There was an error in this gadget

Wednesday, May 25, 2011

නායකත්ව පුහුණුව.............

Rate this post 
විරෝධයට හේතුසාධක

විශ්ව විද්‍යාල නවක සිසුන්හට ඇස්.බී තුමාගේ "සංකල්පණාවක්" අනුව ලබාදෙන නායකත්ව පුහුණුව ගැන සමාජයේ දැඩි විවාදයක් පවතී. විවාදය බැලූබැල්මට ආන්තිකය. කට්ටියක් දැඩිලෙස විරුද්ධය. විරුද්ධවීමට හේතු ගොඩකි. රාජපක්ශලාගේ වැඩගැන ජනතාවට ඇති  අවිශ්වාසය, එස්.බී ගැන ඇති අපුල විරෝධතාවලට ප්‍රධාන නිමිතිවේ. මීට අමතරව ජවිපෙ, සිය සාම්ප්‍රදායික බලකොටු හා මිනිස් සම්පත් සංචිතය වන සරසවි සිසුන් හමුදා පුහුණුව ලැබූ, නවක වධයට, සීනියර් අයියලාගේ අක්කලාගේ සත්තම් වලට නොබිය කශේරුකා සහිත මිනිසුන් වීම ජවිපෙට මහත් විපතකි.ඒ නිසා ජවිපය විරෝධතාවය දක්වයි. ජවිපෙ පැත්තෙන් එය සාධාරණය තම බලකොටු කඩාවැටෙනවා බලාගෙන නිකම් සිටිය හැක්කේ රනිල් වැනි නායකයින්ට පමණි.

මීට අමතරව සරසවි සිසුන් ජාතියේ දක්ශම දරුවන් බවත්, වතුර බේසම්වල කකුල් දමාගෙන පාඩම් කලේ කූඩාරමක අටපාස් නිළධාරීන් අතින් විනය හා නායකත්වය ගැන දේසනා අසාගැනීමට නොවන බවටත් තර්කයක් මතුවේ.

මේ සියල්ල සත්‍යලෙස ගත හැකි, විවිධ කෝණවලින් බැලූවිට සාධාරණ තරකවේ.

නායක්ත්ව පුහුණුව යනු මුසාවාදයකි

දැන් අපි මේ පුහුණුවේ සවභාවය ගනිමු.මෙයට නායකත්ව පුහුණුවක් යයි සඳහන් කරයි. මෙය මුසාවදයකි. නායකයින් පුහුණු කරන්නට පුලුවන් නම් රටකට නියම නායකයින්ගේ හිඟයක් ඇතිවෙන්නේ නැත. නායකයන් බිහිවන්නේ උපතින් බවත්, පුහුණුකල නොහැකි බවත් මානවසම්පත් කලමනාකරණයේදී උගන්වයි. කල හැක්කේ නායකත්වය සඳහා සහජ කුසලතාවක් දක්වන්නන් හඳුනාගෙන ඔවුන්හට එම කුසලතා වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය මගපෙන්වීම හා උපදේශන (mentoring) ලබාදීමයි. මෙය වසර ගණනාවක් යන ක්‍රියාදාමයකි. ඒනිසා මේ පුහුණුව "නායකත්ව පුහුණුවක්" යයි හැඳින්වීම එස්.බී හත්පොලේ ගා ගැනීමකි.

එසේනම් මේ පුහුණව කුමක්ද?

පෙනෙන ආකාරයට මෙය පෞරුශත්වය හා ආත්මවිශ්වාසය වර්ධනය කිරීමේ පුහුණුවකි. පුහුණුව භාරදුන් හමුදාකඳවුරුවල අණදෙන නිළධාරීන් හට පවා මේ ගැන දැනුමක් ඇත්දැයි සැක සහිතය. එහෙත් මෙවැනි පුහුණුවක් ඉතා සාර්ථකව හමුදා පුහුණුවක් මගින් ලබාදිය හැකිය. හමුදා පුහුණුවක් යයි කියූ පමණින් වරදවා තේරුම් ගතයුතු නැත. හමුදා පුහුණුව යනු වෙඩි තබන්නට, මරන්නට , මැරෙන්නට, අණපිලිපදින්නට පමණක් පුහුණු කිරීමක් නොවේ.

ඊට අමතරව හමුදා පුහුණුවකදී වෙලාවට වැඩ කිරීම, ලැබෙන උපදෙස් නිසිපරිදි ක්‍රියාත්මක කිරීමට උගෙනීම, පෞද්ගලික ජීවිතය අන් අයට කරදරක් නොවෙන ලෙස, අනුන් මත නොයැපී තමුන්ගේ වැඩ තමුන්ම කරගන්නා ආකාරය උගෙනීම, තමා පිලිබඳව ආත්ම විශ්වාසයකින් කටයුතු කිරීම, තමන්ටත් යමක් කල හැකියයි ආත්ම විශ්වාසය ගොඩ නැගීම වැනි ඉතා වැදගත් ජීවන කුසලතාද ඉගැන්වේ. හරියට වැඩක් කරන්නට බැරි, තමන්ට තමන් ගැනම විශ්වාසයක් නැති මිනිසුන්හට යුද්ධවලට මුහුණදිය හැකිද?

මා මෙතන සඳහන් කරන්නේ එස්.බී ගේ පුහුණුව හෝ එහි ප්‍රතිලාභ නොව නිවැරදි හමුදාපුහුණුවකදී පුහුනුවන්නෙකුට ලැබෙන ප්‍රතිලාභයි.  එස්.බී ගේ පුහුණුව ගැන එස්.බීට හෝ ඔහුගේ ගෝලයයින් හට හෝ හරිහමන් අවබෝධයක් ඇත්දැයි නොදනිමි.

හමුදාවිනය පාදක කොටගත් පෞරුශත්වය හා ආත්මවිශ්වාස වර්ධන පුහුණුවක් සරසවි සිසුනට වැදගත් ඇයි?

මෙය එස්.බී ගේ පුහුණුවට කඩේ යාමක් නොවන බව මම නැවතත් කියමි. එහෙත් උසස් අධ්‍යාපන ආයතනයක උගන්වන මට සරසවි පිවිසුම් වයසේ සිටින සිසු සිසුවියන් හට මෙවැනි පුහුණුවක් වැදගත් යයි සිතෙන්නේ මාගේ අත්දැකීම්ද අනුවය.

1] කායික සුවතාවය

උසස්පෙල නිමකරන සිසුන් වැඩි ප්‍රතිශතයක් කිසිදු කායික ව්‍යායාමයකින් තොරව වසර දෙකක් නැතහොත් තුනක් තනිකරම පොතපතේම ගැලුණු අයවලුන්වේ. මොවුන් නැවතත් සිරුර ක්‍රියාත්මකවන, මේධ දිය කරණ ව්‍යායාම පද්ධතියක නියැලවීම ඔවුන්ගේ අනාගත නිරෝගිභාවට පිටිවහලකි.

2] ආත්ම විශ්වාසය හා පෞරුශත්වය

විශ්වවිද්‍යාලතුලදී ආත්ම ශක්තියක්, ආත්ම විශ්වාසයක් නැති කෙනෙකුට පෙම්වතියක් හෝ සොයාගැනීම අපහසුය. නවකවධය වැනි පරපීඩක උපක්‍රම මගින් කෙල්ලෙකු සොයාගැනීමට සමහර සිසුන් පෙළබෙන්නේ එබැවිනි. කෙල්ලෙක් සොයා ගැනීම මහාදෙයක් නොවන බව ඔබ දැන් සිතුවත්, ඒ වසයේදී එය ඉමහත් පීඩාකාරී පෙලැඹවීමකි. පෞද්ගලික අංශයේ රැකියාවලට යන්නට උපාධිධාරීන් අකමැති වීමට එක් හේතුවක්ද ආත්මවිශ්වාසයක් නොමැතිවීමයි. බොහෝ උපාධිධාරීන් පෞද්ගලික අංශ සේවයට බියක් දක්වන්නේ තමන්ට එවැනි සමාජයකට/සංස්කෘතියකට හැඩගැසීමට නොහැකිවේය යන බිය/කුලෑටිබව නිසායි.

3] වෙලාවට වැඩකිරීම

මෙය අපේ ජාතියටම ලබාදිය යුතු පුහුණුවකි. උදේ අටට එනවා කියන එකා අටහමාරට දකින්නට ලැබෙන්නේනම් පුදුමයකි. අටයි කිව්වවිට සිංහල වෙලාවෙන් නමයට කාලකි. දියුණු වන්නටනම් අඩුම ගණනේ කලට වෙලාවට දේශණ වලට සහභාගිවී උපාධිය ගෙන, රැකියාවක් ලැබුණු පසු කළට වෙලාවට වැඩට යායුතුය. ආණ්ඩුවෙන් රැකියා ඉල්ලමින් මැරෙන්නේ එහෙම බැරි උපාධිධාරීන්ය.

4] උපදෙස් පිලිපැදීම හා දෙන වැඩය හරියට නිවැරදිව කිරීම : 

හමුදාපුහුණුවේ ඉතා වැදගත් අංගයකි. නායකයෙක් වන්නට පෙර හොඳ අනුගාමිකයෙකු වියයුතු බව පැවසේ. හොඳ අනුගාමිකයෙක් නම් දෙන වැඩය නිවැරදිව අවබෝධකරගෙන, උපදෙස් නිවැරදිව පිලිපදිමින්,  කලටවෙලාවට නිමවා අවසන් කල යුතුය. 

අණ පිලිපැදීම යනු උඩ පැන ලොක්කෙකුට සැලූට් ගැසීම නොවේ. අණ පිලිපැදීම යනු වැඩක් හරියට කිරීමට ඉගෙන ගැනීමයි. වැඩක් හරියට කරන්නට බැරි එවුන් කෙසේ නායකයන් ලෙස අනුන්ගෙන වැඩ ගන්නද? මේ කුසලතාවය සරසවි සිසුනට උසස්පෙලින් ලැබෙන්නේ නැත, බෝහෝ පාසැල් වලින් ලැබෙන්නේද නැත. උසස්පෙල සිසුන් අතරින් අඩුම ගණනේ කණ්ඩායම් ක්‍රීඩාවක් හෝ කරන්නේ තරුණ තරුණියන් කීයෙන් කීදෙනාද? කණ්ඩායම් ක්‍රීඩාවක් කරන්නේනම් උපදෙස් පිලිපැදීම, කණ්ඩායමේ ජය වෙනුවෙන් තම වැඩය හරියට කිරීමට උගනී. එවැනි සිසුන් ලංකාවේ විශ්වවිද්‍යාලවලට තේරෙන්නේ කළාතුරකිනි.

5] කණ්ඩායම් හැඟීම හා සමූහයක් ලෙස වැඩකිරිමේ හැකියාව: 

උසස්පෙල යනු ඉතා ආත්මාර්ථකාමී, ආත්මාර්ථය මෙන්ම අනුන් කෙරෙහි බිය, ඊර්ශ්‍යයාව වර්ධනය කරන මහත් ව්‍යසනකාරී විභාගයකි. අප සමාජයමෙතරම් ආත්මාර්ථකාමී වී ඇත්තේ ඇයිදැයි සිතා බලන්න. බෝහෝදෙනෙක් මේ ආත්මාර්ථය විවෘත ආර්ථිකයත් සමග බල්ලන් මරාහෝ සල්ලි හම්බු කල යුතුය යන මානසිකත්ව ලැබීමෙන් ඇතිවූවා යයි සිතයි. එහෙත් මට සිතෙන ආකාරයට මේ ආත්මාර්ථය එන්නේ ව්වෘත ආර්ථිකය නිසා නොවේ. විවෘත ආර්ථිකය ඇති ලෝකයේ එකම රට මෙය නොවේ. වෙනත් රටවල මිනිසුන් මෙතරම්ම ආත්මාර්ථකාමී නැත.

මට සිතෙන ආකාරය මේ ආත්මාර්ථකාමිත්වය ලැබී ඇත්තේ උස්ස් පෙල තරඟය නිසාය. කෙසේහෝ අනෙකාට වඩා ලකුණක් හෝ උඩින් සිටීම එකම අරමුණ ඒ. සිසුවාගේ අරමුණ මෙන්ම දෙමව්පියන්, නෑදෑ හිතමිතුරන්ගේද අරමුණ එයම වේ. මේ නිසා වැඩිවියට පැමිණෙන විට පොදු අරමුණු යන සංකල්පය තරුණපරපුරෙන් බැහැරව ගොස් ඇත. "මගේ වැඩේ කෙරුණොත් ඇති, එනිත් එකාට මොනවා වුනත් මට මොකෝ" යන්න ජීවිතයේ තේමාව වේ.

එහෙත් නූතන ලෝකයේ, විශේශයෙන්ම පෞද්ගලික අංශයේදී කණ්ඩායක් කුසලතාවයට ඉතා වැදගත් තැනක් හිමිවේ. තනියෙන් දිනන සුපිරි අශ්වයින්ට වඩා කණ්ඩායමක් ලෙස වැඩ කලහැකි මිනිසුන් පෞද්ගලික අංශයට වැදගත්ය. මෙවැනි පුහුණුවලින් සමූහයක් ලෙස පොදු ඉලක්කයක් කරා යන හැටිත්, තම පෞද්ගලික අරමුණු, ආශාවන් පොදු ඉලක්කය වෙනුවෙන් යටපත් කරගැනීමටත් පුහුණුවක් ලබයි.

එස්.බී ගේ ඉලක්කය හා ජවිපේ බිය

එස්.බීගේ සැබෑ ඉලක්කය නම් මෙවැනි පුහුණුවක් තුලින් ජෙවිපෙට බිලිනොවන සරසවි සිසුන් පරම්පරාවක් තනාගැනීමය. ජවිපෙට ඇති බියත් එයමය. තම අනාගත කාඩර් සංචිතය මිලිටරි සංචිතයක් වනවා දැකීම ඔවුනට ඉතා බියජනක කාරණයකි.

එහෙත් ජවිපෙ බිය යුතු නැත. කෙල්ලෙක් හොයාගන්නට රැග් කරලා ඒ අස්සේ අන්තරේ කොන්තරාත්තුවලට සෙට්වෙලා ජවිපේ පූර්ණකාලීනයන් වී ඇති මිනිසුන් අද ජවිපෙ නායකයන් වී ඇත.

ටිල්වින්? බිමල්? අනුර? ලාල්කාන්ත? මුන් එකෙකුටවත් නියම පෞරුශයක් තිබේද, නායකත්ව ගතිගුණ තිබේද? ඉස්ටේජ් ගැසීම හා පෝස්ටර් ඇඳීමට අමතරව වෙන ජීවන කුසලතා කිසිවක් තිබේද? නිවැරදි වැඩපිලිවක් සකසා ගැනීමට දර්ශණයක් තිබේද?

නැත?

අද ජවිපෙට කෙලවී ඇත්තේ විශ්වවිද්‍යාල දේශපාලනය තුලින් නායකයින් බිහිකරගන්නට යාම නිසාය. ජවිපෙ හැර පැනගිය, එවක ජවිපෙ පතාක යෝධයෙකු වුනු වීර්වංශ හොට්ටාගේ තුප්පහි වැඩපිලිවෙලින්ම ජවිපෙ නායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියේ ආසාර්ථක භාවය පෙනෙයි. විමල් වැනි නිවටයෙකු මහා බලසම්පන්න නායකයෙකු බවට පත්වූයේ රොඩ්ඩන් ගොඩේ සිටි හොඳම වාචාලයා ඔහු වුනු නිසාය.

උද්ගෝසනයක් සංවිධානය කරගැනීමට, උගුර ලේ රහවෙනතෙක් කෑගැසීමට හෝ පොලීසිට ගල් ගසා ප්‍රකෝප කොට වෙඩිතබ්බවාගෙන වෙඩි තියෙනො කියා කෑගැසීමට හැර වෙන කිසිවක් කරන්නට මේ නායකයින් හට නොහැකිය.

ජවිපෙ ඉදිරියට එන්නට නම්, චන්ද දිනන්නට නම් හොඳ පෞරුශත්වයකින් හෙබි, මිනිසුන්ගේ විශ්වාසය දිනාගත හැකි, පිලිවෙලකට වැඩකරන නායකයින් බිහිකල යුතුය. එවැන්නවුන් හඳුනා ගැනීමට විශේෂ බඳවාගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කල යුතුය. දක්ශයන් සොයාගෙන, ඔවුන් පක්ශයේ ප්‍රතිපත්ති හා දර්ශණයට නම්මවාගෙන ඔවුන් නායකත්වයට ගෙන ඒමට දීර්ඝකාලීන වැඩ පිලිවලක් තිබිය යුතුය. කෙල්ලෙක් හොයාගන්නට බැරි හොට්ටන්ට පක්ශයෙන්ම ගෑනියෙකුත් හොයාදී, කසාදත් බන්දවා, ස්ටේජ් ගස්සවන්නට, පත්‍රිකා බෙදන්නට, උද්ගෝසන කරන්නට යැවීම පක්ශය නෝන්ජල් වෘශභයින්ගෙන් පුරවාගැනීමකි.

අවසාන නිර්ණයනය

මේ පුහුණු වැඩපිලිවෙල, හොඳින් සැලසුම් කොට, පසහුකම් සපයාගෙන, නිවැරදි සැලස්මකට කරන්නේනම් මුලුමහත් සරසවි ප්‍රජාවට මෙන්ම රටේ අනාගතයටද යහපත්ය. අනාගත උපාධිධාරීන් දේශපාකලයින්ට දෙතුන්වතාව රැවටී පාරවල්ගානේ රස්තියාදු නොවට පිරිසක් කිරීමේ අඩිතාලම මෙයින් දැමිය හැකිය.

මේනිසා උපාධි අපේක්ශක නවකයින් බිය නොවිය යුතුය. පහසුකම් නැතත් ගත හැකි යමක් ගෙන කශේරුකාවක් ඇති මිනිසුන් ලෙස විශ්වවිද්‍යාලයට ඇතුලුවෙන්න.

ජවිපෙද  බිය නොවිය යුතුය. මේ පුහුණුවෙන් පසු දක්ශයන් එලියට එනු ඇත. උන් හොඳින් හඳුනාගෙන පක්ශයට ගෙන අනාගත නායකත්වය සඳහා පුහුණුකල යුතුය. එවිට එස්.බීගේ මාළු එස්.බී මතම තියා කැපිය හැකිය. 

රාජපක්ශ රාජ්‍ය වංශය අවසන්කල හැකි දක්ශ නායකයින් රාජපක්ශලාගේ මේ පුහුණුව තුලින්ම බිහිකරගත යුතුය.

5 comments:

Anonymous said...

//එහෙත් ජවිපෙ බිය යුතු නැත. කෙල්ලෙක් හොයාගන්නට රැග් කරලා ඒ අස්සේ අන්තරේ කොන්තරාත්තුවලට සෙට්වෙලා ජවිපේ පූර්ණකාලීනයන් වී ඇති මිනිසුන් අද ජවිපෙ නායකයන් වී ඇත.

ටිල්වින්? බිමල්? අනුර? ලාල්කාන්ත? මුන් එකෙකුටවත් නියම පෞරුශයක් තිබේද, නායකත්ව ගතිගුණ තිබේද? ඉස්ටේජ් ගැසීම හා පෝස්ටර් ඇඳීමට අමතරව වෙන ජීවන කුසලතා කිසිවක් තිබේද? නිවැරදි වැඩපිලිවක් සකසා ගැනීමට දර්ශණයක් තිබේද?
//

කන්ඩුල

මේ අදහස් බොහෝ වෙලාවට මධ්‍යම පංතික උගතුන් අතින් ඉදිරිපත් වෙනව මම අහල තියෙනව.මේ අදහස් ඉදිරිපත් කිරීම ගැන දොසක් කියන්න බැහැ.මොකද හැමෝම තම තමන් ලබන අත්දැකීම් උඩයි යමක් කියන්‍නෙ.මේ ලියන ඔබගේ සද්භාවය ගැනත් මගේ කිසිම දෙගිඩියාවක් නැහැ.නමුත් ඇත්තටම ජවිපෙ ගැන ඔබ වැන්නවුන් කරන මේ වර්ගයේ ප්‍රකාශ ජවිපෙ යනු කුමක්ද කියා නොදැන කරන ප්‍රකාශ.ඔබලා බොහෝවිට ජවිපෙ ගැන දන්නේ ටීවි වලින් පත්තර වලින් විතරයි.එහි අභ්‍යන්තරය ගැන හෝ ක්‍රියාකාරිත්වය ගැන වැටහීමක් ‍නැහැ.දැන් ඔබ කියනවා ටිල්වින් හෝ අනුරට ඉස්ටේජ් ගැසීමට වඩා ජීවන කුසලතාවයක් නැහැ කියල.නමුත් ඇත්ත තමයි දේශපාලන අවබෝධය දැනුම හා හැදෑරීම අතින් ජවිපෙ සමග හැරෙන්නටවත් අනිත් පක්ෂ වල අයට බැහැ.ජවිපෙ සාමාජිකයා පවා බදවගන්නේ යම් අධ්‍යාපන වැඩසටහනක් හරහා.ඔවුන් ඒ අධ්‍යයන වැඩ වලට සම්බන්ධ වෙන්න ඕනෙ.දේශපාලන ආර්ථික කරුණු ගැන වාද විවාද සංවාද ඕනෙ තරම් ජවිපෙ තුල තිබෙන බව ජවිපෙ ගැන්න දන්න ඕනෙ කෙනෙක් දන්නවා.අනෙත් පක්ෂවලට සාමාජිකයො ගද්දි මොන දේශපාලන අධ්‍යාපනයද?මොන ශාස්ත්‍රීය සංවාදද?බත් පැකට් එකයි අරක්කු බෝතලෙයි රස්සාව සදහා පොරොන්දුවයි උඩ තමයි ඒවට සාමාජිකයො බැදෙන්නෙ.ඒ කිසි පක්ෂයක නැති සාරවත් අධ්‍යාපනික බුද්ධිමය පසුබිමක් ජවිපෙ තුල තිබෙනවා.මේක තමයි ඇත්ත.පොඩ්ඩක් හොයල බැලුවොත් කන්ඩුල ඔබටම මේක තේරේවි.දේශපාලන න්‍යාය ගැන ටිල්වින් සිල්වා වගේ කෙනෙක් තුල තියෙන පරිචය ගත්තම මහින්ද රාජපක්ෂලාට සජිත් ප්‍රේමදාසලාට ඒ එක්ක හැරෙන්නවත් බැහැ.ජවිපෙ නායකයො කෙල්ලො දාගන්න බැරි ලොස් පොරවල් වගේ ප්‍රකාශ වල නිස්සාරත්වය කරුණු හොයල බැලුවම ඔබටම වැටහ්වි.ඒ බොහෝ දෙනා උපාධි ලැබු අය.බිමල් වගේ අය ඉංජිනේරු උපාධිය අත්හැර දේශපාලනය තෝරගත්ත අය.හදුන්නෙත්තිලා ඉහලින්ම උපාධි සමත් උන අය.නමුත් තමුන් විශ්වාස කරන දේශපාලනය වෙනුවෙන් ඒ පෞද්ගලික සැප සම්පත් අත්හැරලයි දේශපාලනයට ඇවිත් තිබෙන්නෙ.ජවිපෙ මන්ත්‍රීවරයෙකුගේ ජීවිතය ගැන ඔබ කරුණු හොයල බලන්න.ඒක අනිත් දේශපාලකයන්ගේ සුඛේපබෝගී ජීවිතය එක්ක සසදන්න.පෞද්ගලිකව මම ජවිපෙ එක්ක යම් ආශ්‍රයක් තිබිල තියෙන කෙනෙක් විදිහටයි මේ කියන්නෙ.ඒ මිනිස්සුන්ගේ පුදුම නිහතමානීකමක් සරල චාම් බවක් තියෙනව.ඒකෙ සාමාජිකයන්ගේ නියම සංවිධානාත්මක බවත් විනයක් හා පිලිවෙලක් තියෙනවා.එස්බී ලා ගාව වැඩකරන ගෝලයො වගේ බොන අරක්කු බෝතලේ ජිවිතේ කරගත්තු අය නෙමෙයි ජවිපෙ ඉන්නෙ.මේව මම කියද්දී ඔබ විශ්වාස නොකරනවා විය හැකියි.අවශ්‍ය නම් මම ජවිපෙට කඩේ යන්නෙක් කියලා හංවඩු ගසන්නත් පුලුවන්.නමුත් මම නැවත ඉල්ලන්නේ පොඩ්ඩක් හොයලා බලන්න.මේව මාධ්‍ය වල කියවෙන්නෙ නැති දේවල්.මම අත්දැකපු දේ කියන්න ඕනෙ කියන අදහස හින්දයි මේ කමෙන්ට් එක වුනත් මම දැම්මේ

- විශ්ව

Kandula (කණ්ඩුල) said...

විශ්ව;

ඔබේ අදහස් මම ගෞරවයෙන් භාර ගනිමි.
එසේම ජවිපෙ නූතන නායකත්වය (තරුණ ) දූශිතයින් බව මම නොකියමි, ඔවුන් උගත් හොඳ මිනිසුන් විය යුතුය.

එහෙත් ජවිපය විශ්වවිද්‍යාල තුල කරගෙන යන ක්‍රියාවලිය නිසා ජවිපෙ සාමාන්‍ය ජනයාගෙන් ඈත්ව ගොස් ඇත. පක්ශ විපක්ශ බොහෝ දෙනෙකු ජවිපය ඊට අනුබද්ධ ශිෂ්‍ය ව්‍යාපාර කටයුතුකරන ආකාරය අනුමත කරන්නේ නැත.

ජවිපයේ අනාගතය සුබදායක වීමටනම් ජවිපෙ නූතන තරුණ නායකත්වය මෙය තේරුම් ගත යුතුමය.

ජවිපය විශ්වවිද්‍යාලතුල ගොඩනගන දේශපාලනය දිගටම ගෙනගියහොත් පාලකයින් විසින් එය කෙසේ හෝ විනාශකරනු ඇත.

මේ නායකත්ව පුහුණු නැටුමේ අරමුණ, මාගේ ලිපියේ සඳහන් කල එවන් පුහුණුවකින් ලැබිය හැකි සාධනීය අරමුණු ඉටුකරගැනීම සඳහා නොව හුදෙක් ජවිපය විශ්වවිද්‍යාලතු තුලින් අතුගාදැමීමේ අරමුණින් ඇරඹුනකි.

ඔවුන් එය කෙසේ හෝ ඉටුකරනු ඇති. ඒ සඳහා ඕනෑම පහත් වැඩක් කිරීමට නොපසුබට වනු ඇත. ව්‍යස්ථාවට පටහැනි නීති කරදරයකින් තොරව අනුමත කරවාගනු ඇත. අවශ්‍ය නම් විශ්වවිද්‍යාලවල උපකුළපති තනතුරු සඳහා හමුදා නිළධාරීන් පත්කරනු ඇත. විරෝධතා යකඩින් ලෙයින් මර්ධනය කරනු ඇති අතර එය කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට සමානකරමින් සාධාරණීකරනය කරනවා ඇත.

ජවිපය වෙනස්විය යුතුයයි මා කියන්නේ එබැවිනි. විශ්වවිද්‍යාලතුල ක්‍රියාකාරීන්, නායකයින් සොයාගන්නා ක්‍රම වෙනස්කල යුතුය. ඒ වෙනස සඳහා අව්ශ්‍ය බුද්ධිමය සම්පත් ඕනෑවටත් වඩා ජවිපයේ තරුණ නායකත්වය තුල ඇත. දැනට තිබෙන දේශපාළන පක්ශවලින් උසස්ම තරුණ බුද්ධිමණ්ඩලයට හිමිකම් කියන්නේ ජවිපයයි.

මේ බුද්ධි මණ්ඩලය භාවිතාකොට විශ්වවිද්‍යාලතුල මෙන්ම සමාජය තුලද ජවිපය හැසිරෙන ආකාරය සම්පූර්ණයෙන්ම විනස්කරගත යුතුය.

ජවිපය මේ රටට අවශ්‍යය, එහෙත් එය වෙනස් විය යුතුමය. පැරණි ජවිපයෙන් රටට සිදුවෙන සේවය අල්පය.

රාජපක්ශලා තවත් සවිමත් කරනවා විනා ඔවුන්ගේ විනාශයේ වෙඩිමුරය වන්නට අලුත් මුහුණු ඇති එහෙත් පැරණි ආකරයට සිතන ජවිපයට නොහැකි බව මගේ අදහසයි.

Anonymous said...

වර්තමානයේ තොරතුරු සන්නිවේදන සමාජයේ ජවිපේ වෑනි වාම0ශික බලවෙගවලට සමාජය හසුරුවන තොරතුරු බෙදාහරින්නන් විසින් ලබාදෙන අවම ඉඩ හා සමහරවිට ඔවුන්ට ඵල්ලකරන පක්ශග්‍රාහී මතවාදී ප්‍රහාර නිසා 2005ට පෙර තිබු සීග්‍ර වර්දනය යම් අඩුවකට ලක්වුනා කියලා සිතමි.මේ අඩුපාඩුව මගහරවාගතහොත් වෙලද වියාපාරික පන්තිය විසින් පවාත්වාගෙන යන ඵකාදිකාරී දඩයම් ප්‍රචාරක කලාව අගිබවා ජනතාවට වඩාත් සමීපවිය හෑකියයි සිතේ.රටේ අව0කම තරුන බලවේගය ජවිපේ සතුව ඈතෑයි සිතමි.

ජයශ්‍රී said...

ඔබේ ලිපියේ බෙහෝ කරුණු වලට එකගවිය හැක.නමුත්,
1. “අටපාස් නිළධාරීන් අතින් විනය හා නායකත්වය ගැන දේසනා අසාගැනීමට” - බොහෝ හමුදා නිළධාරීන් ද උපාධිධාරීන් බව ඔබට අමතක වූසේය.(කොතලාවලඇකඩමිය සරසවියකි)
2. “නායකයන් උපතින් බිහිවේද? සමාජය විසින් නිර්මාණය කරයි ද?” යන්න තවමත් එකගතාවයකට නොපැමිණි විවාදයට තුඩුදෙන මාර්තෘකාවක් නේද?
3. උසස්පෙල ඉහලින්ම සමත්වූවෙකු ට වෙලාවට වැඩ කිරීමට ඉගැන්විය යුතුයයි මම නොසිතමි.වෙලාවට වැඩ නොකර උ/පෙල ඉහලින්ම සමත්විය නොහැක
4. බිමල්? අනුර? ලාල්කාන්ත? මුන් එකෙකුටවත් නියම පෞරුශයක් තිබේද? -තිබේ යයි මම සිතමි.(මතවාදීව මේ අය හා 100% ක් එකග නොවූවත් !)
5. ඔබ කියන වීර්වංශ හොට්ටා විශ්වවිද්යා්ල දේශපාලනය තුලින් බිහිකරගත් නායකයෙක් ද? - මෙහි අදහස අපැහැදිලිය

Kandula (කණ්ඩුල) said...

ජයශ්‍රී...

1] අටපාස් නිළධාරීන් :

මෙය හමුදාව හෝ එහි නිළධාරීන් අවමානයට ලක්කිරීමක් නොවේ. යුධහමුදාව මෙන්ම අනෙකුත් හමුදාවල කැපවීම මම දැඩි ලෙස අගයමි, ගරුකරමි. මා ඔය අටපාස් කතාව කියුවේ කලක - නිවැරදිව කිවහොත් අප සාමාන්‍ය පෙල පලමු වසරට සැපත්වූ කුප්‍රකට 1988:1989 කාළයේ - ජවිපය හමුදා නිළධාරීන් හඳුන්වපු අවමන් ආකාරය මතක් කිරීමටයි. එය ලිපිය තුලින් පැහැදිලි නොවීම වරදක් බව පිලිගනිමි...

2] නායකයන් බිහිවීම හෝ බිහිකිරීම

පැහැදිලිවම විවාදයක් ඇත. එහෙත් අනුභවික සාධක (empirical evidence) නියම නායකයින් නායකයන් බිහිවනවා මිස බිහිකරනවා නොවන බවට වන මතය ඉදිරියට ගෙන එයි. සරල උදාහරණයක් ලෙස වසර 30ක් යුද්ධයක් තුල වේගයෙන් ගොඩනැගුන, නිරන්තරයෙන් සටන් වැදුන ශ්‍රී ලංකා යුධහමුදාව තුල නායකයින් විශාල සංඛ්‍යාවක් විවිධ නිළතල හොබවයි. එහෙත් ජෙනරාල් කොබ්බෑකඩුව, ජානක පෙරේරා, සරත් ෆොන්සේකා වැනි සහජ හැකියාවන් ඇති, යුද්ධ දිනවිය හැකි නායකයින් බිහිකර ඇත්තේ අතලොස්සකි. නායකයින් බිහිකල හැකිනම් යුධහමුදා නිළධාරී පුහුණු පාසැල්වලින් ලාබාල කොබ්බෑකඩුවලා, ජානක පෙරේරලා, සරත් ෆොන්සේකලා පෝලිමේ බිහිවිය යුතුය.තවත් ජානක පෙරේරලා, කොබ්බෑකඩුවලා, සරත් ෆොන්සේකලා අද හමුදාවේ පහල නිළයන්හි සිටින බව ප්‍රත්‍යක්ශය, එහෙත් ගණනින් අතලොස්සකි.

3] කලටවේලාවට වැඩ නොකර විශ්වවිද්‍යාලයට යා නොහැකි බව ඇත්තකි. එහෙත් ඔවුන් සමාජයට ගියවිට, වැඩ කරන්නට ගත්විට ඔය කළටවේලාවට වැඩ කිරීම සිදුවේද? ශ්‍රි ලංකාවේ උපාධිධාරීන් වැඩි කොටසක් රැකියාව කරන්නේ රාජ්‍යසේවයේය. ශ්‍රී ලාංකේය රාජ්‍යසේවය කළටවේලාවට වැඩ කරන රාජ්‍යසේවයක්ද?

4] පෞරුශත්වය - බලන කෝණය අනුව වෙනස්වේ. ඔබට, මට මෙන්ම ඔවුනටද පෞරුශත්වයක් ඇත. එහෙත් ජනතාව ඇදබැඳ තබාගත හැකි පෞරුශත්වයක්, පක්ශයේ ක්‍රියාකාරීන් තමාවටා රොක්කරගෙන සියල්ලන් සමග වේගයෙන් ඉදිරියට යාමේ හැකියාවක් මොවුන් කිසිවෙකුට නැත. පක්ශයක් දිනවන්නට අවශ්‍යවන පෞරුශත්වය එය බව මම සිතමි.

5] වීරවංශතුමාගේ දේශපාලන පැටිගිරිය ගැන මගේ දැනුම අල්පය. එහෙත් ඔහු දැන් සිටින නායකයින් අභිබවා එකල ඉදිරියට පැමිනියේ ඔහුසතු පෙනුම (මෙය පෞරුශත්වය ලෙස හැඳින්වීමට මා අකමැතිය - පෞරුශත්වය ෆේශල්, ජෙල් හා බියුටිකල්චර් වලින් ලබාගත නොහැකි බව මාගේ විශ්වාසයයි ) හා චතුරත්වයයි. ඔහුගේ බුද්ධි මට්ටම (IQ), ප්‍රාඥ කුසලතාවන් (Intellectual Abilities) ඔහුගේ කතා ඇසූවිට මැනගත හැකි බව මාගේ විශ්වාසයයි.