Friday, September 10, 2010

අතිගරු බොකාසා තුමනි, ඉතා හදිසියෙන් සම්මතකරගත යුතු තවත් ව්‍යවස්ථා සංශෝධන තුනක් මෙන්න.

1/ "තුනෙන් දෙකකින් සම්මතවිය යුතුය" යන කරදරකාරි වගන්ති ඉවත්කර ගැනීම

පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි සෙල්ලම ඉතා අවිනිශ්චිත එකකි. පැනපු යූ ඇන් පී කාරයන්ට වඩා ශ්‍රී ලංකාකාරයෝ ගැන විස්වාසය තැබිය නොහැකිය. ඒ නිසා ඉතා හදිසි කර්තව්‍යයක් ලෙස කලයුතුව ඇත්තේ ව්‍යවස්ථාවේ වෙනස්කම් කිරීමට 2/3 චන්දයකින් සම්මත විය යුතුයැයි යන වගන්ති සියල්ලම "සාමාන්‍ය බහුතරයකින් සම්මත විය යුතුය" යනුවෙන් වෙනස් කරගැනීමයි. දැන් ඔලුගෙඩි 161ක්ම තිබෙන එකේ ඉතා ඉක්මණින් මෙය කල යුතුය. කවුරුහරි ලව්වා ඉක්මණින් ලියවා කක්කා බරක් තරම් හදිසියෙන් පරීක්ශාකොට බලා එවන ලෙස ශ්‍රේශ්ඨාධිකරණයට යැවිය යුතුය. අසමජ්ජාති මන්තිරිගොල්ලන්ට වඩා ශ්‍රේශ්ඨාධිකරණය හීලෑ නිසා 18වගේම හැරෙන තැපෑලෙන් කියන විදියකට තීන්දුව ලියා එවනු ඇත.

ඒ අනුව දැන් මේ එකතුවෙලා තියෙන ඔලුගෙඩි 161 ලව්වා "2/3ක් ඕනෑ නැත බහුතරය තිබුනාම ඇතිය" සම්මත කරගත හැක. ඔය සංශෝධනය සම්මත වීමෙන් ඉස්සෙල්ලාම කෙලවෙන්නේ මැති-ඇමති-මන්තිරිගොල්ලන්ට වුනත්, එහෙම එකක් තේරුම්ගන්නට උන්ට මොල නැති නිසා බයවෙන්ට කාරියක් නැත. "නාමල් හා බැසිල් හැරෙන්නට අනෙක් සියලුම පාර්ලිමේන්තු මන්තිරිවරු සිය දිවි නසාගත යුතුයි" යනුවෙන් යෝජනාවක් ගෙනාවත් මුන් ඒකටත් ඔහේ අත උස්සනවා සිකුරුය. 2/3කේ කරදරය නැතිවුනු විට යූ.ඩී.ඒ එක ගොඨාට දුන්නා වගේය. අපූරුවට පේමන්ට්කාරයින්ව පැන්නුවා වගේ පාර්ලිමේන්තුව ඇතුලේ ඕනෑ නැටුමක් නටා ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සම්මතකර ගත හැකිය.

2/ පාර්ලිමේන්තුව කැන්සල්කොට ලේසියෙන් පාලනය කරගත හැකි කොන්ග්‍රස් මණ්ඩලයක් හා සේනේට් මන්ඩලයක් පත්කරගැනීම.

පාර්ලිමේන්තුව යනු මළ වදයකි. මේ රට සංවර්ධන මාවතට ගැනීමට ඇති ලොකුම භාදකය ඔය පාර්ලිමේන්තුවයි. මොනවා කරන්නට ගියත් කෑ කෝ ගසයි. හැම අවුරුද්දකට අය වැය කියලා බොරුවක් ලියාගෙන ගොස් කියවිය යුතුය. ලස්සන තැනක හෝටලයක් හදාගන්නට, මාලිගාවක් අටවාගන්නට ඉඩක් නැත, හිතවත් අහිංසකයෙකුට වැලි ටිකක් ගොඩදාගන්නටවත් බැරිය, ඒකත් ඇවිත් පාර්ලිමේන්තුවේ කියවනවාය, විදේශීය කුමණ්ත්‍රණවලින් රට ආරක්ශාකරගන්නා හදිසි නීතිය හැම මාසෙම පාර්ලිමේන්තුවේ දික් කරගත යුතුය. මෙය කරදරයක් නොවේද?

මේ කරදරයෙන් ගැලවීම හිතනවාට වඩා ලෙහෙසියෙන් කරගත හැකිය. කල යුත්තේ පුවත්පත් කතුවරුන් වෙනුවෙන් කෑමක් දී මන්ත්‍රීවරුන් 225ක් නඩත්තුකරන්නට යන පඩි නඩි, ඉන්ධන වියදම්, ආරක්ශා වියදම්, දුරකථන බිල්පත්, තීරුබදු රහිත වාහනවලට යන මහජන මුදල් පත්තර කඩමාලු හරහා ප්‍රසිද්ධ කොට කතිකාවතක් ඇරඹීමයි.

ඒ අතරම නිදහස් පක්ශයේ ක්‍රියාකාරීන් පිරිසකට එළවලු බෑග් අතට දී පාරේ හිටුවා, පාරේ යන්නට ආ මිනිසුන් මෙන් පෙන්වා පාර්ලිමේන්තුව අනවශ්‍ය බවත්, තමන්ගේ බඩගින්නට, ප්‍රශ්ණවලට පාර්ලිමේන්තුවෙන් විසඳුම් නොලැබෙන බවටත්, පාර්ලිමේන්තුව වසාදැමිය යුතුබවට මහජන මතයක් ඇතිබව පජාතිකවාහිණිය හා පරාදීනවාහිනිය හරහා පෙන්විය යුතුය. ඊටපස්සේ හාමුදුරුවරු දෙතුන්දෙනෙක් ලවා "ජනපතිතුමනි සුද්දා අපටදුන්, රටට නොගැලපෙන, නාස්තිකාර, ජනතාවට කිසිදු වැඩක් නොකරන මන්ත්‍රී රොත්තක් තේරීපත්වෙන පාර්ලිමේන්තුව කැන්සල් කොට සිම්පල් දේශීය ක්‍රමයක් හඳුන්වා දෙන්න.." යනුවෙන් කියවාගෙන,ඒ වොයිස්කට් පජාතිකවාහිණිය හා පරාදීනවාහිනිය හරහා පැය විසිහතර පුරාම විකාශය කරමින් රටපුරා ඉන්නා සාගත නකුටන්, බත්ගොට්ටන්, ඩෝබි බැලයින් ගෙන්වා සමබර සාකඡ්චා පැවැත්විය යුතුය.

ඉන්පසු ඉතාමත් දේශීය වන අමරිකන් ඉස්ටයිල් එකේ කොන්ග්‍රස් මණ්ඩලයක් හා සෙනේට් මණ්ඩලයක් යෝජනා කරන්නට පුලුවන. මන්ත්‍රීලා 225 වෙනුවට දිස්ත්‍රික්ක 25ට කොන්ග්‍රස් සභිකයින් 25 පත්කරගත්තාම ඇතිය. එතකොට දියවන්නාවට යන්නේ නැතුව අරලිය මන්දිරේම කොන්ග්‍රස් මණ්ඩලේට රැස්වෙන්නට පුලුවන. කොන්ග්‍රස් සභිකයින් තෝරන්නට වියදම් අධික මහජන චන්ද අවශ්‍ය නැත. ඒ වෙනුවට දේවාලවලට බස්නායක නිළමේලා නැත්නම් දියවඩන නිළමේලා පත්කරගන්නා විදියට කරගන්න පුලුවන. එතකොට චන්ද අයිතිය තියෙන්නේ පංසලේ හාමුදුරුවන්ට, දිසාපතිට වගේ ආණ්ඩුවට හිතවත් අයටය. එතකොට කොන්ග්‍රස් සභික 25ට ඉතාම සුදුස්සන් තේරී පත්වෙනු ඇත. හිතවත් නැති හාමුදුරුවරුන්ට චන්ද බලය ලැබෙන්ට යනවානම් ඉතා ඉක්මණින් ඒ පන්සල් වතුවලින් බෝම්බ, හොර සල්ලි, ගන්ජා පාත්ති හෝ කෙසෙල් පඳුරු යට වලලා තිබූ අභිරහස් ලෙස මියගිය අයෙකුගේ ඇටසැකිලි සොයාගත යුතුය.

සෙනේට් මණ්ඩලේට ගත යුත්තේ වඩා ඊටත් හිතවත් අයවලුන්ය. මල්ලිලා දෙන්නා, පුතාලා, නෝනා, ජොනී, මර්වින් සිල්වා, බිරිඳ මරා ජීවිතේට හිරේ ගොස් නිදහස්වුනු බස්නායක නිළමේ, අරලිය මන්දිරේ බල්ලා, පූසා හා ගිරවා වගේ හිතවතුන් ගෙන් සෙනේට් මණ්ඩලේ සකස්කරගත හැකිය. පාර්ලිමේන්තුව කැන්සල් කිරීම ඉතා ඉක්මණින් කරගත යුතුය. ඔලුගෙඩි 161ම සෙට්වෙලා ඉන්නකොට කරගත්තාම සාධාරනව සම්මතවුනු බවට ලෝකෙට පෙන්විය හැකිය.

3/ ශ්‍රේෂ්ඨාධිකරණය වෙනුවට, එහි වගකීම් මර්වින්ට එරෙහි විනය පරීක්ශණය පැවැත්වූ ශ්‍රී.ල.නි.ප විනය පරීක්ශක මණ්ඩලය වෙත පැවරීම.

ශ්‍රේෂ්ඨාධිකරණය දැන් හොඳටම හීලෑ බව ඇත්තය. ඒත් දැන් හීලෑ වගේ ඉඳලා පස්සේ සරත් නන්ද පාට් එක ඇට් කරන්නට ගියොත් පවුලටම කෙලවේ. ඒ නිසා ඔලුගෙඩි 161ට අනවශ්‍යය අදහස් ඇවිත් කුරුවල් වන්ට ඉස්සෙල්ලා මේ වැඩේ කරගතයුතුය.

ව්‍යවස්ථා සංශෝධනයක් මගින්, "ව්‍යවස්ථාව අර්ථදැක්වීම, මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීම ආදී ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම රාජකාරි ජනපති නම්කරන ශ්‍රී.ල.නි.ප විනය කමිටුවකට පැවරිය හැකිය..." යන ලෙස ව්‍යවස්ථාව වෙනස්කරගත යුතුව ඇත. රට ආසියාවේ ආශ්චර්යය කිරීමටනම් මෙයද ඉතා හදිසි කටයුත්තක් ලෙස සලකා සම්මතකර ගත යුතුය. ප්‍රමාද නොවිය යුතුය.

4 comments:

charmi said...

සිරාවටම සිරා යෝජනා තුනක්.
කාලෙකින් මා කියවූ හොඳම Creative එකක්.
කණ්ඩුලටත් සෙතක් වෙයි වගේ.
(මහින්දානන්ද වගේ එකෙක් කියෙව්වොත් නං මේක සිරාවටම ගන්නවා...hiks)

Anonymous said...

හරිම කනගාටුයි රටට වෙන දෙ ගෑන....
බලන් ඉන්න බරි තරමට දුකයි.........
සුලු පිරිසක් මුලු ජාතියම ගොනාට අන්දගන කරන මෙ රෑවටිම අපිටත් බලන් ඉන්නව ඈරෙන්න දන් කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ කන්ඩුල.ලකාවෙම මොල සොදල ඉවරයි දෑනටම.
ලකාව විකුනගන කන ගමන්,සුද්දට පර සුද්දා..කියල බනින ගමන් තමන්ගෙ ලමයි එන්ගලන්තෙ යවනව ඉගනගන්ඩ.කවදහරි මෙයාලත් එහෙම පදින්චියට යයි අපෙ ඉදිරි පරම්පරාවත් විකුනල දාලම...

Anonymous said...

hic hic pissu thada welada?

Ajith said...

සමහර විහිළු ඇත්ත වෙන රටක් මේක. ඒ නිසා හිනා වෙන්න බය හිතෙනවා.
-W3Lanka