Saturday, November 27, 2010

රජයේ සේවකයින්ට බදු ගසා කොම්පැණිවලට බදු අඩුකල ආදායම් බදු පිළිබඳ රාජපක්ශ චින්තනය

ප්‍රථම වතාවට 2011 බජැට්ටුවෙන් රජයේ සේවකයන් ඓතිහාසිකව ලැබී තිබුණු බදු නොගෙවා සිටිමේ වරප්‍රසාදය අහිමි කරන ලබන බව රාජපක්ස ජනපති නොබෝදා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය. මෙසේ බදු ගෙවන්නට සිදුවන්නේ මසකට රුපියල් 50,000 වැඩියෙන් වැටුප් ගන්නා ඉහලපෙලේ රජයේ නිළධාරී වැටුපෙන් වුවත්, පොඩි රජයේ සේවකයාගේ සොච්චම් වැටුපෙන්ද බදු ගන්න "උපයන විට ගෙවීමේ බදු ක්‍රමයක්ද (PAYE Tax)" හඳුන්වා දෙන බවට එතුමා කිව්වේ ඒ හුස්මටමය. ඒ අනුව ලොකු පොඩි රජයේ සේවක සැමටම මින් මනතට, තම කරපිටින් වඩම්මාගෙන ආ රජතුමා ඇතුලු නඩයේ නඩත්තුව පිනිස බදු ගෙවන්නට වනු ඇත. එය හොඳ දෙයකි. වෙදාට ඔය රජයේ සේවක නෝනලා මහත්තුරු සුදු පිරිවට ඇඳගෙන මුට්ටි පිටින් තැපැල් චන්ද දමා දක්කාගෙන ආ මුන්ව නඩත්තු කරන්නට සිදුවුනේ පෞද්ගලික අංශයේ රැකියාව කරන අපට පමණකි. එම බර රජයේ සේවක උන්නැහේලාටත් දරන්නට වන විට ඊළඟ තැපැල් චන්දය ලකුණු කිරීමේදීවත් ටිකක් මොලේ කල්පනාවනු ඇතැයි සිතිය හැකිය.

තැපැල් චන්දවලින් කළගුණ සැළකූ කෘතවේදී රජයේ සේවකයාට බදු දමද්දී රජපක්ශ රජය ව්‍යාපාරික ප්‍රජාවට දක්වා ඇත්තේ මහත්වූ අනුකම්පාවකි. අනේ අපොයි මේ කොම්පැණි මහත්තුරු 35% බදු ගෙවන්නේ මොන අපරාධයක් කරාට දැයි මුදල් ඇමතිතුමා වසයෙන් රාජපක්ශගේ පපුව හෝස් ගා යන්නට ඇත. ඒ නිසා මෙතෙක් 30% සිට 35% පමණ වුනු ව්‍යාපාරික බදු 28% දක්වා අඩු කරමින් ඉදිරි වසර 6යේ රාජපක්ශ පාලනයේ මුල් තැන ලැබෙන්නේ බෙන්ස්වල බී.ඇම්.ඩබලිව් වල යන ඩිරැක්ටර්තුමන්ලාට මිස මොටෝ සයිකලයේ, බස් එකේ බඩගාන සරත්ලාට, පද්මාවතීලාට නොවන බව පැහැදිලිය. සරත්ලා පද්මාවතීලා ඕනෑවෙන්නේ තව අවුරුදු හයකිනි. ඉදිරි අවුරුදු පහමාර කොම්පැණිවලට සපෝට් එකදී අන්තිම මාස හයේදී මැරිලා ඉපදුනා මෙන් පොදු ජන හිතවතාවී උන්ට ආයෙත් නාස් ලනුව දමාගැනීම එතරම් අමාරු නොවනු ඇත.

එක අතකට කොම්පැණිවලට බදු අඩුකරන එක හොඳය, කොම්පැණිවලට කඹුරන අපට අඩුම ගනණේ සිංහල අවුරුද්දට, නත්තලට දෙන බෝනස් එක හරි ටිකක් වැඩිවෙනු ඇත. පඩි වැඩිකරන ලෙස කරන සේවක ඉල්ලීම වලදී වුනත් ටැක්ස් අඩුවීම හේතුවෙන් වෙනදාමෙන් "කොස්ට් එක හරි වැඩී, ඉන්ෆ්ලේශන් වැඩී" යනුවෙන් බොරු කියා පැනයන්නට අපේ ඩිරැක්ටර් උත්තමයන්ට අමාරු වෙනු ඇත. ඒ නිසා රාජපක්ශ ටැක්ස් චින්තනයෙන් අපිටත් වාසියක් සිදුවීම අගය කල යුත්තකි.

කැසිනෝවලට හා අරක්කු සිගරට් කොම්පැණිවලටද බද්ද 40%කි. එයද හොඳ දෙයකි. කැසිනෝවක හුළංවදින්නටවත් ආදායමක් නැති 99%වන ශ්‍රීලාංකික ජනතාවට ඔය කැසිනෝ ටැක්ස්වලින් ගැටලුවක් නැත. අරක්කු සිගරට් කවදත් ටැක්ස් වෙයි බොන එකා කීය දී හෝ බොන නිසාත් අඩුවට බඩු ඕනෑම බූටෑවක පලාතේ එජනිස ලොක්කාගේ අනුග්‍රයෙන් හිඟ නැතුව තිබෙන නිසාත් දුප්පතාට වුනත් අරක්කු ටැක්ස් එකෙන් කමක් නැත.

අවසාන වශයෙන් කිව යුත්තේ දෙවැනි පදවිප්‍රාප්තිය ලැබූ මේ පින්බර සමයේ රජතුමා සමාජවාදි හණමිටි බයිලා පැත්තක දමා බදු පිළිබඳ අලුතෙන් චින්තනයක් මවාගෙන ක්‍රියාත්මක කිරීම ඉතාම කාලෝචිත බවයි. මේ චින්තනය යටතේ තැපැල් චන්ද මාමිලාට නැන්දිලාට හොඳින් සලකා තිබෙන අතර චන්දෙ නොදීපු ප්‍රයිවෙට් සෙක්ටර් අපිටද ලොක්කන්ට අඬලා හෝ පොඩි ඉන්ක්‍රිමන්ට් පොජ්ජක් ලබාගැනීමේ ඉඩකඩ සලසා තිබීම පැසසිය යුතුමය.

රජපසතුමා ගැන කවදාක්වත් හොඳක් නොලියන කණ්ඩුලයාට මොකෑ මේ වුනේ කියා කළබල නොවන ලෙස මා සහෘදයින්ගෙන් ඉල්ලා සිටිමි. ටැබූ සීයාට මෙන් මට රජවාසලෙන් පයින්ඩයක් ආවේ නැත. පී ඇස් ඩීයෙන් හෝ සී අයි ඩීයෙන් (තවම) දොරට තට්ටුකලේද නැත. එහෙත් හොඳක් වෙලානම් නොලියා බැරි නිසා ලිව්වෙමි.

සැරදේ මහරජ! ඊලඟ බජට් එකෙන් අපේ කොම්පැනිවල බදු 20% පහත දමන්නේනම් පින් සිදුවනු ඇත. එතකොට ලබන අවුරුද්දෙත් ඉන්ක්‍රිමන්ට් ගැන හීනි බලාපොරොත්තුවක් තබාගත හැක. 120 ට 1.20ක් ආයුබෝවේවා!

2 comments:

Ajith said...

අවුරුදු පහමාරක් මඩවා ඊළඟ ඡන්දයට මේ මී හරකුන් කර අඹවා ගන්නට මාස හයක් හොඳට ම ඇති බව රජතුමා දනියි. රජයේ සේවකයන්ට මොනවා හරි වුණොත් වෙන්නේ 2015 අයවැයෙනි.

බෑන් කී මූන් said...

එකඟයි.