Monday, September 6, 2010

අනාතයෙකුගේ වහසි බස් [ Rhetoric of a lost soul ]

Lakbima 06/09/2010
ව්‍යවස්ථා සංශෝධනයෙන් විපක්ශය මහින්දගේ දේශපාලන ගල් රෝලට තැලිලා පොඩිවෙලා යන බව ඇත්තයි. දැන් විපක්ශයට වෙලා තියෙන්නේ 1977 ශ්‍රී ලංකා නිදහස් පක්ශයට වෙච්චි දේමයි. තව ටික දවසක් යනකොට මහින්ද තව දේශපාලන පක්ශයක් හදවලා, විපක්ශයෙන් මන්ත්‍රීලා ටිකක් ඒකට අද්දවාගෙන එයාට කැමති විපක්ශයකුත් හදාගන්න පුලුවන්. එත්කොට ආණ්ඩුවේ නායකයා විතරක් නෙමෙයි විපක්ශයේ නිල නොවන නායකයාත් මහින්දමයි.

ඒත් මේ කතාකරන්න යන්නේ විපක්ශය ගැන නෙමෙයි. ආණ්ඩුපක්ශයේ, පාර්ලිමේන්තුවේ පලමුවෙනි පේලියේ ඉන්නා පුද්ගලයින් ගැනයි. ඉදිරියෙන්ම ඉන්න මහ ලේකම් මෛත්‍රී, නිමල් සිරිපාල, ජෝන් සෙනෙවිරත්න, ඩලස්, බැසිල් වගේ අය ගැනයි.(දිමු ජයරත්න වයසක නිසා අමතක කරමු )

මෙයාලට මොකද වෙන්නේ?

අපි මෛත්‍රී ගැන හොයල බලමු. පහුගිය චන්දයේදී මෛත්‍රී යුගයක් අරඹමු කියලා මෛත්‍රී එයාගෙ සටන පටන් ගත්තේ අගමැති කමට සිහින මවමින්. සිහින බොඳවෙලා ගියත් මෛත්‍රීලා වගේ අයට හිතේ තිබුණ එකම සැනසිල්ල 2016දී මහින්දට ඉල්ලන්න බැහැ කියන ව්‍යවස්ථා වගන්තිය. දැන් ඉතින් ඒ සැනසිල්ලත් ඉවරයි නේද? ඒ කියන්නේ 2016 / 2022/ 2028 අවුරුදු වල පවත්වන්න ඕනෑ ජනාධිපතිවරණ වලටත් මහින්දට ඉල්ලන්න පුලුවන් කියන එකනෙ.

එතකොට බැසිල්?

බැසිල් කියන්නෙත් මහත්වූ දේශපාලන අභිලාශයන් තියෙන, දැන් මම අගමැති කමට ඉව අල්ලන කෙනෙක් කියලා නොදන්නේ කවුද? මහින්දගේ ව්‍යවස්තා ජිල්මාට් එකෙන් බැසිල්ගේ අභිලාශයන්ටත් වදින්නේ මරු පහරක්. මොකද බැසිල්ගේ ජීවිතේ හොඳම කාලේ මහින්දට ඉඩදීලා බලාගෙන ඉන්නවා ඇරෙන්නට එයාටත් කරන්න දෙයක් නෑ. ඒත් මහින්දට අනිවාර්‍යයෙන් බැසිල්ව කළමණාකරනය කරගන්න වෙනවා. ඒ කියන්නේ බැසිල්ට බලසම්පන්න ඇමතිකම් ගොඩකුත් එක්ක අගමැතිකම දෙන්න වෙනවාමයි.

ඒ කියන්නේ දැන්ටමත් මෛත්‍රීගේ අගමැති අභිලාශයන් වලට පහර වැදිලා ඉවරයි. අගමැති සිහිනය පමණක් නෙමෙයි, ඊලඟ මහ චන්දේ හරි ජනපතිවරනේ හරි පවත්වන්න ඉස්සෙල්ලා මෛත්‍රීට එයාගේ මහලේකම් පට්ටමටත් තට්ටුවෙන්න පුලුවන්. බැසිල් මහින්දට බල කරලා එයාව මහලේකම් කරන්න කිව්වොත් ඒක කරන්න වෙනවා. මහින්ද එහෙම නොකලත්, දැන්ටමත් ආණ්ඩුවේ මොලකාරයා වෙන බැසිල් කොහොම හරි ඒ තනතුර ලබාගන්නත් ඉඩ තියෙනවා. මොකද මහලේකම් පත්කරන්න චන්දෙකට ගියත් වතාවක් එස්.බී චන්දෙන් මහලේකම් වුනා වගේ බැසිල්ටත් පුලුවන් නූල් සූත්තරයක් අටවලා බලෙන් හරි මහලේකම් වෙන්න.මහින්දත් ඒක දන්නවා. ඒ නිසා බැසිල්ට මහලේකම් කම දීලා කරදරයක් අඩුකරගන්න එක මහින්දට ලේසියි.

එතකොට මෛත්‍රීගේ ඉරණම?

මෛත්‍රීට වෙන්නේ දැන් ජෝන් සෙනෙවිරත්න වගේ ජ්‍යේශ්ඨයෝ ඉන්න විධියට පැත්තකට වෙලා දෙන ඇමතිකමක් කරගෙන කිසිම ගැටලුවක් නෑ වගේ පේන්න හැසිරෙන එක විතරයි. මෛත්‍රීට වෙන කරන්න දෙයක් ඇත්තේම නෑ. එහෙම නැතිනම් 2005-2009 කාලේ ඩලස් මහත්තයා කරපු මුට්ටි අල්ලන්නාගේ චරිතය කරන්නත් පුලුවන්. ඩලස් මහත්තයා දැන් හොට බාගෙන ඉන්න නිසා ඒ පට්ටමට නම් වේකන්සියක් තියෙනවා.

කොහොම වුනත් මෛත්‍රී දැන් දේශපාලන අනාතයෙක්. තමුන්ගේ පපුවට පිහියෙන් අනින සංශෝධනයට දැන් 160ක් පක්ශයි වගේ බයිලා කියන්නේ හදවතින් නෙමෙයි. වෙන කරන්න දෙයක් නැති නිසා. හරියට දෙනෝදාහක් ඉස්සරහා දුවන්න ගිහිල්ල ඇදවැටුනු මිනිහෙක් කකුල උලුක් වුනත්, කොච්චර රිදුනත් "නෑ නෑ මට කිසිම අමාරුවක් නෑ.." කියලා අමාරුවෙන් හිනාවෙවී කොරගහන්නේ නැතුව ඇවිදින්න හදනවා වගේ තමයි මෛත්‍රීත් දැන් රඟපාන්නේ.

මොනවාකරන්නද මෛත්‍රී? ඔයාගේ යුගය මේ කපේදේ එන්නේ නෑ. වී බිස්නස් එක කරගෙන පාඩුවේ පොලොන්නරුවට වෙලා ඉන්න. ඔයා දැන් අනාතයි.

1 comment:

charmi said...

ඩලස් ගොයියා හාපුරා කියලා කවුන්සිලේට ඇවිත් ජන්දෙ දුන්න අපි වගේ ගොන්නුන්ට ස්තුතිකරලා පත්තරේ දැන්වීමක් දැම්මනේ. ඒක අවසන් කරලා තිබුනේ
'අපි දකුණෙන් පටන් ගන්නා බව පමණක් විශ්වාස කරන්න...' කියලා.
දැන්නං ඔබ දකුණෙන් අවසාන කල බවත් විශ්වාසයි.