Friday, May 18, 2012

ෆොන්සේකාගේ නිදහස

ෆොන්සේකාගේ නිදහස ගැන බොහෝ වෙබ් ලිපි ලියැවී ඇත. තවත් ලියවෙනු ඇත. ඒ අතරට මෙයද එක් කරමි.

ෆොන්සේකා නිදහස් කරන්නට කැබිනට් අනුමැතිය ලැබුනා යයි කියවේ. මොන නීතියට අනුව එහෙම කැමැත්ත විමසුවාදැයි දැනගන්නට නැත. ස්ත්‍රී දූශකයින්හට ජනපති සමාව දෙනවිටද මෙලෙස කැමැත්ත විමසුවාදැයි අසන්නට අප කැමැත්තෙමු. එලෙසම ජනාධිපති කැබිනට් එකට ඉදිරිපත් කරන දෙයක් ප්‍රතික්ශේප වන්නට අවකාශ ඇති සැබෑ ප්‍රජාතාන්ත්‍රවාදී රටකනම් මෙවැනි කැමැත්ත විමසීමක වැදගත් කමක් ඇත. ජනපති කැබිනට් එකෙන් කැමැත්ත අහන ගමන්ම මම නම් විරුද්ධයි කියලා ජනපති කිව්වානම් ඇමතිවරු සියල්ලම විරුද්ධවන බවත් ඒ අනුව කැබිනට් මණ්ඩලය විරුද්ධ නිසා ෆොන්සේකා නිදහස් කිරීමට නොහැකි බවත් කියැවෙනු ඇත. එවිට එයද සාධාරණීකරණය කරනු ඇත.

කෙසේවෙතත් ෆොන්සේකා අතඩංගුවට ගැනීමේ තීන්දුව රාජපක්ශලා විසින් කරන ලද දේශපාලන ගණන්බැලීමක් වැරදුන විරල අවස්ථාවකි. මහින්ද රාජපක්ශ නම් දේශපාලන සත්වයා පුදුමාකාර දේශපාලන ඉවක් ඇත්තෙකි. දේශපාලන ගණන් බැලීම්වලදී ජේ ආර් ජයවර්ධනටත් වඩා මහින්ද රාජපක්ශ දක්ශයෙකු බව ඔප්පුවී හමාරය.

එහෙත් ගුරුන්ටත් අකුරු වරදිනවාසේ ෆොන්සේකා හිරකිරීම වැරදී ගියේය. නඩු පිට නඩු දැම්මත්, අසාධාරණ තීන්දුමත සිරකරගෙන සිටියත් ජන විඥ්ඥානය තුල සැබෑ වීරයා මහින්ද හෝ ගෝඨා නොව සරත් ෆොන්සේකා බව මහින්ද රාජපක්ශහට අවබෝධවන විට ආපසු හැරිය නොහැකි ලෙස ෆොන්සේකා පඹගාලේ ආණ්ඩුව පැටලී තිබුණි. ඉන් පසු සිදුකල හැමදෙයක්ම එක බොරුව වැසීමට සියක් බොරු කියන්නාම මෙන් හත්පොලේ ගා ගැනීමකට වඩා වැඩියම්ක් නොවුනි.

එමෙන්ම මහින්ද රාජක්ශ රට අභ්‍යන්තර දේශපාලනයේ මහා පතාකයෙකු වුවත් අන්තර්ජාතික දේශපාලනයේදී ළදරු මානසිකත්වයක් පෙන්වයි. කොළඹ හෝ ජීනීවා නගරයේ හෝ නිව්යෝර්ක් නුවරට සල්ලිදී ගෙන්නා ගන්නා කුලී උද්ඝෝශකයින් හරහා හෝ, කොළඹ පෝස්ටර් ගැසීමෙන් හෝ ලිබියාවේ, බුරුමයේ, ඉරානයේ ක්‍රමයට චන්දපවත්වා පෙන්වන (හොර)ජනබලය ලෝක දේශපාලනයේ පයිසයකවත් වටිනාකමක් නැති ලොව පහලවුනු සෑම ඒකාධිපති පාලකයාම භාවිතාකල යල් පැන ගිය උප්පරවැට්ටියක් බව රාජපක්ශ නොදැනීම පුදුමයක් නොවේ. දේශීයව මවාගෙන සිටිනා ප්‍රතිරූපය ජාත්‍යන්තර තලයේදී සතපහක වැදගැම්මක් නැතිබවද මහින්ද රාජපක්ශට පසක්වූයේ ජිනීවා නරිනාටකයෙන් හොම්බ ඇණගැනීමෙන් පසුවය.

රාජපක්ශ ජාත්‍යන්තර දේශපාලනය ගැන උපදෙස් ගන්නේ සීමාන්තික බටහිර විරෝධී උන්මත්තකයින්ගෙන් මිස ලෝක දේශපාලන යථාර්ථය දන්නා පොලොවේ පයගසා සිටින මිනිසුන්ගෙන් නොවේ. මේ මෝඩ උපදෙස් අනුව නැටූ රාජපක්ශ ජාත්‍යන්තර තීන්දු තීරණ වෙනස කල නොහැකිබවඅවබෝධ කරගත්තේ ජිනීවා අවමගුලෙන් පසුවය.

රාජපක්ශ සිය නැතිවීගිය ජාත්‍යන්තර ප්‍රතිරූපය බිඳකින් හෝ ගොඩනගා ගන්නට මෙන්ම වැරදී ගිය දේශපාලන උප්පරවැට්ටියක් නිසා පැටලී සිටින පඹගාලෙන් ගැලවීමට ෆොන්සේකා නිදහස් කිරීම යොදාගන්නට බලාපොරොත්තු වන බව පෙනේ. එනිසාම ෆොන්සේකා නිදහස් කිරීම ශ්‍රී ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය තිබෙන බව ජාත්‍යන්තරයට පෙන්වීම සඳහා ජාත්‍යන්තර මෙහෙයුමකුත්, ෆොන්සේකා නිදහස් කිරීමෙන් තමන් මහා පුණ්‍යකර්මයක් කළබවට දේශීයව පෙන්වීම සඳහා දැවැන්ත මෙහෙයුමකුත් ක්‍රියාත්මක වනු ඇත.

ජාත්‍යන්තර මෙහෙයුම පෙර දියත්කල මෙහෙයුම් මෙන්ම නිවට, දියාරු මෙහෙයුමක් වනු ඇත. දේශීය මෙහෙයුම ෆොන්සේකා අත් අඩංගුවට ගත් මෙහෙයුමට වඩා වැඩියමක් නොවනු ඇත.

6 comments:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

හොඳ විග්‍රහයක් !

Anonymous said...

1) ""ෆොන්සේකා නිදහස් කරන්නට කැබිනට් අනුමැතිය ලැබුනා යයි කියවේ. මොන නීතියට අනුව එහෙම කැමැත්ත විමසුවාදැයි දැනගන්නට නැත. ස්ත්‍රී දූශකයින්හට ජනපති සමාව දෙනවිටද මෙලෙස කැමැත්ත විමසුවාදැයි අසන්නට අප කැමැත්තෙමු. එලෙසම ජනාධිපති කැබිනට් එකට ඉදිරිපත් කරන දෙයක් ප්‍රතික්ශේප වන්නට අවකාශ ඇති සැබෑ ප්‍රජාතාන්ත්‍රවාදී රටකනම් මෙවැනි කැමැත්ත විමසීමක වැදගත් කමක් ඇත. ජනපති කැබිනට් එකෙන් කැමැත්ත අහන ගමන්ම මම නම් විරුද්ධයි කියලා ජනපති කිව්වානම් ඇමතිවරු සියල්ලම විරුද්ධවන බවත් ඒ අනුව කැබිනට් මණ්ඩලය විරුද්ධ නිසා ෆොන්සේකා නිදහස් කිරීමට නොහැකි බවත් කියැවෙනු ඇත. එවිට එයද සාධාරණීකරණය කරනු ඇත.
""
ගහ දන්නා මිනිස්සුන්ට කොළ කඩා පෑම..

2)"" කෙසේවෙතත් ෆොන්සේකා අතඩංගුවට ගැනීමේ තීන්දුව රාජපක්ශලා විසින් කරන ලද දේශපාලන ගණන්බැලීමක් වැරදුන විරල අවස්ථාවකි.""

John nashගේ "Fuck you buddy.."( If you know what I mean..)

3)""දේශපාලන ගණන් බැලීම්වලදී ජේ ආර් ජයවර්ධනටත් වඩා මහින්ද රාජපක්ශ දක්ශයෙකු බව ඔප්පුවී හමාරය.""

එකඟ නොවෙමි.. ජේ ආර් ගේ පරිනත භාවයට ලඟාවීම මහින්දට සිතීමටවත් නොහැක..

4) ""මහින්ද රාජපක්ශහට අවබෝධවන විට ආපසු හැරිය නොහැකි ලෙස ෆොන්සේකා පඹගාලේ ආණ්ඩුව පැටලී තිබුණි""

මෙය නොදැන සිටියා යැයි පැවසීම බ්ලොග් රචකයාගේ අපරිණත දේශපාලන දැනුම ප්‍රකාශ කරයි..

5)
""එමෙන්ම මහින්ද රාජක්ශ රට අභ්‍යන්තර දේශපාලනයේ මහා පතාකයෙකු වුවත් අන්තර්ජාතික දේශපාලනයේදී ළදරු මානසිකත්වයක් පෙන්වයි. ""


ජේ ආර් පිලිබඳ ලිපිකරුගේ අදහස වැරදි බව ඔහුම පිළිගෙන ඇත.

රංචාගොඩ මුදියන්සේ said...

""එමෙන්ම මහින්ද රාජක්ශ රට අභ්‍යන්තර දේශපාලනයේ මහා පතාකයෙකු වුවත් අන්තර්ජාතික දේශපාලනයේදී ළදරු මානසිකත්වයක් පෙන්වයි. ""


//ජේ ආර් පිලිබඳ ලිපිකරුගේ අදහස වැරදි බව ඔහුම පිළිගෙන ඇත.//
============================

මේ ලිපිය මහින්ද රාජපක්ශ ගැන මිස ජේ ආර් ගැන නොවේ..... :-! කෙසේවෙතත් පිලිතුරක් දෙමි...

ජේ ආර් ද, රාජපක්ශ මෙන්ම විදේශ ප්‍රතිපත්තියේ ළදරු මානසිකත්වයක් පෙන්වූ අයෙකි.

සාක්ශි;

1] දැඩි ඇමරිකන්/බටහිර ගැත්තෙකු වුනු ජේ ආර්, ඉන්දියාව ලංකාවට බලපෑම් කරනවිට ඇමරිකාව (හා බ්‍රිතාන්‍යය) අප ගලවාගනු ඇතැයි සිතා සිටියේය. එහෙත් ඉන්දියාව සිය බලපෑම් වැඩිකරද්දී ඇමරිකාව මෙන්ම බ්‍රිතාන්‍යයද අප තනිකර දමා නිහඬවිය.

ලංකාවට අවිආයුධ පමණක් නොව ඇමරිකන් බෙල් හෙලිකොප්ටරවලට (Bell 212/412) අවශ්‍ය අමතරකොටස් ලබාදීම පවා ඇමරිකාව ප්‍රතික්ශේප කලේය. ලංකාවට ඊශ්‍රායලය හා එවක වර්ණබේධවාදී දකුණු අප්‍රිකාවෙන් අවිආයුධ මිලදීගන්නට සිදුවූයේ ඒ අනුවය.

2] ජේ ආර් ලංකාවේ දෙමළ ත්‍රස්තවාදය පිලිබඳව ඉන්දියාවේ භූමිකාව ඉතා අඩුවෙන් තක්සේරු කල අයෙකි. ඔහුට යතාර්ථය අවබෝධවූයේ ඉන්දියාවේ දැඩි බලපෑම මත "වඩමාරච්චි මෙහෙයුම" නවතා දමන්නට සිදුවී ඉන්දියාවේ පරිප්පු ළංකාවට වැටුනාට පසුවය. ඉන්දු-ලංකා ගිවිසුම අප හිසමත වැටුනේ මේ අනුවය.

ඒ සමගම මෙයද කිව යුතුය....

මහින්ද මෙන් නොව, ජාත්‍යන්තර තලයේදී ජේ ආර් ඉතා ඉක්මණින් පාඩම් ඉගෙන ගන්නෙකු විය. එයට උදාහරණය නම්;;;

"ඉන්දියන් හමුදාව ලංකාවට ගෙන්නා ගෙන ඉන්දියාව පෝශණය කල කොටින්ට ඉන්දියාව ලවා පහරදීමටත්, ඉන්දියානු භටයින්ගේ ජීවිත වලින් වන්දිගෙවීමට සැලැස්වීම...................එහි අවසානය ලෙස ඉන්දියාව (උතුරු ඉන්දියානු නායකත්වය) සදහටම කොටි සංවිධානයේ විනාශය ප්‍රාර්ථනය කරන තැනට ගෙනා රජීව් ඝාතනය සිදුවීම සඳහන් කල යුතුය." -- ඌරාගේ මාළු ඌරාගේ ඇඟමත තබාම කපන්නට ජේ ආර් දක්ශවිය.

කිංස්ලි විජේසූරිය said...

මහින්ද මෙන් නොව, ජාත්‍යන්තර තලයේදී ජේ.ආර්. ඉතා ඉක්මණින් පාඩම් ඉගෙන ගත්තෙකු බව ඇත්ත යි, නමුත් ඔබේ නිරීක්ෂණයේ ඉතිරි කොටස, එනම් ඌරාගේ මාළු ඌරාගේ පිට මත ම තබා කැපීම නම් ජේ.ආර්.ගේ දක්ෂතාවක් නිසා සිදු වූවක් නොව, අහඹුවක් පමණි.

ඔහු ඉන්දියන් හමුදාවනට ලංකාවට පැමිණීම සඳහා "ආරාධනා" කළත්, කොටින්ට ඉන්දියන් හමුදාවෙන් පහර කන්නට ලැබීම, ලංකාණ්ඩුව සමඟ සම්මුතියකට ඒමට අකැමැති වූ ප්‍රභාකරන්ගේ අනම්‍ය ගතිය නිසා සිදු වූවකි. ඉන්දියානු භටයින් 1000 කට වැඩි ගණනකගේ ජීවිත අහිමි වීම ජේ.ආර්.ගේ උප්පරවැට්ටියක් නිසා සිදු වූවක් නොවේ.

1977 සිට ඉතා විශාල ප්‍රතිරූපයකින් යුක්ත වූ ජේ.ආර්. ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළ මොහොතේ සිට මහජනයා ඉදිරිපිට නිකම් ජෝකරයකුගේ තත්ත්වයට පත් විය. ඔහු ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගියේ අධික වෙහෙසකර මිනිසෙක් හැටියට ය. රජීව් ගාන්ධි ඝාතනය සිදුවන විට ලංකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ආර්. ප්‍රේමදාස යි.

ඔබේ පෝස්ටුව මෙන් ම කොමෙන්ටුව ද ලංකාවේ නූගත් ඡන්දදායකයන්ට පින් සිදුවන්නට විශාල ප්‍රතිරූප ගොඩ නඟා ගන්නා මෝඩ පාලකයන් ගැන හොඳින් විග්‍රහ කරනවා.

Anonymous said...

//දේශපාලන ගණන් බැලීම්වලදී ජේ ආර් ජයවර්ධනටත් වඩා මහින්ද රාජපක්ශ දක්ශයෙකු බව ඔප්පුවී හමාරය.
//මහින්ද රාජක්ශ රට අභ්‍යන්තර දේශපාලනයේ මහා පතාකයෙකු වුවත්

මෙම කියමන් සමග එකඟ විය නොහැක. රාජපක්ෂ දේශපාලන දර්ශනයක් නැති වැල යන අතට මැස්ස ගසනා චරිතයකි. යුද්ධය යුද්ධයෙන් අවසන් කිරීම හැරෙන්නට ඔහු කල/කරන අනෙකුත් කටයුතු සියල්ලම පාහේ අසාර්ථක වී ඇත.

රංචාගොඩ මුදියන්සේ said...

radicaladahas said...
//දේශපාලන ගණන් බැලීම්වලදී ජේ ආර් ජයවර්ධනටත් වඩා මහින්ද රාජපක්ශ දක්ශයෙකු බව ඔප්පුවී හමාරය.
//මහින්ද රාජක්ශ රට අභ්‍යන්තර දේශපාලනයේ මහා පතාකයෙකු වුවත්

මෙම කියමන් සමග එකඟ විය නොහැක. රාජපක්ෂ දේශපාලන දර්ශනයක් නැති වැල යන අතට මැස්ස ගසනා චරිතයකි. යුද්ධය යුද්ධයෙන් අවසන් කිරීම හැරෙන්නට ඔහු කල/කරන අනෙකුත් කටයුතු සියල්ලම පාහේ අසාර්ථක වී ඇත.
-------------------------------

මහින්ද යනු වැල යන අතට මැස්ස ගසන්නෙකු බව සැබෑය. මා පතාක යෝධයෙකු යනුවෙන් අදහස් කලේ ඉතා දක්ශ ලෙස තම බලය තහවුරු කරගෙන අභියෝග බිඳ දමන්නෙකු යන අර්ථයෙනි. නිර්ලජ්ජී බලකාමියෙකුට "පතාක යෝධයා" යනුවෙන් හැඳින්වීම මා කල වරදකි.