු ඒ ව්‍යාපෘතිවල ප්‍රථිලාබ ලබමින් සිටිය නිසා ජේ ආර්ගේ ආණ්ඩුව හොල්ලන්න පුලුවන්කමක් තිබුණේ නෑ.

මහින්දගෙ ආණ්ඩුවත් එහෙමයි, යූඇන්පිය ඔය වගේ සංවර්ධන ව්‍යාපෘතිවලට බනින්න බනින්න, යූඇන්පිය ගැන තියන සාමාන්‍ය මහජනතාවගේ විස්වාසය පිරිහෙනවා. යූඇන්පියට තියෙන්නේ බනින්න නෙමෙයි, අනාගත එජාප ආණ්ඩුවක් යටතේ ඔය ව්‍යාපෘතිය තවත් දියුණු කරන්නේ කොහොමද, තව රස්සාවල් වැඩිපුර දෙන්නේ කොහොමද කියලා ඒගොල්ලන්න් ගේ සංවර්ධන සැලැස්ම ජනතාවට කියන එකයි. එතකොට තමයි මිනිස්සුන්ගේ හිතේ විශ්වාසයක් ඇතිවෙන්නේ.

ඒකට ඉතින් අනිවාර්‍යයෙන්ම මහින්ද කරන්නේ හොඳ වැඩක් කියලා කියන්න වෙනවා. මහින්ද නෙමෙයි මහසෝනා වුනත් හොඳ වැඩක් කරනවානම් ඒක හොඳයි කියන්න එජාපෙට අමාරුවෙන්නේ ඇයි කියලා මට හිතාගන්න බෑ. එජාපෙ කට්ටිය බයවුනාට, මහින්දගෙ හොඳ ව්‍යාපෘති හොඳයි කිව්වයි කියලා මහින්දගෙ චන්ද ගොඩ වැඩිවෙන්නේ නෑ, හැබයි එජාපෙ ගොඩ අඩුවෙන එකනම් ටිකක් හරි නවතියි.

යුද්දෙට වුනෙත් ඕකමයි. අලිමංකඩ අල්ලන්න යනකොට පාමංකඩ යනවා කිව්වා, කිලිනොච්චියට ගහනකොට තව කටකැඩිච්ච කතා කිව්වා. ඒත් මොන කැප කිරීමක් හරි කරලා යුද්දෙ ඉවරයක් කරලා ඉන්න ඕනෙ කියලා හිතපු මිනිස්සු හැම චන්දෙන්ම එජාපෙ පැරැද්දුවා. ඒ කාලෙ යුද්දෙ හොඳයි කිව්වනම් ජාමෙ ගොඩ. දැන් අන්තිමට චන්ද ඔක්කොම පරදිලා, යුද්දෙ හොඳයි කියනවා.

හම්බන්තොට වරායටත් ඔය ටිකම තමයි. හොම්බ හොඳට බිම ඇනුනට පස්සේ කියයි වරාය හොඳයි තමයි කියලා. ඒකට ඉතින් තව චන්ද කීයක් පරදින්න වෙයිද මන්දා?

1 comment:

SL said...

Why? are you feeling so sad about UNP going down the drain?