Thursday, February 3, 2011

සමරමු!! සමරමු!! නැති නිදහස සමරමු! නැති දියුණුව රැකගමු!

හෙට තවත් නිදහස් දිනයක් උදාවෙයි. නිදහස ලැබී හැට පැනලාය. දැන් කොටියාගෙනුත් නිදහස ලැබිලාය. හෙට උදේට රජපස, නරි රැළ වටකරගෙන මේ පම්පෝරිය නැවතත් ගසනු ඇත. සජීවී වැඩසටන් නිදහසේ උදානය උජාරුව වමාරනු ඇත. හැම රූප රාමුවකම, හරහට උසයන, බලාගෙන ඉන්දැද්දී ජරාජීර්ණ වෙමින් යන රජපස රුව පෙන්වනු ඇත.

‘ගොඩනැඟු දේශය සුරකිමු’මෙවර නිදහස් උසසවෙයි තේමාව බව කියැවේ. තේමාවේ විධියට දැන් දේසය ගොඩනැගිලා ඉවරය. ඒ කියන්නේ රජපසලා දැන් රට හදලා ඉවරය. දැන් තියන්නේ ඒක පරිස්සම් කරගන්න එක විතරය. 

උත්සවය කතරගම පුදබිමේ, කඳ කුමරුන්ගේ අඩවියේ තබන්නේ ගොඩනැගූ රට පරිස්සම් කරගන්නට දෙවියන්ගෙන් උදව් ඉල්ලන්නටත් වන්නට පුලුවන. රන් රුවන් ඉල්ලම් පෑදී ඇති මේ රට පරිස්සම් කරන්නට එළවලු වවන්නට තිබෙන නිසා හමුදාවටත්, පෙම්වතුන්, කොට ගවුන්, ලංකට් නැති සරම් කරයින් පස්සේ පන්නන්ට තිබෙන නිසා පොලෝසියටත් ඉස්පාසුවක් නැතුවා වන්නට පුලුවන. එකම පිහිට කඳ කුමර පිහිට පමණය.

තමන්ගේ පව්වලින් දිවා රෑ විඳවන, බිරිඳගේ, නා-මල් පුතාගේ හා මල්ලිලාගේ සිරකාරයෙකු වී ඇති රජ කැමරාවට අමාරුවෙන් හිනාවෙමින්, "කිසි ප්‍රස්නයක් නෑ බොල රට වැසියනි..." යනුවෙන් පෙන්නන්නට තටමන වෑයම පෙනෙනු ඇත. උස්සවයට කලින් කතරගම දෙවොලට ගොස් "මගේ පව් වලට සමා වෙන්න දෙවියනේ" කියා හොරෙන් යදිනු ඇත.

ඔය මොන නාඩගම් නැටුවත්, හෙට උදාවෙන නිදහස් දිනය යනු, රජපස ඇත්තන් කෙලවරක් නැතිව ගන්නා ගිණිපොලි ණයෙන් කා බී උත්සව තබා, ඒවා ලයිව් දීගෙන තම පම්පෝරිය කියවාගන්නා තවත් එක්දිනයක් පමණක්ම වනු ඇත. හෙට දිනයේ රජපස ප්‍රතිරූපය පිම්බීමට ඇවැසි කෝටි දෙක තුන මේ වන විටත් ගිණිපොලියට සුද්දාගේ බැංකුවකින් ලබාගෙන ඇති බවට සහතික අවශ්‍ය නැත. කබ්රාල් තුමාත්, පී බී ජයසුන්දර තුමාත් මාස හත අටකට කලින්ම ණය පෝරම පුරවා, රට ඇපයට තබා හිඟා කා ගත් සල්ලි මලුටික සූජානම් කර තබන්නට ඇත. ඝාම්බීර් ඉස්ටේජ් එකට, පෙලපාලියට, සංදර්ශණයට, නැට්ටුවන්ට, ඩියුටි එන පොලෝසියේ, හමුදාවල ඇත්තන්ට ගෙවන්නට ඒ මුදල් නියම ගෝලයන් අතර බෙදාදී අවසන් වී ඇතුවා වන්නට පුලුවන.

එහෙත්, රටවැසියා එක පවුලක වහලුන් වී අවසානය.

ඊ නිවුස් ගිණිගෙන ඇත. ගෑනු යට ඇඳුම් හා නිල් චිත්‍රපට පොලෝසියෙන් සොයාගෙන ඇත. ආරක්ශක ලේකම් කියන්නේ පාතාලයේ වැඩක් කියාය. ඒ අනුව ඊ නිවුස් එකේ ගෑණු යට ඇඳුම් අඳින එකට, නැත්නම් බ්ලූෆිල්ම් නිස්පාදනය කරන එකට තදවී අපේ ආදර්ශමත් පාතාලය රටවනසන ඊ නිවුස් පුච්චා දමා ඇත.

ගංවතුරෙන් අනාතවුනු එවුන් තවමත් අනාතය. සුනාමි අනාතයින් තවමත් ඉන්නා රටක ඊ යේ පෙරේදා ගංවතුර අනාතයින් සිටීම සංදර්ශණ දැමීමට, කෝටි ගණන් පිච්චීමට බාදාවක් වන්නේ නැත.

ගෑණියෙකුට හිතෙන පරිදි ඇඳුමක් අඳින්නට නැත, තමුන්ගේම ගෑණුන්ට එපා වුනු රජපස බලුගැති හපුටු පිරිමින් රටේ ගෑනුන් ඇඳිය යුත්තේ මොනවාදැයි තීරණය කරති. එය සාධාරණීකරනය කරති. ගෑනුන්ට වත්, ගෑණුන්ගේ සැමියන්ට, තරුණියන්ගේ පෙම්වතුන්ට, වැඩිමල් සොයුරන්ට හෝ දියණියන්ගේ මව්පියන්ටවත් ඒ අයිතිය නැත. ඒ අයිතිය රජපස ලෙවන නාකිපුකාලා සන්තක වී ඇත. 63 නිදහස ඉහලින්ම සමරන්ට මෙයත් කාරණයක් නොවේද?

ආදරවන්තයින්ට නිදහසේ පෙම්බස් දොඩන්නට, පෙම් සුව විඳින්නට, කාටත් නොපෙනෙන්නට මුවා වී සිප වැළඳගන්නට අවසර නැත. රෑට ගණිකා මඩම්වල පිනට සුකන, බාර් වලින් පිනට බොන  පොලිස්තුමාලා උන්ව අල්ලාගෙන පෙලපාලියේ දක්කාගෙන ගොස් යහපත් හැසිරීම් බලෙන් උගන්වයි.

කැළණියේ වෙනම රාජ්‍යයකි. කුඩු විකුණන යුවරජෙකු, එපලාත දැහැමින් සෙමින්, සිය ධාර්මික පාතාලයින්ගේ ආධාරයෙන් පාලනය කරයි. එළවලු විකුණන්නේත් එතුමාගේ අණසකට යටත්වය. රජපස රජයට ටැක්ස් ගෙවට එපලාතේ ව්‍යාපාරිකයෝ යුවරජට කප්පම් ටැක්ස්ද ගෙවිය යුතුය. උතුර මුදාගත්තා යයි කියන මහරජට කැළණිගං මිටියාවත අහිමිවෙමින් යනවා පෙනේ. කැළණියේ ඇති නිදහස රටේ වෙන කිසිම තැනක නැත.

හමුදාව එලවලු වවයි, විකුණයි. යුද්ධය අවසන් බැවින් හමුදාව පලදායි කාර්‍යයන්වල නිරතකරවීම අපරාධයක් නොවේ. එහෙත් එයින් හමුදාවේ ගෞරවයට හානි නොවිය යුතුය. මහා සංවර්ධන කටයුතුවල ශ්‍රමය සඳහා හමුදා ජවය යොදවාගත්තාට කම් නැත. එහෙත් රට නිදහස ලබාදුන් හමුදාවේ මේජර්ලා එළවලු කිරන විට, ලුතිනන්ලා, කෝප්රල්ලා එක්ක බිං කොටන විට හමුදාවේ අභිමානයට මොනවා වෙයිද?

රජපස නරිප්පඩයින්ට ඒවායින් කම් නැත. එළවලු ගණන් යයි මිනිසුන් නගන මැසිවිල්ලට තාවකාලික පැලැස්තරයක් ලෙස හමුදාව ලවා එළවලු වැවීම, ඒ ගැන කෙළවරක් නොමැතිව පම්පෝරි ගැසීම රජපස රජය යටතේ නිදහස් ලංකාවේ සංවර්ධනය හා සමුර්ධිය මොනවට කියාපායි.

63 සමරන්නට දැයට කිරුළක් බුත්තලදී පවත්වයි. ලොකුම එක, හොඳම එක, ප්‍රදර්ශන කුටි 300යේ, පාසැල් දරුවන් 6000ක් නටන එක ආදී වශයෙන් පම්පෝරිය පටන්ගත්තේ කලක සිටමය. හොඳ වෙලාවට ඔය මගුල තියෙන්නේ බුත්තලය. බැරිවෙලාවත් බන්ඩාරනායක හෝල් එකේ තිබ්බානම් බොරැල්ල කනත්තට එන මිනියටවත් ඒ පැත්තට කිට්ටු කරන්න බැරිවෙනු ඇත. සති දෙක තුනක් යනකම් කොළඹ 7 පැත්තේ වැඩට යන, පහු කරගෙන යන මිනිස්සුන්ට නිදහස් සුව මොනවට දැනෙන්නට ඉඩ තිබුණාය. කොළඹ මිනිස්සුන්ගේ වාසනාවට කවුරු හරි එකෙක් "බුත්තලට ගෙනියමු සෑර්..ප්‍රේමදාසත් එහෙ තිබ්බනෙ" කියලා මසුරං උපදේසයක් දීලා ඇත. රජ උපදේසය පිලිගත් නිසා වානිජ අගනුවර සති දෙක තුණකට කාළකන්නි වෙන එක නැවතී පැට්රල්, ඩීසල් ලීටර් ලක්ශ ගණනක් රටට ඉතුරු වන්නේය. නැති නම් වාහන තදබදය නිසා පිච්චෙන තෙල් වලින් මේ රට තවත් කෝටි දෙතුන් සීයකින් දුප්පත් වන්නට ඉඩ තිබුණේය.

රජපසලාගේ සැමරුම් කොහොමත් ඔය විධිහය. සමරලා ඉවර වෙලා බලන කොට රටට කෙළවෙලාය.  නැව් එන්නැති වරායක් හදා දෙපාරක් විවෘත කර, ලැජ්ජා නැතුව මැරෙන්නත් ඉස්සෙල්ලා තමුන්ගේ නම දාගත් හීනමානික නායකයෙකුගෙන් මේ රටට මොන සංවර්ධයක් හෝ නිදහසක් ලැබෙන්නේ නැත. නිදහස ඇත්තේ, හීනමානික රජගේ හීනමානය වසා ගැනීම දිවා රෑ හුලං ගසන, ඒ වෙනුවෙන් කොන්තරාත් හා වෙනත් සල්ලි උල්පත් සින්නක්කරව හිමිකරගෙන ඉන්නා බැලයින්ට පමණකි.




No comments: