There was an error in this gadget

Tuesday, February 7, 2012

මහා බැංකුවේ දේසීය ක්‍රමයට ප්‍රස්ණ විසදීම

Rate this post 
Source : http://www.ft.lk/wp-content/uploads/2012/02/DFT-12.jpg

මෙච්චර කාලයක් අපේ මහ බැංකු ගවනර් තුමා හෙවත් කබ්සිතුමා දේශණාකරමින් සිටියේ ලංකාවේ ආර්ථිකය මහා වේගයෙන් වර්ධනය වන බවත් අපි ඇත්තෙන්ම ආස්චර්යය කරා අධිවේගයෙන් යමින් තිබෙන බවත්ය. එතුමා රේටින් ඒජන්සිකාරයින්ටද බැන වැදුනේ ඉන්දියාව හා චීනයත් සමග ලංකාවද ආර්ථික අණතුරකට මුහුණු පෑහැකි රටක් විධියට නම් කලවිටදීය.

කබ්සිතුමාගේ එදා චින්තනය අනුව අපේ සකලබුජං ආර්තික පොජ්ජ ඉන්දියාවටත් චීනෙටත් වඩා සක්තිමත් බවය. ඒ නිසා ඉන්දියාවට චීනෙට කෙලවුනත් අපට එහෙම වෙන්නේ නැත. රේටින් කාරයින්ට වලගය පෑගී ඇත.

මාස දෙකකට කලියෙන් එහෙම කිව්ව කබ්සිතුමාගේ මහ බැංකුව ඊයේ ගත් කෙටිකාලීන ආර්ථික ප්‍රතිපත්තිමය තීරණ අනුව බළල්තඩියා මල්ලෙන් එලියට හොට දමා ඤාව් ඤාව් කියනා හඬ ඇසේ..

පෙබරවාරි 4 ඩේලි එෆ්.ටී වාණිජ පුවත්පත මහ බැංකු තීන්දු වාර්ථාකරන්නේ මෙසේය...

"The Central Bank yesterday opted to its ways to fix the country’s reserves problems, effecting a policy rate hike for the first time since 2007 and directing banks to cut lending apart from a 20 cent devaluation of the rupee."

රටේ විදේශ මුදල් සංචිත ගැටලුව විසඳීමට මහ බැංකුව දේසීය චින්තනය අනුව ගත් පියවර... (හුටා....සංචිතවල සල්ලි නෑ කියලා දන්නෙත් අදමයි.....අපි හිතුවේ සංචිතවල පැලෙන්න ඩොලර්, යුරෝ ගෝනි ගොඩ ගැහිලා කියලා..)

* වානිජ බැංකුවලට ණය දීම අඩු කරනලෙස අණකොට ඇත (18%කින්)

* රුපියල ගෙඩි පිටින් 20% අවප්‍රමාණ කරන්නට තීරණය කොට ඇත.

එම ලිපියේම තවත් තැනක ආර්ථිකයේ අති-ද්‍රවශීලීතාවය (excess liquidity-අධික මුදල් සංසරණය) 2010වූ බිලියන 124 සිට බිලියන 15-20 දක්වා අඩුවී ඇති බව පැවසේ. අපිට අපේ ගුරුවරුන්  ඉගැන්වූ (අපි දැන් අපේ ශිෂ්‍යයන්හටද උගන්වන) ආර්ථික විද්‍යාවට අනුව ආර්ථිකයක මුදල් සංසරණය අඩුකරන්නට ගන්නා පියවර අතර ණය පොලී අනුපාත වැඩි කිරීම, බැංකු ණය දීම් වලට සීමා පැනවීම, බැංකුවලට තම සංචිත (CRR -Cash Reserve Ratio | SLR - Statutory Liquidity Ratio) වැඩිකරන ලෙස අණකිරීම වැනි පියවර ඇත. එහෙත් ද්‍රවශීලත්වය මෙතරම් අඩුවූ විටත් ණය සඳහා සීමා පණවනවානම් එතන ඇත්තේ ආර්ථික දියුණුවක ලක්ශණ නොව, කඩා වැටීමක ලක්ශණයි.

වෙලඳපොල තත්වයන් අනුව උච්චාවචනය වන්නට නොදී බලෙන් රුපියල ඩොලරයට ස්ථාවර කරගෙන සිටීමේ හද්දා පල්බූරු ප්‍රතිපත්තියේ අනිසි ප්‍රථිපල දැන් ලැබී තිබේ. රට සතු ඩොලර් සංචිත මුදාහරිමින් රුපියල අවප්‍රමාණ වන එක නවත්වාගෙන සිටීමෙන් දැවැන්ත ලෙස ආනයන වැඩිවී ඇත (කෙටිකාලීන ණය ඉල්ලුම ආනයන සඳහා 34%ක් වඩිවී ඇති අතර- අපනයන සඳහා 8%ක් වැඩිවීමකි ). මෙයට හේතුව අනවශ්‍ය ලෙස රුපියල ස්ථාවර කරගෙන සිටිමෙන්  ආනයන කටයුතු වාසි සහගත වීමත් අපනයන ආදායම් අඩුවීමත්ය. 

රටක මුදලේ අගය අවප්‍රමාණවන විට එම රටේ අපනයන තරඟකාරී වන බව උසස්පෙල ආර්ථික විද්‍යාව හදාරන සිසුන් දන්නා නමුත් අපේ අධිපති තුමා නොදන්නාසේය. 

ඩොලර් සංචිත විකුණමින් රුපියලට නැති වටිනාකමක් දෙමින් බොරුවට ස්ථාවර කරගෙන සිටීම නිසා එක් අතකින් ඩොලර් සංචිත ක්ශය වී ඇත. ශක්තිමත් රුපියල නිසා ආනයනික භාන්ඩ ලාබාදායිවීමේ වෙළඳපොල නියමය අනුව ආනයන වැඩිවී තව තවත් ඩොලර් රටින් පිටවී ඇත. 

දැන් ඉතින් රුපියල 20%කින් එනම් දැන් වටිනාකමින් පහෙන් පංගුවකින් අවප්‍රමාණ කරනවා ඇරෙන්නට වෙන කරන්නට දෙයක් නැත. මුඩ්ඩක් ගසා කොතෙක් කල් අතීසාරය නවත්වාගෙන ඉන්නද ආයුබොවන්?

පොලී අනුපාත කෙලින්ම ඉහල නොදමා රිපෝ රේට්** වැඩි කොට බැංකුවලට ණයදෙන එක සීමා කරනලෙස අණකිරීමද කොලේ වසා ගැහීමකි. ඔය කරන්නේ මහ බැංකුව කෙලින්ම පොලී අනුපාත ඉහල දමනවා වෙනුවට බැංකුවලට තහංචි දමා බැංකු ලවා පොලිය නග්ගවා ගැනීමකි. එනම් බළලුන් ලව්වා කොස් ඇටා බාවා ගැනීමකි. 

මහ බැංකුවක ආර්ථික ප්‍රතිපත්ති හසුරුවන්නට තරම් ආර්ථික විද්‍යාව පරතෙරට හදාරා නැති, පිටකොන්දකුත් නැති, නිවට දේශපාලකයින් පිනවීම සිය වෘත්තිය කරගත් ව්‍යාජ ආර්ථික විශේෂඥයෙකු (pseudo-economist) මේ රටට කරන විනාශය තව කොතෙක් කල් පවතීද?

** සටහන : රිපෝ රේට් (repo rate - repurchase rate) යනු වානිජ බැංකු මහබැංකුවෙන් ණයට මුදල් ලබා ගැනීමේදී ගෙවන්නට සිදුවන පොලියයි. මෙහිදී සිදුවන්නේ වානිජ බැංකු තමන් සතු බැඳුම්කර වැනි වාණිජ වත්කම් මහබැංකුවට ලබාදී එහි වටිනා කමට මුදල් ලබාගැනීමයි. අනාගතයේ දිනක වානිජ බැංකුව යලිත් මහ බැංකුවෙන් මෙම බැඳුම්කර ආපසු මිලදීගන්නා (re-purchase) අතර රිපෝ රේට් යනු මෙම ආපසු මිලදී ගැනීමේදී ගෙවන්නට සිදුවන පොලියයි. 

2 comments:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මේ දවස් වල කබ්සි තුමා භාවනා කරනවාලු පැන්සන් ගිය නලියවත් අල්ලගෙන , නාථ දෙය්යන්ගෙන්වත් සපෝට් එකක් අරගෙන "දේශීය ක්‍රමයක්" හදාගන්න

Anonymous said...

විදේශ සංචිත වැඩිකරගැනීමට ඇත්තටම ඇත්තේ දේශීය ක්‍රමයකි.ඒ නිශ්පාදනය වැඩි කිරීමයි.