Thursday, September 8, 2011

ඉන්දියාව සාම්පූර් ගල්-අඟුරු බලාගාරයට ආධාර කරන්නේ ශ්‍රී ලංකාව තුල චීන බල ව්‍යාප්තිය අඩුකිරීමේ උපක්‍රමයක් ලෙසයි... - ඉන්දියානු ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස් පුවත්පත.



නව දිල්ලිය, සැප්තැම්බර් 6: ඉන්දියාවේ විශාලතම විදුලි නිශ්පාදන සමාගම වන NTPC ආයතනය ශ්‍රී ලංකාවේ විදුලිබල මණ්ඩලය (CEB) සමග ඒකාබද්ධව මෙගාවොට් 500ක බලාගාරයක් ඉදිකිරීමට ගිවිසුමක් පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් 6) කොළඹදී අත්සන් කරන ලදී. ඉන්දියානු රජය මෙම ගිවිසුම අත්සන්කරන ලද්දේ කලාපය තුල විශාල වශයෙන් ඉහල යමින් පවතින චීන බලපෑම් අවම කිරීම සඳහා ඉන්දියාව සමග සහයෝගය වැඩිකරගැනීමේ උපක්‍රමයක් වශයෙනි.

ව්‍යාපෘතියේ පිරිවැය ඩොලර් මිලියන 500ක් පමණ වන බව NTPC ආයතනයේ සභාපති හා කළමණාකාර අධ්‍යක්ශක අරුප් රෝයි චවුද්‍රී ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියේය. යෝජිත බලාගාරය ත්‍රිකුණාමලයේ සාම්පූර් ප්‍රදේශයේ ඉදිකෙරන අතර 2016දී ඉදිකිරීම් කටයුතු අවසන කිරීමට නියමිතය. මෙම බලාගාරය ආනයනික ගල්-අඟුරු වලින් බල ගැන්වීමට නියමිත අතර නිපැදවෙන බල ශක්තිය ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට විකිණීමට බලාපොරොත්තුවේ.

50-50 අනුපාතයට NTPC ආයතනය හා ශ්‍රී ලංකා විදුලිබලමණ්ඩළය ආයෝජනය කරනු ලබන මෙම ව්‍යාපෘතිය සඳහා වෙනම හවුල් ව්‍යාපාරික ගිවිසුම් ආයතනයක් (Joint Venture Company - JV) ශ්‍රී ලංකාව තුල ස්ථාපනය කරන අතර මෙම ආයතනය ස්ථාපිත කිරීමෙන් අනතුරුව ව්‍යාපෘතියට අදාල අනෙකුත් ගිවිසුම්, එනම් ශ්‍රී ලංකා විදුලි බළමණ්ඩලය බලශක්තිය විකිණීම පිලිබඳ ගිවිසුම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම හා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාල ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.

ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය භූමිය ශ්‍රී ලංකා රජය මගින් දීර්ඝකාලීන කල්බදු ගිවිසුමක් යටතේ ලබාදීමට නියමිතය. 

මෑතකදී ක්‍රියාත්මක වෙන උපක්‍රමීය වැඩපිලිවෙලකට අනුව ඉන්දියානු රජය බංගලිදේශය, නේපාලය, භූතානය හා ශ්‍රී ලංකාව වැනි රටවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති වලට ආයෝජනය කිරීම ආරම්භ කොට ඇති අතර, මෙහි අරමුණ වන්නේ කලාපීය රටවල ඉන්දියානු කේවල් කිරීමේ හැකියාව වැඩි දියුණු කරගනිමින් චීනය මේ රටවල් තුල ව්‍යාප්තකරගෙන යන බලය අවම කරගැනීමයි.

No comments: