ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන් ම වනගහනයෙන් අලංකෘත වූ රාජ්‍යයක් ලෙස පැවැතිණි. පුරාණ රජවරු වනය හා ගහකොළ ආරක්ෂා කිරීම සඳහා වෙන ම නීති පැනවූහ. අනවසරයෙන් වනය හෙළන්නාට දැඩි දඬුවම් ලැබිණි. පොදුවේ ගත් කල සියලු දෙනා ම වෘක්ෂලතා රැකීමට බැඳී සිටිය හ. ඔව්හු ගහකොළට හා සතා සීපාවාට ආදරය කළහ. 1940 පමණ වනවිට ද මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් වෘක්ෂලතාදියෙන් වැසී තිබිණි. එහෙත් පසුකලෙක ක්‍රියාත්මක වූ ලිහිල් නීති නිසා ද, වන ජාවාරම් නිසා ද, නැවත වන වගාවක් නොසිදුවූ නිසා ද වනගනය ශීඝ්‍රයෙන් පහත වැටිණි. අද මුළු භූමියෙන් පහෙන් එකක කොටසක්වත් වනය සඳහා වෙන් වී නැත.
රට පාලනය කළ නායකයන් ගේ ප්‍රතිපත්ති ද වනය කෙරෙහි බල පෑවේ ය. අප ගේ ප්‍රධාන වැසි වනාන්තරය වූ සිංහරාජය මැදින් පාරවල් කැපූ යුගයක් තිබූ බව අපට මතක ය. සිංහරාජය හා එහි සම්පත් විදේශීය කොම්පැනිවලට ලියාදීම සඳහා පිඹුරුපත් සකස් කළ යුගයක් තිබූ බව ද අපට මතක ය. රටට ආදරය නොකරන පාලකයන් වනයට ආදරය කරත්ද? දැන් ඒ සියලු අඳුරු යුගයන් හමාර කොට අලුත් යුගයකට පැමිණ තිබේ. මේ යුගයෙහි එක් විශේෂත්වයක් වන්නේ මවුබිමට, ජාතියට හා ස්වභාව ධර්මයට ආදරය කරමින් කටයුතු කිරීම ය.
ඉහත ප්‍රතිපත්ති අනුව යමින් දීප ව්‍යාප්ත වන වගාවක් හා වෘක්ෂලතා සංරක්ෂණ වැඩසටහනක් පාරිසරික අමාත්‍යාංශය මගින් ආරම්භ කර තිබේ. පළමුව දිවයින පුරා පැළ ලක්ෂ එකොළහක් සිටුවීමේ වැඩසටහනක් යෝජනා විය. අද එය පැළ දොළොස් ලක්ෂය ද ඉක්මවා පැළ ලක්ෂ විසිදෙක දක්වා ව්‍යාප්ත වී තිබේ. සෑම දිස්ත්‍රික්කයක ම සෑම ප්‍රදේශයක් ම ඇතුළත් වන සේ වැඩසටහන ක්‍රියාත්මක වේ. පරිසරයට කවදත් හිතවත් ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා විසින් මේ වැඩසටහනට නායකත්වය දෙනු ලැබේ. උත්සවවලට වඩා ක්‍රියාකාරිත්වයට මුල් තැන දුන් පැළ සිටුවීමේ වැඩසටහන අනාගතය බලා සැලසුම් කරන ලද අගනා වැඩසටහනක් සේ පෙන්වා දිය හැකි ය.
කොතරම් ආදරේද යත් සිංහරාජයේ, නකල්ස් කඳුවැටියේ වැනි මෙකී නොකී වනාන්තර, දුලබ ලෝක උරුමයන් ලෙස, තර්ජනයට ලක්වී ඇතැයි පරිසර සංවිධානවල රතු පොත්වල සටහන් වුනු වැසි වනාන්තර තුල කාමර දහයේ පහලොවේ ගෙවල් සාදාගන්නේ නිවාඩුපාඩුවේ තම පවුල, ඥාතිමිත්‍රාදීන් හා දැසි දස්සන් පිරිවාරගෙන මේ වනාන්තර අස්සට රිංගාගෙන වනාන්තරයට ආදරය කරමින් කල් ගතකිරීමට නොවේද?
තරුණියකට ආදරය කරන තරුණයින් සතියේ වැඩි කාළයක් ඇයත් සමග ගතකරයි, ඒ ආදරයේ ඇති දැඩි බව නිසාමය. ආණ්ඩුවේ ලොක්කන් කරන්නේත් මේ දේම නොවේද? මෙලෙස කැලෑ අස්සේ මහා මන්දිර තනාගන්නේ ට්‍රිලියම් පාක් වැනි සුඛෝපබෝගී එපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකක සුපිරි ගෙයක් ගත නොහැකි නිසාද? නැත. එක ටෙලිෆෝන් කෝල් එකකින් කාටහරි විකුණන්නට අත්තිකාරම් ගෙන ගිවිසුම් ගසා ඇති නිවසක් වුනත් බලෙන් ලබාගැනීමේ හයිය මොවුන්ට නැතුවාටද? නැත්නම් ඇක්සස් සුමල් මහත්තයාගේ ෆෝට්‍රස් සුපිරි හෝටලයේ වීක්-එන්ඩ් එක ගතකරන්නට මුදල් හදල් නැතුවාටද? එහෙම ගැටලුවක් නැත. මෙලෙස හොඳම වනාන්තර, වැව් තාවුලු, නැගෙනහිර ඇති ලස්සනම් මුහුදු වෙරලවල් පදාස පිටින් බුත්තියට ලියාගන්නේ, වැඩකට නැති කබල් පන්සල් ඩෝසර් කොට නිවාඩු නිකේතන හදන්නේ ස්වභාවධර්මයා සමග ජීවත්වීමේ ආසාව නිසාමය.
සිකුරාදාට වැඩ ඉවරකොට හාමිනේ හෝ හොර හාමිනේද කැටුව කිසි වියදමක් නැතුව පරිසර හිතකාමීලෙස වතුරෙන් දුවන ගුවන් හමුදා හෙලිකොප්ටරයකට නැගීගෙන නකල්ස්වල, සිංහරාජයේ නැත්නම් රටේ වැඩිදෙනෙක් දන්නේවත් නැති, ඒත් මුලු ලෝකයම සිය පොදු උරුමයක් ලෙස නම්කරගෙන ඇති, තවමත් හඳුනානොගත් වටිනා බෙහෙත් පැලෑටි හා සත්වයින් ජීවත්වෙන, නොයිඳුල් වන පියසක හදාපු මන්දිරේට දුවන්නේ සතාසීපාවා සමග ගහකොල සමග ඇල්මෙන් බැල්මෙන් සිටින්නටය. ආදායමක් නැතත් තමුන්ට යන්න බැරි තරම් වැඩ අධික කාලයකට (එනම් ව්‍යවස්ථා සංශෝධනයක් හෝ චන්දයක් ඇති කාලෙට) සල්ලිකාරයින්ට හා සුද්දන්ට කුලියට දී සොච්චම් මුදලක් ලබාගෙන ලයිට් බිල් වතුර බිල් ටික ගෙවාගන්නට පුලුවන්නේද, නාකි වුනාම නිදහසේ භාවනා කරමින් තවුස් දම් පුරමින් ඉන්නට පුලුවන් නේදැයි යන පරම පවිත්‍ර චේතනාවලින් මේ මන්දිර, තානායම් හා හෝටල් තනාගෙන තිබේ. එහි කිසි වරදක් නැත.. බංගලාව මුරට හිටුවා ඇති හමුදාවේ, සිවිල් ආරක්ශක බලකායේ කොල්ලන්ට වුවද ඔය වනාන්තර තවත් වැඩි දියුණු කරන්නට, ටිකක් ඈතට වෙන්න ගන්ජා පැල ටිකක්, එනසාල් වගාවක් වුනත් දාගන්නට පුලුවන. ඒවත් පැලෑටි නිසා ගැටලුවක් නැත.
දිණමින කතෘතුමා කියන විධියට ඇත්තටම අප දැන් අඳුරු යුගයෙන් එලියට පැන ඇත. දැන් අපි එලිය දකිමින් සිටිමු. එදා ප්‍රේමදාස මහත්තයාගේ කාලයේ කණ්ඩලම වැව් තාවුල්ල ලඟ හෝටලයක් හදන්නට යනවා, දඹුල්ලේ ලෝක උරුමය, කෘශි සංස්කෘතිය වලපල්ලට යනවා යයි බොරුවට බෙරිහන් දුන්, උපවාස කල අඳුරු යුගය අපට මතකය. දැන් නකල්ස් වල, සිංහරාජයේ හා තවත් වන රක්ශිතවල මොනවා කෙරුවත් බොරුවට උඩ පනින මෝඩයින් නැත. මෝඩකම අන්ධකාරයයි. දැන් අපි ආලෝකයේ සිටින නිසා පරසරවේදී ඩොලර් කාක්කන්ට ඕනෑ ඕනෑ විධියට නටන්නට ඉඩ නැත. අපි දැන් මෝඩ නැත.
කාලෝචිත ලෙස අපි අඳුරෙන් එලියට ආවා මෙන්ම, පරිසර අමාත්‍යාංශයේ පැල විසිලක්ශයේ වැඩසටහනද ඉතා කාලෝචිතය. වැසිවනාන්තර නිවාඩු නිකේතන බවට පත්වීගෙන යන නිසා දැන් රටපුරා පැළසිටුවා හැම ගමකම වැසිවනාන්තරය බැගින් පිහිටුවා ගත හැක. ඔය විසිලක්ශයෙන් සීයට විසිපහක් ලොකුමහත් වුනත්, ඒ ටික මොනතරම් වටිනා ලී කන්දරාවක්ද? පාසැල් ලමයින්, සමුර්ධි අහිංසකයින් ලව්වා මෙසේ පැළසිටුවා ලොකු මහත්කර ගතවිට, තවත් අවුරුදු විස්සකින් විතර (පියරජතුමා තාම තරුණයිනෙ) නාමල් කුමාරයා රජවුනු පසු එයාගේ ගෝලයින්ට ඒ ගස් කපාගෙන විකුණාගත හැකිය. එවිට දැයට සෙවන කෙසේ වෙතත් ගෝලයින්ගේ හිසට සෙවනට අලුත් ගෙවල් ටිකක් හදාගත හැකිය.
No comments:
Post a Comment