Saturday, January 15, 2011

සංදර්ශණ ඕනෑකර තිබේ!

රට පුරාම අවුල් ජාලයකි. වැස්සේ කෙළවරක් නැත. නිවාස දස දහස් ගණනක්, පවුල් ලක්ශ ගණනක් අනාතය. පාඩුව කෝටි කීයදැයි ගණන් බැලීමට තව කල් වැඩිය. විනාශවූ පෞද්ගලික දේපොල කෙසේ වෙතත් පාරවල්, පාලම්, ජලමාර්ග, විදුලි කම්බි, ට්‍රාන්ස්ෆෝමර් අලුතින් සකස්කල යුතුය. වියදම බිලියන ගණනනින් නගිනු ඇත.

ඒ අස්සේ එදිනෙදා බඩුබාහිරාදිය ගිණිගණන් යමින් තිබේ. වස්ස නිසා එලවලු වලට කිට්ටුකරන්නට බැරි තරමටම ගණන්ය. කිකිලියන් ඉල්ලුමට සරිලන ලෙස බිත්තර දාන්නේ මාර්තු මාසයේ බව ඇමති කියයි. ඉන්දියාවේ අලකලංචි නිසා අල ලූණුත් ගණන් ගොසිනි.

ඒ අස්සේ හයිකොප් නඩුවත් ඇනගෙන වගේ පෙනේ. ෆ්‍රෙඩ්‍රිකාගේ සුදුකොඩි ප්‍රබන්ධය නිසා ගැටගසා තිබෙන නඩුවද ආණ්ඩුවේ බෙල්ල වටේ තදවෙමින් තිබෙන බව පෙනේ.

ඇතුලේත් අවුල්ය. වයසක ජේශ්ඨයෝද වලිය, ප්‍රදේශීය සභාවල පොඩ්ඩෝද වලි දමති. වැඩ බැරි ඇමතිලා ආණ්ඩුව පාණ්ඩු වෙන්නට කලියෙන් මඩි තරකරගෙන පනින්නට ලක ලෑස්තිවෙමින් සිටී. ඒ අස්සේ බැන්කී මූනාගේ කමිටුවට විරුද්ධව නැටූ නෙයියාඩගම දැන් පාරාවලල්ලක් වෙමින් ඇත.

මේ හෙයියම්මරු නිසා රජතුමාට නින්ද නැතුවාට සැක නැත. බොරුවෙන් පැමින, බොරුවෙන් ජයගෙන බොරුවෙන්ම රෝල ගෙනයාමට තැත් කිරීමේ ආනිසංශ ඔහොමය. දැන් ඩෙඟා නටා විවෘත කිරීමට වැසිකිලියක් වත් නැති ගාණය. පපුවට ගහගෙන සිංහනාද කොට ගැලරියේ පඹයා වීමටට සුද්දන්ගෙන් පාට් එකක්වත් නැත.ඇමරිකාවට හිනා වෙලා  මෝඩ ආතල් එකක් ගන්නට තිබූ ජුලියන්ගේ විකීලීක්ස් එකත් දැන් ඇණයක් වෙමින් තිබේ

ඒ නිසා රජතුමා මේ වලෙන් ගොඩගන්නට කෙසේ හෝ ඉතා ඉක්මණින් ජනතාවගේ ප්‍රශ්ණ සති දෙකකට තුනකට හෝ අමතක කරවිය හැකි සංදර්ශණයක් අවශ්‍යය වී තිබේ. එය රජතුමා පිම්බිය හැකි එකක් විය යුතුය. ලයිව් දෙන්නට පුලුවන්, ගැත්තගෙන් වොයිස්කට් ගන්නට පුලුවන් එකක් විය යුතුය. නැත්නම් රජතුමා එරී ඇති නරාවලෙන් අඟලක් හෝ උස්සා ගන්නට අමාරු වනු ඇත.

මේ නිසා කෙසේ හෝ රජතුමට හා රොත්තට ඇදගෙන නාගත හැකි සංදර්ශණයක් සොයා දීම හෝ මවා දීම සියලූම දේසප්‍රේමී ජනතාවගේ යුතුකමකි.

No comments: