Sunday, April 3, 2011

රණතුංගගේ පාවාදීම, මහේලගේ තරඟ පාවාදීම හා වැරදුනු කුරුමාණම...

ඊයේ ලෝක කුසලාන අවසන් තරඟය බලලා තවමත් නිදිමත වුනත් ලිපියක් ලියන්නට සිත්වුනේ හුඟ කලකින් මොකුත් නොලීවාට වඩා ලියන්නට වැදගත් යයි සිතෙන දෙයක් ඔලුවට ආපු නිසයි. 

දැන් වසරකටත් වැඩිකාළයක් ඉන්දියාවේ මුම්බයි නගරයේ රැකියාව කරන මට ඉන්දියාවේ ක්‍රිකට් උන්මාදයේ තරම දැනගන්නට ලැබුනේ මේ ලෝක කුසලාන තරඟාවලියේදීයි. වසර 28පසු ලෝක කුසලානය තමන් අතට ගැනීමේ මහත්වූ බලාපොරොත්තුවෙන් සිටි ඉන්දියානුවන් සිය කණ්ඩායම  වෙනුවෙන් නිතිපතා ගණදෙවි පූජා පවා පවත්වමින්   ආශීර්වාද කරමින් ජය පැතුවේය. සචින් තෙන්දුල්කාර් ඔවුන්ට මිනිස් වෙසින් පෙනීසිටින දෙවියෙකි. ඒ තරමටට ඔවුන් සච්න්ට ගරු කරයි.

 පන්ජාබයේ මුහාලි නගරයේ පැවැත්වුනු ඉන්දියානු පකිස්තානු තරඟය ඉන්දු-පකිස්තාන් යුද්ධයක් ලෙස සියලු ඉන්දියානුවන් සැලකූවේ පකිස්තානය සමග ඔවුන්ගේ ඇති වෛරය කෙතරම්දැයි ප්‍රදර්ශණය කරමිනි.  ලංකාවට පැරදුනත් කමක් නෑ පකිස්තානෙටනම් පරදින්න බෑ...මාගේ ඉන්දියානු මිතුරු මිතුරියන් ඒ තරඟයට පෙර එකහඬින් කියා සිටි බව පවසන විට ඔබ පුදුම වෙන්නට පුලුවන්. ඒ ඇත්ත එයයි. ඉන්දියාවේදී ඉන්දියන් කණ්ඩායම පකිස්තානෙට පැරදීම ඔවුන්ට ලෝක විනාශයට වඩා විනාශයක් වුනා. මගේ ඉන්දියානු මිතුරු මිතුරියන් සියල්ලම මේ තරඟයේදී මගේ සහය ඉන්දියාවට බව තහවුරු කරගැනීමට මහත් උනන්දුවක් ගත්තෝය. ඔවුනට එය එතරම්ම වැදගත් වුනා. නුඹ අපේ මිතුරෙක්, අසල් වැසියෙක්, නුඹ සිටිය යුත්තේ ඉන්දියානු ධජය යට අප සමග සිටගෙනයි පැවසූ ඔවුන් තරඟය නැරඹීම සඳහා තනියෙන් ජීවත් වෙන මට ඔවුන්ගේ නිවෙස් වලට ආරාධනා කර සියලු පහසුකම් සලස්වා දුන්නේය.

තරඟයෙන් ඉන්දියාව ජයගත් විට සුබපතා මගේ සෑම ඉන්දියානු මිතුරෙකුට හා මිතුරියකටම SMS පණිවුඩයක් යවන්නට මට සිදුවුනේ එසේ නොකලානම් සැබැවින්ම ඔවුන් කණගාටු වන බව හොඳින්ම දැන සිටි නිසාය. මම යැවූ සෑම පණිවුඩයකටම ක්ශණිකවම ඔවුන්ගෙන් ප්‍රතිචාර ලැබුණි. "Thank you! See you in Wankhade on Saturday" ඔවුන් සැවොම පිලිතුරු එවා තිබුණි. ඒවන විට ලංකාව අවසාන මහා තරඟයට සුදුසුකම් ලබා තිබුණි. වන්කඩේ ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා හමුවෙමු යයි කියා තිබුනේ එබැවිනි.

අවසන් මහා තරඟය නරඹන්නට අපගේ ඉන්දියානු මිතුරියක් ඇයගේ නිවස සූදානම් කලාය. ඒ අනුව මමත් මගේ ඉන්දියානු මිතුරු කැලත් තරඟය නැරඹූවේ වන්කඩේ ක්‍රීඩාංගණයට සැතපුම 2-3 ඈතින් පිහිටා තිබුනු ඇයගේ නිවසේ සිටය. දැඩි හින්දු භක්තිකයින් නිසා මත්පැන්, මස් මාලු හා දුම්වැටි ඇයගේ නිවසට අකැප විය. ඒ නිසාම මත්පැන් දුම්වැටි බයිට් නොමැතිව මිතුරන් සමග නැරඹූ  එකම ක්‍රිකට තරඟය මෙය බවද කිව යුතුමය. 

ඉන්දියානු මිතුරු මිතුරියන් පොදිය ඉන්දියාවට වාසි වෙන හැම අවස්ථාවේම, අපේ විකට් කැඩෙන හැම අවස්ථාවේම ප්‍රීතිඝෝශා නගද්දී එකම ශ්‍රී ලාංකිකයා වුනු මට සිදුවුනේ වේදනාව නිහඬව දරාගන්නටය. එහෙත් මගේ සිත් තැවුල ගැන මගේ මිතුරු-මිතුරියන්ට අවබෝධයක් නොතිබුනා නොවේ. උඩ පනිමින් ප්‍රීති ඝෝශාකරන ඔවුන් මොහොතකින් මගේ පිටට තට්ටුවක් දමමින් "Are you OK?" අසන්නට වුනේ උන්ගේ හිතවත් කම නිසාමය. තරඟය යන කිසිම අවස්තාවක ලංකාවට හෝ  ක්‍රීඩකයින්ට අපහාස උපහාස වන එක වචනයක් හෝ ඔවුන් නොකීවේ ඔවුන්ගේ හැදිච්චකම නිසාම විය යුතුය.  එපමණක් නොව අපේ කොල්ලන් බැටකන බොහෝ අවස්ථාවල එය දරාගැනීමට අපහසු වූ මම දුම් වැටියක් අතට ගෙන "මේක බීලා එන්නම්" යයි  කියන විට මාගේ මානසික තත්වය හොඳින් දැනසිටි එක් ඉන්දියානු මිතුරියක් එවන් සෑම අවස්ථාවකම මා සමග අප සිටි තට්ටු නිවාසයෙන් පහල පැමින දුම්වැටිය බී අවසන්වන තෙක්ම සිගරට් දුමද ඉවසාගෙන මා සමග දොඩමලු වී සිටියාය. ඒ වෙන  රටක එකෙකු වුවත් මිතුරෙකු නිසා මා ගැන තිබුණු හිතවත් කමටය.

"I want some fresh air..." මා සමග එන්නේ ඇයිදැයි ඇසූවිට ඇය දුන් පිලිතුරයි. එහෙත් සැබැවින්ම "හිතේ අමාරුවෙන් ඉන්න මූව තනිකරන්නට හොඳ නෑ..." ඇයට  සිතෙන්නට ඇත.

උන් එහෙමය....අපි??? ලංකාවෙන් ආ මට ඉන්දියානුවන් සලකණ ආකාරයත් ලංකාවේ ආණ්ඩුවට කඩේ යන පත්තර ටීවී චැනල් ඉන්දියාවට සලකන ආකාරයත් අනුව අපේ හැදිච්චකමත් උන්ගේ හැදිච්චකමත් හිතාගන්නට පුලුවන.  මේ හැදිච්චකම ලංකාවේ අපි හා විශේෂයෙන්ම අපේ  ජනමාධ්‍ය අතින් ප්‍රදර්ශණය නොවූ බව දන්න මට ඇතිවෙන්නේ සැබැවින්ම  ලැජ්ජාවකි. ලංකාවේ පත්තර කියවන්නට ලැබෙන නිසා ලංකාව තුල මවාපා ඇති ඉන්දියානු විරෝධය මම හොඳින් දන්නේමි. ඒ සත්‍යය මගේ  ඉන්දියානු මිතුරු මිතුරියන් නොදැන සිටීම මගේ වාසනාවකි.

රණතුන්ගෙගේ බ්‍රේක් නැති මුඛය...

දැන් රණතුන්ගගේ මහා පාවාදීමේ ප්‍රකාශය ගෙන බලමු. රණතුන්ග කල ප්‍රකාශය මම කිසිසේත් අනුමත නොකරමි. එය නොකල යුතු දෙයකි. එහෙත් කටට බ්‍රේක් නැතිවීම රණතුන්ගගේ උපන් ගතියකි. ලෝක කුසලානය දිනාදුන් නායකයා වෙනුවට අද දේශපාලන රොඩ්ඩෙක් වී ඇත්තේ මේ කට වැඩ නැතිවීම හා තමන් මහා කෙරුමෙක් යයි සිතාගෙන සිටීම නිසාය.

රණතුන්ග කෙසේ සිතාගෙන සිටියත් රණතුන්ග ඉන්දියාවට මහ ලොක්කෙක් නොවේ. ඔහු කවුදැයි දන්නේද ඉන්දියානුවන් කිහිපදෙනෙකි. 1996 ලෝක කුසලානය ඉන්දියාවට මතක නැත. ඒ ඉන්දියාව අවසාන මහාතරඟයට පවා සුදුසුකම් නොලබපු නිසාය.

ආණ්ඩුවට කඩේයන අපේ නරිප්පඩයින්ට එයින් කම් නැත. ඉන්දියාවට සොක්කෙකු වුනු රණතුන්ග කල ප්‍රකාශය රටට මහත් අවමානයක් ගෙනදුන්නායයි කියන්නේ ඉන්දියව ගැන නොදන්නා අපේ පල් මෝඩයින්ය. NDTV ඔය ප්‍රකාශය නිරන්තරයෙන් ප්‍රති-විකාශකල බව ඇත්තකි.  එහෙම කලේ එය ක්‍රිකට් යෝධයෙකු කල මහා බරපතල ප්‍රකාශයක් නිසා නොව NDTV යනු ඔවුන්ගේ ප්‍රධාන ප්‍රවෘත්තියට අදාල වන ලෙස කවුරුන් හෝ මොනයම් ප්‍රකාශයක් කලත් එය පුනපුනා ප්‍රචාරය කරන නාලිකාවක් නිසාය. එම ප්‍රවෘත්තියට වඩා උණුසුම් යමක් එනතෙක් එය එසේම සිදුවෙයි.

පැය 24පුරා දිවෙන CNN වැනි ප්‍රවෘත්ති නාලිකාවක් වන එහි ප්‍රචාරණ ශෛලිය මෙයයි. ප්‍රවෘත්ති අහේනියකින් පෙලෙන විට ඉස්කෝලේ යන බට්ටෙක් "අපේ ටීචර් හරි නපුරුයි මගේ කණ මිරිකුවා...තාමත් රිදෙනවා..." කියමින් හඬනවිට එහි වීඩියෝ ක්ලිපයක් ගෙන එයද පුන පුනා ප්‍රචාරය කිරීම NDTV වැනි නාලිකාවල සැමදා සිදුවන්නකි. මෙය ලංකාවට අපහාස කිරීමට, අපේ කොල්ලන්ගේ මානසික තත්වය බිඳදැමීමට කරන්නක් බව කියන්නේ රාජපක්ශ මේනියාකාරයින් පමණකි. ඉන්දියාවට එය තවත් ප්‍රවෘත්තියකි. ලෝක කුසලාන මාධ්‍ය ගිරග්ග සමජ්ජයේ තවත් එක පුංචි ජවනිකාවකි. රණතුන්ග යනු කවුදැයි වත් හරියට නොදන්නා, නැත්නම් අමතක වී ඇති රටකි ඉන්දියාව. ඇත්ත එයයි.

මහේලගේ පාවාදීම......

දැන් මහේලගේ තරඟ පාවාදීමේ චෝදනාව බලමු. රණතුන්ග සොක්කාගේ මෝඩ කතාව රටේ ක්‍රිකට් ක්‍රීඩාවට මහත් අවමානයක් වුනත් මහේල වැනි ප්‍රවීන, එමෙන්ම ධනවත් පවුලකින් (ධනවත් කතාව කිව්වේ මහේලට මුදලට තරඟපාවාදෙන්නට සල්ලි අහේනියක් නැතිබව ඒත්තු ගන්වන්නට පමණකි.) බිහිවුනු ක්‍රීඩකයෙක් තම රටවෙනුවෙන් ක්‍රීඩාකරමින් තරඟය පාවාදුන්නා යයි කල චෝදනාව එතරම් බරපතල නොවී ඇත. ඇයි ඒ?

එය ආණ්ඩුවේ අසූචි බුදින්නෙකු ජනපතිගේ ගමේ තිබූ මැච් එක දිනා ජනපතිව පිම්බීමට තිබුණු අවස්ථාව අහිමිවීමෙන් ඇතිවුනු මහත් කෝපයෙන් කල අමන චෝදනාවක් නිසාය. මේ චෝදනාවෙන් ක්‍රීඩකයින්ගේ මානසිකත්වයට අබමල් රේණුවකවත් හානියක් සිදුනොවීය. ගූ කන අමනයින් කියනා දේවල් මහේලලා ගණන් ගන්නේ නැත. උන් රටට ආදරේ කොල්ලන් නිසාය. බිලියන 1.2 ඉන්දියානු ක්‍රිකට ලෝලීන් (ඉන්දියාවේ ජනගහනය)  "මහේල අවුට් වෙයන්..." යනුවෙන් සජ්ජායනා කරද්දී මහේල සංයමයෙන් ඉනිම ගොඩනැගුවේ ඒ නිසාය. මහේලගේ ඉනිම නිසා ලංකාවෙ මටද ජාම බේරාගත හැකිවිය. "ලංකාවෙ කොල්ලෝ හොඳ තරඟයක් දුන්නා..." ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් මහේලගේ ඉනිම මා සමග අගයකලේ එහෙමය.

හැබැයි අවලංගු රණතුන්ගගේ ප්‍රකාශයනම් මහත් විපතකි. රණතුන්ග ලංකාව චාටර් කරණ ලදී. රණතුන්ග ඔය ප්‍රකාශය නොකලානම් සංගාට කප් එක උස්සන්නටත් අවස්ථාවක් තිබුණි. රණතුන්ගගේ ප්‍රකාශයෙන් මානසිකත්වය බිඳවැටුනු නිසා එහෙම නොවූබවට කතුවැකි හෙට අනිද්දාම ගූ කන්නන් අතින් ලියවෙනු ඇති.

අනේ ලංකාව................... 

මහේලට විරුද්ධ චෝදනාව අසූචි බුදින අමනයින් අතින් වුනේ ප්‍රමාද දෝශයකි, මහේලට හෝ රටේ කීර්තිනාමයට ඉන් අවැඩක් නොවුනි....අමනයාගේ ප්‍රකාශය මාධ්‍ය ක්ශණික මෝචනය යයිද කිව හැකිය. ඉන්දියාවේ දේශපාලන අමනයෙකු සචින් තෙන්දුල්කාර්ට ඔය වැනි අපහාසයක් කලානම් ඌගේ ඇටකටු කුඩුවී ඉස්පිරිතාලේ ලගිනවා පමණක් නොව ඌට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් පවා මැලිවෙන බව සහතිකය. වාසනාවට ලන්කාවේ එවැනි තත්වයක් නැත. මේ අමනයින් සියල්ලම යහතින් සිටින්නේ එබැවිනි.

වැරදුණු කුරුමානම....

අප රජතුමාද 40ක පිරිවරකින් තරඟය නරබන්නට එන බවත් මේ 40හේ නඩයට ටිකට් පත ලබාදීම අපහසුබවත් සෙනසුරාදා ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතේ මුම්බායි සංස්කරණය වාර්තාකොට තිබුණි. ලංකාවේ ජනපතිට හා ඔහුගේ නඩයට ආරාධනාකලේ ඉන්දියාවේ ක්‍රිකට් පාලන මණ්ඩලය නිසා ඔවුනට ටිකට් ලබාදීම ඉන්දියන් BCCI එකේ යුතුකම හා වගකීම බවද එහි වාර්තා කොට තිබුණි. ජනපති නඩයේ විශාලත්වය නිසාත් ටිකට් හිඟකම නිසාත් ඉන්දියාවේ ජනපතිනිය වන පටිල් මැතිණියගේ 65ක පරිවාර සේනාව 35දක්වා අඩුකරන ලෙස ඉල්ලන්නට BCCI එකට සිදුවුනි. එහෙම කලායයි කියලා BCCI ලොක්කන් පටිල් නෝනාගෙ උදහසට ලක්වන්නේ නැත. පුටු පෙරලෙන්නේද නැත. එහෙම වෙන්නේ ලංකාවේ පමණකි. පටිල් නෝනා සිය පරිවාර සේනාව අඩකින් කපාදමා සිය ආරාධිත අමුත්තාගේ නඩයට ටිකට් ලබාදී තිබුණි. වගකිවයුතු නායකයෝ එහෙමය. එහෙම උන් ලංකාවේ නැතිකම අපේ අවාසනාව පමණකි.

නඩය සමග රජ සැපත්වුනේ මැච් එක බලන්නට පමණක් නොවන බව අපේ මාධ්‍ය වාර්තාකොට තිබුණි. සංගා ඇතුලු කොල්ලෝ ටික මොන ගැටයක් ගසාහෝ කප් එක ඉස්සුවානම් තමන් කප් එක දිනුවා යයි කියමින් එය කරතියාගෙන මාස ගණනාවක් යනතෙක් පිම්බෙන්නට අවශ්‍ය සියලු සැලසුම් සකස්කොට තිබුනු බව වාර්තාවේ. ලැජ්ජා නැතිකමට බෙහෙත් නැත. කුරුමාණම වැරදුනේ මහේන්ද්‍ර සිං දෝනිගේ නඩයේ දක්ශකම නිසා මිස අපේ උන්ගේ අදක්ශ කම නිසා නොවේ. එහෙත් ඉදිරි දින කිහිපයේදී ලියවෙන අසූචි බුදින්නන්ගේ විග්‍රහවල මහේලලා සංඝාලා පතුරුගහන බව මට විශ්වාසය. පොලොව නුහුලන එහෙව් අපරාධ කරන්නට අපේ ගැත්තන්ට කිසි අපහසුවක් නැත.

රජගේ කුරුමාණම වැරදීම ගැන මට කාළකන්නි සතුටක් නැත. ඒ අපේ ජාතිය පරාද වුනු නිසාය. ඉන්දියානුවන් මහ මග ප්‍රීතිඝෝශා කරමින් නටද්දී, මාගේ මිතුරු මිතුරියන් ඔවුන් සමග එක්වද්දී කරබාගෙන අප ආපසු පැමිණි වාහනේ කොනකටවී වේදනාවෙන් සිටින්නට මට සිදුවිය. 

එහෙත් ඊටත් වඩා මට ඇති වේදනාව නම් මොකෙක් හෝ සිය ශක්තියෙන් කැපැවීමෙන් රටට කීර්තියක් ගෙන එන්නට තැත්කරන විට මේ කාළකන්නි දේශපාලකයින් ඒ කීර්තිය ඩැහැගෙන තමන් සතුකරගන්නට දරන නිර්ලජ්ජී වෑයමයි. සංගක්කාරද මේ සත්‍යය නොදැන සිටියා නොවේ. තරඟය අවසානයේ නායකයින්ගේ ප්‍රකාශවලදී සංගා ජනපතිගේ මගපෙන්වීමට ස්තූතිකරන්නට අමතක නොකලේ එබැවිනි.  ක්‍රිකට් ආයතනයට පල් හොරුන් පත්කරමින් ක්‍රිකට් දේශපාලණීකරණය කරමින් විනාශකලත් සංගා ඒ ප්‍රකාශය කලේ එහෙම නොකලානම් අසූචි බුදින්නන්ගේ අසූචි ප්‍රහාරවලින් තමන් විනාශවී යන බව හොඳින් දන්නා නිසාය. මෙය රටේම අවාසනාවය. ඉන්දියානු ක්‍රිකට් නායකයින් තම පුහුණු කරුවන්ට, අනුග්‍රාහකයින්ට හා ක්‍රීඩාලෝලීන්ට උපහාර පුද කරද්දී, මේ කුසලානයේ අපේ නොව නුඹලාගේ යයි ඉන්දියානු ජනතාවට කියද්දී, දේශපාලකයින්ගේ නමක් වත් නොකියද්දී සංගාට ජනපති මතක්වූයේ ඔහු යතාර්තය දන්නා නුවනක්කාරයෙකු නිසාය.
අවසානයේ කිවයුත්තේ මෙයයි....සංගා, මහේල, මුරලි..උඹලා ක්‍රීඩාකරන්නේ වැරදි රටටයි. ගමේ තරඟය පැරදුනුවිට පාවාදීම් චෝදනා එන්නේත්, ජනපතිට කප් එක කරතියාගෙන රටවටේ යන්නට ඇටවූ කුරුමාණම වැරදුනු නිසා මින් ඉදිරි කාලයේ උඹලාට බලු බැනුම් අසන්නට සිදුවන්නේත් ඒ නිසයි......


12 comments:

.epfooleopf said...

GON PART

``` Outsider``` said...

ඉන්දියානුවන්ට ක්‍රිකට් ක්‍රීඩාවත්, සිනමාවත් තමන්ගේ අත් දෙක වැනිය. ඒ නිසා එහි දේශපාලකයන්ට තැනක් නැත.
එහෙත් ‍ලංකාවේ මිනිස්සුන්ගෙ ශරීරයම දේශපාලනයේම කොටසක් වගේය. ලෝකෙ හැම කාලෙකම මැතිවරණයක් තියෙන එකම රට ලංකාව විය හැක්කේ එනිසයි.
එහෙත් ලෝක කුසලානයනම් තරඟාවලිය පුරාම වැඩියෙන්ම දක්ෂතා පෙන්නුම් කරමින් ඉන්දියාව හිමි කරගන්නා ලක්ෂණ පෙන්නුම් කලා.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ජාතිකරූපවාහිනිය , එතකොට ලංකාදීප පත්තරේ ක්‍රිකට් ව්ග්‍රහය දැක්කාම මට මං ලියපු ලිපි ගැන ඇත්තටම සංතෝසයක් ඇති උනා , මධ්‍යස්ථව යමක් හිතනව කියන්නෙ අපේ රටේ අය දන්න කියන දෙයක් නෙවෙයි සහෝ , තමන් හිතන දේ අනුන් හිතන්න ඕනැය කියලයි මේ අය හිතන්නේ , අපේ අවාසනාවට තරුණ පරපුරත් මේවට ගොදුරු වෙලා , මම තරඟය බැලුවෙ නැදැ සහෝදරයෙක් එක්ක මිනිහට තියන ලොකුම හිතට අමාරුව ඉන්දියාවට පැරදුන එක , අනික මිනිහට අනුව ඉන්දියාව දක්ෂ කණ්ඩායමක් නෙවෙයි , අපේ මෝඩ හරක් ටිකක් නේර ට හදපු මුණුපොතේ පිටුවක මල සමයම් වගයක් නටල තියනවත් මම දැක්ක , ඉන්දියාවෙ ඉන්න උඹට තමයි ඉන්දියානුවන් ගැන හොඳටම තේරෙන්නෙ , ලිපියෙ තියන දේවල් වලට අනුව නම් බොහොම සතුටු දායකයි කියල හිතෙනව , ඔයාගෙ ඉන්දියාවේ ජිවන අත්දැකීමුත් බ්ලොග් සටහන් හරහා එලියට එනව නම් හොඳයි කියල මම පොඩි යෝජනාවක් කරන්න කැමතියි, මොකද බටහිර රටවල් වල ඉන්න අයගේ අත්දැකීම් අහල දැකල තිබුනත් ඉන්දියාවෙ ජීවත් වුන ශ්‍රි ලාංකිකයෙක්ගේ ( විශේෂයෙන්ම ඉන්දියාවෙ උතුරු කොටසෙ ) අත්දැකීම් දකින්න ලැබෙන්නෙ ඉතා අඩුවෙන්

කතන්දර Kathandara said...

දේශපාලනයට ගියොත් රණතුංගම් ට විතරක් නෙමේ ඕනෑ තුංගම් කෙනෙකුට වෙන්නේ ඕක තමයි.

ජයසූරියයර් ට වුණු දේ පේන්නේ නැද්ද?

ඊට වඩා මට දුක ඔය සංගක්කාර් කලා ය කියන ප්‍රකාශයයි.

සල්ලිකාර පවුලක නං මහෙල ගේ නම ජයවර්ධන නෙමේ නේ, ජයවර්දෙන = Jayawardena ප්‍රනවුන්ස්ඩ් ඇස් ජයවෝදන.

Charmi said...

ලංකාව පැරදුනු එකට මටත් අප්සෙට්. ඒත් මේ දේවල් සිද්ද වෙන විදිහ ඊටත් වඩා අප්සෙට්.
http://reargate.blogspot.com/2011/03/blog-post_29.html

pavithra weerapperuma said...

100% එකගයි මචන්.. මම නම් ඒත් ඔය ක්‍රිකට් ගැන කතා කරන්න යන්නෙ නෑ. මම ක්‍රිකට් ගැන ලියවෙන පෝස්ට් එකකට අයෙ කමෙන්ට් නොකරන්න තම හිතන් උන්නෙ. ඒත් මේකට දාන්නෙ වැදගත් දෙයක් හින්ද..! මම ඊයෙ ප්‍රාජය ගැන කතා නොකරන්නෙ මඩ ගොහොරකට තව මඩ බිංදුවක් එකතු උනූ එක ගැන කතා කරන එක නිශ්ඵල දෙයක් නිසා..

hare :-) said...

නියම විග්‍රහය!
මොනව වුණත් සංගට දැං එක ප්‍රශ්ණයකින් නිදහසක් තියෙනවා...

රංචාගොඩ මුදියන්සේ said...

@kathandara -- මේ ඔයාව ඉලක්ක කරගෙන කියන දෙයක් නම් නෙමෙයි ඒත් ජයවෝඩන කියලා ජයවර්ධන කියන නම උච්චාරණය කරන්නේ කළු සුද්දෝ. සල්ලිකාර කළු සුද්දෝ තමුන්ට සිංහල බැරි බවත උච්චාරණය අමාරු බවත් පෙන්වන්නයි ඔය වර්ධන කියන කෑල්ල වෝදන කියලා අමාරුවෙන් උච්චාරණය කරන්න්නේ. මහේල හොඳ ධනවත් පවුලක කොල්ලෙක් වගේම තමුන්ගේ නම හරියට උච්චාරණය කරණ නාලන්දය වැනි විශිෂඨ බෞද්ධ පාසැලකින් පන්නරය ලැබූ තරුණයෙක්

nalaka said...

ඔව් ඉතිං යුද්දයක් තනියෙං දිනපු උත්තමයෙක්ට ඔය ක්‍රිකට් තරගෙ කජ්ජක්ද? ඒ තරම් ඇඟට අරන් නෑ... නැත්තං ජිල්මාට් වලින් ලකුණු පුවරුව වෙනස් කරල හරි දිනනව.

ඉන්දික උපශාන්ත said...

මේ වෙච්චි දේ දැනෙන්නෙ රටිං පිට ඉන්න අපිට මිස ඔය ලිඳේ ඉන්න ගෙම්බොන්ට නෙමෙයි සහෝ. හැබැයි ඉතිං අපේ වගේම සහ ඊටත් අන්ත "මලබාරි" මැද්දෙ ඉන්න මගේ අත්දැකීම ඔයිට හාත්පසින් වෙනස්! බිත්තර කට්ටක රිංගුවෙ නැති ටික විතරයි.

Anonymous said...

ඊයේ ඉන්දියානුවන්ගේ දවස,ලොක්කා බලන් ඉන්නවාට බයේද මන්දා අපේ ඈයොන්ට බෝල අහු උනේම නෑ.(නායකයා මාධය සාකච්ඡාවේදි ජනාධිපතිට ස්තූතිකල යුතු කාලයක්වත්ද එමින් තියෙන්නේ)

Anonymous said...

මචන්, මරු පොස්ට් එක. තව ලියපන්. අපේ රටට දෙයියන්ගේම පිහිටයි. මහින්දය කියන්නේ ගඩාෆි ගේ ලෝකල් බඩුව.