Wednesday, July 6, 2011

කුණු ජරාව නැති පැට්රෝල් තෙල් ටිකක් ගෙන්නවාගන්න බැරුව, වැස්ස අඩුවෙනකොට විදුලිය දීගන්න බැරුව මැලේසියාව ගිය පාරේ ආස්චර්ය සොයා යෑම....

"බාල පෙට්‍රොල් තොගයට මුදල් ගෙවීම අත්හිටුවයි...!" ප්‍රේමජයන්ත තෙල් කරුමාන්ත ඇමතිගෙන් නියෝග!

"ටෙන්ඩරය බාරදීමේ සිට බෙදාහැරීම දක්වා  සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් අමාත්‍යාංශ ලේකම්ගේ ප්‍රදානත්වයෙන්..." ඒකත් ඇමැතිතුමාගේ නියෝගයෙනි.

මේ ප්‍රවෘත්ති අද (ජූලි 5) සිංහල පුවත්පත්වල අන්තර්ජාල සංස්කරණවල මුල් පිටුවල ඇත. ඊයේ හවස ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථා ප්‍රවෘත්ති ප්‍රකාශයට අන්තර්ජාලය ඔස්සේ සවන්දුන් ලේඛකයාට මේ සුසිල් ප්‍රේමජයන්තම සිය ශ්‍රි මුඛයෙන් මෙහෙම පිටකරනු ඇසුනි;

"මේ පෙට්‍රල් වල වරදක් නෙමෙයි....මේ තෙල් තොගය බෙදාහරින විට ඇතැම් පිරවුම් හල්වල ඉන්ධන ටැංකි පතුලටම හිඳිලා තිබිලා...ඉතින් මණ්ඩි ඇවිස්සිලා, ඒත් එක්කම වැස්ස නිසා ජලය කාන්දුවෙලා තමයි මේ කුණු හා ජලය මිශ්‍ර පෙට්‍රොල් පාරිභෝගිකයාට ලැබිලා තියෙන්නේ..."

මේ තරමටම වගකීමක් නැතුව ඇට නැති දිව ඒ පැත්තට මේ පැත්තට හරව හරවා අමූලික බොරු දෙසාබාන, එවැනි බොරු ජනතාවට කියවීම ගැනි කිසිදු ලැජ්ජාවක් අපුලක් ගෑවිලාවත් නැති, තම නිළධාරීන් ලියාදෙන ඕනෑම දෙයක් විචාර බුද්ධියකින් තොරව ඔහේ කියවන වගකීමක් නැති මිනිහෙකුට ඛණිජ තෙල් කර්මාණ්තය වගේ ආර්ථිකයේ හදගැස්ම පාලනය කරන අමාත්‍යාංශයක් බාරදුන් නායකත්වයක් පසුගිය ආණ්ඩුවල ආර්ථික ඝාතකයින් ගැන කතාකරන්නේ බොහෝම බැරෑරුම් මූණක් මවාගෙන. සුසිල් ප්‍රේමජයන්ත වගේ ගුණක් අගුණක් නැති පතෝල මිනිසුන් හට ආර්ථිකයේ මර්මස්ථාන බාරදීමත් ආර්ථික ඝාතනයක් බව එතුමාට නොතේරීම ජාතියේ අවාසනාවකි.

ප්‍රේමජයන්තගේ බුද්ධි පරිචයේ ප්‍රමාණය කුණු පෙට්‍රෝල් ගණුදෙනුව පරීක්ශා කරන්නට එතුමා පත්කරපු කොමිටි සාමාජිකයින්ගෙන්ම තේරුම්ගන්න පුලුවන්. කුණු තෙල් ගණුදෙනුවේ වගකීමෙන් වැඩි ප්‍රමාණයක් එල්ලවෙලා තියෙන්නේ අමාත්‍යාංශයේ ලේකම්ට. ප්‍රේමජයන්ත මේ හොර ගණුදෙනුව ගැන පරික්ශාකරන්න දාපු කොමිටියේ සභාපති විදියට පත්කරකලා තියෙනේ හොරකමට චෝදනා එල්ලවෙලා තියෙන ලෙකම්තුමාම තමයි. කුකුළන් අතුරුදහන් වීම පරීක්ශාකිරීමේ කොමිටියේ සභාපති විධියට නරියා පත්කලා වගේ බුද්ධිමත් වැඩක් තමයි ප්‍රේමජයන්ත ඇමතිතුමා කරලා තියෙන්නේ. මේවගේ ඇමතිලා හා එවැනි ඇමතිලා ගැන විස්වාසය තියාගෙන ලොකු ලොකු වගකීම්දෙන නායකතුමන්ලා දැන් මැලේසියාවේ මහතීර් මොහොමඩ්ගේ සූට් එක ඇඳගෙන. ඉස්සර ජේ ආර් හැම වෙලාවෙම කතාකලේ ලංකාව සිංගප්පූරුවක් කොරන්ට. ජේ ආර් වගේම අත්තනෝමතික පාලනයක් ගෙනයන සංවේදී දකුණේ ජේ ආර්, කොළඹ ජේ ආර්ගේ සිංගප්පූරු මොඩල් එකෙන් පොඩ්ඩක් විතර එහාට පැනලා සිංගප්පූරුවේ අල්ලපු වැටේ මැලේසියන් මොඩල් එක අල්ලාගෙන.

ලංකාව වගේ සම්පත් පිරුණු රටකට මැලේසියන් මොඩල් එක සිංගප්පූරු මොඩල් එකට වඩා බොහොම ගැලපෙනවා. හැබැයි මහතීර් මොහමඩ් මහත්තයා නම් ප්‍රේමජයන්තලා වගේ ගොබ්බ ඇමතිලාව සිය ඇමති මණ්ඩලයට පත්කරගත්තේ නෑ. ප්‍රේමජයන්ත මැලේසියාවේ මහතීර්ගේ කැබිනට් එකේ තෙල් ඇමතිවෙලා, බාලතෙල් ගෙනල්ලා පාරිභෝගිකයෝ අමාරුවෙ වැටිලා ඉන්දැද්දී ගොන් ප්‍රකාශ කරමින් වැරැද්දට චෝදනා ලබපු ලේකම් ඒ වැරැද්ද ගැන හොයන කොමිටියේ ලොක්කා කලානම් මහතීර් ප්‍රේමජයන්තගේ ලොකුවට තියෙන පස්චාත්භාගයට පයින්ගහලා එලවනවා.. ඒ මහතීර්ගේ හැටි. මහතීර්ගේ කැබිනට් එකේ වැඩ කාරයෝ මිසක් ගොබ්බයෝ, කුඩුකාරයෝ, කොමිස්කාක්කෝ, ගණන්කාරයෝ, පැන්ශන්කාරයෝ හිටියේ නෑ.

මහතීර් මැලේසියාව හැදුවේ දක්ශ ඇමතිලා වගේම දක්ශ නිළධාරීන් පත්කරලා ඒ මිනිස්සුන්ට නිවැරදි ලෙස නායකත්වය දීලා. ඒත් අපේ සංවේදී අය හිතාගෙන ඉන්නේ මහතීර් මැලේසියාව දියුණුකලේ සුද්දන් එක්ක ෆයිට් කරන ගමන් පාරවල්, වරායවල ගුවන් තොටුපොලවල් හදලා ජාත්‍යන්තර ක්‍රීඩා උත්සව මැලේසියාවට ගෙනල්ලා කියලයි. මහතීර් සුද්දන් එක්ක ෆයිට් කරපු බව ඇත්තයි. මැලේසියාවේ අභ්‍යන්තර කටයුතු වලට හොට දාන්න ආපු කිසිම රටක් එක්ක ගනුදෙනු කරන එක මහතීර් තහනම් කලා. ඒ විතරක් නෙම්යි රටේ හෝ රටේ නායකයින්ගේ ගෞරවයට හානිවෙන ප්‍රකාශයක් කෙරුවත් මහතීර් ඒවාට දැඩි ලෙස ප්‍රතික්‍රියා කලා. 1980 දශකයේ අගභාගයේ මලේසියාවේ දැවැන්ත ජලවිදුලිබලාගාර යෝජනාක්‍රමයක් ඉදිකරන කොන්ත්‍රාත්තුව බ්‍රිතාන්‍ය සමාගමක් විසින් දිනාගත්තා. කොන්ත්‍රාත්තුව අත්සන් කරන්න දින කිහිපයකට කලින්, ලේඛකයාට මතක ආකාරයට එවක හිටපු බ්‍රිතාන්‍ය විදේශ ඇමතිවරයා මැලේසියාව විවේචනය කරමින් යම් ප්‍රකාශයක් කලා. මහතීර් පැය 24ක් ඇතුලත සිය නිළධාරීන්ට නියෝගකලා කිසිදු බ්‍රිතාන්‍ය සමාගමකට මින් ඉදිරියට මැලේසියානු රජයේ කොන්ත්‍රාත්තු නොදිය යුතුයි කියලා. බ්‍රිතාන්‍ය කොම්පැණියට ලැබෙන්න තිබුණු බිලියන ගණනක කොන්ත්‍රාත්තුව ප්‍රංශ සමාගමකට දුන්නා. ඊට පස්සේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ලොක්කෝ මැලේසියාව ගැන කතාකලේ බොහෝම ප්‍රවේසමෙන්, රටේ ගෞරවයට හානියක් නොවෙන විධියට. ඔන්න ඔහමයි මහතීර්ලා මැලේසියාව කෙලින් හිටෙව්වේ. අපේ මහතීර්ගේ ගෝලයෝ බලන්නේ කුට්ටිය කීයද කියලා විතරනේ.

ඒවිතරක් නම් කමක්නෑ.

අපේ මහතීර්ලාගේ ගෝලයෝ දැන් හොරෙන් හොරෙන් ලයිට් කපන්නත් පටන් අරගෙන. මේ දවස්වල වහින්නේ නැතිනිසා විදුලිය දෙන්න අමාරුයිලු. පායන කාලෙ අල්ලලා නොරොච්චෝලේ ගලඟුරු බලාගාරේ ලෙඩක් ඇවිල්ලාලු (දුරදිග බලලා අති නවීන තාක්ශණය ගෙනාපු නිසා සමහරවිට මැශින් රෙපයාර් කරන්න ස්පෙයාර්-පාට්ස් නැතුව ඇති..මැශින් විකණුපු කොම්පැණිය වත් තියෙනවාද දන්නේ නෑ...). එතනින් මෙගාවොට් 300ක් අහිමියි. කෙරවලපිටිය බලාගාරෙට ඕනෙ කරන තෙල් නැති නිසා තවත් මෙගාවොට් 300ක් අහිමියිලු. ඉතින් කොහොමෙයි රටටම අඛණ්ඩව පැය 24පුරා විදුලිය දෙන්නේ? තවටික දවසකින්  හෙල උරුමේ ඇමැට්ටා හා ගිහි පැවිදි ගෝලයෝ කියන්න ගනියි වැඩිපුර ලයිට් දාගෙන ඉන්න මිනිස්සු, පායන කාලේ රස්නය ඉවසන්න බැරුව ෆෑන්, ඒ.සී දාගෙන ඉන්න මිනිස්සු විදුලිබලය නාස්තිකරන දේසද්‍රෝහීන් කියලා.

මැලේසියාව දියුණුවුනේ කොමන්වෙල්ත් ගේම්ස් මැලේසියාවට ගෙන්නගත්තාට පස්සේ කියලා අපේ මහබැංකු ලොකුතැන මේ ලඟදී කියල තිබුණා. එතුමා කොහොම හරි කොමන්වෙල්ත් ගේම්ස් වලට ඕනෑකරන බිලියන ගාන හොයලා දෙනවයි කිව්වා. දැනුමේ කේන්ද්‍රස්ථානය කරන්න යනවයි කියලා බෝඩ් ගහගෙන ඉන්න රටේ (මැලේසියාවටත් බැරිවුන වැඩක් ඕක...) සොච්චම් පඩිය ටිකක් වැඩිකරලා දෙන්න කියන සරසවි ආචාර්යවරුන්ට වැඩි පඩි ගවන්න සල්ලි නෑ කියමින් ඒ උගත් මිනිස්සුන්ට ගරහන ආණ්ඩුවක මහබැංකු ලොක්කට කොමන්වෙල්ත් සෙල්ලමට බිලියන් ගණන් හොයාගන්න පුලුවන්. සල්ලි නැත්තේ ලක්ශ ගණන් පඩි ලැබෙන විදේශ විශ්වවිද්‍යාලවල උගන්නන්න යන්නේ නැතුව හිඟන පඩියට මේ රටේ දරුවන්ට උගන්නන විශ්වවිද්‍යාල ගුරුවරුන්ට පඩි වැඩි කරන්න විතරයි. ගුරුන්ට පඩි වැඩි කරාට කොමිස් ලැබෙන්නේ නෑනෙ ආයුබොවං.

සරසවි ගුරාලාව හිරේදාලා හරි ඒ සල්ලි ටිකත් ඉතුරුකරගෙන, කොමන්වෙල්ත් සුද්දොත් රවට්ටලා, දඟදාලා කොහොමහරි ගේම්ස් ලංකාවට ගත්තයි කියමු. හම්බන්තොට කොමන්වෙල්ත් ගේම්ස් යන කාලෙට නොරොච්චෝලෙ කැඩිලා, කෙරවලපිටිය තෙල් නැතුව නැවතිලා, කරුමෙට පායන්න පටන් ගත්තොත් ලයිට් නැතුව ගේම්ස් කොඩ උඩ යන්නේ නැද්ද? එහෙම නැත්නම් ලංකාවම කරුවලේ තියලා හම්බන්තොටට ලයිට් දෙන්න වෙයි.

කාලයක් පුංචි පවුල රත්තරං කිව්වා වගේ එක ලයිට් එක රත්තරං කියලා පැය දොලහක් ලයිට් කපලා ඉතුරු පැය දොලහේ මුලුගෙදරටම එක ලයිට් එකක් දාගෙන බොහෝම දේසප්‍රේමී විදියට කාලෙ ගෙවන්න කියලා උපදෙස් ලඟදීම ලැබෙන්න පුලුවන්.

කැඩිච්ච බලාගාර හදාගන්න බැරි, බලාගාරවලට දාන තෙල් (කලින් ප්‍රචාරය දුන්නු විධියට කෙරවලපිටිය බලාගාරෙ දුවන්නේ බොහොම ලාබෙට තියෙන දැවිතෙල්, ඒ කියන්නේ වීසිකරන තෙල් වලින් - ඒවත් හිඟයි කිව්වම ඉතින්....) ස්ටොක් කරගන්න බැරි ආණ්ඩුවකට කොමන්වෙල්ත් ගේම්ස් වගේ ඔලිම්පික් වලට පමණක් දෙවැනිවෙන මහා උලෙලක් සංවිධානය කරන්න පුලුවන් කියලා කොමන්වෙත් ගේම්ස් ලොක්කෝ හිතනවානම් උන් පවුල් පිටින් ඇවිල්ලා මෙහෙ පදිංචිවෙන්න ඕන.  

ඒ විතරක් නෙමෙයි කොමන්වෙල්ත් ගේම්ස් කවර් කරන්න පොදුරාජ්‍යමණ්ඩලයේ රටක් වෙන මහා බ්‍රිතාන්‍යයේ පිලිගත් රූපවාහිණී නාලිකාවක් වන චැනල් 4 නාලිකාව ලංකාවට එන්න හැදුවොත් අපේ උන්නැහේලා චැනල් 4 එකට අවසර දෙනවද? උන් උතුරු නැගෙනහිර සංචාරය කෙරුවොත්? කිලිං ෆීල්ඩ් කියලා උන්ම නම් කරපු ප්‍රදේශ රූගතකරන්න හැදුවොත්? කොමන්වෙල්ත් ගේම්ස් යන අස්සේම චැනල් 4 එක රටින් පන්නලා අන්තර්ජාතික බාල්දියක් දාගන්නවාද? එහෙම අවසර දෙන්න බැරි රටකට කොමන්වෙල්ත් ගේම්ස් සත්කාරකත්වය ලැබෙයිද? විදුලි බලය, පැට්‍රෝල් තෙල් ටික හරියට දෙන්න බැරි රටක් කොමන්වෙල්ත් ක්‍රීඩා මහෝත්සවය හරියට කරන්නේ කොහොමද කියලා කොමන්වෙල්ත් ගේම්ස් සංවිධායක කමිටුව ඇහුවොත් මොකක්ද දෙන උත්තරේ? ඒ ප්‍රස්නෙත් සුද්දන්ගේ හා විදෙස් ඩයස්පෝරා කොටින්ගේ කුමණ්ත්‍රණයක් කියලා මෙහෙ මිනිස්සුන්ට කියන්න පුලුවන් වුනත් වැඩක් තියෙනවද?

ඒ විතරක් නම් මදෑ, කොමන්වෙල්ත් බලන්න එන බ්‍රිතාන්‍ය, කැනේඩියන්, නවසීලන්ත, ඔස්ට්‍රේලියන්, දකුණු අප්‍රිකානු සුද්දියෝ ගිණිඅව්වේ තැම්බෙන හම්බන්තොට නගරෙ සීලාචාර ඇඳුම් ඇඳගෙන ඇවිදින්න බැරි තරමට රස්නෙ වැඩිනිසා බිකිණි ඇඳගෙන ඇවිදින්න ගත්තොත් අපේ සංස්කෘතිය අස්පෙට් වෙන ප්‍රස්නේ විසදන්නේ කොහොමද? මේ ගැටලුව කොමන්වෙල්ත් ගේම්ස් වලටත් කලියෙන් ආන්ඩුව දැන් ගෙනියන සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ වැඩසටහන බාගෙකින් හරි සාර්ථක වුනොත් ඇතිවෙන එක සිකුරුයි. එදාට හෙල උරුමේ උන්නාන්සේලා බිකිණි නෝනලාටත් පිරිත් නූල් ගැට ගහයිද?  අසූ ගණන්වල මුල් කාලයේ සංචාරක ව්‍යාපාරය යුද්දේ නිසා විනාශවෙන්න කලින් ජේ ආර්ගේ විවෘත ආර්තිකේ හින්දා දැන් ගල්කිස්ස වෙරලේ සුද්දියෝ බාගෙට හෙලුවෙන්, විලිලැජ්ජාවේ බෑ. අපිට අපේ ලමයි හදාගන්න ගෙවල් ඇරලා වෙන පලාතකට යන්න වෙනවා කියලා මොරදීපු මිනිස්සු ඉන්න රටක් මේක. කොමන්වෙල්ත්, ටුවරිසම් ඔය කොයික දියුණු කරන්න රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕනේ. රටේ මිනිස්සුන්ගේ ආකල්ප මූළධර්මවාදී තලේබාන් මට්ටමට ගෙනයන ගමන් සුද්දන්ගෙන් සුද්දියන්ගෙන් මේරට පුරවාගන්න හෝටල් ගහන ආණ්ඩුවක් පැට්‍රෝල් බෝතලයක් එක අතක තියාගෙන අනෙක් අතින් ගිණි පන්දම් උඩදාන මෝඩයෙකු වගේ හැසිරෙනවා කියලයි මටනම් හිතෙන්නේ.

මෙහෙම අය තමයි මැලේසියන් මොඩල් එකට ආස්චර්යය කරා බොහොම ඉක්මණට යන්න හදන්නේ.






6 comments:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

අන්තග්‍රාමීය මත වල ඉන්න අය කොහෙද මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්නේ , හෙල ඇමැට්ටා වැහැපියෝ කියල පුජාවකුත් කරන්න යනවාය කියල ආරංචියි . නාථ හා විපස්සක දෙය්යන් සක්‍ර දෙය්යන්ගෙන් වැස්ස ඉල්ලා ගැනිමේ සාක්ච්ඡා ආරම්භ කොරලාය කියන්නෙ . වැස්ස ගන්නම බැරි උනත් දැවි තේල් ටිකක් වත් ගෙන්න ගන්න පුලුවන් විදේශීය දෙවි කෙනෙක්වත් සෙට් කරගන්න යනවාලු

Andarademala said...

නියමෙටම ලියලා තියෙනවා මචං. හැබැයි ඕවා අපේ රටේ ප්‍රබුද්ධ, විද්වත්, දේශප්‍රේමී, මහාචාර්‍ය පොදු ජනතාවට නම් තේරෙන එකක් නෑ බං. ඇයි ඉතින් උඹ ලියලා තියෙන්නේ ඇත්තනේ.....

Anonymous said...

" සල්ලි නැත්තේ ලක්ශ ගණන් පඩි ලැබෙන විදේශ විශ්වවිද්‍යාලවල උගන්නන්න යන්නේ නැතුව හිඟන පඩියට මේ රටේ දරුවන්ට උගන්නන විශ්වවිද්‍යාල ගුරුවරුන්ට පඩි වැඩි කරන්න විතරයි."

සහතික ඇත්ත

චතුර විජේකෝන් said...

ඇත්ත කතා කරන අගනා ලිපියක්. ඒත් ඉතිං මේවා අපි කියෙව්වා කියලා වැඩක් වෙයිද මංදා.... කොයි එකටත් දිගටම ලියමු...

Anonymous said...

Good Post

Anonymous said...

Thitha Aththa...Nice Article