Thursday, September 2, 2010

දළ කාරයින් ප්‍රාණ ඇපයට ගත් පොඩි මිනිහාගේ පක්ශය.

Lakbima - 02/09/2010

ශ්‍රී.ල.නි.ප යේ 59වැනි සංවස්තර සමුලුව අදට යෙදී ඇත. මේ පිළිබඳව අද (02/09) ලක්බිම සමග සංවාදයකට එක්වන දී.මූ ජයරත්න මැතිතුමා, ශ්‍රී.ල.නි.පය පොඩි මිනිහාගේ පක්ශය ලෙස හඳූන්වයි. මේ කතාව අදට කෙසේවෙතත් මෑත අතීතය දක්වා සත්‍යය. ආරම්භයේ සිටම බණ්ඩාරනායක පවුලේ බූදලයක් මෙන් තිබුණත්, බණ්ඩාරනායක පවුලේ තිදෙනෙකුටම රටේ නායකත්වය කරා පැමිණීමට වෙර සැපයූවේ ශ්‍රී.ල.නි.පයේ කොඳු නාරටිය වුනු සාමාන්‍ය පවුල්වලින් පැමිණ පක්ශයේ ඉහලටම නැගගත් පොඩි මිනිසුන්ය. බණ්ඩාරනායකලා චිරාත්කාලයක් ශ්‍රී.ල.නි.පයේ බලය දරා සිටියත් එසේ කළේ සටකපට කම්වලින්, දොළපිදේනි දීමෙන් හෝ තර්ජනය කිරීම වලින් නොවේ. බණ්ඩාරනායකලා හට සැබැවින්ම පක්ශයේ පොඩි මිනිහාගේ මෙන්ම පොඩි තැනින් උඩට ආ, එහෙත් මුල අමතක නොවුනු පතාක යෝධයින්ගේත් සහය නොඅඩුව තිබුණි. චන්ද්‍රිකාගේ අවසාන කාළය දක්වාම මෙය එසේ තිබුණේය. චන්ද්‍රිකාව ආරක්ශාකිරීමට හා බලයට ගෙන ඒමටත්, බලයේ රඳවා ගැනීමටත් මංගලලා, එස්.බී.ලා කියූ කතා, කෙරූ කෙරුම් බණ්ඩාරනායකලා වෙනුවෙන් තිබුණු මේ පාක්ශික කැපවීමට හොඳම උදාහරණයන්වේ. මංගල, එස්.බී යනු මහා ව්‍යාපාරික පවුල් කාරයින් හෝ දේශපාලන නුග රුක් නොව නොව සාමාන්‍ය මිනිසුන් ලෙස ඉහලට නැගුනවුන්ය.

එහෙත් මහින්දගේ ආගමනයත් සමග මේ සියල්ල වෙනස් වන්නට පටත්ගත් බව පෙනේ. මහින්ද පක්ශයේ බලය අල්ලන්ට පටන්ගත්තේම පොඩි මිනිහාගේ සහය තිබූ නායකත්වයට කෙනෙහිලි කරමිනි. මුලින් මැතිනියට විරුද්ධව විවිධ සටකපටකම් වල යෙදුනු මහින්ද චන්ද්‍රිකා බලයට පත්වූකල ඇයගේ කැබිනට්ටුව තුල සිටිමින්ම ඇය විනාශ කිරීම ඇරඹුවාය. කැබිනට් රහස් පත්තරවලට දෙමින්, විපක්ශය සමග රහස් ගනුදෙනුවල යෙදෙමින් චන්ද්‍රිකා වැට්ටවීමට කල හැකි සියල්ලම මහින්ද කල අතර මෙය ඔහු සාධාරණීකරණය කළේ බණ්ඩාරනායකලාගේ බුත්තියට සවිවුන පක්ශය බේරා ගතයුතුය යන වේදිකාව මත හිඳගෙනය. මේ සඳහා නොයෙකුත් ප්‍රයෝග, බොරු චෝදනා මෙන්ම ශ්‍රි.ල.නි.පයේ මහත් බලයක් හෙබවූ භික්ශූන්වහන්සේලා සතුටුකිරීම සඳහාම කල ප්‍රකාශ හා ගත් ක්‍රියාමාර්ගද විය. මේ ප්‍රයෝග හරහා මහින්ද විකල්ප නායකයා වූ අතර, මංගලගේ බලකිරීම මත නොකැමති එකඟත්වයෙන් අගමැති හා ජනාදිපති පුටුවුල ඉඳගැනීමට වරම් ලද්දේය.

මේ සියලු දේ කරන අතර මහින්ද පෙනීසිටියේ පොඩි මිනිහෙක් ලෙසය, සිටියේ පොඩි මිනිසුන් අතරය, ආරක්ශාව ලැබුවේද ශ්‍රි.ල.නි.ප.යේ පොඩි මිනිසුන් අතරින්ය. මේ කාළයේදී කාල්ටන් වලව්ව ගැන වැඩිමනත් දේවල් ප්‍රසිද්ධ නොකිරීමට මහින්ද වගබලාගෙන සිටියේය. ඒ අනුව මහින්ද බෙලිඅත්තේ මහින්ද වුනා මිස කාල්ටන් වලව්වේ මහින්ද ලෙස පෙනී නොසිටියේය. අද අති මහත් බලයක් හොබවන මහින්දගේ සොයුරු කැළද පැත්ත පලාතක නොවීය. දෙන්නෙක් ඇමරිකාවේ සිටි අතර අනෙකා තමාගේ පාඩුවේ දේශපාලනය කරමින් සිටියා මිස කිසි විටකත් මහින්ද ලඟින් හෝ පෙනී සිටි බවක් අපිට මතක නැත.

පොඩි මිනිහාගේ මහින්ද, ලොකු වලව්වක මහින්ද, පහතරට වලව්කාරයන් පුම්බන මහින්ද, මහා පවුල් වෘක්ශයක් ලොකුකරන මහින්ද මෙන් පෙනී සිටින්නට වූයේ 2005න් පසුවය. ශ්‍රි.ල.නි.පයේ 59වැනි සංවස්තරය සමරන අද වන විට මේ පොඩි මිනිහාගේ පක්ශය, මහා පවුලකට බැල මෙහෙ කරන, කිසිදු අකටයුත්තකට නැගී නොසිටින, අඩුම ගණනේ මර්වින් සිල්වා වැනි අවලමෙකු ආරක්ශාකල බොරු විනය පරීක්ශණයට එරෙහිව වචනයක් නොකියන නපුංසක දෙවෙනි පෙල නායකයින්ගෙන් යුතු පක්ශයක් බවට පත් වී සීටීම අවාසනාවකි. පොඩි මිනිහාට පක්ශයේ තැනක් දෙන්නට පක්ශයේ නායකත්වය උදුරාගත් මහින්ද පොඩි මිනිහාට තැනක් නැත්තටම නැති කලේය. අද ශ්‍රි.ල.නි.පයේ බලය දරා සිටින්නේ මහා ව්‍යාපාරික පවුල් මිස ප්‍රතිපත්තිගරුක දේශපාලකයින් නොවේ. ඔවුන්ගේ එකම අරමුණ සිය ව්‍යාපාර සඳහා රජයෙන් අයුතු ප්‍රයෝජන ලබා ගැනීම මිස පක්ශය ආරක්ශා කර ගැනීම නොවේ.

මේ ව්‍යාපාරික මානසිකත්වය මහලේකම් මෛත්‍රීපාලගෙන් පවා දිස්වේ. මෛත්‍රී යුගයක් අරඹමු යනුවෙන් චන්ද පසුගිය ව්‍යාපාරය පටන්ගත් මහලේකම් කටේ පීට්ටු පුරවාගෙන, දිවුරුම් පෙත්සම් නිසා කොරන්ට දෙයක් නැති බවට අපහසුවෙන් කෙඳිරිගාන්නේ වෙන කිසිවක් නිසා නොව, වචනයක් හෝ කතාකලහොත් රටේ වී ගොවියාගේ වී තුට්ටු දෙකට කොල්ලකන හාල් ජාවාරමට තිත වැටී, පොලොන්නරුවේ මහා චන්ඩිකම් කල ඩඩ්ලි මලයා හිරේ විලංගුවේ වැටෙන්නට පවා ඉඩ ඇති බව දන්නා නිසාය. ව්‍යාපාරය පක්ශයට වඩා වැදගත්ය. බෙල්ලට වෙනකන් බඩ මහත්වී ඇති නිමල් සිරිපාල රනිල්ට කෝචොක් දැම්මාට රාජපක්සලාගේ දෙපා ලෙවකන්නේ සෞඛ්‍යයේ අමර ගැහිලි ප්‍රකෝටිපතියෙක් වුන නිසා විතරක් නොව අමාත්‍යාංශයේ නිළ කාමරයේ තහනම් ගෙඩි කා අතටම අසුවන්නට ගොස් ජනෙල්ලෙන් පලාගිය කතාවස්තුව පත්තරේ යන එක නවත්වාගෙන ඉන්ට ඕනෑ නිසාය. අනිත් හැම දෙනාමත් එසේමය. ප්‍රතිපත්ති ගැටුමක් නිසා එ.ජා.පෙ හැරගිය අමුණුගමලා පවා කටේ ප්ලාස්ටර් අලවාගෙන ඉන්නේ දුවගේ දෙරණට, සංගීතාගේ සියතට වුනු ඇබැද්දිය නොවී තිබිය යුතු නිසා වන්නට ඇත. නැතිවෙන්නට දේවල් වැඩිවෙන විට ප්‍රතිපත්ති බල්ලට ගොස් තිබේ. ඒ අනුව අද ශ්‍රි.ල.නී.පයේ සිටින්නේ ප්‍රතිපත්ති ගරුක පොඩි මිනිසුන් නොව, මහා ව්‍යාපාර, මාධ්‍ය ජාල, දැවැන්ත ආයෝජන ඇති ලොකු මිනිසුන්ය. පොඩි මිනිසුන් ඉන්නේ අවශ්‍ය වෙලාවට පාරට දක්කාගෙන විත් පෝස්ටරයක් අලවාගන්නට, බැංකී මූන්ට, ඇමරිකාවට, නෝර්වේට විරෝධතාවයක් පාන්නට, නැත්තම් ප්‍රණාම පෝස්ටරයක්, බැනරයක් එල්ලා ගන්නට විතරය.

ශ්‍රී.ල.නි.ප.ය පොඩි මිනිහාගේ බව කියන දී.මු.ජයරත්න පවා මහින්ද දුන් අගමැතිකම බාර ගත්තේ ඔබතුමාට පින් සිද්ධවෙනවා කියලාය. අවුරුදු ගණනාවක් අගමැතිකමට සූට් මහගෙන සිටි දී.මූට දෑස් පියවෙන්නට පෙර පට්ටම දුන් මහින්ද පෙනෙන්නේ දෙවියෙක්, බෝධි සත්වයෙක් විධියටය. ඒ නිසා මහින්ද 18 වියවස්තාව නොව, ලබන නොවැම්බරයේ උපන්දිනය දා මහ බැංකුවෙන් ගෙන්නා ගත් රත්තරන් වලින් හදා ගත් රන් සිහසුනක හිඳගෙන මානව හිතවාදී ඒකාධිපතියෙකු වන්නට විවරන දුන් ඉනාමළුවේ සුමංගල හාමුදුරුවෝ ලව්වා රන් ඔටුන්නක් පලඳවාගෙන රජ්ජුරුවන් ලෙස අභිශේක උත්සවයක් ගෙන පත්තිරිප්පුවේ සිට ජනතාව ඇමතුවත් දී.මූ. කටක් හොලවන්නේ නැතුව අලුත්ම සූට් එකක් ඇඳගෙන ඒ උත්සවයට සහභාගීවෙනු ඇත. ඒ පොඩි මිනිහාගේ දී.මූ ද අද නැතිවෙන්නට ගොඩක් දේවල් තියෙන ලොකුම ලොකු මිනිහෙකු බැවිනි.

මේ නාඩගම කෙසේ අවසන්වේ දැයි කියන්නට දැන්ම කල් වැඩි බව පෙනේ. එහෙත් මෙය ලියාගෙන යන විට මා මතකයට පැමිණි එක් ඉංග්‍රීසි කියමනක් සටහන් කරමින් අවසන් කරන්නට සිතේ. ඒ කියමන නම් "bigger they are, harder they fall (විශාල ඇත්තෝ පොඩ්ඩන් වැටෙනවාට වඩා දැඩි ලෙස කඩා වැටේ)". පොඩ්ඩන්ගෙන් පක්ශය උදුරාගත් ලොක්කන්ට මේ කියමන ගැලපෙන්නට ගොඩාක් ඉඩ තිබේ.

4 comments:

Anonymous said...

මහින්ද තනියම කට්ට කැවෙ. හැම දෙයක්ම විඳෙව්වෙ. නමුත් අද කස්ටියම එක්ක සැප විඳිනවා. මිය ගිය තම අම්මාගෙ මිනිය බලන්න එන්න බැරි වුණෙ මහින්දට විතරයි මම හිතන්නෙ. අනිත් අය ආවා. කොහොම උනත් මිනිස්සුන්ගෙ හැටි එහෙම තමයි. දුප්පත් මිනිස්සුන් තමයි ඉණිමග හැමොටම අහසට යන්න. කර්මාන්ත හිමියෙක්ගෙ ජිවිතය වුණත් එවගෙ තමයි.

වැහි කිරිල්ලී said...

කතා දෙකක් නැතු ව ඔයා ව අනුමත කරන්න පුළුහන්

දුකා said...

නියම ලිපියක් . .

කතා දෙකක් නෑ අපි මේ වෙනකම් දැකපු අහපු දෙවල් එක්ක සමපාත කලාම බොහෝ කරුනු සමඟ එකඟ වෙන්න පුලුවන් . . ..

දිගටම මේ වගේ නිරවුල්ව පැහැදිලිව ලියන්න . .. .

Anonymous said...

පොඩි තැනින් ඉහලට ආපු මිනිහට දේශපාලන පක්ෂයක් හැසිරවීමේ හැකියාව තිබුන කාලය ගෙවිල ඉවරයි.මෙතනින් ඉදිරියට තියෙන්නේ පොඩි තැනින් ලොකු තැනට ආ මිනිස්සුන්ගේ රැස් වළල්ලෙන් ලොකු තැන්වල සිටීමේ වාසනාව ලැබූ ලොකු මිනිසුන්ගේ කාලයයි.