Saturday, June 25, 2011

මිදි තිත්ත නරියා හෙවත් ප්‍රෙමියර් ලීග් මහින්දානන්ද

ලෝකල් චන්ඩියෙකුගේ නරිවාදම් රෙද්දපල්ලෙන් බේරීම..
මහින්දානන්ද ඇතුලු ක්‍රිකට් මාෆියාව ඉන්දියානු අයි.පී.එල් තරඟාවලියේ සල්ලි කන්ද දැක අපටත් එවන් ඉල්ලමක් තනාගත්තොත් කොච්චර සෝක්දැයි සිතා වහ වහා සිරිලන්කන් ප්‍රෙමියර්ලීග් තරඟාවලියක් අටවාගත්තේය. ක්‍රිකට් ලෝකයේ සල්ලි මවන යන්තරේ තියෙන්නේ ඉන්දියාව අතයි. බ්ලියන ගණනක ක්‍රිකට් ලෝලීන් හා ප්‍රචාරණ අවස්ථා පිපාසයෙන් සිටින දැවැන්ත ඉන්දියන් සමාගම් ක්‍රිකට් ලෝකය සල්ලිවලින් උතුරා යවයි. මේ සල්ලි කන්දෙන් කොටහක් හෝ කඩාගන්නට නම් ජනප්‍රිය ඉන්දියානු ක්‍රීඩකයි කිහිපදෙනෙකු හෝ තරඟාවලියට අද්දාගත යුතුය. එහෙත් ඉන්දියාවේදි මදිපුංචිකම් වුනා යයි පවසමින් ඉන්දියාවට පාඩමක් උගන්වන්නට ඉන්දීය ප්‍රෙමියර් ලීග් තරඟාවලිය කඩාකප්පල් කිරීමේ ජඩ චේතනාවෙන් ක්‍රීඩකයින් ගිවිසුම් කාලයට පිටින් ආපසු ගෙන්වීමේ වෑයමක් ක්‍රියාත්මක කලේ දේශීය චන්ඩියෙකු වුනු මහින්දානන්දගේ මෝඩ උපදෙස් මතයි. ලංකාවේ ව්‍යාපාරිකයින් හා ආයතන බියගැන්වීමට යොදාගන්නා චන්ඩිපාට් ඉන්දියාවේද ක්‍රියාත්මක කලහැකියයි යන මෝඩ උපකළ්පණය මත ක්‍රියාත්මක ඒ වෑයම පරාජය වූයේ ලෝක ක්‍රිකට් කවුසිලය අනුමතකල තරඟාවලියක ගිවිසුම් කැඩීමෙන් ලංකාවේ ක්‍රිකට් අනාගතය විනාශවනු ඇතැයි ඉන්දියානුවන් හා අයි.සී.සී කල අනතුරු අඟවීම් වලින් පසුවය.

මහින්දානන්දලාගේ අනුවනකම් කොතරම්ද යන්න ඉන්දියාවේ ක්‍රීඩකයින් යොදාගෙන ශ්‍රි ලාන්කික ප්‍රෙමියර්ලීග් තරඟාවලියක් දියත්කරන්නට පිඹුරුපත් සකසමින් සිටිද්දීම රජතුමා සැනසීමට හා ඉන්දියාවට ගියවිට නිතරම රිදෙන එතුමාගේ සිත හැදීමට ඉන්දියන් ක්‍රිකට් ආයතනය කෝපගන්වන ක්‍රියාවක් සිදුකිරීමෙන් පෙනීයයි. දැන් මහින්දානන්දලාගේ නිවට ක්‍රියාවල ප්‍රතිපල ලැබී තිබේ. සිරිලංකා ප්‍රෙමියර්ලීග් තරඟයට ඉන්දියන් ක්‍රීඩකයින් නොලැබෙන අතර ඉන්දියන් ක්‍රීඩකයින් නොමැතිව ඉන්දියන් අනුග්‍රහයකයින් මෙන්ම ඉන්දියන් කේබල් නාලිකාවලට විකාශණ අයිතීන් විකිණීමේ හැකියාවද අහිමිවී ඇත. හිමාල කන්ද මෙන් සල්ලි කඳු මහින්දානන්දලාට පෙනි පෙනී ගිලීගොස් ඇත.

නිතරම ගේම ඉල්ලන ගමේ චන්ඩින් හට ගේම ලැබී තිබේ. ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවුලේ බූදලයක් වූවාට ඉන්දීය ක්‍රිකට් ආයතනය ඉන්දීය අගමැතිගේ හෝ ක්‍රීඩා ඇමතිගේ බූදලයක් නොවේ. මේ නිසා මහින්දානන්ද ගේ ටැලිෆෝන් කෝල්වලින් වැඩක් නැත. ඉන්දීය ක්‍රිකට් ආයතනයේ හැටි එහෙමය. ඔවුනට අවනත නොවන්නවුන්හට පාඩම් ඉගැන්වීමේ සාර්ථක ක්‍රියාදාමයක් බී.සී.සී.අයි ආයතනය සතුව පවතී. ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ආශීර්වාදය නොමැතිව ඉන්දීය ක්‍රිකට් ලීගය (Indian Cricket League) නැමති ආයතනය ආරම්භ කිරීමට දායක වුනු අසහාය ඉන්දීය ක්‍රිකට් තරුව වන කපිල් දේව්, බී.සී.සී.අයි ආයතනය කුණු මුල්ලට විසි කර දැමුවේ වගේ වගක් නැති ගානටය. කපිල් දේව් යනු 1983දී ඉන්දියාවට ලෝක කුසලානය ලබාදුන් නායකයායි. එහෙත් මෙවර ලෝක කුසලාන තරඟාවලියේදී පවා කපිල් දේව් හට තරඟ නැරඹීමට නිළ ආරාධනාපතක් හෝ යැවීමට බී.සී.සී.අයි එක කාරුණික නොවූයේ කපිල් ඔවුන් හට පිටුපෑම නිසාය. එහෙව් එකේ රජපස ඉඳුල් ලෙවන මහින්දානන්ද බී.සී.සී අයි එකට වැදගැම්මකට නැති කණ්නාඩි දාගත් කළු කබ්බෙක් පමණකි.

මහින්දානන්දලාගේ මෝඩ කම් එතකින් නිමා නොවෙයි. ආරංචීයේ හැටියට ශ්‍රී ලන්කන් ප්‍රෙමියර් ලීග් ඇටවුම තුල ඉන්දීය අයි.පී.එල් හි නිර්මාතෲ ලලිත් මෝඩි මහතා සිටී. ලලිත් මෝඩි දැන් ඉන්දීය ක්‍රිකට් ආයතනයට වහ කදුරුවී ඇති අතර ඔහුම ආරම්භ කොට ප්‍රචලිත කල අයි.පී.එල් අධ්‍යකශක මණ්ඩලයෙන්ද පන්නා දමා තිබේ. ලලිත් මෝඩි බ්‍රිතාන්‍යයේ සැඟවී සිටිමින් ඉන්දීය ක්‍රිකට් ආයතනය නිර්දය ලෙස විවේචනය කරයි, එහි කුණු කන්දල් අවුස්සමින් බී.සී.සී.අයි ලොක්කන් ලැජ්ජාවට පත්කරයි. තමන්ගේ පරම හතුරෙකු වී සිටින ලලිත් මෝඩි ගෑවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ලීගයට පයිසයක උදව්වක් කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය කැමතිවේ යයි සිතන්නේ මහින්දානන්ද වැනි දෙගාත් වෘශභයින් පමනකි. වැඩේ ගල් වී ඇති බව තේරුම්ගෙන ඇති මහින්දානන්ද  නරිතෙමේට දැන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් හා ඉන්දීය අනුග්‍රාහකයින් ඕනෑ නැත. උන් දැන් තිත්ත මිදි වන අතර ඉන්දියන් කාරයින් නැතුව ක්‍රිකට් ලීග් තරඟාවලි පවත්වන හැටි අයි.සී.සී යට හා බී.සී.සී.අයි එකට උගන්වන්නට මහින්දානන්ද දැන් සරම කැහැපොට ගහගෙන දඟලයි. එහෙන් මෙහෙන් ඇහිඳගත්, market එකක් නැති දෙවන පෙල හා තුන්වන පෙල විදෙස් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සමහ මේ ක්‍රිකට් ගිරග්ග සමජ්ජය පැවැත්වෙනු ඇත. කිහිප දෙනෙකු පෝසත් වී ක්‍රිකට් ආයතනය තවත් දුප්පත් වෙනු ඇති අතර ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව ලෝකය ඉදිරියේ හෑල්ලුවට ලක්වෙනු ඇත.

Friday, June 24, 2011

ආසනික් උවදුර : දේශද්‍රෝහී, විනාශකාරී කෘෂිරසායන සමාගම් පන්නා දුටුගැමුණු යුගයේ විදියට ගොවිතැන් කරමු!

අපගේ දේශප්‍රේමී, දේශීය චින්තක නලීන්ද සිල්වාතුමා හා එතුමාගේ අවිද්‍යාඥ නඩය විසින් සිදුකරන ලද අවිද්‍යාත්මක සොයාගැනීම් වලට අනුව අප කන කෑමවලත්, බොන වතුරේත් ආසනික් ඇත. මේ බවට නාථ දෙවියන්ද සහතිකවී ඇති නිසා කිසිදු සැකයක් නැත. මේ සමාගම් ගොවිජනතාව රවටමින් වසවිස විකුණයි. මේ වසවිස තෙල්, පෝර ගහන්නේ නැතුව අපේ මුතුන්මිත්තෝ අපූරුවට කුඹුරුයායවල් අස්වද්දා ආසියාවේ සහල් නැලියබවට ලංකාව පත්කලහ. අස්වැන්න වැඩිවීමට කෘමිනාශක, වල්නාශක, කෘතිම පොහොර ගැසිය යුතුය යන්න අධිරාජ්‍යවාදී, බහුජාතික සමාගම්වල කුමන්ත්‍රණයකි. දැන් රාජපක්ශ රජය කලයුත්තේ සියලු කෘෂිරසායනික සමාගම්, පොහොර සමාගම්, බීජ සමාගම් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කොට රටින් පලවා හැරීමයි.  ඉනික්බිති කළයුත්තේ තට්ට ජැක්සන්, චක්කරවර්ති හාමුදුරුවෝ, මැන්දිස් රෝහණධීර තුන්කට්ටුව ලවා දුටුගැමුණු යුගයේ ගොවිතැන් කලහැටි ගොවි ජනතාවට කියාදීමයි. රජතුමාද දුටුගැමුණුගේ මෙන්ම බුදුහාමුදුරුවන්ගේද නෑයෙකු නිසාද, එතුමාගේ ප්‍රචාරක කසකරුවන් කලක් කියැවූ පරිදි එතුමා ගැමි සුවඳ හඳුනන සදාදරණීය නායකයාද බැවින් උන්නැහේද ගොයි මහත්වරුන්හට ටියුශන් දීමේ වැඩසටහන්මාලාවට දායක කරගත හැකිය.  එවිට විදේශ විනිමයද ඉතුරුකරගෙන, ආසනික් නොකා, වහ නොබී අටුකොටු පුරවාගෙන ආශ්චර්යය කරා යාහැක.

වී ගොවිතැන සඳහා කෘෂිරසායන හා පොහොර භාවිත පිලිබඳ ඉතිහාසය සොයා බැලීමේදී එය හරිත විප්ලවය හා බැඳී පවතින බව වැටහේ. හරිත විප්ලවය යනු කෘෂිරසායනික, කෘත්‍රිම පොහොර හා විද්‍යාගාරවල වැඩිදියුණු කල බීජ වපුරා අති විශාල අස්වැන්නක් ලබා ගැනීමයි. හරිත විප්ලවයට පදනම් වූ ගොවිතැන් කිරීමේ ක්‍රමවේදවල මහත්වූ වෙනසක් 1960 ගණන්වලදී සිදුවිය. මෙහිදී සිදුවූයේ එක් අක්කරයකින් ලැබෙන අස්වැන්න මහත්සේ වැඩිකරගැනීමකි. මේ සඳහා කෘත්‍රිම පොහොර, වගාව සමග තරඟකරමින් හිරු එලිය, ජලය හා පොහොර උදුරාගන්නා වල් පැලෑටි මර්ධනයට වල් නාශක යොදාගැනීම හා වගාවට හානිකරන පලිබෝධකයින් විනාශකිරීම සඳහා පලිබෝධනාශක යොදාගැනීම සිදුවිය. එමෙන්ම විවිධ පර්යේශණාගාර හරහා වැඩි අස්වන්නක් ගෙනදෙන, ඉක්මණින් පලදරන බෝග නිමැවූ අතර ඒවා වේගයෙන් ගොවිජනතාව අතර ප්‍රචලිත කිරීම සිදුවිය. මේ නිසා හැත්තෑව දශකය අවසන් වන විට ශ්‍රී ලංකාවද ඇතුලු බොහෝ රටවල් සහලින් ස්වයංපෝශිත වන්නට හැකියාව ලබාගත් අතර පිලිපීනය, ඉන්දුනීසියාව, වියට්නාමය වැනි රටවල් සහල් අපනයනය කරන්නන් බවට පත්විය. හරිත විප්ලවය මහත් උනන්දුවෙන් වැලඳගත් ඉන්දියාව මිලියන ගණනක් ජනතාව සාගතයෙන් මුදවාගත්තේය. ජනගහනය වැඩිවෙමින් වගාබිම් අඩුවෙමින් යනවිට පවා ලංකාව ඇතුලු ආසියාතික රටවල් සහලින් ස්වයංපෝශිත කිරීමට හරිත විප්ලවය හැකිවූයේ අක්කරයකින් ලබා ගන්නා අස්වැන්න තාක්ශණයේ ආධාරයෙන් නිරන්තරයෙන් වැඩිවෙමින් පැවතුනු බැවිනි.

ආසියාතික සහල් නිපදවන රටවල හරිත විප්ලවය සිදුවූයේ අධිරාජ්‍යවාදී බටහිර ගැති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකාර්මික වැඩසටහන (FAO), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මෙන්ම අධිරාජ්‍යවාදී අමෙරිකානු සම්භවයක් ඇති ෆෝඩ් පදනම (ෆෝඩ් මෝටර් රථ සමාගමේ නිර්මාතෘ හෙන්රි ෆෝඩ් විසින් අරඹන ලද රාජ්‍ය නොවන සංවිධානය) හා රොකෆෙලර් පදනම (දැවැන්ත අමෙරිකානු තෙල් සමාගමක් වුනු ස්ටෑන්ඩර්ඩ් ඔයිල් සමාගමේ නිර්මාතෲ ජෝන් ඩී. රොකෆෙලර් විසින් ආරම්භ කරන ලද රාජ්‍ය නොවන සංවිධානය) විසින් ලබාදුන් මූල්‍යාධාර මත පිලිපීනයේ අන්තර්ජාතික සහල් පර්යේශණ ආයතනයේ (International Rice Research Institute) හා කෘශි පර්යේශණ පිලිබඳ ජාත්‍යන්තර උපදේශණ කණ්ඩායම (Consultative Group on International Agricultural Research) ලෙස හඳුන්වන පර්යේශණායතන තුල නිපැදවූ වැඩි පලදාවක් ඇති සහල් වර්ග නිපැදවීමේ තාක්ශණයන් හට පින්සිදුවන්නටය. බතලගොඩ වැනි ශ්‍රී ලාංකික සහල් පර්යේශණ ආයතනතුල වැඩි පලදා සහල් බිහිවුනේ මෙවැනි පර්යේශණාගාරවල පුහුණුව ලැබූ දේශීය විද්‍යාඥයින්ගේ උත්සහයෙන් හා ඒවාට දායක වුනු මූල්‍යායතන වල අරමුදල් වලිනි.

නලින්ද සිල්වා නඩයට දැන් අවශ්‍යව ඇත්තේ අධිරාජ්‍යවාදීන්ගේ අනුග්‍රහයෙන් බිහිවුනු, බිලියන ගණනකගේ කුසගිණි නිවූ හරිත විප්ලවය දියකර හැරීමයි. ෆෝඩ්, රොකෆෙලර් වැනි එන්.ජි.ඕ ඩොලර් කාක්කන් විසින් බිහිකල හරිත විප්ලවයෙන් අපිට ඇති වැඩක් නැත. මේ හරිත විප්ලවය නිසා බටහිර කෘශි රසායන සමාගම්, පොහොර සමාගම් අධික ලාභ ලබමින් අපේ දුප්පත් ගොවීන් සූරාකමින්, රට වනසන, ජනතාව වකුගඩු රෝගීන් කරන ආසනික් ඇතුලු වස විස වපුරයි. සම්‍යක්දෘශ්ඨික නාථ දෙවියන් පවා සාක්කි කියන මේ අපරාධයෙන් ජනතාව ගලවාගත යුතුමය. පැරණි ක්‍රමයට ගොවිතැන් කොට ගොයි මහත්තයාගේ පවුලට ඊලඟ කන්නෙ වෙනකන් කන්නටවත් ප්‍රමාණවත් නොවන තරමට අක්කරයකට බුසලක් දෙකක් අස්වැන්න ගත්තාම හොඳටෝම ඇතිය. විමල් වීරවන්සයා පාන් කන එකටත් කෙලවා ඇති නිසා වී ගොයිතැන් නොකරන සෙසු ජනීජනයා මුහුදු වෙරලට ගොස් වැඳගෙන හාල් ගේන නැව් කොළඹට ගාල්ලට තිරිකුණාමලයට හා හම්බන්තොට වරායන්ට සේන්දු වනතෙක් බඩගිණි ඉවසාගෙන සිටිය යුතුය. ඕනෑවට වඩා බත් කන එක නවත්වන්නට සිරිමා මැතිනිය කෙරුවා මෙන් සතියට දින දෙකක් තුනක් බත් කන එක තහනම් කරන්නට පුලුවන. මග තැනින් තැන මාර්ග බාධක වලට අමතරව හාල් පොලු දමා බස්වල යන මිනිස්සුන්ගේ බෑග් වල වැඩිපුර හාල් තියෙනවාදැයි මලු ඇර පරීක්සාකර බැලිය යුතු අතර වැඩියෙන් හාල් ගෙනයන දේස ද්‍රෝහීන් අව්වේ දන ගස්වා තබා පසුව උසාවියට ඉදිරිපත් කොට දඬුවම් ලබාදිය යුතුය.කොස් දෙල් හිඟ නිසාත්, කොස් හිටවන කොස් මාමලා වෙනුවට කොස්ගස් කප්පන බාප්පිලා මාමිලා වැඩි නිසා බහුලව තිබෙන බජිරි, සැල්වීනියා වැනි විකල්ප ආහාර හඳුන්වාදීමට පියවරගත යුතුය. වැඩිපුර බත්කන්නන් දේශද්‍රෝහීන් බව කුඩා දරුවන්හට පවා තේරුම්කොට දී උන් හට කුඩා කාලයේම බජිරි කෑමට උගැන්විය යුතුය.

ඒ කෙසේවෙතත්, නලින්ද සිල්වා නඩය කියනා කරුනු සත්‍යය නම් මුලුමහත් ආසියාවම වකුගඩු රෝගීන්ගෙන්, ආසනික් විශවී සෑදෙන ආබාධවලින් බැටකන රෝගීන් ගෙන් පිරී සිටිය යුතුය. ශ්‍රී ලංකාවට සාපේක්ශව වැඩියෙන් පලිබෝධ නාශක, වල් නාශක හා කෘත්‍රිම පොහොර භාවිතාකරන ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය වැනි රටවල් වකුගඩු රෝගීන්ගෙන් උතුරා යා යුතුය. එහෙත් කරුමයට මේවා ඔක්කොම විසවෙන්නේ ලංකාවේ උන්ටමය. සමහරවිට ඔය රටවල වකුගඩු රෝගීන්, උන්ට වකුගඩු අමාරුව ඇති බව දන්නේ නැතුවා වන්නට පුලුවන. දැනගත්තත් නාථ දෙවියන් ඉන්දුනීසියාවේ, තායිලන්තයේ හෝ වියට්නාමයේ වැඩවසන්නේ නැති නිසා වකුගඩු අමාරුව හැදෙන්නේ හාල්වල හා බොන වතුරේ ඇති ආසනික් වලින් බව දැනගන්නට විධියක් නැත. ඒක උන්ගේ කරුමයයි.

නලින්ද සිල්වාගේ ජන්මභූමිය ලංකාව වූ පින නිසා අපට නම් මේ උවදුරෙන් ගැලවෙන්නට ලඟදීම පුලුවන් වනු ඇත. කලයුත්තේ විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන වයිට් වෙදැදුරු ලවා සියලු කෘශිරසායන හා පොහොර තහනම් කරන ලෙස රජතුමාට උපදේසයක් දෙන්නට සැලැස්වීමයි. නිවාඩ් කබ්රාල්ට කිට්ටු වී පොහොර තහනම් කලවිට පොහොර සහනාධාරයට යන බිලියන දෙකතුනක් ඉතිරිවන බවත් ඒ මුදලින් ගිරග්ග සමජ්ජ දෙකතුනක් නටා බඩගිනිකාරයින් තාවකාලිකව ශේප් කරගත හැකි බවත් පවසා සිටිය යුතුය. වයිටා කතාකරාට පස්සේ කබ්බා පොහොර සහනාධාරේ ඉතිරිවෙනවානෙ රජතුමනි කිව්වාම යුද්ධෙ ඉවර කලා වගේ බහුජාතික කෘශි රසායන හා පොහොර සමාගම් ඉවරකර දැමිය හැකිය. ඒ සමගම බත් කෑමේ අවසානයද ආරම්භ කල හැකිය.

Thursday, June 9, 2011

බැන් කී මූන් නැවත එ.ජා. මහලේකම් වනවාට රුසියාවේ හා චීනයේ සහය හෙවත් වැටත් නියරත් ගොයම් කෑම...

අපේ ප්‍රජාතාන්ත්‍රවාදී දේශප්‍රේමී නට්සි රාජ්‍යයේ ප්‍රධානම හතුරා වන්නේ දකුණු කොරියානු ජාතික වර්තමාන එජා මහලේකම් බැන් කී මූන් මහතාය. ඇමරිකාවේත් බ්‍රිතාන්‍යයේත් නෝර්වේ සුදු කොටි රාජ්‍යයේත් ඒජන්තයෙකු හා බත් බැලයෙකු වන ඔහුගේ දුශ්ඨ දරුස්මාන් වාර්තාවේ යුධ අපරාධ චෝදනාවලින් මේ මුතු කැට දිවයින හා එහි රජකරන පින්බර රාජරාජාධී මහාමාත්‍යවරුන් බේරාගන්නට සුදු අසුන් අරා අසිපත් අමෝරාගෙන අපවෙනුවෙන් සටනට එන්නේ අතිජාත රුසියානු හා චීන මිතුරන්ය. වෙනිසියුවේලාවේ චාවේස්, ඉරානයේ අහ්මඩිනෙජාඩ් හා ලිබියාවේ ගඩාෆි, රුසියානු/චීන සුදු අස්පයින්ගේ බෙටි අස් කිරීම වැනි සේවා පහසුකම් සපයමින් අප වෙනුවෙන් සුදු අධිරාජ්‍යවාධීන්ට විරුද්ධව ගෝසා කරනු ඇත...

වීර වංසලා, රතනලා, දත් දොස්තරලා, ඇල්ලේ ගුණවංශලා හා මෙකී නොකී අවසේශ බැලයින් කිඹිස්සේ එහෙමය...

අහෝ ඛේදයකි! රුසියාවත් චීනයත් අප පරම හතුරු බැන් කී මූන් තවත් අවුරුදු පහක් එජා සංවිධානයේ මුල් පුටුවේ තබන්නට දැනටමත් සිය කැමැත්ත පලකොට ඇත...

දෙවියනි....මේ සිදුවන්නේ කුමක්ද?

මේ පෙනෙන්නට තිබෙන්නේ අමු මෝඩයින් හා තමන් අසන්නට කැමතිදේ පමණක් කියන, දකින්නට කැමතිදේ පමණක් කරන, කපටි කෛරාටික තක්කඩින් රැළක් වටකරගෙන උන්ගේ උපදෙස් අනුව ජාත්‍යන්තරය සමග මුඩුක්කුවේ චන්ඩියා මෙන් ගණුදෙනු කරන්නට ගොස් හොට බිම ඇණගත් පාලකයින්ගේ නරිවාදම් පල්ලෙන් ගලාගෙන යන ආකාරය නොවේද?

ජාත්‍යන්තරය සමග ගණුදෙනු කරන විට අනුගමනය කලයුතු රීති මාලාවක් ඇත. ඉන් ඉතා වැදගත් රීතියක් නම් විවේචනය පිලිබඳ රීතියයි. එනම් රටක හෝ එ.ජා සංවිධානය වැනි අන්තර්ජාතික ආයතනයක ප්‍රතිපත්ති හෝ ක්‍රියාදාමයන් විවේචනය කරනවිට එම විවේචනය විවාදයට තුඩුදෙන ක්‍රියාවට හෝ ප්‍රතිපත්තියට පමණක් සීමා කරමින් කටයුතු කිරීමයි. බොහෝවිට එම ප්‍රතිපත්ති හෝ ක්‍රියාදාමයන්හට මූලීක වුනු නායකයින් පෞද්ගලිකව විවේචනය කිරීමක් හෝ පහරගැසීමක් සිදු නොකරයි. ඉරානය, ලිබියාව හා වෙනිසියුවේලාව වැනි බටහිර සමග නිතර ගැටෙන රටවල් පවා මේ ප්‍රතිපත්තිය අනුගමනය කරයි. උදාහරනයක් ලෙස ඔවුන් ඇමරිකාව, එහි රජය හා ජනාධිපතිවරයා විවේචනය කරනමුත්  ඔවුන්ගේ විවේචනය බැරැක් ඔබාමා ඉලක්කර කරගෙන සිදුකරන පෞද්ගලික මඩ ගැසීමක් බවට පත්කර නොගනී. මේවා සීලාචාර රටවල් එකිනෙකා හා ගැටුම් ඇතිකරගැනීමේදී පවා අනුගමනය කරන මහත්මා රීතීන් වේ.

මෙම රීති සීලාචාර රටවල් වල නායකයින් හා එම රටවල නායකයින් හට උපදෙස් දෙන උගත්, පළපුරුදු, තමුන්ගේ රටට ආදරය කරන උපදේශකයින් නිරන්තරයෙන් පිලිපදියි. ඔවුන් එසේ කරන්නේ තවත් රටක නායකයෙකු හෝ ජාත්‍යන්තර සංවිධානයක නිළධාරියෙකු හට පෞද්ගලික කෝන්තරයක ආකාරයෙන් මඩ ගැසීම ලෝකයා ඉදිරියේ හෙළුවෙන් දඟලමින් කෑකෝ ගැසීමකට සමාන බව දන්නා නිසාය. ලංකාව එසේ ජත්‍යන්තර රීතීන් හට ගරු කරන වැදගත් රටක් නොව මැදමූළන තියරියට අනුව බෝල සෙට් එක පෙනෙන තරමටම සරම උඩට උස්සාගෙන මහ පාරේ ගනුදෙනු බේරා ගැනීමට වෙරිමරගාතේ චැලෙන්ජ් කරන මෝඩ නායකයින්ගේ රටක් බව රුසියාව හා චීනයද ඇතුලු මුලු ලෝකයටම අවබෝධවී අවසන්ය.

ලංකාවේ සංවේදී වෘශභ නඩය බැං කී මූන් හට පහර ගැසුවේ චන්දකාලයේ රනිල්ට හා සරත් ෆොන්සේකාට මඩ ගැසූ ආකාරයටය. මේ ගොන් වහන්සේලා සිතාගෙන ඉන්නට ඇත්තේ ෆොන්සේකාගේ හා රනිල්ගේ පෞද්ගලික ජීවිතවලට පහරදී චන්ද දිනුවාසේ ජාත්‍යන්තරය සමග කරන ගනුදෙනුවලදීද දිනුම ලබාගන්නට පුලුවන් කියාය. ජාත්‍යන්තරයේදී ගණුදෙනු කරන්නට සිදුවන්නේ දිනන පැත්තට පාවෙන, පංචස්කන්ධය පෞරුශත්වය හා නායකත්වය ලෙස සිතාගෙන රැවටෙන චන්දදායකයින් සමග නොව ලෝකය කා වතුර බී නොකෑවාසේ තොලකට පිසදා සිනාසෙන දක්ශ රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන් සමගය. බැන් කී මූන් යනු රාජපක්ශ ජනපතිවරයා හා වීරවංශ ඇතුලු නකුටු බලු රැළ සිතාගෙන ඉන්නා ආකාරයේ මෝඩ ගොනෙකු නොව අති ශූර පරිපාළකයෙකි, දක්ශ  ගනුදෙනුකරුවෙකි (deal maker), බුද්ධිමත්ලෙස සිය බලය හා තනතුර හසුරුන්නෙකි.

විශ්වවිද්‍යාලයෙන් පිටවී විදේශසේවා තෝරාගැනීම් විභාගයෙන් ඉහලම ලකුණු ලබාගෙන (ලංකාවේනම් බාප්පී කෙනෙකු ආණ්ඩුවේ සිටීම ප්‍රමාණවත්ය) දකුණු කොරියානු විදේශ සේවයට ඇතුලත්වුනු ඔහු 1970සිට කොරියානු විදේශ සේවයේ නියුතුව සිටි, හිටපු කොරියානු විදේශ ඇමතිවරයෙක් මෙන්ම දීර්ඝ කාලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල විවිධ තනතුරු හොබවමින් විශාල අත්දැකීම් රාශියක් රැස්කරගත්තෙකි. එලෙසම අප මහා රජිඳා මෙන් නොව දක්ශයින්, බුද්ධිමතුන් සිය උපදේශකයින් ලෙස රඳවාගෙන ඔවුන්ගේ උපදෙස් වලට සවන්දෙමින් ක්‍රියාත්මක වන පාලකයෙකි. බැන් කී මූන් වට්ටන්නට අපේ අන්දොස් අයියලා සිතාගෙන ඉන්නාතරම් ලේසි නැත්තේ එබැවිනි.

බැං කී මූන්ගේ දක්ශකමත් අපේ අයියලාගේ මෝඩ කමත් අතර වෙනස තවත් අවුරුදු පහකට බැන් කී මූන් අපේ සොඳුරු මිතුරන්ගේ චන්දයෙන්ම  පත්වෙන්නට යාමෙන් පෙනී යයි. හම්බන්තොට වරායක් හදන්නට ඉඩදුන් පලියට චීනය හෝ යල් පැනගිය ප්‍රහාරක යානා දෙක තුනක්  ගත්පලියට රුසියාව හෝ සිය ජාත්‍යන්තර උපායමාර්ගික වැඩපිලිවෙලවල් වෙනස් කරන්නේ නැත. චීනයට මෙන්ම රුසියාවටද බැන් කී මූන්, රාජපක්ශ රජය හා ලංකාවට බඩු විකුණා ලැබෙන සොච්චම් ආදායමට වඩා බෙහෙවින් වටින්නේය. (අපිට රුපියල් බිලියන ගණන් වූවාට රුසියාවේ හා චීනයේ ජාතික ආදායම් බලනවිට අපෙන් ලැබෙන සල්ලි ඔවුනට මාරුකාසි තරම්වත් නොවටිනාය. ඇමරිකාව් ණය ගන්නේත් චීනයෙන් බවද මතක් කල යුතුමය )

දෛවයේ සරදම වන්නේ රුසියාවටද චීනයට බැන් කී මූන් වැදගත් වන්නේ ඔහු අපට සතුරෙකු වන්නට හේතුවන කරුනම වන බැවිනි.  මූන් මහලේකම්, ලංකාවේ සිදුවූවායයි පැවසෙන මානව හිමිකම් කඩවීම්වලට කොමිසම් දමමින් වාර්තා වැඩම්මවූවාට රුසියාව චෙච්නියාවේ සිදුකරන දැවැන්ත සමූළඝාතන හෝ චීනය ටිබෙට් රටේ හා සින්ජියාන් පලාත්වල සිදුකරන මානවහිමිකම් හිමිකම් කඩකිරීම් වලට මීක් සද්දයක් නැත. රුසියාවට චෙච්නියාව පාලනය කරගැනීම මෙන්ම චීනයට ටිබෙට් රට හා මුස්ලිම් ජාතිකයින් වෙසෙන් සින්ජියාන් වැනි පලාත්වල බලය රඳවාගැනීම රාජපක්ශ රජයට මුක්කු ගැසීමට වඩා වැදගත්ය. බැන් කී මූන් පත්කරගත් විට තවත් අවුරුදු පහක් රුසියාවටද චීනයටද සිය මානව හිමිකම් කඩකිරීම නිදහසේ කරගෙන ගිය හැකිය.

පොතක් පත්තරයක් නොකියවන්නන් විසින් පාලනය කරන රටක් බැවින් අපේ වගකිව යුත්තන් මේවා නොදන්නවා වූවාට ටයිම්, නිවුස්වීක් වැනි සඟරා සෑම සතියකම මේ තොරතුරු පලකරයි. අමෙරිකාවට මෙන්ම බ්‍රිතාන්‍යයට වුවද බැන් කී මහතා වැදගත් වන්නේද මේ නිසාමය. ඉරාකයේ අමෙරිකන්/බ්‍රිතාන්‍ය හමුදා සිදුකල මිනිස් ඝාතන ගැන සොයන්නට බැන් කී ට වෙලාවක් නැතිවීම, තවත් අවුරුදු පහකට ඔහුට මහ පුටුව ලැබීමේ වාසනාව හිමිකර දෙන්නට විය. ඇෆ්ඝනිස්ථානයේ තත්වයත් එසේමය. ඇෆ්ඝනිස්ථානයට සැතපුම් 7000ක් ඈත නෙවාඩා ප්‍රාන්තයේ ගුවන් කඳවුරක සීතකල කාමරවල සිටිමින්, මුලු ළමා වියම පරිගණක වීඩියෝ ක්‍රීඩා කරමින් ලොකු මහත්වුනු අවුරුදු 20-25 වයස් තරුණයින් මෙහෙයවන මාරාන්තික ප්‍රිඩේටර් නියමු රහිත යානා මගින් පහරදී මරාදැමෙන අහිංසක ඇෆ්ඝන් වැසියන් ගැන හොයන්නට බැන් කී මූන් හට ඉස්පාසුවක් නොමැති වීම ප්‍රසාද ජනකය. ප්‍රිඩෙටර් යානා මෙහෙයවන ඇමරිකන් වීඩියෝ ගේම් ගැටවුන්ගේ වැරදි තීරණ මත මියගිය අහිංසක ඇෆ්ඝන් වැසියන් ගැන හොයන්නට ගියානම් බැන් කී මූන් හට මුල් අවුරුදු පහ ඉක්මවෙන්නටත් කලියෙන් විශ්‍රාම යන්නට සිදුවන්නට ඉඩ තිබුණි. එහෙත් චීන රුසියන් සහය නිසා තවත් අවුරුදු පහක් යනතෙක් රාජපක්ශ රජතුමාට මූන්ගේ මුස්පේත්තු මූන බලමින් බ්ලඩ් ප්‍රෙසර් නග්ගවා ගන්නට සිදුවීම අනිවාර්‍යය.

මේ කිසිවක් නිවැරදි යයි මම නොකියමි. එහෙත් ලෝක සත්‍යය එයයි. ලෝකයේ වැදගත්, සීලාචාර රාජ්‍යයන් ජාත්‍යන්තර ගැටලු පෞද්ගලික මඩ ගැසීම් බවට හරවා නොගන්නේ  මේ ලෝක  යතාර්ථය ඔවුන් දන්නා නිසාය. රාජපක්ස රජය බුද්ධිමත්ව, බැන් කී මූන් හට පෞද්ගලිකව මඩ නොගසමින්, ඔහු වෛරක්කාරයෙකු කරනොගනිමින් එ.ජා වාර්තාවට සිය විරෝධය පලකලානම් දැන් හෝ බැන් කී මූන් සමග රටට වාසිදායක ගනුදෙනුවකට යන්නට තිබුනි. එහෙත් කෙලවරක් නැති මෝඩකම් නිසා ලෝකයේම සහය ඇති බලසම්පන්න මිනිසෙක් රටේ තරහකාරයෙකු වී ඇති අතර, බැන් කී මූන් යනු රට ගිලගන්නට ආ චීන මූනක් ඇති කොටි ත්‍රස්තාවාදියෙකු බව බහුතර ජනතාවගේ සිතට කාවද්ද්දවා ඇත. මේ අනුව "කොටි මූන් "සමග ගනුදෙනුවකට යාම රජයට වමනය කනවා මෙන් අප්පිරියාවෙන් අපහසුවෙන් හැකිවුනත් ඒ සඳහා බැන් කී මූන් පරම හතුරා කරන්නට ගෙතූ බොරු වලට වඩා දස දහසක් බොරු ගොතා කිව යුතුය. "රට පාවාදෙන්නේ නෑ හාමුදුරුවනේ" කියපු කටින්ම රට කන්නට එනවායයි කියූ  මූන් දැන් යහපත්  එකෙකු  බවත්, කොටියා නොවන බවත් කිව යුතුය.

රාජපක්ශ රජයට ලංකාව තුල ඕනෑම ඇත්තක් බොරු කිරීමටද ඕනෑම බොරුවක් බුදුබණටත් වඩා ඇත්ත කිරීමට හැකියාවක් ඇතත් ඒ හැකියාව මේ කුඩා දිවයිනේ සීමා මායිම්වලින් එපිටට නොපවතී. එබැවින් ලෝකයේම හවුල් සංවිධානයක් වන එජා සංවිධානය ඉදිරිපත්කල වාර්තාවක් බැන් කී මූන් මහ ලේකම්ගේ ප්‍රයිවෙට් ප්‍රොජෙක්ට් එකක් මෙන් පෙන්වන්නට ගොස් හත් පොලේ ගාගෙන ඉන්නා රාජපක්ශ රජය බලෙන් හතුරෙකු කරගත් බැන් කී මූන් සමග ඉදිරි වසර පහේදී කෙසේ ගනුදෙනු කරන්නේද යන්න මුලු මහත් ලෝකයාම උපහාසයෙන් යුතුව බලාගෙන සිටිනු ඇත.