Sunday, September 12, 2010

මහින්දට විරුද්ධ වෙන ජ.වි.පෙ. කස්‌ත්‍රොට විරුද්ධ නොවන්නේ ඇයි?

මහින්දට විරුද්ධ වෙන ජ.වි.පෙ.කස්‌ත්‍රොට විරුද්ධ නොවන්නේ ඇයි? යෞවන කටයුතු ඇමැති ඩලස්‌ අලහප්පෙරුම
 
ප්‍රශ්නය - රාජපක්‍ෂ පවුලට දිගටම බලයේ සිටීම සඳහා දාරක සෙනෙහසින් ගෙන ආ ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ බවටත් චෝදනාවක්‌ තියෙනවා. මේ පිළිබඳව මොකද කියන්නේ?

පිළිතුර - ජනතා විමුක්‌ති පෙරමුණනෙ ඔය කතාව කියන්නේ. එහෙම කරන්න පුළුවන් මැතිවරණ පවත්වන්නේ නැත්නම්. ජනතා විමුක්‌ති පෙරමුණේ පරමාදර්ශී රාජ්‍යන් ඒ කියන්නේ, මැතිවරණ නැතිව අවුරුදු 50 ක්‌ 55 ක්‌ බලය තියෙන එකම පක්‍ෂය, එකම පවුල (උදාහරණයක්‌ කියබාවේ "59 සිට 2005 දක්‌වා පිදෙල් කැස්‌ත්‍රො බලයේ සිටියා, දැන් ඔහුගේ මල්ලී රාහුල් කැස්‌ත්‍රො රට පාලනය කරනවා. මැතිවරණ ක්‍රමයක්‌, බහු පක්‍ෂ ක්‍රමයක්‌ නැහැ.) නම් ඔය තර්කය පිළිගන්න පුළුවන්.
මහින්ද රාජපක්ශ ආණ්ඩුවේ න්‍යායාචාර්‍යවරයා ලෙස පෙනීසිටීමට කාලයක් බොහෝ උත්සහ දැරූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ භාණ්‌ඩාගාරික හා යෞවන කටයුතු ඇමැති ඩලස් මහත්තයා ඉහත ප්‍රකාශය කරලා තිබුණේ ඉරිදා දිවයින පත්තරේට.

උන්නැහේ කියන විධියට ජනතා විමුක්ති පෙරමුණ (හා අන් සියලු විපක්ශ ) නගන ඔය චෝදනාව වැරදි වෙන්නේ චන්ද තියෙන නිසා. හරිම අපූරු තර්කයක්. චන්ද තියෙන නිසා මහින්ද හා ඔහුගේ පවුලට සදාකල් බලයේ ඉන්න මේ සංශෝධනය කලා කියන තර්කය වැරදියි. හැබැයි උන්නැහේ ඔය චන්ද තියෙන්නේ කොහොමද, ගිය ජනාධිපති වරණයේදී වුනේ මොකක්ද කිය එක ගැන වචනයක් කියන්නේ නෑ. 17වැනි සංශෝධනයේ සියලු සාධනීය වගන්ති අහෝසිකරපු එක ගැන න්‍යායාචාර්‍යතුමා උත්තරයක් දෙන්නෙත් නෑ. දිවයිනේ සම්මුඛ සාකච්ඡාකාරයා ඩලස් අමාරුවෙ වැටෙන ඒ ප්‍රස්ණය අහන්නෙත් නෑ.

බහු පක්ශ ක්‍රමයක් තියෙන නිසා, තියරියක් විධියට ගත් විට රාජපක්ශ පරද්දා ඕනෑම එකෙකුට දින්නට පුලුවන් වියයුතු නිසා මේ තර්කය සියවසේ තර්කය විධියට සලකන්න පුලුවන්. කියුබාවේ බහුපක්ශ ක්‍රමයක් නෑ කියනවා ඇත්ත තමයි. ලංකාවේ බහුපක්ශ ක්‍රමයට රාජපක්ශලා ශරීරකෘත්‍යය කරලා තියෙන විධිය දැක්කම කියුබාව හොඳයි කියලා හිතෙනවා. මෙහෙ ඉන්න බහුපක්ශ කාරයෝ ඔක්කොම රාජපක්ශලාගේ බත්ගොටුවලට කෙළ හළහලා ඒ පැත්තට දුවනවා. චන්දෙ දීපු මිනිස්සු ආයෙ ජීවිතේට චන්දෙ දෙන්න යන්නේ නෑ කියලා තීරණය කරනවා. එතකොට බහුපක්ශ ක්‍රමයක් තිබුණත් වැඩක් නෑ. වැඩි දෙනෙක් විපකශවලට චන්දෙ නොදා නිකන් ඉන්නවා. අකමැත්තෙන් හරි චන්දෙ දෙන මිනිස්සුන්ගේ චන්දෙ ගනිනකොට හොරකම් කරනවා නැත්නම් චන්දෙන් පස්සේ බත්ගොටු පෙන්නලා හොරකම් කරණවා. ඒ විධියට බලනකොට ෆෙඩෙල් අන්කල් අපේ මාමාට වඩා හොඳයි.

මේවගේ තර්ක බිහිකරන්නට පුලුවන් අනෙක් එකම විද්වතා වීරවංශ මහත්තයා විතරයි. මින් මතුවට චන්ද තියෙන්නේ රාජපක්ශලාට විතරක් දිනන්න පුලුවන්වෙන විධියට කියන එක ඩලස්ට වගේම මහා ලොකු ජාතික පත්තරයක් යයි කියාගන්නා දිවයින පත්තරේට වැදගත් නෑ. ඒ කියන්නේ 17වැනි සංශෝධනය අවලංගුවීම කිසිම ගැටළුවක් නෑ, මොකද මොකාට දිනන්න බැරිවුනත් චන්ද තියෙනවනේ. චන්ද පවත්වනවා, ඒ අයම දිනනවා, පරදින අය හිරේ යනවා, නැත්නම් ආණ්ඩුවට එකතුවෙලා ණය තුරුස්, නඩුහබ වලින් ගැලවෙනවා.

කොතරම් රමණීය ප්‍රජාත(ච)න්ත්‍රවාදයක්ද? අපි කියුබාවට වඩා කොච්චර දියුණුද?

ඒ අතරෙම ඩලස් මහත්තයාට තවත් උභතෝකෝටිකයක් පැන නැගිලා තියෙනව. මේ මහා ගැටලුව තමයි කියුබාවෙ ඒකාධිපති පවුල් පලනයට ලංකාවෙ දේශපාලන පක්ශ විරුද්ධ නොවී ලංකාවෙ ඒකාධිපති පවුල් පලනයට විරුද්ධ වෙන්නේ ඇයි කියන එක.

"ඇත්තටම ඇයි ලංකාවේ විපක්ශ දේශපාලන පක්ශ අපේ රටේ ප්‍රශ්ණ ගැන කතා කෙරුවට කියුබාවේ ප්‍රශ්ණ ගැන කතා නොකරන්නේ?" මොනතරම් අසාධාරණද? විරුද්ධවෙනවානම් ඉස්සෙල්ලා විරුද්ධ වෙන්න ඕනෙ කැස්ත්‍රෝලට මිස අහිංසක රාජපක්ශලාටද?

අපිට පෙනෙන විදියට ඩලස් මහත්තයාට පිස්සු නැති බව විස්වාස කලයුතු නිසා (ශුවර් නිසා නෙමෙයි) එයා කියනවා වෙන්න ඕනෙ කියුබාවේ මෝඩ ජනතාව කැස්ත්‍රෝට කියලා පිටිපස්සෙන් ඇරවාගෙන අඩසියවසක්ම හිඟන ජීවන මට්ටමකින් ජීවත්වෙමින්, හැතැප්ම විස්සක් ඈතින් තියෙන ඇමරිකාවට පනින එක ජීවිතයේ එකම අරමුණකරගත්ත මිනිසුන් වූවාසේම අපිත් රාජපක්ශලාට කියා ඇරවාගෙන ඒ අසරණභාවයට ඇදවැටිය යුතුයි යන්නයි.

දැනටමත් ලංකාවෙ වැඩිය ඉගෙනගත්තේ නැති තරුණයින් ඉතාලියට, කොරියාවට නැත්නම් ජපානෙට පනින එක ජීවිතේ එකම අරමුණ කරගෙන ඉන්න බව රහසක් නෙමෙයි. ඉගෙනගත්ත එවුන් හිතන්නේ ඔස්ට්‍රේලියාවට, කැනඩාවට එන්ගලන්තෙට හරි ඇමරිකාවට හරි පැනගන්න. තවම මයිග්‍රේශන් ගැන වැඩිය හිතන්නේ නැත්තේ ගොයි කම්කරු හා වෙද මහත්තුරු විතරයි. කියුබාවෙනම් ගොයියොත් ට්‍රයිකරන්නේ ඇමරිකාවට පනින්න. ඒවිධියට බලනකොට අපි කියුබාවට වඩා ඉහලින් ඉන්නේ. ප්‍රශ්ණෙ තියෙන්නේ අපි කියුබාවට වඩා අන්තවෙන්න තව අවුරුදු කීයක් යයිද කියන එක විතරයි.

ඩලස්ලා වගේ අමන අර්ධමානවයින්ට දේශපාලකයෝ කියන්නේත්, ඒවගේ අර්ධමානවයෝ ගැලවිජ්ජාවට ඉදිරිපත් කරන පුහුතර්ක වලට අභියෝග නොකරණ, ඉන් එහාට මුකුත් හාරා අවුස්සන්නේ නැතුව කියනදේ ලියලා නිකන් ඉන්න ලියන අප්පුලාටයි එයාලගෙ එඩිටර් මහත්හොරුන්ටයි මාධ්‍යවේදීන් කියන්නේ ආස්චර්යමත් ලංකාවේම විතරයි.

1 comment:

Anonymous said...

"දැනටමත් ලංකාවෙ වැඩිය ඉගෙනගත්තේ නැති තරුණයින් ඉතාලියට, කොරියාවට නැත්නම් ජපානෙට පනින එක ජීවිතේ එකම අරමුණ කරගෙන ඉන්න බව රහසක් නෙමෙයි. ඉගෙනගත්ත එවුන් හිතන්නේ ඔස්ට්‍රේලියාවට, කැනඩාවට එන්ගලන්තෙට හරි ඇමරිකාවට හරි පැනගන්න. තවම මයිග්‍රේශන් ගැන වැඩිය හිතන්නේ නැත්තේ ගොයි කම්කරු හා වෙද මහත්තුරු විතරයි."

කන්ඩුල හරිම ලස්සනයි. මෙක තමයි ඇත්ත. ගොවියන්ගෙ පුත්තුත් බලන්න තම ගොවිකම් අතහැරලා දාලා මොකක් හරි රට කට පනින්න. හැමොම අහන්නෙ මෙ ඉදලා මොනවද බන් කරන්න පුළුවන් කියලා විතරයි.