Tuesday, February 21, 2012

සංවර්ධනයට වෙන්කරන මුදල් සතයක්වත් අඩුකරන්නේ නෑ!! [Tu mere hero Mr. President!]


තෙල් මිල ඉහළ ගියත්

සංවර්ධනයට වෙන්කරන මුදල් සතයක්වත් අඩුකරන්නේ නෑ

අධ්‍යාපනය වෙනුවෙන් රු. බිලියන 132ක්
රු. බිලියන 128ක් මාර්ග සංවර්ධනයට
සමෘද්ධි දීමනාව වෙනුවෙන් රු. බිලියන 12.5ක්
රු. බිලියන 33.8ක් පොහොර සහනාධාරයට
ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල කොතරම් ඉහළ ගියත්, මේ වසරේ ජනතා සුබසෙතටත්, සංවර්ධනයටත් වෙන් කරන මුදල සතයකුදු අඩුකරන්නේ නැතැයි රජය අවධාරණය කරයි. රටේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම, අධ්‍යාපනය, සෞඛ්‍ය, පොහොර සහනාධාරය, සමෘද්ධිය සහ ගම නැඟුම වැනි වැඩසටහන්වලට මේ වසරේදී රුපියල් කෝටි හාරලක්‍ෂ දහසය දහසක් වැය කිරීමට රජය සූදානම් වේ. එය වසර 2011 දී මේ සඳහා වැය කළ රුපියල් තුන්කෝටි හතළිස් අටදහසට වඩා රුපියල් කෝටි හැටහත්දහස් හයසියයකට වැඩි මුදලක් බවද රජය පෙන්වා දෙ

http://www.dinamina.lk/2012/02/21/_art.asp?fn=n1202211


උදේ පාන්දරම විශ්වවිද්‍යාලයට පැමිණ  සුපුරුදු පරිදි ලංකාවේ පුවත් කියවන මා දිණමිණ පත්තරේ දැකපු මේ හෙඩිම දුටු වහාම කොතරම් ප්‍රීති ප්‍රොමෝදයට පත්වුනාදැයි කිවහොත් උන් හිටි තැන් අමතකව එක්වරම "හුරේ!!" කියැවුනි. මාගේ කෑගැසිල්ල නිසා කළබලයට පත් මාගේ මේසය අසල මේසයේ සිටින සහෘදයා මා දෙස බලා "Kya Hua?? -මොකද වුනේ? " යයි අසන විට පියවි සිහියට එළබි මා දන්නා කැඩිච්ච හින්දියෙන් "Kuch nahi-නෑ මුකුත් නෑ" කිව්වේ ලැජ්ජාවෙනි.

අමෙරිකාවේ කැලිෆෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිලිබඳව ශාස්ත්‍රපති උපාධියක් ලබාසිටින ඔහුට ලංකාවේ අපේ ආණ්ඩුව කරන මේ විශ්වකර්ම ආර්ථික විජ්ජා (විද්‍යා නොව) ගැන විස්තර පැවසූවා නම් මට මගේ රටේ ගෞරවය කෙළසාගන්නට සිදුවන නිසා ඔහුට කිසිවක් නොකිව්වෙමි.

මේ ආර්ථික විද්‍යා ප්‍රබන්ධ දකිනාවිට අඬන්නද හිනාවෙන්නදැයි සිතාගත නොහැකිය. අඬන්න සිතෙන්නේ රටේ අනාගතය ගැන සිතනවිටය. සිනාසෙන්නට සිතෙන්නේ මේ පට්ටපල් බොරු කියමින් රවටා හිඟමනට ඇද දමන්නට යන්නේ එතුමන්ලාට පෝලිමේ ගොස් වරක් දෙවරක් නොව දහ දොළොස් වතාවක්ම දේසප්‍රේමී චන්දය ලකුණු කොට කළගුණ සැළකූ බහුතර ජනතාවට බැවිනි.

ආණ්ඩුවක් කොහොමද මේ විධියට පොරොන්දු දෙන්නේ? කොතරම් තෙල් මිළ ඉහල ගියත් සංවර්ධනයට හා සහනාධාර අඩු කරන්නේ නෑ.... එහෙමනම් ගැටලුව වන්නේ අඩුකරන්නේ මොනවාද යන්නයි.

රජයේ ආදායම සෑම වසරකම සීමා සහිතය. බොහෝවිට රජයට (ඕනෑම රජයකට) අයවැයේ ඇස්තමේන්තු කරනලද ආදායම පවා නොලැබෙන අතර වියදම් බොහෝවිට ඇස්තමේන්තුවට වඩා වැඩිවේ. මෙවිට පරිපූරක ඇස්තමේන්තු හරහා භාණ්ඩගාරයෙන් මුදල් ලබාගෙන (භාණ්ඩාගරය දේශීය හෝ විදේශීය ණය ගෙන) මේවා පියවා දමයි.

තෙල් මිල දැන් අනාවැකි පලවෙන අන්දමට (අමෙරිකාවේ හා යුරෝපයේ ගොන් බූරු ඉරාන ප්‍රතිපත්ති නිසා ) සීමාන්තිකව ඉහල යන ලකුණු තිබේ. එපමණක් නොව තෙල් සඳහා ඉරාණය මත පමණක් යැපෙමින් සිටීමේ ලක් රජයේ අදූරදර්ශී ප්‍රතිපත්තිය නිසා දැන් වැඩි මිලට වෙන සැපයුම් කරුවන්ගෙන් තෙල් ගැනීමට සිදුවී තිබේ. සාමාන්‍යයෙන් අදට ඕනෑ තෙල් සඳහ ඇනවුම් ලබාදෙන්නේ මාස හය හතකට කලිනි. එකල ගණනය කරන මිල සූත්‍රයකට අනුව තෙල් වලට ගෙවිය යුතු මුදල් තීරණය කරයි. දැන් සිදුවී ඇත්තේ හදිස්සියේ තෙල් ගැනීමටය එවිට අනිවාර්‍යයෙන්ම පවතින මිලට වඩා බොහෝ වැඩියෙන් ගෙවන්නට සිදුවේ.

මේ අළකලංචි අස්සේ රජය දැන් කියන්නේ වියදම් කිසිසේත් අඩු නොකරන බවයි. මෙය කල හැක්කේ කෙසේද?

1] ගිණි පොලියට පරිදි ණය ගත යුතුය. ණය ගත්විට ගෙවන්නට සිදුවේ. ගෙවන්නේ කෙසේද? එක්කෝ තව ණය ගත යුතුය . නැතිනම් තව බදු වැඩි කල යුතුය. (ගිණි පොලියට ගතයුතුයයි කියන්නේ සහන පොලී මත රටකට ණය ලැබෙන්නේ නිශ්චිත සංවර්ධන ව්‍යාපෘති සඳහා මිස වියදම් පියවා ගැනීමට හෝ සහනාධාර ලබාදීමට නොවන බැවිනි)

2] නැතිනම් මුදල් නෝට්ටු අච්චු ගැසිය යුතුය.නෝට්ටු අච්චු ගසා ඕනෑම වියදමක් කල හැකිය. එහෙත් එවිට මුදලේ අගය අඩුවී උද්ධමනය වේගයෙන් ඉහලයයි. ගෙවිය යුතු දෙස්/විදෙස් ණය පොලියද එලෙසම ඉහල යයි. ඩොලරය සාපේක්ශව රුපියල තව තවත් බාල්දු වනු ඇත. එවිට පිටරටින් එන ඉඳිකට්ටේ සිට පැට්‍රෝල් ලීටරය හරහා සබ්බ සකලමනාවටම වැඩිපුර ගෙවන්නට සිදුවනු ඇත.

වැඩිවෙන වියදම් අස්සේ තව තවත් සහනාධාර ඉල්ලීම් වැඩිවෙන අතර එවිට රජය තව තවත් බඩු මිළ වැඩිකරමින් ඇපෙන් බේරෙන්නට සහනාධාරද වැඩි කරනු ඇත. එවිට සිදුවන්නේ ජනතාවගේ ජීවන තත්වය තව තවත් පල්ලේහාට වැටීමයි. එනම් ජනතාව කෙමෙන් කෙමෙන් සිඟමන කරා ලංවීමයි.

ඔබගේ වටිනා කාළය නාස්ති නොකර තවත් එක් උදාහරණයක් පමණක් ලබාදෙන්නම්. 

මාර්ග සංවර්ධනය

ගාල්ල කොළඹ අධිවේගී මාර්ගය සලකන්න. එයට බිලියන ගණනක් වැයවිය. වැඩය ඉතා හොඳය. දැන් ඉක්මණට යන්න පුලුවන. ඉන්ධන ඉතිරිය රටට වාසියකි. කාළය ඉතුරුව ව්‍යාපර වලට වාසියකි.

එහෙත් මේ ව්‍යාපෘතියෙන් රටට සැලකිය හැකි ආර්ථික වාසියක් ලැබෙන්නට නම් මේ අධිවේගය නිසා ආයෝජන ඉහල යායුතුය. එනම් වේගවත් භාණ්ඩ ප්‍රවාහනය වාසියක් ලෙස සලකන දෙස් විදෙස් ආයෝජකයින් මේ මාර්ගයෙන් සේවා ලාභී ප්‍රදේශවල ආයෝජන ඇතිකොට නිශ්පාදනය හා රැකියා වැඩි කල යුතුය. අධිවේගී මාර්ගයක් රටේ සංවර්ධනය දායක වන්නේ එලෙසිනි. එසේ නොමැතිව විනෝදයට ඔය පාරේ එහා මෙහා දුවන වාහන වලින් ලැබෙනා ආදායම (ලොකු ලොකු ඉලක්කම් පෙනුනාට) ඔය මාර්ගය හදන්නට ගිය සිමෙන්ති ටිකේ වියදම හෝ පියවන්නට නොහැකිය.

ණය ගෙවා ඉවර කරන්නට නොහැකිය. රටට ප්‍රතිලාභයක් නැත්තේ වාහන වලින් ලැබෙන ආදායම වැනි ආදයම් වලින් රටේ දල ජාතික නිශ්පාදනයේ ශුද්ධ ඉහල යාමක් නොලැබෙන බැවිනි. දල ජාතික නිශ්පාදිතය අධිවේගී මාර්ග නිසා වැඩිවන්නට නම් මාර්ගය නිසා අලුත් ආයෝජන ඇතිවී එමගින් නිශ්පාදන හා රැකියා උත්පාදනය විය යුතුමය නැතිනම් ඔය මාර්ග රට බරකි. ගෙවා ඉවරකල නොහැකි ණයකි.

එහෙත් මේ න්‍යායන් කිසිවක් ලංකාවට අදාල නොවේ!!

මේවා අදාල වන්නේ ආර්ථික විද්‍යාව අනුව සිය ප්‍රතිපත්ති හදාගන්නා ආර්ථික විශේෂඥයින් හා දේශපාලන නායකයින් ඉන්නා රටවලට පමණි. ලංකාවේ ඇත්තේ ආර්ථික විද්‍යාවක් නොව ආර්ථික විජ්ජාවකි. සංවර්ධනයක් නොව සංවර්ධන සංදර්ශණයකි. දියුණුවකට වඩා දියුණුව මවා පෑමකි. කෙළවරක් නැති බැලන්ස් කිරීමකි. ආණ්ඩුවේ සන්දර්ශණ බලන්නට අතින් වියදම් කරගෙන ගොස් ගෙදරවිත් කන්ඩ නැතත් මරු සංදර්ශණේ ඕයි කියලා හිතාගෙන නිදාගන්නා ජනතාවකි.

එනිසා අපට කරන්නට ඇත්තේ දිණමිනේ ප්‍රවෘත්ති ඇත්තම ඇත්ත කියා සද්භාවයෙන් සිතාගෙන "ජනපතිතුමනි, තු මෙරෙ හීරෝ - ඔබ මගේ වීරයායි" කියමින් හින්දියෙන් සිංදුවක් කියමින් නටන්නටය. (සිංහල සිංදුවක් ලියන්න ලඟදීම ලයිසොන් ගන්නට වෙන නිසා හිංදි ඒවා විතරයි ඉතුරුවෙන්නේ..)

හින්දි සින්දු ගැන කියපු නිසා ලඟදි ආපු "දේසී බෝයිස් - Desi  Boyz (දේශීය කොල්ලන් හෙවත් අපේ කොල්ලන්)" කියන බොලිවුඩ් කොමඩි ෆැන්ටසියේ තියෙන සිංදුවක පදමාලාක් මතක් වුනා. සින්දුවේ නම "ශුබ හොනෙ නදෙ..../තු මෙරේ හීරෝ.... - හෙට එලිවෙන්න එපා..../ඔබ මගේ වීරයා...."

සිංදුව පටන් ගන්නේ මෙහෙමයි.....

කොල්ලෝ දෙන්නා...
හුම්කෝ කෙහ්තේ සුපර්මෑන් (අපිව දන්නේ සුපර්මෑන්ලා කියලයි )
ඕන් කර්ලෝ හැන්ඩි කැම් (වීඩියෝ කැමරාව ඕන් කරගන්න )
ෆ්‍රොම් ඒ.ම්  ටු  පී.එම් (උදේ ඉඳන් රෑ වෙනකම් )
බන්දේ ඇට් යුවර් සර්විස් මෑම් (ඔබ වෙනුවෙන් "සේවයට" කැපවී සිටිමු මැතිණියනි)
..
කෙල්ල..
ශුබ් හොනෙ න දෙ (එළිවෙන්න නම් එපා)
සාත් ඛොනෙ න දෙ (අපි රෑ නොනිදා සිටිමු )
ඒක් දූස් රෙ කෝ සම් හොනෙ නදෙ  (අපි එකිනෙකාගෙන් වෙන් නොවී සිටිමු )
තු මෙර හීරෝ// (ඔබ මගේ වීරයායි)

බලන්න මේ සිංදුව අපේ මහ රජතුමාටයි අපිටයි කොච්චර ගැලපෙනවාද කියලා??

එතුමා හොඳ කළවම් නැති දේසීය කොල්ලෙකි (දේසී බෝයි)
එතුමා සුපිරි වීරයෙකි (එතුමාට කල හැකි හපන්කම් කරන්නට මේ ලෝකේ වෙන කාටද පුළුවන්?)
පැය විසිහතරේම එතුමා කැපවී සිටින්නේ සේවයටම නොවේද? (From AM to PM at our service)

ඉතින් එතුමා මේ කෑල්ල කියලා නටනකොට අපිට ජනතාව හැටියට තියෙන්නේ කෙල්ලගේ සිංදු කෑල්ල කියලා නටන එකයි...(එතුමා උඩ, ජනතාව යට නිසා කෙල්ලගේ පාට් එක කොහොමත් ජනතාවට ගැලපෙනවා )

අපි එතුමාගෙන් වෙන් නොවී සිටිමු.... (එතුමා නැතුව මේ රට ලෝක කුමණ්ත්‍රණකරුවන් ගෙන් බේරා ගන්නේ කවුද?)
එළිවෙන්න නම් එපා.....(එලිවුනොත් කපෝතියි...එතකොට හීනෙන් ඇහැරෙනවනෙ)
එතුමා අපේ එකම වීරයායි...

අපි ඔය සිංදුව කිය කිය නට නටා බඩගින්නේම සංදර්ශණ බලමින් ඉම්මු....

ඔරිජිනල් එකට ආසනම් මෙන්න එබුවා යූ ටූබ් ක්ලිප් එකත්...

3 comments:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

//ආණ්ඩුවේ සන්දර්ශණ බලන්නට අතින් වියදම් කරගෙන ගොස් ගෙදරවිත් කන්ඩ නැතත් මරු සංදර්ශණේ ඕයි කියලා හිතාගෙන නිදාගන්නා ජනතාවකි.//

අහවල් එකට කිරුල බලන්න ගිය ලක්ෂ ගානක් ජනතාව අයිති වෙන්නේ ඔය කැලැසියට

ජයශ්‍රී said...

ණයට කිරුල නේද බුවා?

Anonymous said...

//අහවල් එකට කිරුල බලන්න ගිය ලක්ෂ ගානක් ජනතාව අයිති වෙන්නේ ඔය කැලැසියට//

ඔය ලක්ශ ගාණම තමයි ගල් වරායෙ වතුර පිරෙන්න ඉස්සෙල්ලා පතුල බලන්න දුවගෙන ගියේ, ඒ කාණ්ඩෙම තමයි ඊට පස්සෙ වතුර පුරවන සුලුදිය මංගල්ලෙ බලන්න දුවගෙන ගියෙත්, එයාලම තමයි ගිය අවුරුද්දෙ කිරුල බලන්න අතින් කයිට් කරගෙන ගියෙත්...