Saturday, July 23, 2011

කාල්ටන් පැරසයිට් නෙට්වර්ක් [Carlton Parasite Network]

කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් නමින් රූපවාහිනී ජාලයක් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මකවෙයි. දැනට වැඩි සද්දබද්දයක් නැතුව ක්‍රියාත්මක වෙන මෙම ජාලය නුදුරු අනාගතයේම "වැඩ අල්ලන" බවට සාක්කි ඕනෑ තරම් මතුවෙමින් තිබේ. මෙම ජාලය අයිතිවන්නේ මීට වසර කිහිපයකට පෙර මහා සංදර්ශණයක් පවත්වා ජනාධිපතිවරයා විසින් රට බේරාගැනීමේ මෙහෙවරට නාවික හමුදාවට භාර දුන්, යුද්ධය ධරුණුව ඇවිලෙමින් තිබෙන කාලයේ අති-දුශ්කර,කඨෝර එංගලන්තයේ ශීතලේ ගැහෙමින් යුධ ශිල්පය හැදෑරූ යෝශිත කුමරාට බව විකල්ප මාධ්‍ය හා වෙබ් අඩවි වාර්තාකරයි. මෙහි සත්‍ය අසත්‍යතාවය තවමත් තහවුරුවී නැත. එහෙත් චෝදනාවලට කිසිදු අභියෝගයක් කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් අයිතිකරුවන් ගෙන් ඉදිරිපත්වී නොමැති නිසා එම වාර්තා සත්‍ය බවට අනුමාන කලහැකිය.

මෙම වෙබ් අඩවි වාර්තා සත්‍යනම් කුමරා හදාරා තිබෙන්නේ යුධ ශිල්පය නොව ටැලිවිශන් ශිල්පයයි. නැතිනම් එන්ගලන්තයේ සිට ගොඩබැස්ස ප්ලේන් එකේ එන්ජින්වල රස්නෙ නිමෙන්නටත් කලින් යෝශිත සුහුඹුලාට ටීවී චැනල් එකක්  පවත්වාගෙන අරම්භකර පවත්වාගෙන යන්නට දැනුමක් කොයින්ද? සමහරවිට කුමරා එන්ගලන්තයේම තිබෙන චැනල් 4 නාලිකාවේ සීමාවාසිකය (internship) කලාදැයි මට නිකමට සිතෙන්නේ මා දේශද්‍රෝහියෙකු නිසාම වන්නට ඇත. දේශප්‍රේමින්හට කිසිදිනක මෙවැනි දේවාපහාස (blasphemy) සිතුවිලි එන්නේ නැතිය.

යෝශිත රාජපක්ශ පමණක් නොව රාජපක්ශ පවුලේ ඕනෑම කෙනෙක් ඕනෑම ආකාරයක ව්‍යාපාරක් පවත්වාගෙන ගියාට අපට අමාරුවක් නැත. පාලකයාගේ පුතා, නෑයා වූ පමණින් පුද්ගලයෙකුට ව්‍යාපාර කරගෙන යන්නට කිසිදු බාදාවක් නැතුවා මෙන්ම තිබිය යුතුද නැත. එහෙත් ගැටලුව වන්නේ රාජපක්ශලා ව්‍යාපාර කිරීම නොව ඒවා කරන ආකාරයයි. ඊයේ පෙරේදා පලවුනු අලුත්ම වාර්තාවලට අනුව කාල්ටන් නෙට්වර්ක් එක දුවන්නේ මුලුමනින්ම ස්වාධීන රූපවාහිනියේ තාක්ශණික සම්පත් භාවිතාකරමිනි. 

එනම් කාල්ටන් නෙට්වර්ක් යනු කිසිදු ප්‍රාග්ධන වියදමක් (capital expenditure) නැති, අයභාර වියදමක් (revenue expenditure) නැති ව්‍යාපාරයකි. රූපවාහිණී නාලිකාවක් ආරම්භ කරන්නට වුවමනා ප්‍රාග්ධන වියදම් ගණනය කෙරෙන්නේ  බිලියන ගණනිනි. තාක්ශණික උපකරණ, විකාශන කුළුණු මෙන්ම ඊටත් වඩා වටිනා මෙන්ම දුර්ලභ රූපවාහිනී විකාශ තරංග මාලා ලබාගැනීම සඳහා වියදම් කලයුතු මුදල් ප්‍රමාණ සුලුපටු නැත. උපකරණ තිබූ පමණින්ම වැඩේ ආරම්භ කල නොහැක. ඒ සඳහා දක්ශ තාක්ශන ශිල්පීන් සියගණනකගේ සේවය අවශ්‍යය, නාලිකාව වෙත ප්‍රේක්ශකයින් අද්දවාගැනීමට දක්ශ නිර්මාණ ශීලී කලාශිල්පීන් අවශ්‍යය. ලංකාවේ අධ්‍යාපනය මෙවැනි පුද්ගලයින් නිර්මානය නොකරණ නිසා ඔවුන් වෙනත් නාලිකාවලින් වැඩිපඩියට, වැඩි පහසුකම්වලට දඩයම්කරගත යුතුය. මේවාට උවමණාකරන මුදල් කන්දරාව කොතරම්ද? එතරම් මුදල් වියදම් කර ආයතනය ආරම්භකරගත්තත් එයින් වියදම් පියවාගෙන ලාබ ලබන්නට වසර කීයක් බලාසිටිය යුතුද? බලුබැණුම් අසන සිරස මුදලාලිත්, මළමිණී විකුනන ස්වර්ණවාහිණීකාරයාත්, බකපණ්ඩිත කතාකෙලිමින් අමු අමුවේ සිරස කොපි කරන දෙරණ කොපි-කැට් කාරයාත් සිය ව්‍යාපාර කරගෙන යන්නේ බිලියන ගණන් ධනය මේ ව්‍යාපාර සඳහා යටකරමිනි. මළමිණී පෙන්වමින් හඬාවැටීහෝ ප්‍රේක්ශකයින් අද්දවාගෙන දැන්වීම් වැඩිකරගන්නට මෙම රූපවාහිණී මුදලාලිලා වලිකන්නේ එබැවිනි.

එහෙත් කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් එකට එවැනි ගැටලු නැත. උපකරණ, විකාශන කුළුණු, තාක්ශණික ශිල්පීන් නොමිලේ ලැබී තිබේ. එපමණක් නොවේ ප්‍රේක්ශකයන් මිලියන ගණනින් ඇදබැඳ තබාගත හැකි වැඩසටහන් ලබාගත හැකි ක්‍රමයක්ද දේශප්‍රේමී සලුපටවලට මුවාවී සැළසුම්කොට ඇතිබව වාර්තාවේ. පැය විසිහතරේ ක්‍රීඩා නාලිකාවක් දුවවන්නට තරම් ලංකාවේ කෙරෙන ක්‍රීඩාවක් නැත. හරියට ගහන්නේ ක්‍රිකට් විතරය අනිත් ක්‍රීඩා ගැන කියලා වැඩක්ම නැත. පැය විසිහතරම දිවෙන Star Sports, ESPN වැනි නාලිකා ලොවපුරා පැවැත්වෙන විවිධ ක්‍රීඩා තරඟවල විකාශණ අයිතීන් ලබාගෙන ඇත. මේ විකාශණ අයිතීන් සඳහා ගිවිසුම් ගැසෙන්නේද බිලියන ගණන් වලටය. රාජකුමාරයෙකුගේ බවට පැවසුනත් කාල්ටන් නෙට්වර්ක් එකට එවැනි හපන්කම් කල නොහැකි නිසා නොමිලේම වැඩසටහන් ලබාගත හැකි ක්‍රමවේදයක් හොර රහසේ සකස්වෙමින්  පවතින බවට සැක පහලවී ඇත.

 මෙහි පලමු පියවර වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන තරඟවල විකාශණ අයිතිය රජයේ නාලිකාවලට පමණක් ලබාදීමේ තීරණයයි. බැලූබැල්මට මෙය ඉතා සාධාරණ තීරණයකි. එක් අතකින් ලංකාවේ සෑම පෙදෙසකටම එකලෙස ග්‍රහණය කරගත හැක්කේ ජාතික රූපවාහිණිය හා අයි.ටී.එන් නාලිකා පමණි. මෙරට බොහෝ දුරබැහැර ප්‍රදේශවල ජනතාව බලන්නේ (පෙනෙන්නේ එපමණකි) මෙම රූපවාහිණී නාලිකා දෙක පමණකි. ඒ අනුව ජාතික ක්‍රිකට් කොමිටිය සංවිධානය කරන හෝ ජාතික කණ්ඩායම සහභාගීවන  තරඟ මුලු රටටම බලන්නට සැලැස්වීම මෙම තීරණයේ තාර්කික අරමුණ බව පෙන්විය හැකිය. අනෙක් අතට මහජන මුදලින් නඩත්තුවන මෙම නාලිකාවලට මුදල් උපයාගෙන මහජන මුදලින් යැපෙන්නේ නැතුව සිටිමේ ක්‍රමයක් සෑකසෙන්නේ නම් එය ප්‍රශංසනීයය.

එහෙත් රජයේ නාලිකා වලට වුවද මෙම විකාශණ අයිතීන් ලැබෙන්නේ නොමිලයේ නොව මිලියන ගණනින් මුදල් ගෙවා ගිවිසුම් අත්සන්කල කල පසුවය. ඒ නිසා රජයේ නාලිකා මෙම විකාශණ අයිතීන් සඳහා අතිවිශාල පිරිවැයක් දරයි. මෙම පිරිවැය ආවරණය කරගත යුත්තේ ක්‍රීඩා තරඟය අතරතුර විකාශණය කරණ වෙලඳ දැන්වීම මගිණි.

කාල්ටන් ජාලයේ ව‍යාපාරික මොඩලය (business model) පිලිබඳව සැක මතුවෙන්නේ මේ අවස්ථාවේදීය. ස්වාධීන රූපවාහිණියේ සම්පත් භාවිතාකරමින් විකාශණ කටයුතු කරණබැවින්, එය ස්වාධීන රූපවාහිණියට අයත් නාලිකාවක් බව ඉතා ලෙහෙසියෙන් ප්‍රචාරය කල හැකිය. ඒ අනුව ස්වාධීන රූපවාහිණිය මුදල් ගෙවා ලබාගන්නා ක්‍රිකට් තරඟ කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් නාලිකාව තුලින් විකාශණය කිරීමත්, ඒ සඳහා කාල්ටන් නාළිකාව මගින් අනුග්‍රහක දැන්වීම ලබාගැනීමත් ඕනෑම දෙයක් පිලිගන්නා ශ්‍රී ලාංකේය ජනතාවට පහසුවෙන් සාධාරණීකරණය කල හැකිය. ඒ අනුව කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනයට කිසිදු වියදමකින් තොරව තාක්ශණික සම්පත් හා පිරිස් සම්පත් ලැබුණාක් මෙන්ම ඉහල ඉල්ලුමක් ඇති වැඩසටහන් නොමිලයේම ලබාගැනීමේ ක්‍රමවේදයක් සැකසිය හැකිය. නොමිලයේ ලැබෙන තරඟ සඳහා වෙලඳ දැන්වීම් වල ආදායමින් කොටසක් කාල්ටන් අයිතිකරුවනට ලැබුනත් ඔවුන් ගොඩේ ගොඩය. ඒ වියදම්ක් නැති ආදායමක් යනු 100%ක ශුද්ධ ලාභයක් බැවිනි.

මෙය උපකළ්පණයක් පමණක් වන අතර මේ උපකළ්පණය සත්‍ය නම් වියදම සියලු සම්පත් සපයන අයිටීඑන් එකට වන අතර ලාභය කාල්ටන් ජාලය හට හිමිවනු ඇත.

මෙවැනි "ව්‍යාපාරික සබඳතා" සත්ව ලෝකයේද පවතී. ඒවා පරපෝශිත-ධාරක (parasite-host) සබඳතා ලෙස හඳුන්වයි. පරපෝශිතයාට කිසිදු වියදමක් නැත. ඌ ධාරකයාගේ සාරය උරාබීගෙන යැපෙයි. ධාරකයාට හිමිවිය යුතු සම්පත්වලින් වැඩිකොටසක් පරපෝශිතයා ඩැහැගනියි. ධාරකයාට මේ සම්බන්ධයෙන් කලහැකි දේ අල්පය. ධාරකයාට ගැලවීමක් නැත. ධාරකයා සෙමෙන් දුර්වලවන අතර පරපෝශිතයා කෙමෙන් ශක්තිමත් වෙයි. අයිටීඑන් එකටද සිය පරපෝශිතයාගෙන් ගැලවෙන්නට වාසනාවක් ලැබේවිද? සමහරවිට මිහින් ලංකාව මෙන් කාල්ටන් නෙට්වර්ක්  එකද නොමිලේ සියල්ල ලැබුනාවුවත් පාඩු ලබන්නට ගතහොත් සේ සියලු පාඩු අවෂෝශණය කරගෙන නිදහස්වීමේ වාසනාව ITNට හිමිවෙනු ඇත.

7 comments:

Anonymous said...

සියලු පාඩු අවශෝෂනය කරගෙන නිදහස් වීමේ වාසනාව වාගේම,පාඩුව පියවාගැනීමට ITN එක කාල්ටන් එකට විකිනීමේ වාසනාවත් ලැබීමට බැරි නැත.ITN එකේ ලොක්කොත් ඉතින් යකඩත් කන්න පුලුවන් උදවියනෙ.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මට නම් හිතෙන්නේ කාල්ටන් ස්පෝර්ට් පටන් ගැනීම විතරයි , ඔය ක්‍රමයෙන් ආදායම් ලබා ගත්තට පස්සෙ කාල්ටන් චැනල් ජාලයක්ම බලා ගන්න ලැබෙයි

Anonymous said...

එල එල කවුරු කරත් හොඳ වැඩක් !!

Anonymous said...

මුන්ව ඉක්මනටම ගෙදර යැව්වෙ නැත්නම් තව ටික කාලෙකින් මුලු ලන්කාවටම පාඩුව අවෂෝෂනය කරගන්න වෙයි.

ජයශ්‍රී said...

අපි පාසල් යන කාලේ කියවපු හතරරියන් හා දෙරියන් හරකා බෙදාගත්ත කතාවත් මීට ටිකක් සමානයි නේද?

Anonymous said...

ලිපිය ලිවීමට තිබු දිරිය වෙනුවෙන් ඉස්තුති කරමි.

Anonymous said...

you dnt know how much we like your osts. Please write more and more. You have very realistic thoughts that most of us are overseing.