හැමෝම මේදවස්වල අන්තරේ හා ඇස්.බී. හෙවත් ආණ්ඩුව සමග යන මාරාන්තික සටන ගැන ලියන නිසා මටත් ලියන්නට හිතුනේය. සමහර අය කෙලින්ම අන්තරේට වැඩය, සමහර අය ඇස්.බීට කෙලින ගමන් සාටකරාජ්යය ආරක්සාකරගැනීමට ලියති. චන්ද මැසිම වුනු ඇස්.බියාට සපෝට් එකට ඉන්නේ බොහොම ටික දෙනෙකි. මොන කෝනයකින් වුවත් මේවා ගැන ලියන බොහොමයක් බ්ලොග්කරුවන් මට වඩා බ්ලොග් අවකාශයේ බොහෝ සීනියර් නිසා එතුමන්ලාගේ නම්, බ්ලොග්වල නම් ලියා ඇදගෙන නා ගැනීමට මට අවශ්‍ය නැත. එහෙත් කිවයුතු දේ හිතෙන විධියට කිව යුතුය. නැත්නම් බ්ලොග් ලිවීමෙන් වැඩක් නැත. ඒ නිසා මම මෙසේ කියමි (ලියමි);
88-89 ඉතිහාසය
මුලින්ම එස්.බී.ගේ ශිෂ්‍ය සටන් පැටිගිරිය මතක් කල බ්ලොග් සටහන ගැන කිව යුතුය. මට ජවිපෙ හෝ අන්තරය ආරක්ශා කිරීමේ කැක්කුමක් නැත. 88-89 කාලයේ උසස්පෙල සිසුවෙකු වුනු මට එකල ජවිපෙ අන්තරේ (දේශවිමුක්ති ජනතා ව්‍යාපාරය / ශිෂ්‍ය සටන් මධ්‍යස්ථාන / කම්කරු සටන් මධ්‍යස්ථාන / කුඩාපොල බල ඇණිය ) ගැන හොඳ වැටහීමක් තිබේ. එකල ඔවුන් (ජේවීපී / අන්තරේ සිසු උද්ගෝසන මෙහෙයුම් කරුවන්) කල දස්කම්, විස්කම් මට හොඳින් මතකය. සුදු යුනිෆෝම් ඇඳගෙන පොත් ගොඩකුත් එක්ක ජවිපෙ හා සම්බන්ධ පාසල් සිසුන් සමග හොරෙන් පාසැලට ඇතුලුවෙන ඔවුන් උදේ 10-11 වනවිට කෑකෝ ගසා ගුරුවරුන් බියවද්දා සිසුන්ව පංතිවලින් එලියට ගෙන "උද්ගෝසන" වල යෙදවූ හැටිත්, පොලීසිය පැමිණිවිට උන්ව ඇවිස්සීම සඳහා "පොලිස් බල්ලෝ" යයි කෑගසමින් ගල්ගසා පොලීසිය කඳුලු ගෑස් ගැසීමට අවුස්සා ඉස්කෝලෙ කොල්ලන්ට මෝඩ පොලිසිය දිගට හරහට කඳුලුගෑස් වලින් බැට දෙද්දී කලින් සැළසුම් කරගත් ආකාරයටම පස්සා ගේට්ටුවලින් ඔය සටන් නායකයින් පැනගිය ආකාරය මට හොඳින් මතකය. අන්තිමට මෝඩ පොලීසියත් උද්ධච්ඡ යූඇන්පී ආණ්ඩුවත් බලු බැනුම් ඇසුවේය, දෙමවිපියන්ගේ, පොදු ජනතාවගේ වෛරයට පාත්රවිය. සිසුන්ට ජීව උණ්ඩවලින් වෙඩි තබමින් මිනී මැරූ පොලිස් මැරයින්ට උසස්වීම් දෙමින්, 5/6 බලයේ උණ නිසාම තමුන්ට සියල්ලම පාළණය කරගත හැකිය යන මෝඩ සිතුවිල්ලෙන් ජේ ආර් ගේ ආණ්ඩුව ගිය ගමන නිසා අවසානයේ ජවිපෙ ජනතාවගේ ගැළවුම් කරුවාබවට පත්විය. ජවිපෙ මොන මිනිය මැරුවත්, චිට් වලින් නිළනොවන ඇඳිරිනීති දමමින් ජනජීවිතය විනාශකලත්, කඩයක් ඇරපු පලියට මිනිස්සුන්ගේ අතපය කැපුවත්, ජවිපෙ සතුරෙකුගේ මළමිනිය පවා කරමතින් ගෙන නොයා යුතුය යනුවෙන් පට්ට-තිරිසන් නීති දැම්මත් "මේ රට හදන්න කොළ්ලන්ගේ ආණ්ඩුවක් (ජවිපෙ ආණ්ඩුවක්) එන්නට ඕනෑය" යන අදහස මිනිසුන් එලිපිටම කියන්නට ගත්තේ ජවිපේ-අන්තරේ-සටන් මධ්‍යස්ථාන වල දක්ශ උපායමාර්ග නිසා නොව ජේ.ආර්ගේ ආණ්ඩුවේ උද්ධච්ඡ මරිකම නිසාමය. ඒතරමටම බලයෙන් මත්වූ එජාපය මිනිස්සුන්ට එපාවී තිබුණි. තරුණ අසහණයට විරැකියාවට හේතු නොසොයා, ඈත පෙදෙස්වලට සංවර්ධනය ගෙන නොගොස් කොළඹම දියුණුකරමින් සිංගප්පූර් කිරීමේ හීනය පස්සේ යාම නිසා අවසානයේ දකුණේ, උතුරු මැද, වයඹ හා මධ්‍යම පලාත්වල තරුණයින් දස-දහස් ගණනක් "කොල්ලන්ගේ ආණ්ඩුවක්" පිහිටුවා ගනිමුයි යනුවෙන් ජවිපෙ දුන් පෙත්තෙන් මත්වී ටයර් සෑයවල් වල ගංගා ඇළදොලවල අවසන් ගමන් යන්නට විය. ඇත්ත කතාව එයය.
එනම් අද ඉන්නා ආණ්ඩුවේ බක පණ්ඩිතයින් 88-89 මහා විනාශය තනිකරම ජවිපෙ මත පටවන්නට උත්සහා කළත්, එහි පදනම දැම්මේ ජේ ආර් ගේ උද්ධඡ්ච පාලනය මිස වෙන කිසිවක් නොවේ. ජවිපෙ සිදුකලේ ජේ ආර් දැමූ පදනම මත සිය බලය අල්ලාගැනීමේ යාන්ත්‍රණය ගොඩනැගීම පමණකි. එය මහින්ද, සාම-ගිවිසුමට තිබූ ජනතා විරෝධය රටේ බලය අල්ලාගැනීමට ඉනිමගක් කරගත්තා වැනිය. වෙනස ජවිපෙ සිය ඝාතකයින් ලවා පොලිටි-බියුරෝවේ තීරණ අනුව මිනී මැරීම හා මහින්ද ආරක්ශක කවුන්සිලයේ තීන්දු මත සරත් ෆොන්සේකා ලව්වා මැරවීමයි.
එපමනක් නොව, අද සමහර බ්ලොග් ලියන සහෘදයින් අන්තරේ සටන්වලට එජාපෙ නිහඬ එකඟතාවයක් දෙමින් කාළකණ්නි සතුටක් ලබන බව කිව්වත්, එදා 88-89 කාලයේ ජවිපෙ සටනට ශ්රීලනිපය එලිපිට දුන් සහය ගැන කිසිවක් නොකියන්නේ 88-89 කාලයේදී ඔවුන් ඉපදී නොසිටි නිසාද (සමහරුන් සැබැවින් ඉපදී නැතුවා හෝ ජංගිය තෙමාගන්නා වයසේ පසුවන්නට ඇත ) නැත්නම් වුවමනාවෙන්ම අමතක කර නිසාදැයි සොයා බැලිය යුතුය. එකල ජවිපෙ සටනට ශ්රීලනිපය හදවතින්ම ආශීර්වාද කලේය. මිළමුදල් පමණක් නොව ජවිපෙ උද්ඝෝශණවලදී, පොලීසිය සමග වීදි සටන් වලදී, ටවුන් හෝල් එකේ එකවර බස් දුසිම් ගණනක හුලන් අරිද්දී , බස් ඩිපෝ පිටින් ගිණි තැබීම් වලදී, පිටකොටුව බෝ ගහ යට භික්ශු සටන් වලදී, රජයේ ගොඩනැගිලි විනාශකිරීම් වලදී සිය පිරිස් බලය ජවිපෙට ලබාදුන් බව මම පෞද්ගලිකවම දන්නා කරණයකි. ඒ මාගේ ලඟම ඥාතියෙකු එකල ශ්‍රිලනිපයේ සුවිසල් බළකනුවක් වූනිසාත්, තොලකට තෙමාගත් විට කටවැඩ නැතුව දෙඩවීමේ පුරුද්ද ඔහුට තිබුණු නිසාත්ය.
එපමණක් නොව එකල එජාප මහලේකම් වුනු හර්ශ අබේවර්ධනගේ ඝාතනයේ පටන් ජවිපෙ සිදුකල සියලු එජාප නායක ඝාතන ශ්‍රීලනීපය නිළවශයෙන් නොවුනත් අන් සියලූම ආකාරවලින් අනුමතකලා පමණක් නොව සාධාරණීකරණය කලේය. අද එජාපයේ නිහඬ අනුමැතිය ගැන කුණු හබ්බ ලියන සාටක ඔස්තාර්ලාට මේවා මතක නැත (දන්නේ නැත). එදා ජවිපෙ මිනීමරු දේශපාලනයට අවශ්‍යය මානසික ශක්තිය හා ජනතා සහය ලබාදුන්නේ ශ්රීලනිපය මිස වෙන කවුරුත් නොවේ. අද ජේවීපිය (අන්තරේ=ජේවීපී) තවත් සන්නද්ධ අරගලයකට ලෑස්තිවෙනවා යයි තප්පු-ලන්නේ එදා ජවිපෙ සන්නද්ධ අරගයලට, මිළමුදල්, රැකවරණ, පිරිස් බලය හා ජනතා සහයෝගය ලබාදුන් එවුන්ය. ඔවුන්ට අද මුල අමතකවීම අප ජාතියේ ස්වභාවය මිස උන්ගේ වරදක් නොවේ.
මේ ක්‍රියාදාමයේදී "දිවයින" පත්තරයේ ක්‍රියාකලාපය ගැනද කිවයුතුමය. දිවයින මැරිලා ඉපදී ඇත. එදා 88-89 කාළයේ ජවිපයේ නිළ නොවන ජාතික පුවත්පත වුනේ දිවයිනයි. එදා ජවිපේ සටනට න්‍යායාත්මක සහය හා ජනමනස හැඩගැස්වීමේ මෙහෙයුම සිදුකලේ දිවයිනයි. ජවිපෙ සිදුකල ඕනෑම අසමජ්ජාති ක්‍රියාවක් (උදා: සාගරිකා ගෝමස් ඝාතනය / ප්‍රේමකීර්ති ඝාතනය ) උඩින් ලාවට හෙලා දැක, ඇතුලු පිටු පුරාවට සාධාරණීකරණය කලේ අන් හැමටමත් වඩා දිවයිනය. එකල රාවය සඟරාව (දැන් පුවත්පත), හිරු පුවත්පත, විවරණ සඟරාව වැනි විකල්ප ප්‍රකාශණ බයට හෝ හැබෑවට ජවිපෙට කඩේ ගියත්, ජවිපෙ මාධ්‍ය මෙහෙයුමේ පුරෝගාමියා වුනේ දිවයින පත්තරේය. ජවිපෙ හා දිවයිනේ මේ කුප්‍රකට ප්‍රේමය කොතරම් දුරදිග ගියා දැයි කිවහොත් එකල ජවිපෙ, එජාපයේ ප්‍රාදේශීය දේශපාලකයින්ට ලබා දුන් ආඥාවක මෙසේ සටහන් විය.
"පණට ආදරේ ඇත්නම් එජාපෙ දේශපාලනයෙන් වහාම ඉවත් වෙයල්ලා. ඉවත් වුනු බවට දැන්වීමක් දිවයින පත්තරේ දාපල්ලා..."
ඔන්න ජවිපෙ අණ. දැන්වීම දැමිය යුත්තේ දිවයිනේමය. වෙන එකක දැම්මොත් ආඥාවට කීකරු නොවුනු නියාවෙන් යටිගම් බලා යන්නට සිදුවිය. එකල ජවිපෙ සමග රමණය කල ශ්‍රිලනිපයේ සලෙලුන් මෙන්ම එකල ජවිපෙට ඇඳිවත උනා නොමිලේ කොරන්නට දුන් දිවයිනේ මාධ්‍ය ගණිකාවන්ටද මේ සියල්ලම අද අමතකය. උන් මැරී ඉපදී ඇත. දිවයින පත්තර කන්තෝරුවේ පුස්තකාලයේ තියෙන පරණ පත්තර ටිකක් අවුස්සලා බලන්නට යයි මම දිවයින මාධ්‍ය නරිප්පඩයින්ගෙන් ඉල්ලා සිටිමි. 88-89 කාළයේ මොහිණීගේ බඩට බබා දුන්නේ දිවයිනේ උන්මය. දැන් වැදගත් පාඨකයින් ගැන ටී.වී එකේ දැන්වීම් දමයි. ජවිපෙ අනාගත සන්නද්ධ අරගලය ගැන දොඩවමින් එස්.බීට මුක්කු ගසමින් රෙද්ද උස්සයි. මේවා තකතිරු යූඇන්පී කරයින්ට මතකත් නැත. හැම මගුලම කටපාඩම් කරගෙන දෙසාබාන ජවිපෙ උන්නැහෙලාටත් මේ ටික පොතේ නැති නිසාදෝ අමතකය. අද දිවයිනට අනුව, ඇස් බී උන්නැහේ හරිය. ජවිපෙ තවත් සන්නද්ධ අරගලයකට අර අඳියි. එදා ජවිපෙ සන්නද්ධ අරගලයට කත් ඇද මිය ගිය තරුණ තරුණියන්ගේ ලේ අත්වල තැවරී ඇති නිසාදෝ දිවයින එදා මෙන් නොව අද ජවිපෙ සන්නද්ධ අරගලයට විරුද්ධය.
ජවිපෙ සන්නද්ධ අරගලයකට ලෑස්තිවෙනෝ!! - එස්.බී ඇතුලු සාටක රැළ
කිව යුත්තේ මෙයයි. එදා මෙන් නොව අද ජවිපයට සන්නද්ධ අරගලයක් ගැන සිතීමටත් නොහැකිය. කරනවානම් අතන මෙතන පොඩි බෝම්බයක් පුපුරවා, නැත්නම් හිටගෙන නිදාගෙන ඉන්නා පොලිස් කොස්තාපල් කෙනෙකුට දෙකක් ඇණ රයිෆලයක් උදුරාගෙන ගොස් එකෙකුට දෙන්නෙකුට වෙඩි තැබිය හැකිය. අහිංසකයින් කිහිපදෙනෙක් මරාදැමිය හැකිය. ඉන් එහාට කලහැකි කජ්ජක් නැත. අද ඉන්නා මිලිටරිය 88-89 කාලයේ හිටි මිලිටරියට වඩා වෘත්තීමය මට්ටමෙන් උසස්ය, පිරිස් බලයෙන් දෙතුන් ගුණයකින් වැඩිය, නහුතයටම සන්නද්ධ වී ඇත, ආරක්ශක වියදම් වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ ඇත ,බුද්ධි-ජාල රට වටා එලා ඇත. ඒ නිසා එදා කල සෙල්ලම අද බැරිය. එදා දිවයින කාරයින් ජවිපෙට කත් අදමින් යහතින් සිටියත් අද වෙන්නේ බුරුත්තටම ලසන්ත සමග සැතපෙන්නටය.
ආණ්ඩුවත් මේ බව හොඳින් දනී. ඒ නිසා ඔය සන්නද්ධ අරගල කතාව ආණ්ඩුවට සිය නිරුවත වසාගෙන ජනතාව මර්ධනය කරගණිමින් තවත් වසර විස්සක් තිහක් බලයේ ඉන්නට හැකි ආකාරයේ පරිසරයක් හදා ගැනීමට සතුරෙකු නිර්මාණය කරගැනීමේ උත්සාහයකි. ජවිපෙ සන්නද්ධ අරගලය එනවෝ යයි කෑගසන්නේ ඒ නිසාය. ඇත්තටම ජවිපෙ සන්නද්ධ අරගලයක් කරන්නට ලෑස්ති වෙනවා නම් ආණ්ඩුව කෑ ගස ගසා නිකන් ඉන්නේ නැත. එහෙනම් ගෝඨා අයියන්ඩී සිය ටීම් එකත් එක්ක මේ වෙනකොටත් සටන පටන් අරගෙනය. මේ වන විට අඩුම ගානේ අන්තරේ බුවාලා, ජවිපෙ වෘත්තිය සමුති බුවාලා දුසිම් දෙක තුනක් වත් සුදු වෑන් වලින් ගෙනිහිල්ලාය. ජවිපෙ මූලස්ථානෙට පොලීසිය සීල් තියලාය. ඒ නිසා ජවිපෙ සන්නද්ධ අරගලය බොරු බයිලාවක්ම පමණකි. සන්නද්ධ අරගලයකට විහිලුවකට හරි ජවිපෙ ලෑස්ති වෙනවානම් ඊට වඩා සුදුසුදේ ඔවුන් සමූහ-සියදිවිනසා ගැනීමකට යාමයි. ඒ මන්ද යත්, අවසානයේ සිදුවන්නේ එයම නිසායි. එය 88-89 කාලයේදි වුනාට වඩා අධිකවේගයෙන් වනු ඇත. වෙන්නේ මොකක්දැයි සිතන්නටත් පෙර අරගලය මිහිදන් වනු ඇත.
එස්.බී හා පෞද්ගලික විශ්වවිද්‍යාල සටන
එස්.බී ඉස්සරහට දාලා ආණ්ඩුව කරන්නේ ගේමක්. ව්‍යවස්ථා සංශෝධනය වගේ ඕනෑනම් පෞද්ගලික විශ්වවිද්‍යාල පනතත් සම්මත කරගන්න පුලුවන්නේ?
මේ එක් බ්ලොග්කරුවෙකගේ තර්කයයි. අන්තරේ අද නිව්ස්වල ඉන්නේ වැඩියෙන්ම මුදල් ගන්නා විශ්වවිද්‍යාලට විරුද්ධ සටන නිසාත්, ඇස්.බී තුමා සල්ලි ගන්නා විශ්වවිද්‍යාල කෙසේහෝ පිහිටුවමී යනුවෙන් සිහ නාද කොට ඇති නිසාත් මේ ගැන සොයා බැලිය යුතුය. ව්‍යවස්ථා සංශෝධනයක් යනු නීතියකි. සාමාන්‍ය ජනයාට එදිනෙදා ජීවිතයේදී බල නොපාන්නකි. එය මොන ක්‍රමයකින් හෝ සම්මතකරගෙන කීකරු ශ්‍රේෂ්ඨාධිකරණය ලව්වා ව්‍යවස්ථාවට එකඟයි යනුවෙන් කියවාගත්තානම් එතනින් එහාට විරුද්ධවාදීන්ට කල හැකි කජ්ජක් නැත. මොනවාහරි ලොකු දෙයක් කරන්නට හැදුවොත් ශ්‍රේෂ්ඨාධීකරණයට අපහාස කරනවා යනුවෙන් නඩුවක් ගෙන්වාගෙන, අස්සවාගත හැකිය. එතකොට ඉල්ලන් කෑම හැර වෙනයම් දෙයක් ඉතුරු නොවේ. ව්‍යවස්ථා සංශෝධනය සිදුකරගෙන ආණ්ඩුව යහතින් ඉන්නේ "ශ්‍රේෂ්ඨාධිකරණ තුරුම්පුව" නිසාය. මිනිසුන් බහුතරය ශ්‍රේෂ්ඨාධිකරණයට ගරුකරනතෙක් ඔය සෙල්ලම කළ හැකිය. කොතෙක් කල් එම ගෞරවය තිබේවීදැයි වැඩියෙන්ම සිතිය යුත්තේ අගවිනිසුරුතුමාය. කොයිදේටත් සීමාවක් ඇති බවත් සිමාව ඉකමණින් එනබවත් උගතෙකු වුනු එතුමාට කියාදිය යුතු නැත.
විශ්වවිද්‍යාලයක් ඔය විධියට බලෙන් නීතියක් සම්මතකරගෙන පිහිටවිය හැකිද? විශ්වවිද්‍යාලයක් යනු භෞතික ආයතනයකි. එය සාර්තකවීමට එයට දරුවන් ඇතුලුකිරීමට දෙමාපියන් කැමතිවිය යුතුය. එසේ කැමතිවන්නේ ඒ දරුවන් ලබන උපාධියට නිසි වටිනාකමක්, පිලිගැනීමක් ලැබේයයි සහසුද්දෙන්ම ස්ථිරවුනු විටය. එපමණක් නොවේ. දරුවන්ගේ ආරක්ශාවත්, උපාධිය අවසන්කරන තෙක් විශ්වවිද්‍යාලය පවතීද නැත්නම් ආණ්ඩු මාරුවකදී වාශ්පවේවේදැයි සැකයක් දෙමාපියන්ට ඇති නොවිය යුතුය. මේ සැක සංකා දුරුකරන්නට නම් පෞද්ගලික විශ්වවිද්‍යාල පනතක් සම්මත කරගෙන පමණක් පුලුවන්ද? උදේ සිට රෑවෙන තෙක් සිය දරුවන් නිදහස් අධ්‍යාපනය කාදමන ජාතියේ සතුරන් බව රටට පෙන්වමින් පොලීසියත් එක්ක මරාගන්නට යන අන්තරේ සටන් තිබෙන තෙක් දෙමව්පියන් සිය දරුවන් මහන්සියන් හම්බකරගත් මිලමුදල් වියදම් කොට පනතෙන් සම්මතවුනු පලියට පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යවන්නේ යයි සිතිය හැකිද? කිසිසේත් නැත. සල්ලිත් වියදම් කර දරුවන් අතරමන් කරන්නට දෙමව්පියන් සූදානම් නැත.
එසේ නම් විසඳුම කුමක්ද?
අන්තරේ. එස්.බී සටන කියවිය යුත්තේ ඔතැන ඉඳගෙනය. එස්.බී අන්තරේ එක්ක හැප්පෙන්නේ, ආණ්ඩුව එස්.බීට ඕනෑ විධියට අන්තරේ මල්ලිලා කූඩු කරන්නේ ඒ අනුවය.
එස්.බීට පිස්සු හැදිලාවත්, ආණ්ඩුව එස්.බීව නැතිකරන්නට පෞද්ගලික විශ්වවිද්‍යාල මඩගොහොරුවේ එස්.බීව වැට්ටුවා වත් නොවේ. නැත්නම් එස්.බී දුන් වැඩේ අනාගෙන මඩ නාගන්නවා වත් නොවේ. මට වගකීමෙන් කිවහැක්කේ, එස්.බී මේ ක්‍රියාත්මක් කරන්නේ රජයේ ඉහලම තැන්වල, පූර්ණ අවබෝධය හා සහය ඇතුව ඉතා සූක්ශමව සැළසුම් කරගත් ක්‍රියාදාමයක් බවයි. මෙහි පලමු අරමුණ ජවිපේ පණක් ඇති එකම අංශය වන අන්තරය විනාශකර දැමීමයි. මේ සඳහා ඕනෑම මිලක් (අහිංසක හෝ අහිංසක නොවන සිසු ජීවිත) ගෙවීමට රජය අදිටන් කරගෙන ඇති බවත් මගේ තර්කයයි. කොටි වනසන්නට ඕනෑතරමක් දෙමල සිවිල් ජීවිත නසන්නට නොපැකිලුනු රජය, රටේ ජනතාව නිතරම වපරැසින් බලන විශ්වවිද්‍යාල සිසුන් අවශ්‍ය ගණනක් වලපල්ලට යැවීමට නොපැකිලෙනු ඇත. "ඔය මැරෙන්නේ දෙමළුනේ" කියා ජනතාව නිහඬව හිටියාක් මෙන්ම විශ්යවිද්යාල සිසුන් මැරෙන විට "ඔය කැම්පස් කාරයෝ පාඩම් කරලා උපාධිය අරගෙන රටට සේවය කරනවා වෙනුවට පොලීසිය එක්ක ගහගන්න යනවාට හොඳ වැඩේ" කියමින් නිකන් සිටිනු ඇති බව මගේ විස්වාශයයි. හොඳින් නොව නරකින් අන්තරය විනාශකරගත් පසු යලිත් ජවිපය හිලෑ කරගෙන දෙකට තුනට කඩා ගැනීම හෝ අන්තරයත් සමගම විනාශකරදැමීමට පුලුවන. අන්තරය හා ජවිපෙ මේ අසුවී සිටින්නේ එස්.බීගේ උගුලක මිස, එස්.බී ජවිපෙ හෝ ඔහුගේ සතුරන්ගේ උගුලක හසුවී නැත. සුදුස්සාට සුදුසු රාජකාරිය පැවරීමටත්, උපරිමයෙන් සහයදී කාරිය කරවාගැනීමට රාජපක්ස ජනපති රුසියෙකි. සරත් ෆොන්සේකා, කෙහෙලිය මේ සඳහා හොඳ නිදසුන්ය. එස්.බී තෙවන හොඳම නිදසුන වනු ඇත. ජවිපෙ නැසූ වීරයා වීමේ භාග්‍යය ඔහුට උදාවී ඇත.
මේ නිසා එලිපිට සටනක් කොට අන්තරය (ජවිපෙ ) රට වනසන ද්‍රෝහීන් බවට හංවඩුගසා (යුද්ධයට විරුද්ධ වූවන්ට එකල ජවිපෙ කලාක්මෙන්) ඔවුන් වනසා දැමින්ය යුතුබවට ජනමතය ගොඩනැංවිය යුතුය. එය කරන්නට හොරෙන් සටන් කොට නොහැක. මාවිල් ආරු මෙන් එලිපිට සටනක් කල හැකි, සටන සාධාරණීකරණයකොට බහුතර ජනතාවට අලෙවිකල හැකි අන්දමේ එකක් විය යුතුය. එස් බී මේ සිදුකරන්නේ එයයි. ඔහු උවමනාවෙන්ම අන්තරය ප්රකෝපකරමින් සටනට ඇද ගෙන ඇත. දැන් සටන ඇරඹී ඇත. වැඩියෙන්ම ප්‍රකාශණ බලය (media power), පිරිස් ශක්තිය හා ජනතා සහය ඇති පාර්ශවය ජයගනු ඇත. මේ සියලු ශක්තීන් ඇත්තේ ජවිපෙ/අන්තරේටද නැතිනම් එස්.බී ප්රමුඛ රාජපක්ශ යාන්ත්‍රණයටද?
1 comment:
Excellent. Keep writing.
Post a Comment