Friday, July 1, 2011

එතුමන්ලාගේ ක්‍රිකට් වසන්තයට තිත තැබූ අයි.සී.සී කුමණ්ත්‍රණය

සංගක්කාරගේ ප්‍රකාශයෙන් ICC ඇහැරුණාවත්ද?

ලෝක කුසලාන අවසාන මහා තරඟ සමාප්ති උළලේදී සංගක්කාර තමන්ට මගපෙන්වීම හා උපකාර කිරීම ගැන ජනාධිපති රාජපක්ශ හට ස්තූති කිරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් රාජපක්ශ රජය යටතේ මොනතරම් දේශපාලණීකරණය වී ඇත්දැයි මුලුමහත් ලෝකයටම පෙන්වාදුන්නේය. සංගක්කාර කල ප්‍රකාශය හදවතින් ඇතිවුනු කෘතඥතාවය මත කියූ එකක් නොව සිය ක්‍රිකට් ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් ආරක්ශාකරගැනීම සඳහා කියූ එකක් බව තේරුම් ගන්නට අයි.සී.සී එකේ මහත්තුරුන්හට එතරම් අමාරුවන්නට නැත. මුදල් ගැවසෙන හැම කටයුත්තකටම රාජපක්ශ සෙවනැල්ල වැටී ඇති බව  ශ්‍රි ලංකාව ගැන උනන්දුවක් දක්වන ලෝකයේ සියලුම රටවල් හා අන්තර්ජාතික ආයතනවලට දැන් අවබෝධවී ඇත.

රාජපක්ශ රජයේ මන්ත්‍රී පැන්ශන් සනත්ගේ ආගමනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ස්වාධීනත්වයක් නැති රාජපක්ශ වලිගයක් බව තහවුරුවෙයි

ලංකාවේ පමණක් නොව ක්‍රිකට් ගහන ලෝකයේ හැම රටකම ක්‍රිකට් යනු ව්‍යාපාරයකි. ක්‍රිකට් කමිටුවලට, ක්‍රීඩා සමාජවලට ලොක්කන් ලෙස තේරෙන්නේ සුදුස්සන්ට වඩා මුදල් විසිකරන, දේශපාලන බලය ගෑවී ඇති පුද්ගලයන්ටය. එහෙත් මේ බොහෝ රටවල, තේරීම් කමිටුවට, පුහුණු කරුවන්හට හා කණ්ඩායම් කළමණාකරුවන් ලෙස පත්වෙන්නේ සුදුස්සන්ම පමණක් වන අතර පත්වීමෙන් පසු කණ්ඩායමේ අභිවෘද්ධිය වෙනුවෙන් නිදහසේ තීන්දු තීරණ ගැනීමේ අයිතිය ඔවුනට හිමිවෙයි. මුදල් බලයෙන් ඉහල පුටුවලට පත්වන්නන් මෙවැනි ක්‍රිකට් වෘත්තිකයින් හට සිය රාජකාරි නිදහසේ කරගෙන යන්නට ඉඩදෙන්නේ එමගින් ක්‍රීඩාවේ ගරුත්වය ආරක්ශාවී තමන් මුදල් වීසිකොට ලබාගත් තනතුරුවල ගෞරවයද ආරක්ශාවන බැවිනි. 

අවාසනාවට රාජපක්ශ රජයේ තනතුරුවලට පත්වන්නන් හට එවැනි ප්‍රායෝගික මොල නැත. ඔවුන් සිතාගෙන ඉන්නේ තමන් රජ අණින් තනතුරුවලට පත්වුන නිසා ඒ සියල්ල තමන්ගේම පෞද්ගලික බූදලය ලෙස පරිහරණය කල හැකි බවයි. සනත් තේරීම් කමිටුවේ දෑත් දෙපා බැඳදමා කණ්ඩායමට පැන ගන්නේත්, බක පණ්ඩිත ක්‍රීඩා ඇමැට්ටා මීක් නොකියන්නේත් එබැවිනි. මේ සීමාන්තික බල ව්‍යාප්තිය හා අත්තනෝමතික පාලනය නිසා ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නුසුදුස්සන් රජයන, නුසුදුස්සන් ක්‍රීඩාවේ යොදවන තත්වයකට පත්වෙමින් පවතින බව ක්‍රිකට් ලැදි ලෝකයටම අවබෝධවන්නට විය.

ඉන්දියන් IPL කඩාකප්පල් කිරීමට තැත්කිරීම ICC යට රතු එලි දල්වන්නට ඇත.

ශ්‍රි ලංකා ක්‍රිකට් බලාධිකාරිය ගිවිසුම් කඩමින් අයි.පී.එල් සඳහා ක්‍රීඩාකරමින් සිටි ක්‍රීඩකයින් ආපසු ගෙන්වාගන්නට සැළසුම් කලේ ඉතා පටු, මෝඩ දෙශපාලන පලිගැනීමක් සඳහා බව ඉතා පැහැදිලිය. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අරක්ගෙන සිටින දේශපාලන මෝඩයන් මේ රටේ ක්‍රිකට් විනාශකරන්නට මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් කැලැන්ඩරය සිතූ සිතූ ලෙස එහාට මෙහාට අදිමින් යකානටන්නට සැරසෙන බවද අයි.සී.සී මොළකරුවන් තේරුම් ගන්නට ඇත.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංකොලොත්වීම අවසාන "ඇණය" වන්නට ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංකොලොත්වුනේ අලුත් පිට්ටනි හදන්නට ගිය නිසා බව ක්‍රිකට් ලොක්කන්ම කියයි. හම්බන්තොට පිට්ටනිය හැදුවේ රජ පුම්බන්නට හා රාජපුත්‍ර නාමල උඩට ගෙනෙනට දියත්කල දේශපාලන ව්‍යාපෘතියකින් බව නොදන්නා කෙනෙකු සොයාගන්නට අමාරුවේ. ලෝක කුසළාණ තරඟ සංවිධානය සඳහා අයි.සී.සීය ලබාදුන් මුදල්ද මෙලෙස නාමල පිම්බීමේ ව්‍යාපෘති සඳහා භාවිතාකොට ක්‍රිකට් ආයතනය බංකොලොත්වීදැයි සොයන්නට අයි.සී.සී ඔඩිට්ලා එවන්නට සිදුවීමට රටටම ලැජ්ජාවකි. එහෙත් වරායට, ගුවන්තොටුපොලට මෙන්ම ක්‍රිකට් පිට්ටනියටත් ලැජ්ජාවකින් තොරව තම නම දාගන්නා අයට මෙවැනි ලැජ්ජාවක් තිබේදැයි යන්න ගැටලුවකි.

වසන්තය නිමාවේ........ක්‍රිකට් ආයතන පරිපාලනයට රජයන්හට ඇඟිලිගැසීමට ඇති හැකියාව අයි.සී.සීය අවසන් කරයි.

1] ක්‍රිකට් ක්‍රීඩාව අනවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම් වලින් ගලවාගැනීමට අයි.සී.සීය දැඩි ලෙස අධිශ්ඨාන කරගෙන ඇත.

2] ක්‍රිකට් ආයතනවලට දේශපාලන පත්වීම සිදුකිරීම 2012 ජූනි සිට සම්පූර්ණයෙන්ම තහනම්ය (2013 ජූනි දක්වා සහන කාලයක් ලබාදී ඇත )

3] අයි.සී.සී නියමයන් පරිදි ක්‍රියා නොකරන ජාතික ක්‍රිකට් ආයතනවල අයි.සී.සී සාමාජිකත්වය තහනම් කලහැකි යෝජනාවක්ද සම්මතවී ඇත.

ශ්‍රි ලාංකේය ක්‍රීඩා ඇමති බයියෙක් කල අයි.සී.සී හොං කොං කුමන්ත්‍රණය.

ශ්‍රි ලංකාවෙ ක්‍රීඩා ඇමති වන කෙනෙකු හට ලැබෙන ඉමහත් වරප්‍රසාදය වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව අතුරුපාලක කමිටු හරහා මෙහෙයවීමේ හැකියාව ලැබීමයි. මෙය රන් රුවන් ඉල්ලම් පහලවන, නිතරම පත්තර පිටුවල, ටී.වී නිවුස්වල පෙනී සිටිය හැකි ප්‍රතිරූපය පුම්බන වරප්‍රසාදයකි.

හොං කොං වල පැවැත්වූ අයි.සී.සී රැස්වීමක් යයි කියාගත් කුමන්ත්‍රණය හරහා ශ්‍රී ලාංකේය ක්‍රීඩා ඇමති සතුව තිබූ තටු කපාදමා නිකම්ම නිකම් බයියෙක් කොට ඇත. දැන් මේ බයියාට ක්‍රිකට් ගැන කයිවාරු ගැසීමට ඇත්තේ තව මාස 12ක් පමණකි. 2012 ජූනි වනවිට අයි.සී.සීයට පිලිගත හැකි නිදහස් නිළවරණ පවත්වා අවසන් කල යුතුය. අතුරු පාලක මණ්ඩල පත්කොට අවුරුදු ගණන් ඇදගෙන යන්නට මින් මනතට ඇමැට්ටන්ට හෝ ඔවුන්ගේ දෙසපාලන බොස්ලාට නොහැකිය.

ජිල්මාට් හරහා චන්ද ගේම් දැමිය හැකි වුනත් එසේ කලවිට අයි.සී.සී සාමජිකත්වය අහිමිවෙයි. එවිට පාලක මණ්ඩල තිබුණාට වැඩක් නැත. ආපාතෙයිඩ් නම් වර්ණබේධය පදනම් කරගත් සුද්දන්ගේ පාළණයක් තිබුණු දකුණු අප්‍රිකාවට ක්‍රිකට් ගහන්නට රටක් සොයාගන්නට බැරුව බන්දුල වර්ණපුරලා ගෙන්නා ගත්තේ එබැවිනි. එයින් බන්දුල වර්ණපුර ඇතුලු ක්‍රීඩකයින් රැසකගේ අනාගතය විනාශවිය.

උදේ ඉඳන් රෑ වෙනකම් විදේශීය අත පෙවීම් ගැන කෑකෝ ගහන රජපස ආණ්ඩුව ඩුබායි මූලස්ථානය කරගත් අයි.සී.සීය මෙලෙස සිය සල්ලි පොට්ටනිය උදුරාගන්නට තීන්දුකිරීම කෙසේ දිරවාගනීදැයි තව මාස කිහිපයකින් හරියටම දැන ගන්නට පුලුවන.

4 comments:

``` Outsider``` said...

බය වෙන්න එපා බං ඡන්ද කෙරු‍වාවෙන් අපිට ඉහළින් ඉන්න රටක් ලෝකෙ තවත් නෑ. ඒක නිසා දෙයියනේ කියල ඕනි එවුන් ඡන්දෙන්ම පත්වෙයි ලස්සනයට අයිසීසියට කතා කරන්න බැරිවෙන්න.
මේක ආශ්චර්යයේ දේශය.

Bernard said...

මෙම පූවත පළ කිරිම ම වැදගත්. 2013 පස්සේ ඉතින් වෙළේ කිකට් තමයි.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

දුකයි ( ඒ ඇර වෙන මොනව කියන්නද ?? )

Anonymous said...

වර්ල්ඩ් කප් දවස් වල නම් හම්බන්තොට ක්‍රීඩාංගනය කියල කෙහෙල් මලක් තිබුනෙ නෑ... ඒ දවස් වල ගරු ගාම්බීර විදියට කිව්වෙ මහින්ද රාජපස්ස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනේ කියල ඕං...බඩු මාට්ටු වෙනකොට ඔක්කොම කනපිට....