Monday, August 29, 2011

අලුත්ම බිල්ලා සොයාගැනීම හෙවත් ග්‍රීස් යකුන්, සිංහල විරෝධය හා බටහිර කුමණ්ත්‍රණ


ග්‍රිස් යකුන් කවුදැයි හඳුනාගෙන ඇති බව පැවසේ. බියෝන්ඩ් ෆ්‍රේම්ට අනුව ඒ සිංහල විරෝධී ආණ්ඩු විරෝධී මහමදිකයින් පිරිසකි. රට පුරාම යකා නටා තිබෙන්නේ හම්බයින් පිරිසක් බව ඔප්පුකර ගත නොහැකි වුවත් නැගෙනහිර පලාතේ මේ සිදුවීම් දෙස බලනවිට මේ තර්කයේ යම් ඇත්තක් ඇති බව පෙනේ.

හම්බ ග්‍රීස් යකුන් හඳුනාගත් බියෝන්ඩ් ෆ්‍රේම් ඉන්පසු ජාත්‍යන්තරයට යයි. ඔහුට අනුව දැන් බටහිර කඩා වැටෙමින් පවතී. ඒ නිසා ඔවුන් දැන් වහාම තමන්ට අවනත නොවන දුප්පත් රටවල දේශප්‍රේමී පාලකයින් පන්නා දමමින් බටහිර ගැති පාලකයින් පිරිසක් පත්කරගන්නට වෙර දරයි. ලංකාවේ ග්‍රීස් යක් සන්නිය, ලිබියාවේ ගඩාෆි පැන්නීම, හොස්නි මුබාරක් සල්ලන් වීම, ටියුනීසියාවේ නැගිටීම කොටි ත්‍රස්තවාදය, ජවිපෙ සන්නද්ධ ව්‍යාපාර, කම්කරු සටන්  හා මේ කී නොකී සියල්ලම බටහිර රටවල් සිය කඩාවැටීමෙන් ගොඩ එන්නට තමන්ට අවනත නොවන රටවල් අස්තාවර කිරීමේ මෙහෙයුම් වල විවිධ ජවනිකා වේ. බියෝන්ඩ් ෆ්‍රේම්ගේ දිගු ලිපියේ එක් හරයක් වන්නේ මෙයයි. මෙය කියන ගමන්ම "බටහිරයන් මේ සියල්ල මෙහෙයවන්නේ යෑයි අපි නො කියමු..." යනුවෙන් පොඩි පහේ  disclaimer එකක්ද දමන්නේ තර්කයේ හිල් වසාගන්නට විය යුතුය.

අපි බියෝන්ඩ් ෆ්‍රේම්ගේ තර්ක් කිහිපයක් විශ්ලේෂනය කොට බලමු.

<> බටහිර කඩාවැටිමින් පවතින අතර උන්ට ගොඩ ඒමක් නැත.

ඔහු මේ කියන්නේ යුරෝපයේ හා අමෙරිකාවේ මූල්‍ය හා ආර්ථික අර්බුධ ගැන විය යුතුය. ලංකාවේ අපට මහා ලොකු කක්කා තලියක් වූවාට ආර්ථික කඩා වැටීම් හා යලි නැගිටීම් බටහිරට එතරම් අලුත් දේවල් නොවේ. මෑත ඉතිහාසයේ බටහිර විශාලම ආර්ථික කඩා වැටීම සිදුවුනේ 1930ගණන්වලදී අමෙරිකාව දණ ගැස්සවූ "The Great Depression" හෙවත් මහා ආර්ථික අවපාතයයි. මෙය දශලක්ශ ගණන් රැකියාවලින් දොට්ට වැටුනු, සිය ගණනක් බැංකු කඩා වැටුනු, කොටස් වෙළඳපොල නැත්තටම නැති වුනු මහා ව්‍යසනයක් වූ අතර මෙහි උච්ඡතම කාළයේදී නොමිලේ සුප් කෝප්ප බෙදාදෙන දන්සැල් පෝලිම්වල ඊට මාස කිහිපයකට පෙර සුඛෝපභෝගී යාන වාහනවල ගිය, සුපිරි අවන්හල් වල බොජුන් වැලඳූ ව්‍යාපාර හිමිකරුවන්, කොටස් වෙලඳ පොල ආයෝජකයින්ද සිටියහ. ආර්ථික විනාශයේ තරම එයින්ම සිතාගත හැකිය. යුරෝපයේ තත්වයද ඊට නොදෙවෙනි විය. පලමුවැනි ලෝක යුද්ධයෙන් පරාජය වී, ආර්ථික අවපාතයෙන් දැඩිලෙස බැට කෑ ජර්මනියේ මිනිසුන් සිය රට ගොඩ නගන්නට ඇඩෝල්ෆ් හිට්ලර් හට ආරාධානාකොට සිංහාරූඩ කලේත් මේ මහා ආර්ථික අවපාතය නිසාය. එහි අවසාන ප්‍රථිපලය වූයේ මිහිපිට මහත් ව්‍යසනකාරී යුද්ධය වුනු දෙවන ලෝක මහා සංග්‍රාමයට අඩිතාලම වැටීමයි.

1930 ගණන්වල මහා ආර්ථික අවපාත සමයේ, සිය පියාට රැකියාවක් දෙන්නයි ආයාචනය කරමින් පෙලපාලි යන දිළිඳු අමෙරිකානු ළමුන්
1930ගණන්වල අවපාතයෙන් හා දෙවන ලෝක යුද්ධයේ විනාශයෙන් දශකයක් තුල ගොඩ ආ බටහිර දැවැන්ත ආර්ථික වර්ධනයක් අත්පත්කර ගත්තේය. නැවතත් අමෙරිකන් හා යුරෝපීය ආර්ථිකයන් කඩාවැටීමකට ලක්වුනේ 1970 ගණන්වලදීය ඒ අමෙරිකව වියට්නාම් යුද්ධයට පැටලීම හා මැදපෙරදිග ඔපෙක් සංවිධානය තෙල් අර්බුධයක් නිර්මානය කිරීමෙන් අනතුරුවය. නැවතත් 1980-1990 දශකවල බටහිර ආර්ථිකයන් දැවැන්ත ලෙස නැගිටුනු අතර ජපානය ආර්ථික සුපිරිබලවතෙක් ලෙස පරිවර්තනය සම්පූර්ණ වූ අතර දුප්පත් කොරියාව, සිංගප්පූරුව මැලේසියාව වැනි රටවල් වේගයෙන් දියුණුවෙන්නට ගත්තේය. 1993න් පසු පලමුවැනි ජෝර්ජ් බුශ් ජනාධිපති වරයාගේ පාලන කාලය ලෝකයටම කෙසේවෙතත් අමෙරිකාවට තවත් ආර්ථික අවපාතයක් ගෙන ආ අතර නැවතත් ක්ලින්ටන් ජනාදිපතිවරයාගේ අටවසරක කාළය තුල  වේගවත් ආර්ථික නැගිටීමකට ලක්විය. දැන් මේ ගතකරන්නේ දෙවැනි ජෝර්ජ් බුශ්ගේ පාලන කාලය තුල අමෙරිකාව යුද්ධ දෙකකට හිරවීම මෙන්ම අයහපත් මූල්‍ය කළමණාකරණය නිසා අමෙරිකාවේ දැවැන්ත මූල්‍යායතන ගණනාවක කඩාවැටීම නිසා ඇතිවුනු අවපාතයයි. මෙතරම් දීර්ඝ විස්තරක් කරන්නට සිදුවුවත් මේ පෙන්වන්නේ බටහිරේ විනාශය නොව සාමාන්‍යය පෙල ආර්ථික විද්‍යා විශය නිර්දේශයේ පවා ඇතුලත් ආර්ථික චක්‍රය (economic cycle) පිලිබඳ සිද්ධාන්තයයි. කලින් කලට ලෝකයේ ආර්ථිකයේ දැවැන්ත පිබිදීමක් (economic boom), පහත වැරීමක් (downturn), අවපාතයක් (depression) හා නැවත නැගිටීමක් (recovery) යන ආර්ථික ලෝකයේ ස්වභාවික හැසිරීමයි.

<> බටහිර තමන්ට ගැති නොවන රටවල් සිය අණසකට ගැනීම සඳහා විවිධ ක්‍රියාකාරකම් තුලින් රූකඩ ආණ්ඩු අටවා ගන්නට උත්සාහ කරයි.

මෙයද බටහිරට පමනක් පොදු කරුණක් නොව ඉතිහාසය පුරාම දකින්නට තිබෙන සත්‍යයකි. අශෝක අධිරාජ්‍යයාගේ මිතුරෙකු වුනු නිසා දේවානම්පිය තිස්ස රජතුමාට බුදුදහම තෑගි වශයෙන් ලැබුණත් ඔහු අශෝකගේ සතුරෙකු වූවානම් අශෝකගේ හමුදා ආරක්ශාව යටතේ රජකම් කරන, වසරක් පාසා අශෝක අධිරාජ්‍යයාට කප්පම් ගෙවන ප්‍රාදේශීය යුව රජෙකු වන්නට ඉඩ තිබුණේය. නැතිනම් රජකම හැරදා කැලෑ පණින්නට සිදුවන්නට ඉඩ තිබුණි.

 තුර්කියේ ඔටෝමාන් අධිරාජ්‍යය සිදුකලේත්, චීනයේ කුබ්ලායි ඛාන් සිදුකලේත්, ග්‍රීසියේ මහා ඇලෙක්සැන්ඩර් සිදුකලේත්, ඉන්දියාවේ චන්ද්‍රගුප්ත-මෞර්‍ය් අධිරාජ්‍ය සිදුකලේත්, රෝමයේ සීසර් හා ඔහුගේ අනු ප්‍රාප්තිකයින් සිදුකලේත්, ක්ලියෝපැට්‍රා ගෙන් අවසන් වුනු ඊජිප්තු ෆේරෝවරුන් සිදුකලේත් මෙයම නොවේද? තමන්ට අවනත රජුන් බලයේ තබාගැනීමත්, අවනත නොවන වුන් කෙසේ හෝ පලවාහැර රූකඩ රජුන් පත් කරගැනීමත් ඉතිහාසය පුරාම සිදුවුනේය. අද බටහිර පැත්තකට දැම්මත්, චීනය ආසියාවේත්, රුසියාව නැගෙනහිර යුරෝපයේ හා මධ්‍යම ආසියාවේත් සිදුකරන්නේ මෙයම නොවේද.

1917 සිට අවසානය දක්වාම සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුව සාගරයක් වැනි සිය රට වටාම තමන්ට වඳින පුදන නැගෙනහිර යුරෝපීය රටවල් ගොන්නක් ඇතිකරගත් බවද අමතක නොකල යුතුය. සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුව බටහිර රටක් නොව, ඉතසිතින් බටහිර විනාශය බලාපොරොත්තු වුනු නැගෙනහිර පිලේ නායකයායි. ඉන්දියාව අඩු තීව්‍රතාවයකින් දකුණු ආසියාවේ කරන්නේත් මෙයම නොවේද?

ධනවතා, බලවතා, දුර්වලයා පාගා ගැනීමට මාන බැලීම කවදත් සිදුවුනි. දුර්වලයාගේ යුතුකම බලවතාට පස්පඩංගුවේ බැනවදිමින් නිදා ගැනීම නොව කෙසේ හෝ වලෙන් ගොඩ එන්නට උත්සහ කිරීමයි. මැලේසියාව, තායිලන්තය, කොරියාව, බ්‍රසීලය, වියට්නාමය මෙලෙස බැන බැන නොසිට වලෙන් ගොඩ ආ රටවල් කිහිපයකට උදාහරනය.

<> කොටි ත්‍රස්තවාදය බටහිර කුමණ්ත්‍රණයකි

ප්‍රභාකරන්ගේ බටහිර ගැතිභාවය පසු කලෙක ව්‍යාපාරික කටයුතු සඳහා එනම් ත්‍රස්තවාදය, දෙමල විමුක්තිය පිණිස වන දේශපාලන ව්‍යාපාරයකින් ඔබ්බට ගොස් ලාභදායි වානිජ ව්‍යාපාරයක් කරගත් පසු ඇතිවූවකි. මේ බටහිර ගැතිකම පිටුපස ඇන්ටන් බාලසිංහම් වැනි කලු සුද්දන් මෙන්ම බියෝන්ඩ් ෆ්‍රේම් පණමෙන් සුරකින්නට උත්සහ කරණ රාජපක්ශ ආණ්ඩුවේ සුරතලෙකු වුනු කේ.පී නැමති දක්ශ ව්‍යාපාරිකයා බටහිර තුල ව්‍යාප්තකල ආර්ථික ජාලය පවතී. ලේ තැවරුණු සල්ලි රස දැනුණු ප්‍රභාකරන් සිය ඉන්දියානු පාලකයින්ගෙන් මිදෙන්නට අදිටන් කරගත්තේ සිය ව්‍යාපාරය රිසිසේ කරගෙන යාමට ඉන්දියාව අත්සන් කල සාම ගිවිසුම පරහට හිටියාට පසුවය.

ප්‍රභාකරන් මෙන්ම අනෙකුත් දෙමළ ත්‍රස්තවාදීන් සඳහා අවි ආයුධ, පුහුණුව හා කඳවුරු මෙන්ම දේශපාලන ශක්තියද සැපයුයේ බටහිර සී.අයි.ඒ සංවිධානය නොව, එකල දැඩි බටහිර විරෝධි ප්‍රතිපත්තියක් ගෙනගිය, සෝවියට් රුසියාවේ අග සව්වෙකු වුනු ඉන්දියාවේ රෝ ඔත්තු සේවය විසිනි. ජේ.ආර් ජයවර්ධනගේ බටහිර ගැති ප්‍රතිපත්ති මෙන්ම උද්දච්ච ක්‍රියාකලාපයද නොරිස්සු ඉන්දිරා ගාන්ධි බටහිර ගැති ජේ.ආර්ට පාඩමක් උගන්වන්නට ඇතිකල ව්‍යාපාරයකි දෙමල ත්‍රස්තවාදී ව්‍යාපාරය. එය ඉන්දියානු පාළණයෙන් මිදී බටහිර අතකොලුවක් වූයේ රජීව් ගාන්ධි ඝාතනයෙන් පසු ඉන්දියාව දෙමල බෙදුම්වාදයට නිළවශයෙන් විරුද්ධවීමෙන් පසුවයි. දෙමළ ත්‍රස්තව්‍යාපාරය නිසා ලංකාව තුල බටහිර නැඹුරුව අඩු වුනු අතර බලහත්කාරයෙන් ඉන්දියාවට යටහත්වන තත්වයක් ඇතිවිය.

ග්‍රීස් යකුන් හා බටහිර බිල්ලන් හරහා සැබෑවටම ජාතිවාදය අවුලන්නේ කවුරුන්ද?

උපුටාගැනීම :"ඒ අප කිහිප වතාවක්‌ම කියා ඇති පරිදි රාමනාදන්ලාගෙන් ඇරැඹි දෙමළ ජාතිවාදී දේශපාලන ප්‍රවාහය හා සම්බන්ධ සියලු ගිවිසුම්, ව්‍යවස්‌ථා සංශෝධන නන්දිකඩාල් කලපුවේ ජයග්‍රහණයෙන් පසු අවලංගු වීම නිසා ය. අද බටහිරයන්ට අවශ්‍ය කෙසේ නමුත් මේ ජයග්‍රහණය අකා මකා දැමීමටය. ......."

නන්දිකඩාල් කළපුවෙන් අවසන්වුනේ කුරිරු ත්‍රස්තවාදය මිස එක් ජනවර්ගයකට මේ රට තුල ගෞරවනීය පුරවැසියන් ලෙස ජීවත්වීමේ අයිතිය නොවේ. 

"උඹලාගේ මහ එකා කළපුවේ මළා, දැන් ඉතින් අපි කියන විදියකට හිටපියවු....." මේ බියෝන්ඩ් ෆ්‍රේම්ලා දෙමළාට දෙන පණිවුඩයි. මේ උමතු පිලිවෙතින් වන්නේ වන්නේ කළපුවේ මියගිය මහා ජනඝාතකයා විරුවෙකු ලෙස දෙමළ හදවත්වල යලිත් රහසේ ඉපදීමයි. 

"ප්‍රභාකරණ් හිටියානම් සිංහල හැත්ත අපිට මෙහෙම කරන්නේ නෑ. ඌ හිටියා නම් මේ වෙනකොට කොළඹ ලොකු බෝම්බ දෙකක් තුනක් පුපුරවලා මුන්ගේ ආඩම්බරකාර සිංහල ආණ්ඩුව සල්ලං කරලා ඉවරයි.." දෙමළ මිනිහාගේ, විශේෂයෙන්ම දෙමළ තරුණ තරුණියන් අතර දැනටමත් මේ සිතුවිලි ඇතිවෙලා නොමැතිනම් පුදුමයකි.

'අපි තවත් ප්‍රභාකරණ් කෙනෙකු සොයාගමු....." කවදා හෝ මේ කාළකන්නි පිලිවෙතේ අවසානයේ දෙමළ සමූහයා එසේ සිතනු ඇත.

එපමණක් නොව රාජපක්ශලා වටා සිටිනා ඉඳුල් ලෙවන අවසේශ ජාතිවාදින් දැන් අලුත්ම සතුරෙකු සොයාගෙන මෙහෙයුමක්ද දියත්කොට තිබෙයි. බියෝන්ඩ් ෆ්‍රේම්ලා ගේ කස පුපුරන්නේ මේ මෙහෙයුමේ පෙරමග ලකුණු කියන්නට මෙනි. මේ අලුත්ම මෙහෙයුම නම් මේ රටේ මුස්ලිම් ජනතාවට විරුද්ධ මෙහෙයුමයි. කාළකණ්නි හම්බයෙක් දෙන්නෙක් කරන ලද අසික්කිත ක්‍රියාවලියකට මුලු මහත් ජනවර්ගයක්ම අපහාසයට උපහාසයට ලක් කරයි. මේ සිංහල මෝඩයින් එකක් මතකතබාගත යුතුය. එනම් හම්බයින් දෙමළුන්ට වඩා එක්සත්, එක්සිත් ඇති, තමාගේ එකාට සළකණ, තමාගේ එකාට කරදරයක් වුනු විට දුප්පත් පෝසත් බේධයකින් තොරව සටනට එන ජාතියක් බවයි. පුලුවන් නම් නැගෙනහිර පැත්තේ පොඩි පකිස්ථානයක්, ඇෆ්ඝනිස්තානයක් ඇතිවෙන තැනට වැඩකරපල්ලා. ඊට පස්සේ ඉතින් ආයෙත් බැරියා පටි තදකරගෙන හම්බයින්ට විරුද්ධ යුද්දේ ඉවරවෙනකන් අවුරුදු තිහක් හතලිහක් බලගෙන ඉන්න.

අවසාන නිගමණය : බියෝන්ඩ් ෆ්‍රේම්ගේ ග්‍රීස් යක් තර්කය හෙවත් බිල්ලන් නැතිකල තලන්නට කොටන්නට බිල්ලෙක් සොයාගැනීම

නැගෙනහිර හෝ වෙන මොන පලාතක වුවද ග්‍රීස් යකුන් හෝ වෙන මොන මළහෝන්තු හෝ සාමකාමී ජනජීවිතයට බාධාකරනවානම් උන් අල්ලා කුදලාගෙන යායුතුය. උන් හම්බයින්ද, කල්ලතෝනිද, සිංහල කොටිද, අධිරාජ්‍යවාදී අතකොළුද යන්න පසුවට සොයා බැලිය යුතු කාරණයකි. ජනජීවිතය යථාතත්වයට පත්කල යුතුය. මෙය දඩමීමා කරගෙන තවත් ජාතියකට හිංසා පීඩාකොට තවත් වෛරක්කාරයින් රැළක් මේ දිවයින තුල බිහිකර ගැනීමේ කාළකණ්නි ව්‍යාපාරයට මේ රටේ මොළයක් ඇති මිනිසුන් විරුද්ධ විය යුතුය.

අනෙක් අතට ජාතිවාදීන් මෙලෙස ග්‍රීස් යකුණ් මෙන් පැමිණ රටතුල අවුල් ඇතිකරණවානම් හදිසි නීතිය ඉවත් කරන බව  දැනුම් දෙන්නට හදිසියේම පාර්ලිමේන්තුවට කඩාවැටුනු ජනපතිට එය විහිළුවක් මෙන් පෙනීම පුදුමයකි. ග්‍රීස් යකුන් හම්බ ජාතිවාදී සිංහල විරෝධීන් නම් ජනාධිපතිතුමා කලයුතුව තිබුණේ රටතුල මේ ඇති වෙමින් පවතින අවදානම් තත්වය පිලිබඳව ජනතාව දැනුවත් කිරීම මිස ජෝක් පාට් දැමීම නොවේ. පාර්ලිමේන්තුව දැනුවත් කලපසු ජනපතිවරයා පක්ශ විපක්ශ, පාර්ලිමේතුව නියෝජනය කරන, නොකරන මුස්ලිම් නායකයින් සමග සාඛච්ඡාකොට ගැටළු ඇත්නම් නිරාකරණය කළ යුතුය. නියම නායකයින් කරන්නේ එයයි. එහෙත් මේ  අය මේ කරන්නේ රට තුල තවත් ගින්නක් ඇතිකොට එය පෙන්වමින් බටහිරට බනින ගමන් තම බලය තහවුරු කරගණිමින් රට කොල්ල කෑමයි.

අවසන සටහන් කරන්නට වන්නේ කොටියාගේ මරණයෙන් පසු බොරු දේශප්‍රේමය අවුලුවාගෙන යාමට බිල්ලෙක් සොයන සඳ දෙයියෝ දුන්නාමෙන් ජාතිවාදී හම්බ ග්‍රිස්ස් යකුන් පහලවුනු බවයි. දෙන දෙයියෝ රාජපක්ශලාට උඩ පැන පැන දෙනවාලු.

8 comments:

Anonymous said...

හොඳ ලිපියක්. මහන්සියට ස්තූතියි.

හැබැයි පහුගිය මාර්තුවට පෙර බියෝන්ඩ් ෆ්‍රේම් සහ මාර්තුවට පසු බියෝන්ඩ් ෆ්‍රේම් අතර පැහැදිලි වෙනසක් ඔබ නිරීක්ෂණය කරන්න ඇති කියලා හිතනවා.

Ravi said...

සම්පූර්ණ ඇත්ත.....කණ්ඩුල......ඔබ සමඟ එකඟයි එකහෙලාම,

ඊළඟ ප්‍රභාකරන් බිහිකරලම තමයි මේ අමනයො පස්ස බලන්නෙ.....ඒකෙ ආයෙ දෙකක් එහෙම නෑ.....

රංචාගොඩ මුදියන්සේ said...

@malansamarawickrama

මටත් බියෝන්ඩ් ෆ්‍රේම්ගේ වෙනස හිතාගන්නට බෑ. ඒත් සමහර විට වෙනස් නොවී බැරිවෙන්නට ඇති.

අපි පිටරට ඉඳන් ලිව්වට ලංකාවේ ඉඳන් ලියන සමහර අයට යථාර්තයට මුහුණදීලා නිහඬ වෙන්න වෙනවා, නැතිනම් වෙනස් වෙන්න වෙනවා.

කතන්දර Kathandara said...

බියොන්ඩ් ෆ්‍රේම් එක හැක් කළා නේ මාර්තු මාසේ.

එදා මටත් ඒක් අර්ජනයක් දාලා තිබුණා. දැන් ලියන්නේ වෙන එකෙක් මට හිතෙන හැටියට.

මං ඒක මගේ බ්ලොග් රෝලෙන් ඩ්‍රොප් කරපු නිසා අන්තර්ගතය දන්නේ නෑ.

``` Outsider``` said...

දැනටම ප්‍රභාකරන්ල දහස් ගාණක් බිහිකරල ඉවර ඇති මුං
සමහර විට ඒ කාලෙ මැරුණු ප්‍රභාකරන් බිහිවෙන්න ඇත්තෙත් මේ වගේ ගොන් අමනයන්ගෙ වැඩ නිසා වෙන්න ඇති.
අගනා ලිපියකි.

Anonymous said...

දැනටම ප්‍රභාකරන්ල දහස් ගාණක් බිහිකරල ඉවර ඇති මුං
සමහර විට ඒ කාලෙ මැරුණු ප්‍රභාකරන් බිහිවෙන්න ඇත්තෙත් මේ වගේ ගොන් අමනයන්ගෙ වැඩ නිසා වෙන්න ඇති.
---------------
බෙදුම් වාදය නැගිටින්නේ පද්දතිය තුල යම් හිඩැසක් දුටු විටය ... බෙදුම් වාදයට උදවු කරන පාර්ශව ද අවශයෙන්ම සිටිය යුතුය (රෝ ඔත්තු සේවය වැනි ) . පද්දතිය ශක්තිමත් බව දන්නා විට බෙදුම් වාදය වාදයක් ලෙස පවතිනු ඇත (උදා. ඉන්දියාව තුල දෙමල කතාකරන පිරිසට වෙනම රටක් පිලිබදව ආසාවක් ඇත ... එහෙත් එය ක්‍රියාත්මක කිරීමට බය ය ... ඒ ක්‍රියාත්මක කලොත් ඉල්ලන් කෑමට සිදුවන බව දන්නා නිසාය ).

Anonymous said...

දෙවන උදාහරණය : පවතින ආණ්ඩුව හා විපක්ෂය ජනතාවට බොරු කියන බව හා ගසාකන බව ජනතාව දනී .. එහෙත් 89 වැනි නැගිටීමක් යලි ඇති නොවේවි හේතුව සරලය ... ජනතාව පාඩමක් ඉගෙනගෙන ඇත ...

රංචාගොඩ මුදියන්සේ said...

@ Anno

ඉන්දියාව තුල දෙමල කතාකරන පිරිසට වෙනම රටක් පිලිබදව ආසාවක් ඇත ... එහෙත් එය ක්‍රියාත්මක කිරීමට බය ය ... ඒ ක්‍රියාත්මක කලොත් ඉල්ලන් කෑමට සිදුවන බව දන්නා නිසාය ).
------------------------------
ඉන්දියානු ද්‍රවිඩයින් තුල වෙනම රටකට ආසාවක් ඇතිබව සැබෑය. ඒත් ඒ සුළුතරයකටය. හේතුව ඔබ කියන "ඉල්ලන් කෑමට වන බිය" නිසා නොව ඉන්දියානු දෙමලාට රටේ ජනාධිපති, අගමැති දක්වා යාමට පවා බාධාවක් නැති නිසාය.

දැනට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය බාර පී.චිදම්බරම් තමිල්නාඩු දෙමලෙකි. එහෙත් ඉන්දියාවේ බලසම්පන්නම අමාත්‍යධූරයකින් පිදුම් ලැබීමට දෙමලෙක් වීම ඔහුට බාධාවක් නොවීය. එමෙන්ම චිදම්බරම් මීට පෙර ඉන්දියාවේ මුදල් ඇමති වශයෙන්ද කටයුතුකලේය.

ඉන්දියාවේ ස්වදේශ කටයුතු ඇමති ජාතික ආරක්ශක කවුන්සිලයේ (National Security Council) සාමාජිකයෙක් වන අතර මුදල් ඇමතිකෙනෙක් හා ස්වදේශ කටයුතු ඇමති ලෙස චිදම්බරම් දීර්ඝකාලයක් ජාතික ආරක්ශක කවුන්සලයේ සේවල කලේය. දෙමලෙක් වීම එයටද බලපෑවේ නැත.

එහෙත් අපි තවමත් දෙමළ තරුණයින් හමුදාවටන් නොව පොලීසියට පවා බඳවාගන්නට තරම්වත් උන් ගැන ගෞරවයක්, විස්වාසයක් නෑනේද?

බහුතරයක් ඉන්දියානු දෙමළුන් ඉන්දියාවේ ෆෙඩරල් ප්‍රාන්ත වැසියන් ලෙස සිටීමට ප්‍රිය කරන්නේ මේ හේතුව නිසා මිස බිය නිසා නොවේ.

ඔය කියන බිය නිසා නම් පන්ජාබයේ ත්‍රස්තවාදය (කාලිස්තාන් වෙනම රාජ්‍යය සඳහා), ඇසෑමයේ බෙදුම්වාදය, නාගලන්තයේ බෙදුම්වාදී අරගලය, කාශ්මීර අරගලය වගේ ඒවා තියෙන්න විධියකුත් නෑ නේද?

තමිල් නාඩුව අද ඉන්දියාවේ වානිජ අගනුවර වන මුම්බායි නගරය ඇතුලත් මහාරාශ්ට්‍ර ප්‍රාන්තය පවා පරදවමින් දැවැන්ත ලෙස කාර්මීකරණය වූ ඉන්දියාවේ ධනවත්ම ප්‍රාන්තයක් බවද අමතක නොකරන්න.