Saturday, November 13, 2010

නාසි ජර්මනියේ ධනාත්මක කිතුදහම හා නූතන ලංකාවේ හාමුදුරු ඇදහිල්ල

නාසි ජර්මනියේ ධනාත්මක කිතුදහම

පොසිටිව් ක්‍රිස්ටියැනිටි හෙවත් ධනාත්මක කිතුදහම පිලිබඳ අදහස හා සංකල්ප මුලින්ම එලිබැස්සේ 1920 වසරේ පැවැත්වුනු නාසි පක්ශයේ සම්මන්ත්‍රණයකදීය. නාසි නායකයින් මෙය ධනාත්මක කිතුදහම ලෙස හඳුන්වන්නට හේතුවූයේ කිතුදහමේ දේශනා කෙරෙන අල්පේච්ඡ දිවිපැවැත්ම, අනුන්ට උදව් කිරීම, සාමය, සමාදානය, දෙවියන් වෙනුවෙන් කැපවීම වැනි ප්‍රතිපත්ති සෘණාත්මක ලෙස හඳුන්වමින්, ඊට විකල්පයක් ලෙස යුද්ධය ඇදහූ නට්සීන්ට ගැලපෙන ජවය හා උන්මාදය මුල්කොටගත් සටන්කාමී කිතුදහමක් නිර්මාණය කරගැනීම සඳහාය.

නාසීන් ප්‍රචලිත කිරීමට උත්සහගත් චිත්‍රණය අනුව ක්‍රිස්තුස්වහන්සේ ඉතා ක්‍රියාශීලී, සටන්කාමී දේශකයෙකු වුනු අතර ඔහු එකල ප්‍රචලිතව පැවති ජුඩායිසම් (Judaism) නැමති ඉපැරණි යුදෙව් (නූතන ඊශ්‍රායල් ජනයා යුදෙව්වන් වේ) දහමට විරුද්ධව දේශනාකල යුදෙව් විරෝධියෙකු වනවා.

කිතුදහමත්, ධනාත්මක කිතුදහමත් අතර ඇති ප්‍රධාන ආකල්පමය වෙනස්කම් තුනක් නාසී ලේඛනවල දක්වා තිබෙනවා.

1/ බයිබලයේ යුදෙව්වන් විසින් රචිත කොටස් (පැරණි තස්තමේන්තුව සම්පූර්ණවශයෙන්ම)ප්‍රතික්ශේපකිරීම.
2/ ජේසුස් ක්‍රිස්තුස් යුදෙව්වෙකු බව ප්‍රතික්ශේපකිරීම හා ඔහු ආර්යවංශිකයෙකු බව ඒත්තුගැන්වීමට උත්සහකිරීම.
3/ කිතුදහමේ වගකීම ජර්මානුවන්තුල දේශප්‍රේමය ඇතිකිරිම හා ජර්මනිය තුල ක්‍රියාත්මක වුනු සියලු ක්‍රිස්තියානි හා කතෝලික නිකායන් වෙනුවට එකම නාසි ජර්මන් කිතුදහමක් බිහිකිරීම (Unified Nazi German Church)

1920ගණන්වල සිටම නාසීන් කෙමෙන් කෙමෙන් ජර්මනියේ බලවත් වෙමින් ආ අතර මේ ධනාත්මක කිතුදහම ජර්මන් කිතුනුවන් මත පැටවීමේ උත්සහයින්ද ඒ සමගම ඉහල යන්නට වුනා. නට්සීන් ප්‍රභලවෙත්ම මේ වෑයම් මල්පල දැරූ අතර ධනාත්මක කිතුදහම දේශනාකල කිතුනු නියාකයන් ජර්මනිය පුරාම බිහිවෙමින් පැවතුනා. කිතුදහම නාසිකරණයේ කූටප්‍රාප්තිය සිදුවුනේ 1933දී හිට්ලර් බලයට පැමිණි පසු පිහිටුවාගත් "German Faith Movement" හෙවත් ජර්මන් භක්ති සංවිධානය බිහිවීමයි. මෙය ධනාත්මක කිතුදහමටත් එහාට යමින් මුළුමනින්ම නාසි චින්තනයට හැඩගැසූ අලුත්ම ධර්මයක් දේශනාකරන්නට වුනා. කිතුනු බයිබලය වෙනුවට ඔවුන් පැරණි ගෝත්‍රික ජර්මන් ඇදහිලි ක්‍රම හා හින්දු වේදික ග්‍රන්ථ වලින් උපුටාගත් කොටස් එකතුකල අලුත්ම බයිබලයක්ද නිර්මාණයකර ගත්තා.

ලංකාවේ හාමුදුරු ඇදහිල්ල

නිර්මල බුදුදහම පවතිනවායයි කියන ශ්‍රී ලංකාවේ අද දේශනාකෙරෙන්නේත් විවිධ සයන්ස් එඩුකේටඩ් හා නොට් සෝ එඩ්යුකේටඩ් දේශකයානන් වහන්සේලා තමුන්ට වාසිවෙන විධියට හා පාලක ෆියුරර්ගේ මනදොල සැපිරෙණ ලෙස වටිනා කොටස් හලා නොවැදගත් කොටස් එකතුකොට සාදාගත් නව්‍යකරණය වුනු බුදුදහම් නොවේදැයි සිතාබලන්න. නාසි ජර්මානුවන් කිතුදහමේ අවිහිංසාවාදය යටපත්කොට එය සටන්කාමී දේශකයෙකු තවත් දහමක් යටපත්කොට ඉස්මතුවීමට ගත් උත්සහයක් බව පෙන්වූවාසේ අපේ බෞද්ධයයි කියාගන්නා පැවිදි දේශකයින් බුද්ධදේශණාවත් වෛරී දේශණාවක්, දෙමෙළුනම් මැරුවට කමක් නෑ යන්න නොකියා කියන දේශනාවක් බවට පත්කොටගෙන ඇතිබව හොඳින්ම පැහැදිලියි නේද?

අද පෝයට බණ කියනකොට වැඩියෙන්ම කරන්නේ රටේ නායකයාගේ හපන්කම්, බෞද්ධකම් අතිශයොක්තියට නගමින්, හමුදාව හා පොලීසිය වර්ණනාකරමින් කරණ යුද්ධ දේශණාවක් නොවේද? ජනාධිපති, එම් ආර්යාව හා අයියලා මල්ලිලා, හමුදාව පොලීසිය වර්ණනාකරලා ඉවරවුනාම ඉතුරුටික ගතකරන්නේම මේ රටේ මිනිස්සුන්ට බනින්නට නොවේද? එක අසමජ්ජාතියෙක් දෙන්නෙක් අම්මා තාත්තා පාරට පැන්නුවා, මහලු නිවාසෙකට දැක්කුවා කියමින් රටේම ඉන්නා දරුවන්, දෙමව්පියන්ට නොසලකන ජඩයින් බවට හුවාදක්වමින් බොරු අවවාදානුසාසනා කරන්නේ මොන බුදුදහමට අනුවද? සමහරවිට දරුවන්ට දෙමව්පියන්ව වැඩිහිටි නිවාසෙකට යවන්නට සිද්දවෙන්නේ වෙන කරන්නට දෙයක් නැත්නම් පමණක් බව මේ දේශකයින් නිකමට හිතනවාද? අමාරුවෙන් ජීවිතේ ගැටගහගෙන දරුවන්ට උගන්නලා මිනිස්සු වගේ ජීවත් වෙන්න සැමියා බිරිඳ දෙන්නාම රැකියාව කලයුතු පවුල්වල, මහලු දෙමව්පියකුට රැකවරණයක් දෙන්නට වෙනත් කෙනෙකුන් නැත්නම් ඒ මිනිසුන් මොනවා කරන්නද? එඩියුකේටඩ් දේශකයානන් වහන්සේලාට මේවා නොතේරෙන්නේද?

එපමණක් නොව කසාද බැන්ද දිනේ සිට සැමියාගේ රෝගී මහලු දෙව්පියන්ට උපස්ථාන කිරීම, ගෙදරදොර වැඩපොල කොට රෑට සැමියාට කාම සැපතත්දී දරු මල්ලනුත් හදාගෙන, පොඩ්ඩ බැරුවුනු තැන බැනුම් අසමින් මුලු විවාහ ජීවිතය වහලියන් ලෙස ගෙවන අහිංසක බිරින්දෑවරුන් ගැන එක වචනයක් කියන්නට ඔය දේශකයින් අසමත්වෙන්නේ ඇයි? එහෙම දුක් විඳන ගෑනු කෙනෙක් පංසලට, ආවාසෙට ඇවිල්ලා දුක කියලා අඬලා නැද්ද? එහෙනම් නිකම් ඉන්නේ දුක් විඳින එක ගෑණුන්ට උරුමයි කියලා බුද්ධදේශනාවේ අපි නොදන්නා තැනක, නැත්නම් නූතන විද්‍යාවේ අපි නොදන්නා තැනක කියලා තිබෙන නිසාද? නැතිනම් පුරුශාධිපත්‍යය උලුප්පා දක්වන, ගෑණිගෙ ජොබ් එක කුස්සිය ඇතුලේ හා මිනිහාගේ ඇඟ යට යනුවෙන් උපකල්පිත කෙරෙන අලුත් බුදුදහමට අනුකූල නිසාද?

නපුරු නැන්දම්මලා නිසා මුලු විවාහජීවිතය කඳුලෙන් ගතකරන ගැහැනුන් මේ රටේ අනන්තව නැද්ද? නැන්දම්මලා ලේලියන්ට සැලකිය යුතුආකාරය ගැනත් දෙමව්පියන්ට සැලකීම වගේම දේශනාකරන්නට මේ අයට බැරිද? අඩුම ගණනේ "තමුන්ගේ ගෑනිට ඔච්චර පව් දෙන්නට එපා යකුණේ" යනුවෙන් පිරිමින්ට කියන්නට බැරි මේ දේශකයින් මව් ගුණ පිය ගුණ ගැයිම පිස්සුවක් නොවේද?

බොරු දේශනා පැත්තකට දැම්මත් මේ දේශකයින් කරනා මහා පූජා දෙස බැලුවත් ඒවා බුදුදහමේ ඒවා නොව හින්දු චාරිත්‍රබව හොඳින්ම පැහැදිලි වෙනවා. බුදුදහම හින්දු කිරීම නාසි ජර්මානුවන් සිය දහම හින්දු ආභාශයට ගත්තාක් මෙන්ය. පිච්චමල් ලක්ශයේ පූජාව, පහන් අසූදහසේ පූජාව යනුවෙන් මේ කරන්නේ හින්දු භක්තියේ දීපවාලී උත්සවය එනම් ලංකාවේ රාවන පරදවා සීතාද රැගෙන ඉන්දියාවට පැනගත් රාමාගේ ජයග්‍රාහී යලි පැමිණීම සමරන්නට කරන පහන් හා මල් පූජා වැනිය. දිවාලී (දීපවාලි) උත්සවයේදී හින්දුභක්තිකයින් කරන්නේ පහන් සියගණන් පත්තුකරමින්, මල්මාලා සාදා රාම දෙවියන්ට පුදකරමින් රාම රාවන යුද්ධයේ ජය රාමට ලැබීම ගැන සතුටුවීමයි. අපේ දේශකයානන්වරුනුත්, බුදුන් පුදනවායයි කියමින් කරන්නේ හැම පෝයටම සිංහල ක්‍රමයට දීපවාලී සැමරීම, එනම් අපේ එකා වුනු රාවන පරදා හින්දු රාමා දිනූ එක සැමරීම නොවේද?

මේ සියල්ලම එකට කැටිකොට ගත්විට පෙනෙන් ලක්ශණ නම්, සිංහල නාසි රයිකයත් ජර්මන් නාසි රයිකයේ මග අනුගමනය කරමින්, රටකරවන් ආඥාදායකයාට ගැලපෙන ආකාරයට සැරසිලි, පූජා, සද්දබද්ද, උත්සව වලින් පරිපූර්ණ සංදර්ශණ හා ආත්මවංචනික දේශනාවලට මුල්තැන දෙන (බුදු?)දහමක් නිර්මාණය කරගැනීම නොවේද? අද බුදුදහම යනු පෝයට පන්සල් යාම, (වැදි)බණ ඇසීම, භාවනා කරන්නට ට්‍රයි කිරීම, අවට වර්ග සැතපුම් කිහිපයකම ඇති මල්ගස් සූරමින් හැම මලක් පොහොට්ටුවක්ම කඩාගෙනවිත් මහා මල්පූජා සිදුකිරීම, ලීටරය පෙට්රෝල් වගේම ගණන් පොල්තෙල් ගැළුම් ගණන් පුච්චමින් අසූදහසේ මල්පූජා කිරීම හා ගෙදරගොස් තම්බින්ට වඩා වරිගේ බෝකිරීමට ට්‍රයිකිරීම වැනි හිස් ක්‍රියාවන් පමණකි.

පාලකයින්ද දිනපතා මොකක් හෝ සුළුදෙයක් සැමරීමට මහා උත්සව සංවිධානයකරමින්, බස් පිටින් සෙනග අද්දවා "මහ සෙනගක් පැමිණේ, ආපු සෙනගෙන් කොටසක් මෙන්න" කියලා පිංතූර පත්තරේ දාගෙන ගෙනියන්නේද දේශකන්ට ගැලපෙන මෙහෙයුමකි. පෝයදාට දේශකයාන්වහන්සේලා සංදර්ශණ කරන අතර ආඥාදායකයා සුදුපිරුවටයෙන් සැරසී එකත්පස්ව හිඳ මහත් ශ්‍රද්ධාවෙන් මෙන් පෙන්වමින් දේශකයාගේ "පොසිටිව් බුඩිසම්" සංදර්ශණය නරඹයි. අනෙක් දවස්වලට දේශකයින් ආඥාදායකයාගේ හෝ ගෝලයන්ගේ විවිධ සංදර්ශණ සඳහා මහා කරුණාවෙන් පැජරෝවෙන් හෝ බැන්ස් එකෙන් වැඩමකොට පිරුවට දැමූ ආසනවල හිඳ අඥාදායකයාගේ සංදර්ශණ නරඹා අනුසාසනාකොට සතුටෙන් අසපුවට වඩිති.

මේ පොසිටිව් බුඩිසම් මෙහෙයුමේ තවත් අංගයක් ලෙස ත්‍රෛනිකායක හිමිවරුන් හා ආඥාදායකයාට එතරම් ප්‍රියමනාප නොවන සංඝනායකයින් කොන්කරමින්, මගහරිමින් හා විටෙක අඩම්තේට්ටම් කරමින් යයි. මේ සිදුවන්නේත් එදා නාසි ජර්මනියේ, නට්සීන්ට මනාප නොවුනු කතෝලික හා ක්‍රිස්තියානි ආගමක නායකයින්ට හිට්ලර්ගේ නඩය සිදුකලදේමය.

අපිත් සාධුකාර දෙමින් මේ මහා සංදර්ශණය නරඹා ධර්මපාලතුමා ප්‍රාර්තනා කලායයි කියන විධියට ඊළඟ ආත්මෙදී මේ මැටිමෝලන්ගේ රටේ ඉපදෙන්න එපා යනුවෙන් ප්‍රාර්තනා කරමු.

5 comments:

charmi said...

අපේ එකා වුනු රාවන ? :D

රංචාගොඩ මුදියන්සේ said...

මම ඉන්දියාවේ කාලක් ජීවත්වුනා. ඉන්දියාවේ මිනිස්සුන්ගේ විස්වාසය රාවණ ලංකාවේ එකෙක් කියලා. Rawana from Lanka, ඉන්දියන්කාරයෝ කියන්නේ එහෙමයි. දිවාලි උත්සවය (දෙමළෙන් ->දීපවාලි ) කාලෙදි ඉන්දියන් යාළුවෝ ලංකාවෙ අපිට විහිලු කරනවා, ලංකාවේ උඹලා අපේ රාම කුමාරයාට පැරදුනා කියලා.

මම හිතන්නේ එහෙම විස්වාසයක් ලංකාවෙත් තියෙනවා.

Anonymous said...

පසු ගිය කාලේ සමහර හාමුදුරුවරු යුද්දෙට අත වැනුව. සෝම හාමුදුරුවන්ගෙ අවසන් කටයුතු වෙලාවෙ පල්ලිවලට ගහන්න ප්ලෑන් කලා.මේවායින් සමහරු දේශපාලන වාසි ලබා ගත්තා
කොහොම වුනත් මම දකින්නෙ නියම දහමට අනුව ජීවත්වන භික්ෂුවකට කවරාකාර හෝ හිංසනයකට එකඟවන්න බැහැ.ඒ ඔක්කොම බ්ලොගයේ කියා තිබූ නට්සි වාදයට යටවුනු අයයි.
බ්ලොගය අපේ කාලය ගැන මනා විවරනයක් සපයනව.
chamara

Muzain86 said...

ගෙදරගොස් තම්බින්ට වඩා වරිගේ බෝකිරීමට

This is not good at all


You should respect others

ජයශ්‍රී said...

100% ක්ම එකග වෙන්න බෑ.බුදුදහමේ හරය ගැන පමණක්ම කථාකරණ ධර්ම සාකච්චා අද ඕනෑ තරම් අසන්ට ලැබෙනවා.