Saturday, September 24, 2011

ජවිපෙ


ජවිපෙ බෙදීම ගැන කතා එමටය, ලියැවුනු බ්ලොග් ලිපිද, පුවත් වෙබ් අඩවි වල ලිපිද එසේමය. මේ සියලු රචනා ජවිපෙ අර්බුධය විවිධ පැතිකඩයන් ඔස්සේ, විවිධ කෝණ ඔස්සේ නිර්වචනය කරයි.

88-89 විනාශයෙන් පසු ජවිපය පෙනී සිටියේ ඉතා ප්‍රජාතන්ත්‍රවාදී, ශ්‍රිලනිප හා එජාප සාම්ප්‍රදායික පක්ශවලට වඩා මහත්වූ විනයක් පවත්වාගෙන යන ක්‍රියාශීලී, ප්‍රගතිශීලී පක්ශයක් ලෙසය. වෙනත් පක්ශවල ගැටුම් ඇතිවෙනවිට, නායකත්වය පිලිබඳව කඹ ඇදීම් ඇතිවෙනවිට ජවිපය ඒවා දෙස බලා සිනාසුන අන්දම, බක පණ්ඩිත කතා කියූ අන්දම, එම පක්ශවල නායකයින්ට, සටන්කරුවන්හට අපහාස උපහාස උසුලු විසුලු කල අන්දමද අපට මතක ඇත.

දේශපාලන බලු පොර අපේ පක්ශයේ නැතැයි කියූ අයගේ බලු පොරය

දැන් ජවිපයේ කයිවාරු රෙදිපල්ලෙන් දෝරේ ගලාගෙන යන අයුරු දකින විට එක්තරා විදියක කාළකන්ණි සතුටක් ඇතිවෙන්නේ ජවිපෙ බෙදීම ගැන ඇති සතුට (ජවිපේ බෙදීම ගැන ලේඛකයාට ඇත්තේ කණගාටුවකි ) නිසා නොව දිට්ඨධම්මවේදනීය කර්මය ජවිපයට පටිසන්දී ඇති නිසාය. 

ජවිපෙ ඉන්නේත් ඔය අනෙක් පක්ශවල ඉන්නවාක් මෙන් ඇට, ලේ, මස් ඇති, ඊර්ශ්‍යයාව ක්‍රෝධය, වෛරය, ආත්මාර්ථකාමී පෞද්ගලික අභිලාශයන්ගෙන් පිරුණු මිනිසුන් මිස ජවිපෙ මෙතෙක් කල් ලොවට පෙන්වාගෙන ගිය ලෞකික ආශාවන් නොමැති, පඩිය පවා පක්ශය වෙනුවෙන් කැපකරන, පරාර්ථකාමී මිනිසුන් නොවන බව දැන් පැහැදිය. 

එක් අතකට ජවිපය තුල සිටින්නේ ප්‍රශ්ණකිරීමකින් තොරව අණ පිලිපදින මොල සේදුනු දේශපාලන සොම්බීවරු (political zombies) නොව අනෙක් පක්ශ වල මෙන්ම මිනිසුන් බව පැහැදිලිවීම සැනසිල්ලකි.

ජවිපයේ බෙදීමේ අවාසිය රටටය

ජවිපයේ බෙදීමට මා සිතතුල කිසිසේත්ම සතුටක් නැත. ඒ මම ජේවීපී කාරයෙකු නිසා හෝ ආධාරකරුවෙකු නිසා නොව ජවිපයේ බෙදීම රටට අවාසියක් නිසාය. ජවිපය මේ රටේ තුන්වන බලවේගයයි. එජාපය සෙළවෙන දතක් මෙන් අස්තිරව වැනන මේ මොහොතේ ශක්තිමත් ජවිපයක් නොමැතිවීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත්, සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීමටත් මහත් බාධාවකි. ජවිපෙ ශක්තිමත්ව සිටිනතාක් දළ බිඳුනු එජාපයේ අඩුව යම් පමණකින්හෝ පුරවාදෙනු ලැබීය. එහෙත් දැන් රාජපක්ශලා තව තවත් ශක්තිමත් වනු ඇති අතර ජවිපයේ මේ බිඳීම අවස්ථානුකූලව ප්‍රයෝජනයට ගෙන තව තවත් මර්ධනකාරී, අත්තනෝමතික පියවරයන් වලට ඔවුන් යොමුවීම වැලැක්විය නොහැකිය.

මතවාදී සටනේ සළුපිලි යටින් ඇති පරාජයේ ඉඡ්ඡාභංගත්වය (හෙවත් රනිල් සජිත් සටනට ඇති සමානකම )

ජවිපෙ සටන සෝමවංශ-ටිල්වින් කාණ්ඩයේත් කුමාර අයියා කියන අත්භූත චරිතය වටා ඇති කණ්ඩායමේත් මතවාදී ගැටුමක් බවත් මෙය වෙනත් පක්ශවල ඇති අභ්‍යන්තර ගැටුම්වලට වඩා වෙනස් බවත් ජවිපෙ අය මෙන්ම, ජවිපෙ අර්බුධය ගැන ලිපි ලියූ වෙනත් ලේඛකයනුත් ප්‍රකාශකොට ඇත.

මතවාදී ගැටුම් කෙසේවෙතත් මට පෙනෙන ආකාරයට මෙතන ඇත්තේ දිගින් දිගටම පක්ශයේ ජන පදනම හෝදාපාලු වීම පිලිබඳව ඇති ගැටලුවක් හා චන්ද පරාජයන් පිලිබඳව ඇති ඉච්ඡා භංගත්වයකි. මහලු සෝමවංශ හා ටිල්වින් ඇතුලු කණ්ඩායමේ නායකත්වයෙන් පක්ශය ඉදිරියට ගියානම්, චන්ද පදනම වර්ධනය වූවානම්, පාර්ලිමේන්තුවේ නියෝජනය වැඩිවූවා නම් මේ ගැටුම් කිසිවක් කරලියට එන්නේ නැත. බලයට තනතුරුවලට සටන්වදින අයට වීරවංශ මෙන් රජ හා ඩීල් එකක් දමාගෙන එලියට යනවා හැරෙන්නට වෙන විකල්පයක නැත. 

රටේ ජනතාව තබා මට හැඟෙන පරිද්දෙන් ජවිපේ පූර්ණකාලීන සාමාජිකයන් පවා මුහුණ දැක නැති, පාරතොටකදී දුටුවොත් හඳුනාගන්නට පවා බැරි, නියම නම කුමක්ද, සිංහලද දෙමළද පවා නොදන්නා මිනිසෙකුට සෝමවංශ පන්නන සටනට නායකත්වය දෙන්නට පුලුවන්වී ඇත්තේ චන්ද පරාජයන් හා වේගයෙන් බිඳවැටෙන ජන පදනම මිස වෙනත් බැරෑරුම් මතවාදී ගැටුමක් නොවන බව මාගේ විශ්වාසයයි. ජවිපය තුල මේ ඇති ගැටළුව එජාපය තුල සජිත් නායකත්වය දෙන රනිල් විරෝධී සටනට සමාන වන්නේ එබැවිනි. 

රනිල් යටතේ එජාපය ජය ගන්නවානම්. චන්ද පදනම වැඩිවෙනවා නම්, මන්ත්‍රී අසුන් වැඩේ වෙනවානම් සජිත්ට වෙන්නේ දෙන දෙයක් කාලා රනිල්ට සෑර් කියාගෙන බය පක්සපාතව ඉන්නටය. සජිත් වැනි තරුණ නාම්බෙකුට රනිල් වැනි පලපුරුදු පාතාක යෝධයෙකුට විරුද්ධව සටනක් මෙහෙයවන්නට පවා (දිනුම පැරදුම පැත්තකට දමමු) හැකිවී තිබෙන්නේ රනිල් නායකත්වය යටතේ පක්සය ලබන නිරන්තර පරාජයන් ය. සජිත්ගේ මේ සටන හා කුමාර් මහත්තයා ගෙනියන සටන අතර කිසිදු වෙනසක් නැත්තේ එබැවිනි. කුමාර් මහත්තයා පිල මෙන්ම සජිත් පිල කියන්නේත් පවතින නායකත්වය සමග පක්ශයට ඉදිරි ගමණක් නැති බවත් නායකත්වයේ වැරදී තීන්දු නිසා පක්ශය මහත් පසු බෑමකට ලක්වී ඇති බවත්ය.

සජිත් රනිල් පන්නන්නට යනවිට එය බල ලෝභයෙන් නටනා නාඩගමක් ලෙස අර්ථ දැක්වීමත්, ජවිපේ ඇතුලේ පිල් බෙදී ඇණකොටා ගන්නා විට එය මතවාදී ගැටුමක් ලෙස අර්ථ දැක්වීමත් වැරදි බව මාගේ හැඟීමයි.

රහසිගත දේශපාලනය නැමැති ඔප්ශන් එක නොහොත් අකල්-මරණ වැලඳගැනීමට ඇති ඔප්ශන් එක.

කුමාර් මහත්තයාගේ කණ්ඩායම නැවතත් රහසිගත දේශපාලනය වැලඳගැනීමට යන බවට මතයක් පැතියයි. රජයේ පාර්ශවයෙන් මෙන්ම සෝමවංශලාගේ පාර්ශවයත් මෙම මතය ස්ථිර කිරීමට උතසහ ගන්නා බව පෙනේ.

මෙහි සත්‍යාසත්‍යතාවය මම නොදනිමි.

එහෙත් එවැනි අදහසක් කුමාර් කල්ලිය තුල ඇත්නම් එය වහාම වල දැමිය යුතු විනාශකාරී අදහසකි. 88-89කාලයේ විජේවීරට බැරි වුනාට අපිට පුලුවන් යනුවෙන් සිතනවානම් එය 80දශකයේ මිනිසුන් වන කුමාර්ලාගේ සොහොන් ලකුණු පෙනෙන රොමෑන්තික බහුබූතයකි.

දැන් සිටින්නේ 88-89 කාලයේ සිටි ආරක්ශක හමුදාව නොව ඊට වඩා දහස්ගුණයක් පිරිස් බලයෙන්, යුධමය හැකියාවෙන් මෙන්ම කැපවීමෙන්ද, රටපුරා විහිදුනු සියුම් ඔත්තු-සේවාවකින්ද සන්නද්ධ හමුදාවකි. එම මිලිටරි යන්ත්‍රය හා ඔට්ටු වීමේ හැකියාවක් අද නොව තව වසර 10කින් හෝ ගල්-කටස් සරණ යනවානම් කුමාර්ලාට ගොඩනගාගත නොහැකිබව බව ඔවුන් වටහා ගත යුතුය.

එපමණක් නොව 88-89 ජවිපෙ සන්නද්ධ ත්‍රස්තවාදය වැපිරවූ සමයේදී ජවිපයේ මිනීමරු දේශපාලනය සාධාරණීකරණය කලේත්, එයට ජවය සැපයූවේත් එවක ප්‍රධාන විපක්ශය වූ ශ්‍රී ලනීපයයි. එජාප පාළනය, ජවිපෙ ගොඩගසන මිනී කඳු මතින් පෙරලා දමා තමන්ට බලයට එන්නට පුලුවන් යන මෝඩ විශ්වාසයෙන් එකට ශ්‍රි ලනිප නායකයින්, විශේෂයෙන්ම අනුර බන්ඩාරනායක ඇතුලු කල්ලිය සිටියහ. ජවිපයේ සිවිල් කැරලි-කෝළහාල, උද්ගෝෂණ, බස් කෝච්චි ගිණිතැබීමේ කාළකන්නි මෙහෙයුම් වලට පිරිස් බලය සැපයූවේ අනුර-සිරිමා ඇතුලු ශ්‍රීලනිපයයි. 

එපමණක් නොව එකල ජවිපට දේශපාලන හා ප්‍රචාරණ සවිය සැපයූ ජවිපයේ නිළ නොවන ජාතික පුවත්පත වූයේ ශ්‍රිලනිපයට රෙදි නැතුව කඩේගිය දිවයින පත්තරයයි. එජාප දේශපාලකයින් එජාපයෙන් ඉල්ලා අස්වී දැන්වීම් දැමිය යුතු පුවත් පත ලෙස ජවිපය නියමකොට තිබුණේ දිවයින පුවත් පතයි. ජවිපෙ මිනීමරු දේශපාලනය රටට ආදරය කරන කොල්ලන්ගේ දේශප්‍රේමී ව්‍යාපාරයක්, දූශිත දේශපාලඥයින්ගෙන් රට බේරා ගැනීමේ සටනක් බවටත් බෞතීස්ම කලේ දිවයින පත්තරය හා ජවිපෙට බය නිසා හෝ එජාප විරෝධය මත හෝ රාවය, විවරණ, හිරු වැනි සඟරාවන් බව එකල නොවරදවා මේ සියලු සඟරා කියවූ ලේඛකයා හොඳින් දනී (අද පුවත්පතක් වුවත් එකල රාවය සඟරාවකි).

අද සන්නද්ධ ව්‍යාපාරයකට කැලෑවදින කුමාර්ලාට මේ කිසිවක් නැති බව කිවයුතුය. මොනතරම් දේශපාලන වශයෙන් අසරණ වුවත් සන්නද්ධ ජවිපයට (හෝ කුමාර්ලාගේ සන්නද්ධ අණ්ඩට) එදා දේශපාලනිකව නන්නත්තර වී සිටි ශ්‍රිලනිපයෙන් ලැබුනු මතවාදී සහය එජාපයෙන් කිසිදා ලැබෙන්නේ නැත. එජාපය තරම් ජවිපෙ සන්නද්ධ මිනීමරු කල්ලි නිසා නායකයින් ක්‍රියාකාරීන් අහිමි කරගත් දේශපාලන පක්ශයක් නැත. එවැනි පක්ශයක් විහිලුවකට හෝ සන්නද්ධ කුමාර්ලාට සහයට වචනයක් හෝ නොකියන බව මට ඉතා විශ්වාසය.

උතුරේ බෙදුම්වාදය හා සමපාතවීමේ උත්සහය

සන්නද්ධ වන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා යන උපකළ්පණයේ පිහිටා බලන විට කුමාර්ලා උතුරේ ප්‍රශ්ණය පිලිබඳව ජවිපෙ ස්ථාවරය වෙනස් කරගත යුතුයයි කියන්නේද මේ අවාසි සහගත තත්වය ඔවුන්ද දන්නා බැවින් බව සිතිය හැකිය. සන්නධවීමේ අවශ්‍යතාවයක් කුමාර් පාර්ශවයට ඇත්නම්, ඔවුනගේ අරමුණ වනු ඇත්තේ ජවිපෙ මතය, උතුරේ සෙමින් සෙමින් යලිත් හිස ඔසවන්නට මාන බලන දෙමළ සන්නද්ධ ව්‍යාපාරවලට මතවාදීව සමපාත කොට පසුව ඒ ආධාරයෙන් සඟවා ඇති තුවක්කු දෙක තුනක් ඩයිනමයිට් කරලක් දෙකක් ඉල්ලා ගැනීමේ අදහසින් බව ලේඛකයා විශ්වාස කරයි.

ඉතා සරල හා ග්‍රාම්‍ය ලෙස දැක්වූවත් සන්නද්ධ ව්‍යාපාර දෙකක හවුලක අරමුණ හුදු මතවාදී හවුලක් නොව සෑමවිටම ඊට වඩා ප්‍රායෝගික යුධමය හවුල්කාරිත්වයකි. සැඟවී හෝ හමුදා ඔත්තුසේවාවලින් වහංවී සිටිනා එල්ටීටීඊ සටන්කාමීන්ගේ යුධමය ඥාණයෙන් අනාගත සන්නද්ධ ව්‍යාපාරයකට ඉමහත් ප්‍රයෝජන ලබාගත හැකි බව සන්නද්ධවීමට කල්බලන බවට චෝදනා ඇති කුමාර්ලාගේ කල්ලිය වටහාගෙන ඇතිබව ලේඛකයාගේ මතයයි. එහෙත් එල්ටීටීයේ විනාශයට ජවිපය දැක්වී ක්‍රියාශීලී දායකත්වය නිසා ඔවුන් සමග හවුලක් ගොඩ නගාගැනීමට දැන් සිටිනා ජවිපයේ නායකත්වයත් සමග නොහැකිය. මේ සඳහා නායකත්වයේ වෙනසක් සිදුවී පක්ශයේ මතවාදය බෙදුම්වාදයේ මතවාදයට අනුගාමීවිය යුතුය. මේ කරුණු සත්‍ය නම් මෙය හෙට අනිද්දා එලිදක්වන සැලැස්මක් නොව මධ්‍යකාලීන (වසර 3-5 අනාගතයට) සැලැස්මක් විය යුතුය.

කවුරු දිනුවත් අපට කමක් නැත

පක්ශයේ අයිතිය සටනින් කුමාර් අයියා දිනුවත් සෝමවංශ අංකල් දිනුවත් අපට කමක් නැත. අපට අවශ්‍යවන්නේ ශක්තිමත්, ජවසම්පන්න, ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳව විශ්වාසය තබන ජවිපයකි. සන්නද්ධ ව්‍යාපාර පිලිබඳව සිහිනෙන් වත් නොසිතන ජවිපයකි.

කුමාර් අයියලාගේ සන්නද්ධ කතාව හුදෙක් විරුද්ධවාදීන් ගෙතූ මඩ කතාවක් මිස සත්‍යය නොවනු ඇති බව අපගේ ප්‍රාර්ථනයයි. මේ රටට තවත් මිනීමරු කල්ලියක් අනවශ්‍යය. 



21 comments:

ජයශ්‍රී said...

පැහැදිලිවම තවත් සන්නද්ධ අරගලයක් අප රටට කිසිසේත් අවශ්‍ය නැත.

Anonymous said...

ඔබේ මතය 100 % සත්‍ය බව මාගේ අදහසයි


කළු පූසා

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

රටට ජවිපයක් අවශ්‍යයැයි මා නම් කිසිසේත් විශ්වාස කරන්නේ නැත , අවස්ථාවාදී , ලිං මැඩි දේශපාලනයට වඩා දෙයක් ජවිපේ නැත . මිනිමරු වනචාරි ජවිපේ ගති එලියට එන්නේ මෙවැනි ගැටුම් අවස්ථාවලදීය . සන්ධානය හා එජාපය කොතරම් ගැටුණත් සාමාන්‍ය තත්වයන් තුලදී ලොකු ලොක්කන් සිටින්නේ එකටය . බොන්න කන්න පමණක් සෙට් වෙනවා පමණක් නොව පාර්ලිමේන්තුවේ සිටින්නේද එකටය , රැස්වීම් වල එජාපයට පලු යන්නට බනින සන්ධානයේ කනිෂ්ඨ මන්ත්‍රි වරුන් පමණක් නොව මර්වින් සිල්වාත් පාර්ලිමෙන්තුවේ මුණ ගැසුණු විට රනිල් වික්‍රමසිංහ මහතා අමතන්නේ "සර්" කියාය . ඒ ජේෂ්ඨත්වයට ලබා දෙන සැලකිල්ලක් ලෙසය . කොටියා කියා පතුරු යවන ජයලත් නාමල් සමඟ සුහද සාකච්ඡාවකට එකතු වන්නේ හෙට්ටිගේගේ කරේ අතදමාගෙනය . එපමණක් නොව සජිත් - රනිල් ඩබලද හිතවතුන්ගේ පාටි වල එකට කා බී විනෝද වෙති . එහෙත් ජවිපේ උන් එහෙම නැත . විමල් ජවිපෙන් කැඩුණු විටත් , දැනුත් පෙනෙන්නේ උන්ගේ ඇති සැබැ ස්වාභාවයයි . දේපල වලට පවා කුලල් කාගන්නා මොවුන්ගේ අශීලාචාර බාවය මනාව මේ අවස්ථා දෙකේදීම ඔප්පු වී ඇත .වෛරය වැපිරිමටත් , හැමදේකම ඇදකුද හෙවීමටත් හැර වෙනත් හැකියාවක් නොමැති ජවිපේ මකබැවී ගියාට මා හට නම් කිසිදු ගැටලුවක් නැත .

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ප.ලි - විමල් කැඩී ගිය පසු , සෝමවංශ විමල් දෙදෙනා සහභාගි වූ සුහද ක්‍රිකට් තරඟයක් පැවැත්විණි , ඒ ඔවුනගේ පාසල් වල ආදි ශිෂ්‍ය්යින් අතරය . මෙහිදී කථා කරනවා තබා එකිනෙකා හා සිනාසුනේවත් නැතිබව පැවසේ

වසරකට කලින් එස්.බී රජයට පනිත්දී එස්.බී යනු පොදු වැසිකිලියක්ය කියා හිනාවුනු තිස්ස අත්තනායක හා එස්.බී ඉතාම සුහද කථාබහක් නිරත වුනු බවක් වාර්ථා වන්නේ අගමැති පුතාගේ වෙඩිමේදීය .

Anonymous said...

ජවිපෙ මීට වඩා කොන්ද පන ඇති පක්ෂයක් ලෙස ඉදිරියට ආයුතුය.අවි අතට ගැනීමේ කතාවනම් බොරු විය යුතුය.ජවිපෙ මේ රටේ දේශපාලන ක්‍රියාවලියේ සිටිය යුතු බව සිතමි.බුවාට නම් ඇත්තේ විචාරයකින් තොර උග්‍ර ජවිපෙ විරෝධයක් බව පෙනේ.එයට නම් ප්‍රතිකාර නැත.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

@ඇනො- මා ජවිපේ විරෝධියෙක්ය යන්න සත්‍යකි ,මේ ලියා ඇති කමෙන්ටුවේදී විචාරශිලිව යමක් නොකිව්වත් , තාර්කිකවත් ජවිපෙට විරෝධය පලකිරීම සඳහා සාධාරණ හේතුන් තිබේ . රටේ තරුණ තරුණියන් දහස් ගනනකගේ ජීවිත අහිමි වීමට , වගකිව යුතු ජවිපෙ එල්ටිටියට වඩා වෙනස් වන්නේ අයුධ අතහැර ප්‍රජාතන්ත්‍රවාදයට පැමිනි නිසාවෙන් පමණි

Anonymous said...

තරුණ ජීවිත විනාශයට වගකිවයුතුවන්නේ පෑවති රජයන්ය.
ඉදිරියටත් ඵකී ප්‍රශ්ණ උග්‍ර කරනවා මිස විසදන්නට කිසිම රජයක් කටයුතු කර නෑත.
වර්තමානයේ පවා කිසිම අරගලකාරී මාවතකට(උද්ගෝශන,වෑඩවර්ජන පවා )පිවිසීමට ජනතව පසුබාන්නේ පලන තන්ත්‍රවල(යුඵ්න්පී,ශ්‍රි ල0කා)හොදකම නිසා නොව ඵම අරගල වලට රජයන් දක්වන බිහිසුනු ප්‍රතිචාර වල රස ජනතාව දන්න නිසාය.කොටින්ම කිව්වොත් මරබයටය.

-kasun

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...(KASUN)
තරුණ ජීවිත විනාශයට වගකිවයුතුවන්නේ පෑවති රජයන්ය.
ඉදිරියටත් ඵකී ප්‍රශ්ණ උග්‍ර කරනවා මිස විසදන්නට කිසිම රජයක් කටයුතු කර නෑත.
================

තරුණ හෝ තලතුනා ජීවිත විනාශය පැවති රජයන්ට පමණක් පවරා අතසෝදාගත හැකි යයි ජවිපෙ සිතනවානම් විහිලුවකි. ජවිපෙ මිනීමරු අතීතය ජනතාවට අමතක යයි ඔබ සිතනවාද?

ජවිපෙ අලුගෝසුවන් මරාදැමූ මිනිසුන්හට ගෞරවාන්විත අවමගුලක් හෝ පැවැත්වීමට විජේවීර/ගමනායක/සෝමවංශලාගේ ජවිපෙ මිනීමරු, මානසිකරෝගී පොලිටිබියුරෝව ඉඩ නොදුන් බව අමතකද? අපට අමතක නැත.

අවමගුල් උතසව තහනම්ය, මිනිය බැලීමට සෙනග පැමිණීම තහනම්ය, මළමිණිය කරමත තබාගෙන යාම තහනම්ය.....

මේවා පැවතුනු රජයන්ගේ නියෝගද?

මේවා නොපිලිපැද්ද විට ජවිපෙ ප්‍රාදේශීය මිනීමස් බුදින්නන් මලමිනිය ගොඩගෙන ඔලුව කපා මියගිය තැනැත්තාගේ ගේ ඉදිපිට රිටක ගසා ගිය අන්දම ජවිපෙට අමතක වුවත් අපට අමතක නැත, අප අමතක කරන්නේද නැත.

සෝමවංශ දැන් ගැලවිජ්ජවට කියන "ඒවා සාමූහික තීන්දු" යන නිදහසට කාරණය හුදෙක් නිවට උමතු කතාවක් පමණි.

සෝමවංශලා අපට මිනීමස් කෑ අලුගෝසුවන් මිස මිස වැදගත් දේශපාලකයින් නොවේ...සෝමවංශ/විජේවීර/ගමනායක හා සසදන විට මහින්ද රාජපක්ශ/ගෝඨාභය රාජපක්ශ/බැසිල් රාජපක්ශ තුන්බෑයෝද ඉතා වැදගත් සීලාචාර මහත්වරුය.

අප ජවිපයට සමාවදී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ නියැලී රටට වැඩක් කල යුතුය කොන්දේසිය මත මිස අප මැරී ඉපදී ජවිපෙ මිනීමරු අතීතය අමතකවී ඇති නිසා නොවේය.

ජවිපෙ සාමාජිකයින් මෙය හොඳින් සිතේ ධාරණය කරගත යුතුය.

Anonymous said...

පළමු ඇනෝ වෙමි 71 අරගලය ඇතිවීමට හේතුව මා හට එතරම් පැහැදිලි නැත. කොමිසම් වාර්තාවකින් හෙළි වුවේ කුළ පීඩනය, ඉඩම් නොමැති වීම, විරැකියාව අඩිය හේතුව වූ බවයි.නමුත් 88, 89 කැරැල්ල සියසින් දුටු වෙමි ඇසුවෙමි.ජවිපය 1982 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර චන්ද 200000 කට මදක් වැඩියෙන් ලබා ගෙන සෙමෙන් ප්‍රජාතන්ත්‍ර වාදය කරා පිය නගමින් සිටි අතර එවකට පැවති රජය විසින් අසාදාරන ලෙස ජවිපෙය තහනම් කල අතර සාමාජිකයන් දඩයම පටන් ගති.අවසානයේ ජවිපය කැලා වැදුණු අතර සිදුවූ විනාශය අපි සියල්ලෝම දනිමු.එදා රජය බුද්දීමත්ව කට යුතු කලානම් මහත් විනාශයක් වලක්වා ගත හැකිවෙන්නට ඉඩ තිබුණි.බුවාගේ විරෝදයට ඇති අයිතිය පිලිගනිමි. නමුත් අවසන් වසයෙන් ජවිපෙය පමණක් විත්තිකරුවා නොවෙන බව කියමි.

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...
පළමු ඇනෝ වෙමි

අවසන් වසයෙන් ජවිපෙය පමණක් විත්තිකරුවා නොවෙන බව කියමි///

----------------------

ජවිපය පමණක් විත්තිකරු නොවන බව පැහැදිලිය. ගම්බද දිලිඳු තරුණයින්ගේ ගැටලුවලට පිලියමක් දෙන්නට නොහැකිවීම, දිගින් දිගටම චන්ද පොරොන්දු මගින් ඔවුන් රැවටවීම ඔවුන් ජවිපයේ සන්නද්ධ අරගලය වෙත ඇදී එන්නට හේතු විය.

එහෙත්, ජවිපෙ අහිංසක නැත. ජවිපෙ පහරට පහර දුන්නාට වඩා ඉතා ම්ලේච්ඡ ලෙස උණ්ඩය හරහා සිය අණසක පතුරන්නට විය. ඔවුන්ගේ මා ඉහත දැක්වූ සමහර තීන්දු තීරණ හුදු මිනිසත් බවට කැලළක් වන ඉතා අමානුශික ඒවා විය. අවසන් විනාශය මෙතරම් දරුණු වන්නට එයම හේතු විය

ඒ වගකීමෙන් ජවිපයට ගැලවුමක් නැත. හිට්ලර්ගේ වැරදි වලට අදත් ජර්මන් ජාතිය වන්දි ගෙවයි. ජවිපයටද මේ ධර්මතාවය පොදුය.

.

Hasitha Gunasinghe said...
This comment has been removed by the author.
Sujeewa Kokawala said...

කණ්ඩුල මා මෙහි නිතර ලියන්නේ නැහැ. ඔබේ පොස්ට් එකේ කරුණු බොහොමයක් එක්ක එකඟයි. ජෙප්පන් සමග බොහෝ ප්‍රතිවිරෝධී මත තිබ්බට ඔවුන් නොනැසී සිටිය යුතුය යන්නට මා ද එකඟ වෙනවා.

ඒ වගේම මෙහිදී ඔවුන් පෙන්නන වනචාරි හැසිරීමටත් ඔවුන්ගේ සන්නද්ධ සිහිනයේ මෝඩ කම ගැනත්, උතුරේ ත්‍රස්ත කල්ලි සමග එක වීමේ අවස්ථාවාදය ගැනත් මට එකඟ වෙන්න පුළුවන්.

මේ රොබින් හුඩ් වගේ පෙන්නන විප්ලවවාදියා Pied Piper of Hamelin වෙන්න පුළුවන්. ඔහු වටේ එකතු වෙන්නෙත් ඔක්කොම පොඩි ළමයි නේද?

Anonymous said...

@ බුවා

මහත්තයා කියපු එකෙන්ම පේන්නෙ ඔය පක්ෂ වල ඉන්න උන්දැලාගේ අවස්ථාවාදය මිස වෙන මොකක්ද?උන්ට ප්‍රතිපත්තියක් නැහැ.තමුන් කියන දේවල් සීරයස් ගන්නෙ නැහැ.අද එස්බී ට රනිල්ට වීරයා කියල හෙට බූරුවා කියන්නත් අද මහින්දට මෝඩයා කියල හෙට රජතුමා කියන්නත් කිසි අවුලක් නැත්තෙ ඒකයි.හරි හෝ වැරදි ජේවීපී උන් තමුන් කියන දේ වෙනුවෙන් මුලු ඇගෙන්ම පෙනී ඉන්නව.රටට පේන්න බොරුවට රන්ඩු වෙනව නෙමෙයි.ඒකම මට නම් ලොකු වෙනසක්.

බුවා හා කණ්ඩුල දෙදෙනාම ජවිපෙ මිනීමරු ගතිය ගැන කතාකරල තිබුන.මේ දෙදෙනාම අඩු වැඩි වශයෙන් යූඇන්පී සපෝටර්ලා බවයි මගේ මතකය.88 ගැන කතාකරන නිසා මම මේ ප්‍රශ්න ටික මතුකරන්න කැමතියි.

1.82 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ප්‍රජාතන්ත්‍රවාදීව ආන්ඩුවට අභියෝග කරමින් ඉදිරියට පැමිනි ජවිපෙ 1983 දී යූඇන්පිය තහනම් කලේ ඇයි?
2.එම තහනම සමග 82 හොර ජනමතවිචාරනය ට එරෙහිව රෝහන විජේවීර ගොනු කොට තිබූ පෙත්සම සාර්තක ලෙස විභාග වීම බලපෑවාද?නැද්ද?
3.83 පක්ෂය තහනම් කලාට පසු ජවිපෙ එම තහනම ඉවත් කරන ලෙස ඉල්ලා රජයටත්,ජාත්‍යන්තර සංවිධානවලටත්,අධිකරන ආයතනවලටත් ඉල්ලීම් නැවත නැවතත් ඉදිරිපත් නලා.එම ඉල්ලීම් සලකා බලනවා වෙනුවට ඒ වනවිට ආයුද සන්නද්ධවීමක් ගැන සිතලාවත් නොතිබුනු පක්ෂ සාමාජිකයන් අත්අඩංගුවට ගනිමින් වැටලීම් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් මත මර්ධනය දියත් කලේ කවුද?
මෙතනදී ජවිපෙ සාමාජිකයන්ට විකල්ප දෙකක්තිබුනා.එක්කෝ ජයවර්ධන නාකියාගේ අසාධාරන තහනම පිලි අරගෙන දේශපාලනය කරන එක අත්හැරල ගෙදරට වෙලා නිදියන එක.කන්ඩුලයි බුවයි කැමති එහෙම දෙයක් උනොත් මම හිතන්නෙ.අනිත් එක ජයවර්ධනගේ මර්ධනයට මුහුන දෙන එක.යටිබිම්ගත වෙන එක.ජේවීපී දෙවෙනි අරගලය මතුවෙන්න පරිසරය හැදුනෙ එහෙමයි.ජේවීපී කාරයෝ කියන්නෙ අගහරු ලෝකෙන් පාත් උන එය නෙමෙයිනෙ.මේ රටේ දුප්පත් පංතිවල මිනිස්සු විශේෂයෙන් තරුන කොටස් - ඔවුන් අතර උගත් අය බොහෝ හිටිය - නෙ කැරලි ගහල නැගිට්ටෙ.උන්ට සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදව දේශපාලනය කරන්න තිබුනු ඉඩ උදුර අරගෙන ජයවර්ධන ගෙනගිය ජනතා විරෝධී පාලනය හින්ද තමයි එහෙම අරගලයකට ඉඩ හැදුනෙ.

ඊට පස්සෙ ජවිපෙ 88 කල ඝාතන ගැන කිව්වනෙ.අපි මෙහෙම අහමුකො.
1.ඒ කාලය තුල ජවිපෙ විසින් ඝාතනය කල පිරිස කොපමණද?
2.ප්‍රජාතන්ත්‍රවාදි යූඇන්පී ආන්ඩුව විසින් ඝාතනය කල පිරිස කොපමණද?කණ්ඩුලයි බුවයි පුලුවන් නම් සංඛ්‍යා හොයල දාන්නකො.මම දන්න තරමින් රජය අතින් ඝාතනය වුන ප්‍රමානය 60 000 ට ආසන්නයි.ජවිපෙ අතින් ඝාතනය වුනා කියන ප්‍රමානය 6000 ට ආසන්නයි.එතකොට 6000 මරපු ජවිපෙ මිනිමරු වෙලා 60 000 ක් මරපු එජාපය කන්ඩුලගෙයි බුවාගෙයි ආදරණීය පක්ෂය උනේ කොහොමද?බටලන්දට ගෑවුනු රනිල් උන්නැහෙ ශ්‍රේෂ්ඨ නායකයා උනේ කොහොමද?ආසා නම් කියවන්න හොයාගෙන ප්‍රින්ස් ගුණසේකරගේ ලොස්ට් ජෙනරේශන් කියන පොත.88-89 සිද්දි ගැන නියම ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් අකවුන්ට් එකක්.ගුනසේකර හමුදාවෙන් අතුරුදහන් කරවපු තරුනයො වෙනුවෙන් මානව හිමිකම් නඩු කතා කල ජ්‍යෙෂ්ට නීතිඥයෙක්.අන්තිමට මිනිහටත් රට දාල පැනල යන්න උනා ආන්ඩුවෙන් මරන්න හෙව්ව නිසා.ජවිපෙ මිනීමරු ගතිය ගැන පොර ටෝක් දෙන මහත්තැන්ලා තමුන්ගේ පක්ෂ‍යේ අත්වල තැවරුනු ලේ ගැන නෝ කතා නෝ සිනා මන්ද?

- රනිල්ගේ කෝකියා

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

@ඇනෝ(රනිල් ගේ කෝකියා ) - වඩාත්ම ගැලපෙන නම විජේවීරගේ වැසිකිලි හෝදන්නා කියන නම

කැරලි ගහපු හැමෝම පිටිපස්සේ මොකක් හරි හේතුවක් බලපැමක් තියනව . හැබැයි ඒක ආයුධ අතට ගන්න ලයිසමක් නෙවෙයි . ජවිපේ විතරක් නෙවෙයි දෙමල තරුණයින් ආයුධ අතට ගැනීම පිටුපසත් ඔවුන්ගේ පැත්තෙන් සාධාරණ හේතු තියනව , ඒත් ආයුධ අතට අරගෙන ත්‍රස්තවාදයට බැස්සට පස්සෙ ඒක හොඳින් හෝ නරකින් අවසන් කරන්න වෙනවා . ඒකට ධනවාදී සමාජවාදී බේදයක් නැ .

ඔය ඔබතුමාගේ 60,000 සහ 6000 කියන සංඛ්‍යා ලේඛන වල මූලාශ්‍රය මොකක්ද ? සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරපු කෙනාම ඒවට මුලාශ්‍ර දීල ඉන්න ඕනි අනික් මිනිස්සුන්ගෙන් ගනන් ඉලක්කම් ඉල්ලන්න කලින් . මෙතන සංඛ්‍යාවන් මොකක් වුනත් ඒ ඝාතනයන් වල වෙනසක් තියනවා . මොකද ජවිපෙන් මැරුවේ සිවිල් වැසියන්ව , රජය ආයුධ අතට ගත්ත කැරලි කාරයින්ව . එ එලෙල්ටියෙ බස් බෝම්බ දැමීම හා හමුදාවෙන් කොටින්ව ඝාතනව කිරීම වගේ තමයි . මෙතනදි එජාපය ජවිපේ මර්ධනය කිරීම ට වැරදියි කියන්න බැරි වුනත් , ඒ දේ කරපු විදිහ කිසිසේත්ම අනුමත කරන්න බැ , අනුමත කරන්නෙත් නැ . ජවිපේ නොවන තරුණයින් පවා ඝාතනයට ලක් වුනු ඒ මර්ධනයේ බරපතල වැරදි රාශියක් තියනවා . නමුත් ඒකෙන් ජවිපෙ ශුද්ධ වෙන්නෙ නැ , මොකද එජාපයේ ක්‍රමය වැරදි උනත් ජවිපේ කියන්නෙ මර්ධනය කල යුතු ආයුධ අතට ගත් කැරලිකාර සංවිධානයක් නිසා

ජේ.ආර් ගේ 83 තහනම නිසා දෙවෙනි කැරැල්ල ඇතිවුනා කියමුකො , එතකොට පලවෙනි එක ඇතිවුනේ කාගේ මර්ධනයක් තිබිලද? කව්ද වැඩෙ පටන් ගත්තේ ?

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

බටලන්දට රනිල්ව ගාවල දාපු නඩුවත් අසාර්ථකයි , ඒ නිසා ඒක ඔප්පු කරන්න බැරි වුන කටකථාවක් විතරයි . ඒ නිසා ඔය ඝාතන සම්බන්ධයෙන් රනිල්ට ප්‍රධාන පෙලේ චෝදනාවක් නැ (රජයේ අමාත්‍යවරයෙක් වීමේ සාමුහික වගකීම හැර ) ,ප්‍රේමදාසගේ ප්‍රතිපත්තිවත් අද එජාපයේ නැ , ප්‍රේමදාසගේ පුතා ආපු දවසකට නම් ඒ චෝදනා යන්තමින් හෝ අදාල වෙන්න පුලුවන්

නමුත් ජවිපේ අදටත් නායකය එදා දේශපාලන මණ්ඩල සභිකයෙක් , වරෙන්තු නිකුත් වුණු පුද්ගලයෙක් , එ නිසා ඒ වගකීම එහෙමම තියනව.

රංචාගොඩ මුදියන්සේ said...

REPLY PART I

///83 පක්ෂය තහනම් කලාට පසු ජවිපෙ එම තහනම ඉවත් කරන ලෙස ඉල්ලා රජයටත්,ජාත්‍යන්තර සංවිධානවලටත්,අධිකරන ආයතනවලටත් ඉල්ලීම් නැවත නැවතත් ඉදිරිපත් නලා.එම ඉල්ලීම් සලකා බලනවා වෙනුවට ඒ වනවිට ආයුද සන්නද්ධවීමක් ගැන සිතලාවත් නොතිබුනු පක්ෂ සාමාජිකයන් අත්අඩංගුවට ගනිමින් වැටලීම් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් මත මර්ධනය දියත් කලේ කවුද?
මෙතනදී ජවිපෙ සාමාජිකයන්ට විකල්ප දෙකක්තිබුනා.එක්කෝ ජයවර්ධන නාකියාගේ අසාධාරන තහනම පිලි අරගෙන දේශපාලනය කරන එක අත්හැරල ගෙදරට වෙලා නිදියන එක.කන්ඩුලයි බුවයි කැමති එහෙම දෙයක් උනොත් මම හිතන්නෙ.අනිත් එක ජයවර්ධනගේ මර්ධනයට මුහුන දෙන එක.යටිබිම්ගත වෙන එක.ජේවීපී දෙවෙනි අරගලය මතුවෙන්න පරිසරය හැදුනෙ එහෙමයි.///

කෝකියා මහත්තයා ඔය කියන්නේ ඔබතුමාලාට පක්සය විසින් ලියලා දීලා තියෙන, පක්ශය මිනීමරන්නට හේතුව පැහැදිලි කරන, අහිංසක, තර්කාන්විත බව පෙනෙන, අනේ ඉතින් "යටි බිම්ගත වෙනවා ඇරෙන්නට වෙන මොනවා කරන්නද?" යන්න සාධාරණීකරනය කරන පැහැදිලි කිරීම බව පෙනේ.

මේ පැහැදිලි කිරීමම වෙනත් ජවිපෙ කාඩර්ලා කිහිප පොලකගෙන්ම මම මීට කලින් අසා ඇත්තෙමි.

1] 71 ආයුධ අතට ගත්තේ මොකද?

2] 71 හිරේ ගිය විජේවීරව නිදහස් කරෙත් ඔය කියන ජේආර් නාකියාම නොවේද?

3] වෙන කරන්න දෙයක් නැතුව, 83දී ජේ.ආර් නාකියාගේ මර්ධනයට මුහුණ දෙන්න "යටි බිම් ගත වුනු" ජවිපෙ, ඊට කලින්, ඒ කියන්නේ 82 ජනාධිපතිවරනෙ කාලෙවත් ආයුධ අතට ගන්න හීනෙකින් වත් හිතාලා නොතිබුනු ජවිපෙ, 83 ඉඳන් 87 වෙනකොට, ඒ කියන්නේ අවුරුදු 4ක් ඇතුලත, මුලු රටම වෙලාගත් බිහිසුනු ත්‍රස්තවාදයකට ගියේ කොහොමද?

83දී නිළ වශයෙන් සන්නධ ව්‍යාපාර ඇරඹූ කොටි ඇතුලු දෙමල ත්‍රස්තාවාදීන්ටත් වඩා සාර්ථකව රටම ආවරණය වන පරදි ත්‍රස්තවාදය, මිනීමරු නීති, නිළ නොවන ඇඳිරි නීති විහිදුවා හරින්නට සන්විධාන ශක්තියක්, අවි ආයුධ, පුහුණුව ලැබුනේ 1982 අවුරුද්ද වෙනකොටත් සන්නද්ධ ව්‍යාපාරයක් ගැන හිතලාවත් නොතිබුනු "අහිංසක" ජවිපෙන් වීම පුදුමයක් නොවේද.

අවුරුදු 4කට පෙර සන්නද්ධ ව්‍යාපාරයක් ගැන විහිලුවටවත් නොහිතපු කට්ටිය බිහිසුණු ත්‍රස්තවාදීන් වුනේ යටි බිම්ගත වෙන්නට වුනු නිසාද? ගමේ අහිංසක කොල්ලන් ජවිපෙ කුලී මිනීමරුවන් වුනේ ඔය හින්දාමද?

විජේවීරලාට හැංගෙන්න වුනාම ගමේ කොල්ලෝ ආයුධ අතට ගන්නේ පිස්සුවකටද?

මචන්, උඹ ජේ.වී.පී වෙන්න පුලුවන්, ඒත් අපි කොන්ඩෙ බැඳපු චීනු හෙම නෙවී, උඹලාට ඔය ගිරවුන්ට වගේ පාඩම් කරලා එවන මෝඩ තර්ක පිලිගන්න.

< ---------------------- >


/// උන්ට සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදව දේශපාලනය කරන්න තිබුනු ඉඩ උදුර අරගෙන ජයවර්ධන ගෙනගිය ජනතා විරෝධී පාලනය හින්ද තමයි එහෙම අරගලයකට ඉඩ හැදුනෙ ////

සාමකාමීව දේසපාලනය කරපු සිරිමත් හිරේ දැම්මාලු නේද ජේ.ආර්. නාකියා....

අනේ බොල, තොපි ආයුධ අතට අරගෙන 71 සෙල්ලමක් ආයෙ දාන්න 83 ජාතිවාදී කෝලාහාලය දඩමීමා කරගෙන ප්ලෑන් කරලා ඒක එලිවෙලා වැඩේ ගැස්සුනාම කැලෑ පැනලා, මිනී මරමරා ඉඳලා දැන් එනවා අපිට අහිංසක ගමේ කොල්ලන්ගේ දේසපාලනේ ගැන කියන්න.

අපිත් ගම් වල කොල්ලෝ තමයි. උඹලා අපිට ගම ගැන උගන්නන්න එන්න එපා..

<------------------>

රංචාගොඩ මුදියන්සේ said...

REPLY PART II


//// ඊට පස්සෙ ජවිපෙ 88 කල ඝාතන ගැන කිව්වනෙ.අපි මෙහෙම අහමුකො.
1.ඒ කාලය තුල ජවිපෙ විසින් ඝාතනය කල පිරිස කොපමණද?
2.ප්‍රජාතන්ත්‍රවාදි යූඇන්පී ආන්ඩුව විසින් ඝාතනය කල පිරිස කොපමණද?කණ්ඩුලයි බුවයි පුලුවන් නම් සංඛ්‍යා හොයල දාන්නකො.මම දන්න තරමින් රජය අතින් ඝාතනය වුන ප්‍රමානය 60 000 ට ආසන්නයි.ජවිපෙ අතින් ඝාතනය වුනා කියන ප්‍රමානය 6000 ට ආසන්නයි.එතකොට 6000 මරපු ජවිපෙ මිනිමරු වෙලා 60 000 ක් මරපු ////

<----------------------->

මචන් උඹ ඔය කියන 60,000ගත්තේ උඹ මිනීටික ගැනලා හරියට ස්ටැටිස්ටික්ස් ලියාගෙනද?

නැත්නම් උඹලා ඔය මැරුවා කියන මිනිස්සු 6000...... පොඩියි වගේ පේන්න ඒක 10න් වැඩි කරලා ගත්ත ගාණ නේද?

උඹලා ඔය 6000 මැරුවේ උඹලාට "සාමකාමීව දේසපාලනේ කරන්න ඉඩ නොදීපු නිඩාද?"

උඹලා මාර සාම වාදියෝනෙ බන්.....උඹලාට සාමකාමීව දේසපාලනේ කරන්න දෙන්නේ නෑ කියලා උඹලා 6000ක් මරණවා, ඒක නෝ ප්‍රොබ්ලම්, උඹලා මැරුවේ යූඇන්පී කාරයෝ විතරද?

උඹලාගේ මිනීමරු නියෝග මත මාසයකට වඩා ඇදුනු බස් වර්ජනය මතකද? මචන් උඹ ඒකාලේ 5පංතියේ වත් හිටියානම් මතකඇති ඒ දේසප්‍රේමී වර්ජන පොජ්ජ....ජංගියේ චූ කරගන්න කාලේනම් ගිහින් අම්මා තාත්තාගෙන අහලා බලන්න බස් වර්ජනේ මතකද කියලා

JVP වර්ජනය තියෙද්දී බස් දිව්වා කියලා ලංගම බස් ඩ්‍රයිවර්ලා, කොන්දොස්තරලා, ටයිම් කීපර්ලා, ඩිපෝ මැනේජර්ලා කීයක් මැරුවද? උන් ද? උන් ඔය උඹලා මරපු 6000ට එකතුද?

කාළකන්නි හැත්තක් බන් උඹලා,

බස් ඩිපෝ පිටින් පුච්චපු උඹලා තමයි දැන් ජාතික දේපොල, ජනතා දේපොල සුරකින්න කෑ ගහන්නේ....

අපිට තාම මතකයි බන් උඹලාගේ කාළකන්නි වැඩ...

ආයෙත් සැරයක්, බොරුවට අපිට සාමාකාමී දේසපාලනේ කරන්න රාජපක්සලා ජේ ආර් නාකියා කලා වගේම දෙන්නේ නෑ කියලා "යටි බිම් ගතවෙලා" තවත් අහිංසකයෝ දාස් ගාණක් වලපල්ලට යවලා මිහිදන් වෙලා පලයල්ලා පුලුවන් නම්.

<----------------------->

///ජවිපෙ මිනීමරු ගතිය ගැන පොර ටෝක් දෙන මහත්තැන්ලා තමුන්ගේ පක්ෂ‍යේ අත්වල තැවරුනු ලේ ගැන නෝ කතා නෝ සිනා මන්ද? ////

උඹලාත් මිනී මැරුවා, ශ්‍රී ලංකාකාරයෝත් මිනි මැරුවා, යූ ඇන්පී කාරයෝත් මිනී මැරුවා...

අර උඹලාම කිය විධියට, උනුත් එකයි, මුනුත් එකයි, ජෙප්පන් වන අපිත් එකයි, නේද බන්..........ඔක්කෝම මිනී මරුවෝ..

ඒ විතරක් නෙමෙයි උඹලා ජනාධිපතිවරනෙට යවපු ෆොන්සේකා මහත්තයා...එයත් හොඳ ප්‍රොෆෙශනල් මිනීමරුවෙක් තමා.... හැබැයි උඹලා වගේ නිමෙයි...එයා ප්‍රොෆෙශනල්....විද්‍යාවක් විධියට මිනී මැරීම හදාරලයි තියෙන්නේ....එයාට හූ ඇන් පී එකත් සපෝට් කලා...

එයාගෙ හංසයා දිනුවනම් ඒ ආණ්ඩුවෙත් ලේ තැවරුණු එවුන් තමය රජ කරන්නේ...

Anonymous said...

@ බුවා

එකින් එක කරුනු ගමු.

1.//කැරලි ගහපු හැමෝම පිටිපස්සේ මොකක් හරි හේතුවක් බලපැමක් තියනව . හැබැයි ඒක ආයුධ අතට ගන්න ලයිසමක් නෙවෙයි//

මම පැහැදිලිව කියල තියෙනව 87 සන්නද්ධ දේශපාලනයකට යන්න ප්‍රධානතම හේතුව උනේ 83 ඉදල යූඇන්පිය ප්‍රජාතන්ත්‍ර විරෝධී විදිහට පන්න පන්න ජවිපෙට එරෙහිව කරපු මර්ධනය කියල.ඒකට උත්තරයක් දීල ඉමු.සාමකාමීව දේශපාලනය කරපු ව්‍යාපාරයක් ආත්මාරක්ෂාවට ආයුද ගන්න තැනට තල්ලු කලාට පස්සෙ ඒ සන්නද්ධ අරගලය උඩින් කඩා පාත් උනා වගේ කතා කරල වැඩක් නැහැ.ජේවීපි අරගලය කාලෙ වැරදි දේවල් උනා කියන එක ගැන විවාදයක් නැහැ.ජවිපෙ ඒ ගැන පිලිඅරගෙනත් තියෙනව.ඒවට සමාව ඉල්ලලත් තියෙනව.ඒක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නය.ඒ තැනට මේ රට ඇදල දැම්මෙ කවුද?ප්‍රජාතන්ත්‍රවාදය නැති කලේ කවුද?ජනතාව මත මර්ධනය දියත් කලේ කවුද?පීඩකයා කවුද?ඒ ඔබේ ආදරනීය රනිල් මහතා කැබිනට් ඇමතිධූරය දැරූ යූඇන්පිය.මම අහන්නෙ මෙච්චරයි.ජවිපෙ ට මෙච්චර බනින ඔබතුමාට ඒ ආදරනීය පක්ෂයේ තියෙන‍ පොල් පරාලය නොපෙනෙන්නේ ඇයිද කියන එක.

2.//ඔය ඔබතුමාගේ 60,000 සහ 6000 කියන සංඛ්‍යා ලේඛන වල මූලාශ්‍රය මොකක්ද ?//
මේ සාමාන්‍යයෙන් මේ සිදුවීම ගැන ලියල තියෙන අය උපුටන ආසන්න සංඛ්‍යා.රොහාන් ගුනරත්න සහ ප්‍රින්ස් ගුණසේකරගේ පොත් දෙක ආශ්‍රයෙන් මේ සංඛ්‍යා දල වශයෙන් මගේ ඔලුවෙ තියෙන්නෙ.වැරදි නම් ඇත්ත සංඛ්‍යාව පෙන්නනනකො.ආන්ඩුව මැරුව ගාන ඒ කාලෙ කවුරුත් ඇස්ටිමේට් කලේ නැහැනෙ.මේ මැරුනෙ නිර්ධන පංති ව්‍යාපාරයේ කොල්ලො නිසා යූඑන් එක අද වගේ මැරුන ගාන එස්ටිමේට් කරන්න කොමිසම් දැම්මෙත් නැහැ.

//මොකද ජවිපෙන් මැරුවේ සිවිල් වැසියන්ව , රජය ආයුධ අතට ගත්ත කැරලි කාරයින්ව//

මම හිනාවෙන්නද?අඩන්නද?ඒ 60 000 ම ආයුද ගත්ත කැරලිකාරයොද?ඇඹිලිපිටියෙ අතුරුදහන් වුන ලමයි?රිචඩ් ද සොයිසා?කැරලිකාරයොද?විහිලු සපයන්න එපා.මහනුවර මහවත්ත කියන ගම වටලලා ඒකෙ හිටපු ගැහැනු පිරිමි 267 ක් හමුදාව සමූලඝාතනය කරපු සිදුවීම දන්නවද?ඒ 267 කැරලිකාරයොද?වැඩි විස්තර ඕනෙ නම් රාජන් හූල්ගේ ශ්‍රී ලංකාව බලයේ මහන්තත්වය පොත කියවලා බලන්න.ඔලුවට පරාල ඇන ගහල සුසන්ත පුංචිනිලමෙලා මරපු ත්‍රිමාවිතාන කියන්නෙ ආයුද ව්‍යාපාරයේ හිටපු කෙනෙක් නෙමෙයි.වෛද්‍ය විද්‍යාල සටනේ හිටපු සිවිල් නායකයෙක්.නන්දා මාලිනීට සුනිල් ආරියරත්නට රට දාල යන්න උනේ ඇයි?ප්‍රින්ස් ගුනසේකරට රට දාල යන්න උනේ ඇයි?ආයුද ගත්ත නිසාද?ඔ‍බේ ආදරණීය එජාප රජය කියන්නෙ දේශපාලන රැස්වීමකට ආව සරච්චන්ද්‍ර මහත්තයව මැරයො දාල කුනු කානුවට තල්ලු කරල පයින් ගහපු ආන්ඩුවක්.ලබුදුවේ සිරිධම්ම හාමුදුරුවො ආන්ඩුවට විරුද්ධව වචනයක් කිව්ව කියල ගැ‍ටඹේ ඓතිහාසික පන්සල වටේ කටු කම්බි ගස්සපු ආන්ඩුවක්.කැරලි ඇති වෙන්නෙ එහෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්ධනකාරී පරිසරයක් පාලකයො හදපු හින්ද.ඒ සමාජ විද්‍යාත්මක ඇත්ත තේරුම් ගන්න.සාමකාමීව ඉන්න මිනිහෙක් බිත්තියට හේත්තු කරල ඔහුට පහර දෙනව.ඔහු නිකම්ම මැරෙන්නෙ නැතිව නැවත පහර දෙන්න තිරනය කරනවා.එහෙම නැවත පහර දුන්න ගමන් "මූ ත්‍රස්තවාදියෙක්" කියල ලේබල් කරල මිනිහව චප්ප කරල දානව.ඔබේ ආදරනීය එජාප රජය එදා කලේ ඒ වගේ වැඩක්.ඇයි මේ ඇත්ත පිලිගන්න මෙච්චර බය?

3.//ජේ.ආර් ගේ 83 තහනම නිසා දෙවෙනි කැරැල්ල ඇතිවුනා කියමුකො , එතකොට පලවෙනි එක ඇතිවුනේ කාගේ මර්ධනයක් තිබිලද? කව්ද වැඩෙ පටන් ගත්තේ ?//

කියමුකො කියන්නෙ මොකද?ඒකද නැද්ද කියල වනන් නැතිව කෙලින් උත්තර දෙන්න.මම හිතන්නෙ මෙතන මාතෘකාව 71 නෙමෙයි නේද?71 අතිධාවනකාරී විදිහට වැඩ කලා කියල පිලිගත්තු නිසානෙ 77 ට පස්සෙ ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට එන්නෙ.මම අභියෝග කරනවා 77-83 කාලය තුල ජවිපෙ සන්නද්ධ දේශපාලනයට සම්බන්ද උනා කියන එක ගැන එක සාක්ෂියක් ඔවු එක සාක්ෂියක් උපුටන්න කියල!මේ ගැන ලියපු ‍ඕනෙ තරම් අය ඉන්නව.උපුටලා පෙන්නන්න පුලුවන් නම් එහෙම එක සාක්ෂියක්.මේ රටේ තරුණ පරම්පරාව කැරලි ගහන තැනට පත් කලේ ප්‍රජාතන්ත්‍රවාදයට ඇන ගහපු යූඇන්පී රජය.ඕක තමයි සරලම ඇත්ත.

4.//නමුත් ජවිපේ අදටත් නායකය එදා දේශපාලන මණ්ඩල සභිකයෙක් , වරෙන්තු නිකුත් වුණු පුද්ගලයෙක් , එ නිසා ඒ වගකීම එහෙමම තියනව.//

වගකීමක් ඇතිව කතා කරමු නේද?කොයි පොලිසියෙන්ද වරෙන්තු නිකුත් වෙලා තියෙන්නෙ?ඇයි එහෙම නං අත්අඩංගුවට නොගන්නෙ?බටලන්ද රනිල් ගැන කටකතාවක් විතරද?සනීපයි නේද?අනිත් ඇමතිවරු පුද්ගලික මැර කන්ඩායම් හදාගෙන වධකාගාර දාගෙන මිනීමරද්දි රනිල් මහත්තයා ලිබරල්වාදය ගැන කියව කියව චූවින්ගම් කකා හිටිය නේද?රනිල් වික්‍රමසිංහ සහ කුප්‍රකට පාතාල ලෝක මැරයෙක් උන ( පස්සෙ ජවිපෙ විසින් ඝාතනය කල ) ගෝනවල සුනිල් අතර සම්බන්ධය ගැන මොකද කියන්නෙ?මූලාශ්‍රය සදහා බලන්න රාජන් හූල්ගේ පොත.රනිල් ගැන ඔයාගෙ සිගිති ෆැන්ටසිය ගැන මට කරන්න දෙයක් නැහැ.ෆැන්ටසි හැබැයි හිතන තරම් සුන්දර නැහැ.

- රනිල්ගේ කෝකියා

Anonymous said...

@ කන්ඩුල

//කාළකන්නි හැත්තක් බන් උඹලා,
//

ආතල් කැඩුනම අමාරුයි නේද මහත්තයා?මම බොහොම ශිෂ්ට සම්පන්නව කතා කරද්දි අනිත් පැත්තට "උඹ" කියවෙන්නේ ඒ නිසානෙ.කමක් නැහැ අපිට ඔය මානසික තත්වය තේරුම් ගන්න අමාරු නැහැ.

කරුනු වලට.

1.71 ගැන උත්තරය මම බුවාට දීල ඇති.ඒ නිසා රිපීට් කරන්නෙ නැහැ.88 ගැන අහද්දි 71 ට යන්නෙ මොකෝ කියන එක තමයි මට තියෙන ප්‍රශ්නය.පිටිය මෙතන නම් මෙතන සෙල්ලම් කරමු.හිරේ ගිය විජේවීර නිදහස් කල එක ගැනත් වැඩිය කතාකරන්න දෙයක් නැත්තේ ඒකත් මේ මාතෘකාවට අදාල නැති නිසා.හැබැයි දැනගන්නම් කියනව නං ජේආර් විජේවීර සිරිමාට ගහයි කියලයි හිතුවෙ.ඒත් වැඩේ වර්චස් විගෙන එනව කියල තේරුනාට පස්සෙ තමයි අයුක්තිසහගත විදිහට පක්ෂය තහනම් කලේ.ඒක අවුට් ඔෆ් ටොපික්.

දැන් ඔයාගේ කරුණු වල හරයට එමු.ඔබ ඉතාම කැත බොරුවක් වංචාවක් මෙතන කරනවා.

//වෙන කරන්න දෙයක් නැතුව, 83දී ජේ.ආර් නාකියාගේ මර්ධනයට මුහුණ දෙන්න "යටි බිම් ගත වුනු" ජවිපෙ, ඊට කලින්, ඒ කියන්නේ 82 ජනාධිපතිවරනෙ කාලෙවත් ආයුධ අතට ගන්න හීනෙකින් වත් හිතාලා නොතිබුනු ජවිපෙ, 83 ඉඳන් 87 වෙනකොට, ඒ කියන්නේ අවුරුදු 4ක් ඇතුලත, මුලු රටම වෙලාගත් බිහිසුනු ත්‍රස්තවාදයකට ගියේ කොහොමද?//

//අනේ බොල, තොපි ආයුධ අතට අරගෙන 71 සෙල්ලමක් ආයෙ දාන්න 83 ජාතිවාදී කෝලාහාලය දඩමීමා කරගෙන ප්ලෑන් කරලා ඒක එලිවෙලා වැඩේ ගැස්සුනාම කැලෑ පැනලා, මිනී මරමරා ඉඳලා දැන් එනවා අපිට අහිංසක ගමේ කොල්ලන්ගේ දේසපාලනේ ගැන කියන්න.
//

ජවිපෙ 83 ට පෙර සිට සන්නද්ධ වී සිටියා,කලු ජූලිය හරහා කලබල ඇතිකරන්න සූදානනමින් සිටියා කියන තක්කඩි බොරුව ඔයා කියනව.ඔබතුමා උගතෙක් කියල මම හිතනවා.ඒ නිසා මේ අභියෝගය භාරගන්න.ජවිපෙ 83 ට පෙර සන්නද්ධ වී සිටි බව හෙලිකරන එක සාක්ෂියක් මට පෙන්වන්න්.නැතිනම් වහාම ඔය ප්‍රකාශය ඉල්ලා අස් කරගන්න.මේ ගැන ලියපු දැඩි ජවිපෙ විරුද්ධකාරයෙක් වන සිඒ චන්ද්‍රප්‍රේමගේ පොත කියවලා තියෙනවද?උන්නැහෙ පවා කියන එක තමයි 83 වෙන තුරු සන්නද්ධ දේශපාලනයට ජවිපෙ යොමු වූ බවට කිසිදු සාක්ෂියක් නැති බව.රොහාන් ගුනරත්න ප්‍රින්ස් ගුණසේකර මේ ගැන ලියල තියෙන විශේෂඥයො.මේ අයගේ පොදු නිරීක්ෂණයත් ඒකයි.ඒත් කන්ඩුල අලුත් සොයාගැනීමක් කරලා!පුලුවන් නම් ඔබ කියන දේ ඔප්පු කරන්න.නැතිනම් නිහතමානීව මහත්මයෙක් වගේ තමුන් බොරුවක් කිව්ව කියල පිලිගන්න.ඔච්චර අන්තගාමී වෙන්න එපා බොස්.මම ජවිපෙට සපෝට් කල කෙනෙක් තමයි.88 කාලෙ ජවිපෙ අතින් සිමාන්තික වැඩ උනා කියල පිලිගන්න හැබැයි මම මැලිවෙන්නෙ නැහැ.නමුත් සිවිල් යුද්ධයකට රට තල්ලු කරලා දැම්මෙ එජාප පාලකයො කියන ඇත්ත - මධ්‍යස්ථ හැමෝම එකහෙලා පිලිගන්න සරල ඇත්ත පිලිගන්න ඔයා ලෑස්ති නැහැ.කලු ජූලිය ගැන ලිව්ව නිසා අවශ්‍ය නම් කලු ජූලිය කාගේ නිර්මාණයක්ද කියන එක ගැන පිටු ගනන් ලියන්න පුලුවන්.රාජන් හූල් සාක්ෂි එක්ක පෙන්නන්නවා කොහොමද කලු ජූලිය ආන්ඩුවේ ඇමැතිවරු විසින් සංවිධානාත්මකව මෙහෙයවූවේ කියල.තමුන් කලු ජූලියේ දෙමල අය කැති ගාලා ඒකට මුවාවෙලා එවකට තමුන්ට අබියෝග කරමින් තිබූ නැගී එන විපක්ෂ බලවේගය තහනම් කරපු එක අමු තක්කඩිකමක්.ඒක එහෙමයි කියල පිලි නොගන්න තරමට කුහක වෙන්න එපා.

//උඹලාත් මිනී මැරුවා, ශ්‍රී ලංකාකාරයෝත් මිනි මැරුවා, යූ ඇන්පී කාරයෝත් මිනී මැරුවා...

අර උඹලාම කිය විධියට, උනුත් එකයි, මුනුත් එකයි, ජෙප්පන් වන අපිත් එකයි, නේද බන්..........ඔක්කෝම මිනී මරුවෝ..//

මේක එක අතකින් ඇත්ත.මේ කවුරු කවුරුත් යුද්ධ වලට පැටලුනා.මිනීමැරුවා.මට තියෙන ප්‍රශ්නය මේකයි.මේකෙන් ජවිපෙ අතීතය විතරක් මිනීමරු වෙලා අනිත් අය ශුද්ධෝදනලා උනේ කොහොමද කියන එක.දැන් ඔයා එජාපය ගැන ලියනකොට මම දැකල නැහැනෙ කවදාවත් කියනව "මිනීමරු එජාපය" කියල.හැබැයි මිනීමරු ජවිපෙය කියල ලියනව.මම අහන සරල ප්‍රශ්නය මේකයි.මේ දෙබිඩිකමට හේතුව මොකක්ද?

- රනිල්ගේ කෝකියා

රංචාගොඩ මුදියන්සේ said...

@ කන්ඩුල

//කාළකන්නි හැත්තක් බන් උඹලා,
//

ආතල් කැඩුනම අමාරුයි නේද මහත්තයා?මම බොහොම ශිෂ්ට සම්පන්නව කතා කරද්දි අනිත් පැත්තට "උඹ" කියවෙන්නේ ඒ නිසානෙ.කමක් නැහැ අපිට ඔය මානසික තත්වය තේරුම් ගන්න අමාරු නැහැ.

--------------------

උඹලා....කියනවාත් සමගම ///මචන්/// කියා කල ආමන්ත්‍රණ උවමානාවෙන්ම අමතක කලාද, නැත්නම් එච්චර දුරට කියෙව්වේ නැද්ද?

ආතල් කැඩෙන්න මෙතන ආතල් ගන්න දෙයක් තිබුණද මනුස්සයෝ?

අපි කතාකරන්නේ ජවිපෙ බෙදීම හා එයින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට වෙන හානියත්, ජවිපෙ නැවතත් සන්නද්ධ දේශපාලනයට යොමුවෙනවානම් එයින් වෙන වෙනාශයත්නේ...

ජවිපෙ මේ රටේ මහජන දේපොල විනාශ කරපු එක, මිනිසුන් බල්ලන්ටත් අන්ත ලෙස මරාදමපු බවත් ඇත්තනේ,

එජාපෙ මිනීමරු එක කිසිකෙනෙක් හන්ගන්න යන්නෙත් නෑනෙ..

අවසාන වශයෙන්...

මගේ මානසිකත්වය ගැන කරදර වෙන්න එපා.......ජවිපෙ ඉන්නා කුහක ඊරිසියාකාර වෛරෙයෙන් පිරුණු ඇත්තන්ගේ මානසිකත්වය දැන් පත්තර පිටු පුරාවට දෝරේ යනවනේ..

අන්න ඒක ගැන මොනවාහරි කරන්න...

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

එජාපයේ වැරදි ගැන මම කමෙන්ටුවේ සඳහන් කරල තියනව , එක එක සිද්දි අර්න් කියන්න අවශ්‍ය නැ , එජාපය මර්ධනය දියත් කරපු විදිහ කිසිම කෙනෙක් අනුමත කරන්නෙ නැ කියන එක පැහැදිලියි , ඔබතුමා ජවිපෙන් සිදුවුනු වැරදි පිලිගැනීම ගැන සතුටුයි

ඔබතුමා ඉතිහාසය ගොඩනගන්න හදන්නෙ පොත් දෙකතුනක් මත ඉඳන් . පොතක් කියන්නෙ අදාල ලේඛකයාගේ විව් පොයින්ට් එක . කෝ කොයි පොතේද තියෙන්නෙ කියල ඇහුවට වැඩක් නැ , පොත් වල නැති සත්‍යය ඕනි තරම් තියනවා . අනික මෙතන 71 /83 කථාවක් නැ , කථාව ජවිපේ මිනිමරු කම . 83දි ජේ ආර් මර්ධනය කලේ අහිංසක බබා පාට් සංවිධානයක් නෙවෙයි කැරලි කාර අතීතයක් තියන සංවිධානයක් . ඔය පොත් ලිව්ව මහත්තුරු නොදැක්කාට ඒ සඳහා බලපාපු සාධාරන හේතුවක් ජේ ආර් තියෙන්න ඇති . ඒක කොයි පොතකවත් නැය කිව්වට සත්‍ය වෙන්නේ නැ . පොතකින් රෙෆරන්ස් දාන කොට ඒක ඒ පොත ලියාපු කෙනාගේ මතවාදය විදිහට සටහන් කරන බව දන්නවා ඇතිනේ . එහෙම දාන්නේ පොත්වල තියන දේවල් වලින් විතරක් සත්‍ය ඔප්පු කරන්න බැරි නිසා .හරියට හෙතු විග්‍රහ කරන්න ඕනි නම් ඒ ගැන කරපු මධ්‍යස්ථ රිසච් එකක් තියෙන්න ඕනි . එහෙම එකක් නැ මම දන්න තරමින් . ඒ නිසා අපිට කථා කරන්න පුලුවන් වෙන්නෙ එලිපිට සිදුවුනු දේවල් විතරයි , ඒ දේවල් වලින් එජාපයේ සිදුවුනු දේවල් වැරදියි කියල මම පිලි අරන් තියනවා ඔබතුමා ජවිපේ කොටස වැරදියි කියල පිලිඅරන් තියනව

නමුත් එක දෙයක් සියල්ලම මැරුවේ කැරලි කාරයින් නොවුනත් රජය මර්ධනය් ආර්ම්භ කලේ කැරලි කරුවන්ට එරෙහිව කියන කාරණයේදී ලෝකේ ඕනිම රජයකට තියන අයිතිය සහ මුලින්ම අමතක කරන්න බැ

වරෙන්තු කථාවට රිදුනා නේ , බොහොම හොඳයි ඒක දැම්මෙත් ඒකටම තමයි . සෝමවංශට වරෙන්තුවක් තිබුනා හෝ නැතා හෝ තමන්ගේ ඥාතියාගේ මාර්ගයෙන් රටින් පිටවුනා , රජය වෙනස් වුනත් අවුරුදු ගානකින් ආවෙත් නැ , ඇයි දැන් අල්ලන්නෙ නැත්තේ කියල නම් මම දන්නෙ නැ , හැබැයි නීතිය හරියට ක්‍රියාත්මක වන රටක නම් සෝමවංශ රටට ආපු ගමන් අල්ලනව මොක්ද නිල වශයෙන් අවි ආයුධ අත් නොහැරපු කැරැල්ලක හිටපු නායකයෙක් නිසා , මෙහෙ එහෙම වුනේ නැත්තේ ඇයි කියල තේරෙන්ව ඇති නේ සෝමවංශ ලංකාවට ආපු අවස්ථාව ගැන ම්තක් කරගත්තාම

සෝමවංශට වරෙන්තු නිකුත් කලේ කොයි පොලිසියද කියල බොහොම පැහැදිලි වලංගු සාක්ෂියක් ඉල්ලන ඔබතුමා මට දෙන්නෙ අර පොතක් හෙවත් වෙනකෙනෙක්ගෙ වීව් පොඉන්ට් එකක් , ඒ වැඩෙ චාටර් මහත්තයෝ මොකද බටලන්ද ගැන ලංකාවේ නඩුවක් තිබුනා , ඒ නඩුව තිබුනේ රනිල්ට විරුද්ධ දේශපාලන බලවේගය රට කරවත්දි , හැබැයි නඩුවෙන් රනිල් නිදහස් වුනා . උසාවියකින් නිවැරදි කරුවෙක් උනාට පස්සෙ කරන චෝදනා කට කථා විතරයි ,
රනිල්ගේ සාමුහික වගකීම ගැන මම කලින් කථා කරල තියෙයි , අමුතුවෙන් මතක් කරන්න ඕනි නැ .

රනිල් අවුරුදු 2ක් රට කලා හැබැයි එල්ටිටිය වෙනුවෙන් වත් මර්ධනයකට ගියේ නැ , හැබැයි ඔබතුමාලගෙ පක්ෂෙන් තාමත් අර ජරාගති එලියට ඒන එක එලිපිටම පේන්න තියනව , අනික් පක්ෂ දෙකේ කචල් වල නැති කුලල් කා ගැනීම් දකින කොට අපිට නම් මතක් වෙන්නෙ අර පරණ කාලෙම තමයි .