Monday, September 13, 2010

පීඩකයින්ගේ තර්කය හෙවත් වහලුන්ගේ ඇදහිල්ල.

"Necessity is the plea for every infringement of human freedom. It is the argument of tyrants; it is the creed of slaves.” — William Pitt the Younger (Speech in the House of Commons – 18.11.1783)

[මිනිස්වර්ගයාගේ සෑම නිදහසක්ම අහෝසි කිරීමට යොදාගත් අවසරය වනාහී "අවශ්‍යතාවයක් ඇති බව පෙන්වීමයි". මෙය පීඩකයින් උපයෝගීකරගන්නා තර්කය වන අතර එය වහලුන්ගේ ඇදහීම වෙයි : කණිෂ්ඨ විලියම් පිට්, 1783දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කල කතාවකින් උපුටාගත්තකි]

අවසානයේ රජතෙමේ සිය දේශප්‍රේමී සළුපිලි උනා, රාජවංශයක් ඇතිකරගැනීමේ බලලෝභී උමතුවෙන්, උපන් හැඳුමෙන් සිටී. මේ වනාහී රාපක්ශයින්ගේ නියම ස්වභාවයයි. 18 සම්මතවී අතථ්‍ය රාජාණ්ඩුවක් (virtual monarchy) අටවාගත්තද රජවීමේ උමතුව, රාජ්‍යයේ පරම බලය සියතට ගන්නාතෙක්ම සංසිදේවියයි සිතිය නොහැකිය. වීරවංශ බැලයා ඉදිරියේ එන තවත් ව්‍යවස්ථා සංශෝධන ගැන දොඩවමින් සිටියේ එබැවින් වන්නට ඇත. රජ බොජුන් වලඳන කල දෙපතුල ලෙවකමින් වැටෙනා කටු ලෙවකන වීරවංශට රාජකීය කෑම මේසයේදී රජගෙදර ඇත්තන් කරනා කතාබහ කනට වැටෙනවා නොඅනුමානය. කටුකන බැලයෙකු බව ලෝකයා දන්නා බව දන්නා නිසා තමනුත් පොරක් බවත් වාසලේ විත්ති දන්න බවත් ඇඟවීමට ආශාකරන හීනමානයකින් පෙලෙන බැවින් මෙවැනි "රහස්" ඉඳහිට වීරවංශගේ කටින් හැලේ.

වීරවංශයා අඟවන ආකාරයට මෙය ආරම්භය පමණකි. හොඳ හොඳ සංශෝධන ඉදිරියට විය යුතුය. ඉදිරියට මොනතරම් උමතු, භින්නෝන්මාද (schizophrenic) ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කෙරුනද ඒ සියල්ල සාධාරණීකරණය කරන්නේ කෙසේදැයි අප දැනගත යුතුය. "මේ ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ අහවල් කාරිය - එනම් මහජනයාගේ හිතසුව පිනිස, රටේ සංවර්ධනය පිනිස, රටේ ආරක්ශාව පිණිස - අත්‍යාවශ්‍ය නිසාය. එනිසා අත්‍යාවශ්‍ය මේ සංශෝධනයට විරුද්ධවන්නන් ජනතාද්‍රෝහීන් වේ"

18 සඳහාත් අනාගතයේ එන 19,20,21,22,23,......n ව්‍යවස්ථා සංශෝධන සඳහාත් පීඩකයින් වන රාපක්ශලා ගෙන එන එකම තර්කය "මෙය රටේ යහපතට, ප්‍රජාතන්ත්‍රවාදයට, ආර්ථික දියුණුවට, විදේශ කුමණ්ත්‍රණ පැරදවීමට, සංකෘතික සෝදාපාලුව වැලැක්වීමට අත්‍යාවශ්‍ය සංශෝධනයකි" යන්නයි. පීඩකයින්ගේ මේ තර්කය රාපක්ශ වන්දනාකරන 161ක් මන්ත්‍රී වහලුන්ගේ හා අවශේෂ බත් බැලයින්ගේ ඇදහිල්ල වේ. මේ ඇදහිල්ල සාධරනීකරනය කරන්නට පත්තරවලට පිටු ගණන් ලියන්නට, රෙදි උනාතබා රූපවාහිනී විවාදවලට සහභාගීවන්නට, මහපාරේ කිළුටු රෙදි සෝදමින් පෙලපාලි යන්නට මේ වහලුන් හා බත්බැලයින් සැදීපැහැදී සිටින්නේ උන්ගේ ආගම වෙනුවෙනි. ඒ අසරණයින්ට වෙන දැක්මක් නැත. ලෝකය දකින්නේ සිය දෙවියන්වන රාපක්ශලාගේ ඇස්දෙකෙන්ය. අසන්නේ රජපස කණින්ය. අතපය වැඩකරන්නේ රජපස මොළයෙන් දෙන විධාන අනුව මිස තමන්ගේ කපාලය තුල ඇති මස්තිෂ්කයෙන් ලැබෙනා විධානයන් අනුව නොවේ. උන්ගේ මස්තිශ්කය මියගොස් ඇත, නැතිනම් නිර්වින්දනය කොට ඇත. ඒ නිසා රාපක්ශලාගේ මන්තරවලින් පණ ගැන්වූ මළ මිනීමෙන් ලැබෙන විධාන අනුව ක්‍රියාත්මක වෙයි. රජගේ මනදොල සපුරන්නට කැපවීම හැර වෙන සිතුම්පැතුම් නැත.

ප්‍රජාතන්ත්‍රවාදයේ වලකපා තමනුත් දේශපාලන අනාතයින්, රාපක්ශ රෙජිමයේ කුඩා දැතිරෝද බවට හැරවෙන ව්‍යවස්ථා සංශෝධනයක් ප්‍රජාතන්ත්‍රවාදය වැඩිදියුණුකරන එකක් ලෙස හඳුන්වමින් සන්සුන් ගාම්භීර පෙනුමක් ආරූඪකරගෙන ජනතාවට මුහුනදිය හැක්කේ රාපක්ස තර්කය සිය පරම ඇදහිල්ල ලෙස ගත් සප්‍රාණික මලමිනීවලට පමණකි. එවන් මළමිනී අප පසුගිය සතියේ කොතරම් දුටුවේද? සාමාන්‍ය මිනිසුන්ට මෙලෙස හැසිරීම කිසිසේත් කළනොහැකිය. කේන්තිය, නුරුස්නා ස්වභාවය, ව්‍යාජත්වය කෙසේ හෝ ඉදිරිපත් වේ. එහෙත් ජනතාව ඉදිරියට පැමිණි මෛත්‍රීපාල සිරිසේනගේ මුහුණින් හෝ රෙජිමයේ වෙනත්   වැදගත් දැතිරෝදයකින් එවැනි හැඟීමක් (මොනයම්ම හැඟිමක්) දක්නට තිබුණේද? නැත. හැඟීම රහිත, රජපස දෙවිය ආවේසවී පරලවූවන් මෙන් ඔවුන් මැතිරුවේ රජපස දෙවියන් විසින්ම මතුකරන තර්කය පමණකි.

"18 සංශෝධනයට බයවෙන්න එපා" පීඩකයා පක්ශ සමුලුවේදී සිය වහල් ප්‍රජාවට එසේ කියනවිට, වහලුන් එයම ඊටත් වඩා හොඳට ජනතාවට දේශනාකරයි. පීඩකයා පත්තර කතෘන්ට 18 සංශෝධනයේ බොහෝ කරුණු එජාපයේ ඉල්ලීම් කියනවිට, බත්ගොටු පත්තර අප්පුලා පීඩකයාගේ තර්කය වඩාත් අලංකාර කරමින් දිව්‍ය ස්තෝත්‍ර බවට හරවා සිය පත්තරකඩමාලුවල පිටු පුරවයි. තර්කය ඇදහිල්ල බවට හරවා ජනතාවට ඉදිරිපත්කරයි. ජනතාව එය හිස් මුදුනින් පිළිගත යුතුමය. නැතහොත් ආගම් විරෝධී ත්‍රිර්ථකයෙකු ලෙස හංවඩු ගැසෙයි.

පීඩකයා පරපීඩක මැරවින් විනය කමිටුවට ඉදිරිපත්කරන විට ප්‍රණාම පෝස්ටර් අල්ලාගෙන පැය ගණන් පාරේ සිටි සමෘධි නියාමක වහලුන්, පීඩකයා මැරවින් නිදහස්වෙන අන්දමට විනය කමිටුව නැටවූ විට ඇටිකෙහෙල් ගිලූ උගුඩුවන් මෙන් අහකබලාගෙන සිටින්නේ ඇදහිල්ලට අනුව රජුන් හෙවත් දෙවියන් කරන කියන දෑ ගැන ප්‍රශ්ණකරන්නට වහලුන්හට අවසර නැතිබව දන්න නිසාය. "දෙවියන් එහෙමය, තේරුම් ගන්නට අමාරුය" මහලු සමෘධිනියාමක වහලුන් ගැටවර වහලුන්හට ඔවදන් දෙන්නට ඇත. "ගස් බැඳලා තියෙන්නේ එයාගේම ඉල්ලීමට....." අද සමෘධි නියාමක වහල් රැල හිස්මුදුනින් පිලිගන්නා ඇදහිල්ල එයයි. ඒ ඇදහිල්ල පීඩකයා සිය අලුගෝසුවා ගලවාගැනීමට ඉදිරිපත්කල මෝඩ තර්කයයි. මිනිස්කමට මොනතරම් නිගාදෙන කතාවක් වුවද නියාමක බැලයින්ට එහි වගක් නැත. උහු පෙනුමෙන් මිනිසුන් වුවත් මිනිස්කම යටපත්කරගත් අර්ධමානව වහලුන්බවට නොදැනීම පත්වී ඇත. දැන් ඉතින් මියෙනතෙක් වහල්කම මිස වෙන අතක් නැත. මෝඩ තර්කය අද ඇදහිල්ල වී ඇත. මෝඩ වුවත් රජපස දෙවියන්ගේ නම් ඒගැන තවත් සිතන්නට මස්තිශ්ක මියගිය වහලුන්හට නොහැකිය.

3 comments:

Anonymous said...

ජේ.වී.පී. බත් බැලයට දැන් කරන්න පුළුවන් පුකේ ඇන්ගිල්ල ගහගෙන ඉන්න එක විතරයි. හූ! හූ!

Anonymous said...

"ජනාධිපතිවරණය සාධාරණ බව ෆොන්සේකා
පිළිගන්නවා-නීතිඥයා කරුණු දක්වයි"

http://www.adaderana.lk/sinhala/news.php?nid=10858

Ko Malli "Gilmart Katha"??

Anonymous said...

"අවසානයේ රජතෙමේ සිය දේශප්‍රේමී සළුපිලි උනා..........."නෑ ! නෑ ! වරදවා ගන්න එපා; ඒක ම තමයි දේශප්‍රේමය !!!
(ඒකෙන් කද්දි තමයි කට්ටියට 'රහ' තේරෙන්ෙන්)