Sunday, January 2, 2011

තමුන්ගේ යෝජනා තමුන්ම තහනම් කිරීම [හෙවත් වැලේ වැල් නැති මාමාගේ පිස්සු තදවීම]

ඔන්න අපේ රජතුමා සිය රටවැසියා ගැන උපන් අපරිමිත සෙනෙහසින් දුස්ට විදුලිබල ඇමතියා අහිංසක ජනතාව සූරා කන්නට ගෙනා විදුලිබල ගාස්තු වැඩි කිරීමේ අලුත්ම යෝජනාව එනම් අනූවෙන් ඉහල පාවිච්චි කරන්නන්ට කෙලවීමේ යෝජනාව වහාම ක්‍රියාත්මක වෙන පරිදි අකුලාගෙන යුනිට් 120ට යනකම් සහනයක් දීලා.

කොච්චර චෝයිද අපේ රජතුමා? බලන්නකො නෝටි ඇමතියා ජනතාව සූරාගෙන කාලා තමන්ගේ සාක්කු පුරවාගන්න ගෙනා යෝජනාව එතුමා එක පෑන් පාරෙන් කපලා ජනතාව බේරා ගත්ත හැටි. සංවේදී නායකයෝ කියන්නේ මේවගේ උත්තමයින්ට නේද?

රටේ මහා සංඝරත්නය ඇතුලු සියලු ප්‍රබුද්ධයෝ සාධුකාර දීලා පිලිගන්න ඕනෙ තීන්දුවක් නේද මේක?

රටේ මුදල් ඇමතියා විදියට විදුලිබල මණ්ඩළයේ පාඩුව අඩුකරගන්න කියලා ඔය යෝජනාව ගෙනාවේ රජතුමාද? නෑනේ! ඔය යෝජනාව ගෙනාවේ යූ.ඇන්.පී කාරයෝ.

ඔය යෝජනාව අනෙක් අයවැය යෝජනා එක්ක සම්මත කරගත්තේ කවුද? රජතුමාට හතුරුකම් කරන ආණ්ඩුවේ බහුතරය යූ.ඇන්.පී කාරයෝ එක්ක එකතුවෙලා රජතුමාගේ ඇස් වහලා තමයි ඔය අයවැය යෝජනා ගෙනාවේ.

ඔය යෝජනා සම්මතවීම ගැන බැනර් හෙඩ් ලයින් දැම්මේ ආණ්ඩුවේ පත්තරද? නෑනේ, ඔය දුශ්ඨ යෝජනා සම්මතවීම ගැන සතුටු වුනේ දේශද්‍රෝහී යූ.ඇන්.පී/ජේ.වී.පී පත්තර කඩමාලු ටික විතරයි. ලේක් හවුස් පත්තර ඔය යෝජනා වලට විරුද්දව මොන තරම් ලිපි පල කරාද?

ඉතින් ඒ විධියට බැලුවහම දේශද්‍රෝහී යූ.ඇ.පී/ජේ.වී.පී මැර හවුල ගෙනාපු ජනතාවට කරන්ට් වැද්දීමේ මේ කුමණ්ත්‍රණකාරී අයවැය යෝජනාව පරාජය කිරීම ගැන රජතුමාට අපි අනේක වාරයක් ඉස්තූති විය යුතුයි නේද?

රජතුමානෙනේ, මුදල් ඇමතිකම දේශද්‍රෝහී, ජනතා සතුරු යූ.ඇන්.පී කාරයන්ට නොදී ඔබතුමාම මුදල් ඇමතිකම කරගෙන යනවානම් එය අපිට ඉමහත් අස්වැසිල්ලකි.

ඒවගේම අපි ඔබතුමාගෙන් තවත් ඉල්ලීමක් කරන්ට සතුටුයි. විදුලි යුනිට් 90ව 120 වෙනකම් ඉහල දැමීම නිසා අයවැය යෝජනා මගින් අපේක්ශිතව තිබූ හා දැන් අහිමි වී ඇති බිලියන ගණනක ආදායම යූ.ඇන්.පී කාරයන්ට විතරක් බලපාන අලුත් බදු ගණනාවක් හදුන්වාදීමෙන් පියවාගන්නාලෙස අපි යෝජනා කරමු.

අල, ලූණු, පරිප්පු, කරවල, කුලුල් මස්, මුංඇට, කඩල, සීනි, කිරිපිටි වගේ යූඇන්පී හා ජේවීපී දේශද්‍රෝහීන් අනුභව කරන සුඛෝපබෝගී ආහාරපාන වලට බදු වැඩිකර මේ ආදායම ලබාගන්නට පුලුවන. ඔබතුමාට හිතවත්, ඕනෑම ගොන් වැඩකට ඔබතුමාට කොන්දේසි විරහිතව සහය දෙන, දැන් බැං.කී.මූන්ගේ කමිටුවටත් කොඩි වන වනා අප්පුඩි ගැසීමට සැදී පැහැදී ඉන්නා අහිංසක ශ්‍රීලංකා කාරයෝ අනුභව කරන පිදුරු, පුන්නක්කු වැනි අත්‍යාවශ්‍ය ආහාර පාන බදු වලින් නිදහස් කොට ඒවා ලාබයට ලබා ගැනීමට ඉඩ සලසනු මැනවි.

1 comment:

Ravi said...

කවුදෑ හත් ඉලව්වේ, මයෙ අමුඩෙ රුන්නෙ?, කියල බෙරිහං දුන්නු ගමරාල මතක් උනේ මොකදෑ හැබෑටම මට?