Friday, April 22, 2011

ටයිම් සඟරාව සදහටම තහනම් කරනු! / අයි.පී.එල් ගැන කතා නොකරනු!

ටයිම් සඟරාවේ "මොස්ට් ඉන්ෆ්ලුවෙන්ශල් 100" දැන් නිකුත්වී ඇත... ලොක්කාගෙ නම නැත..99යෙත් නැත 100ත් නැත. 

මැවූ සිහින සියල්ල පුපුරා ගියේය. ලෝක කුසලානෙ කරේ තියාගෙන මාසයක් දෙකක් ඇද ගන්නට තිබුනු චාන්ස් එක හොරු අරන් ගියාවාගේ පෙනි පෙනී නොපෙනීගියේය දැන් ඊටත් වඩා ලෝකෙම පොරක් වෙන්නට තිබූ චෑන්ස් එක කටේ දාගන්නට පෙර වාශ්ප වී ගියේය. 

චයිනීස් හැකර්ලා ගෙන්නාගෙන, අවුරුදුකාලේ දරු මල්ලන් සමග ඉන්නේ නැතුව ඔපිස් වල හොරෙන් හැංගීගෙන,  රජයේ වියදමින් අතිකාල දීමණා ලබාගෙන, හෝටල් වලින් තුන් වේලට බුරියානි ගෙන්නාගෙන කමින්, දුක් විඳිමින් හොර අයි.පී ඇඩ්රස් දාස් ගාණකින් දාපු චන්දවලිනුත් වැඩක් වුනේ නැත.

වැඩක්ම නැත....අත ගහන කිසිදෙයක් හරියන්නේම නැත...

දැන් ඉතින් ගිය සති දෙකතුනේම රාජපක්ශ ගවගාලේ නේවාසිකයින්ගේ සුරතලා වුනු ටයිම් සඟරා ප්‍රසිද්දියේ පුලුස්සා ටයිම් වාර්තාකරුවන් ලන්කාවේ ඉන්නවානම් ගහලා පැන්නීම පටන් ගත යුතුය.

ටයිම් සඟරාව තියෙන්නේ ඇමරිකන්, යුරෝපා සුදු අධිරාජ්‍යවාදීන්ගේ උවමනා එපාකම් ඉටු කිරීමට බවත් ඔවුන් දේස ද්‍රෝහී කොටි හිතවාදීන් බවත් ප්‍රකාශකල යුතුය. රටේ තියෙන ටයිම් සඟරා සියල්ලම එකතුකොට ගාලු මොවදොර පිට්ටනියේ ගොඩ ගසා ගිනිතැබිය යුතුය.

ටයිම් සඟරාවේ  දේශීය ග්‍රාහකයින් (සබ්ස්ක්‍රයිබර්ලා ) කොටි හිතවාදී විදෙස් ගැත්තන් බව විහිලුවංශ ලවා විශේෂ රූපවාහිනී සමබර සාකච්ඡාවකදී කියැවිය යුතුය. ඉන්පසු උන් පස්සේ රහස් පොලිසිය පැන්නවිය යුතුය. ටයිම් සඟරාවේ අනුබද්ධ ආයතනයක් වන සී.ඇන්.ඇන් රූපවාහිනි සේවාවද වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කල යුතුය.

ටයිම් සඟරාවේ ලොක්කන් අපේ රජතුමා ලෝකෙට ලොක්කෙක් වෙනවාට ඊරිසියාවට මේ කල නව නිංගිරා වැඩේට කෙසේහෝ පලි ගත යුතුමය. අපේ රජතුමා මැච් බලන්නට ඉන්දියාවට ගියවෙලාවේ කරපු  මදිපුංචිකම් වලට සාර්තකව පලිගත්තාවාගේ ටයිම් කාරයින්ගෙනුත් පලිගත යුතුමය.

උඩ පැන පැන පලි ගත යුතුය. ඔහොම පලි අරගෙන පලි අරගෙන හති  වැටිලා අමුත්තක් දැනෙන නිසා නිකමට වාගේ හැරිලා පස්ස අතගා බැලූවිට නකුට කැපී ඇතිබව අවබෝධ වනු ඇත. ඉන්පසුව නකුටක් නැතුව ජීවත් වීම ඉතා දේසප්‍රේමී බව රටටම කියන්නට කාට හරි බාරදිය හැක.

අයි.පී.ඇල් හා ගඩ්ඩා

සන් ග්ලාසස් දාගෙන ස්පෝර්ට්ස් ඩිවැලොප් කරන්නට වලිකන අපේ ගඩ්ඩා ඇමතිතුමාට සිදුවී ඇත්තේ කූඥ්ඥය ගැලවූ වඳුරාට සිදුවූ දෙයැම නොවේද?

ඉන්දියාවේදී ටිකට් අරගෙන මැච් බලන්නට සිදුවීමත්, ඉන්දියන් ක්‍රිකට් කමිටුකාරයින්ගේ නොසැලකිල්ල නිසා රාජකීය ට්‍රීට්මන්ට් නොලැබුනු එකට කෝපෙන් ඉන්නා රජතුමාව සනසන ගමන් ලකුණු ටිකක් දාගන්නටත් ගහපු ප්ලෑන අතේ පත්තුවිය.

තමුන් මහා කෙරුමෙක් යයි සිතාගෙන ඉන්නා ගඩ්ඩා ඇමතිතුමා හිතාගෙන ඉන්නට ඇත්තේ ක්‍රිකට් ලෝකයේ සල්ලි මවන යන්තරේ වෙන BCCI එකට පාට් එකක් දමා අපේ හැටි මෙහෙමයි කියලා ශ්‍රී ළංකන් පොලිටික්ස් ඉස්ටයිල් එකේ තගක් දමන්නටය.

ලංකාවේ කෙලි ඉන්දියාවේ බැරිබව ගඩ්ඩාට තේරුම් ගියේ පුක් බිම ඇනුනු විටදීය. කෙළවරක් නැති දූශණ නිසා දහ අතේ ණයවී සිටින ශ්‍රි ළංකා ක්‍රිකට් ආයතනයට BCCI සල්ලි නැතුවම බැරිය. ඒ විතරක් නොවේ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය දැන් නටන්නේත් BCCI එක ගහන පදයටය. ක්‍රිකට් කියන්නේ සල්ලි ගහක් නම් එය හොලවන්නට පුලුවන් BCCI එකට විතරය. ඒ නිසා ඇමතියාට මොනතරම් තද වුනත් ශ්‍රි ළංකා ක්‍රිකට් එකට ඉදිරි වසර කීපය තුල කීයක් හරි හම්බු කරගන්නට පුලුවන් තරඟවාර ලබාගන්නට පුලුවන් වෙන්නේ ඉන්දියන් BCCI එක යාප්පුවෙන් තියාගත්තොත් විතරය.

මේ නිසා දැන් කොරන්නට තියෙන්නේ එකම එක දෙයකි. එනම් අයි පී ඇල් එක ගැන ලංකාවේ කථාකරන එක තහනම් කල යුතුය. සියලු අයි.පී.ඇල් ප්‍රවෘත්ති දේශද්‍රෝහී ප්‍රවෘත්ති ලෙස සලකා වාරණය කල යුතුය. වමෙන් හෝ දකුණින් බැරිනම් බුරියට පාතින් හෝ පලිගත යුතුය. බුරියට පාතින් සබ්ජෙක් එකට ගඩ්ඩා ඇමතිතුමා හපනෙක් බව ජනප්‍රවාදයේද සඳහන් වේ.

4 comments:

Charmi said...

ජනප්‍රවාදයේ...? හප්පා ඒකෙ නම් තව ගොඩක් තියෙනවා...

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ටයිම් කතන්දරේදි මාත් වරද්ද ගත්තා ... අයිපීල් නිසා චාටර් උන එක නම් මහම මහ ගොන් තකතිරු වැඩක් . ශේප් එකේ ඉන්න තිබුන වැඩේට බොරුවට දඟලල නිකන් කිච උනා චාටර් .

අතිරේක ප්‍රශ්නයක්- කණ්ඩුල අයිපීල් බලනවාද ? සහය මුම්බායි කණ්ඩායමටද ?

රංචාගොඩ මුදියන්සේ said...

@buwa

මෙහේ අයි.පී.එල් ගැන එච්චර උනන්දුවක් නෑ. මාකටින් පාර ලොකුවට ගියාට මෙහෙ ක්‍රිකට් ස්ටේඩියම් හිස්. මමත් බලන්නේ වෙන කරන්න දෙයක් නැති වුනාම විතරයි.

සහය : කතාවට මුම්බයි ඉන්ඩියන්ස් නැත්නම් මුම්බයි මල්ලිලා නංගිලා අමනාප වෙන නිසා:) එත් ඇත්තටම අපේ කොල්ලෝ ඉන්න හැම ටීම් එකකටම මම සපෝර්ට්..

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මුම්බායි ස්ටෙඩියම් එක නම් කට කපලා සෙනග වගෙ මම දැක්කෙ අන්තිම මැච් එකේදි, අනික් ස්ටේඩියම් නම් හිස් තමයි .. මම නම් 4 වෙනි වතාවටත් මුම්බායි එකට සප් එක කියාගෙන ඉන්නවා :)