Friday, August 26, 2011

රජතුමා ලේකම්තුමා හා ග්‍රීස් යක්කු

ග්‍රීස් යකෙකු පිලිබඳ භීතියක් නිසා මහනුවර පාසැල් දරුවෙකුට ජීවිතයෙන් වන්දිගෙවන්නට සිදුවිය. බීමතින් සිටි මිනිසෙකු සිය ලයිසන් තුවක්කුවෙන් ග්‍රීස් යකා යයි සැකසිතා සිසුදරුවාට වෙඩි තබා ඇත. ග්‍රීස් යක් මේනියාව ගත් පලමු බිල්ල මෙය නොවන අතර මේවන විට මිනිසුන් කිහිපදෙනෙකු ඉතා අවාසනාවන්ත ලෙස මරණයට ගොදුරුවීමට මේ යක් කළබලය හේතුවී ඇත.

මෙතරම් මීනී මැරුණත් මේ ග්‍රීස් යක් භීතිය ගැන රජතුමාට වගේවගක් නැති ගාණය. පාර්ලිමේන්තුවේදී උන්නැහේ ග්‍රීස් යකුන් මතක් කලේ සිනාසෙමිනි. මේ භීතිය නිසා මියගිය මිනිසුන්ගේ බිරින්දැවරු,දරුවන් ඤාතීන් විඳ වේදනා එතුමාට පයිසයකට මායිම් නැත. මොකා මැරුණත් එතුමාගේ මෝඩ ජෝක්වලට හිනාවෙන්නට ලෑස්ති කට්ටියකුත් එතමා යන යන තැන පිටුපසින් සිටී. ඒතුමාගේ ග්‍රීස් යක් හිනාව එක් පොලිස්පති වරයෙක් සිය පත්වීම ලැබී පැවැත්වූ පලමුවැනි ප්‍රවෘත්ති සාඛච්චාවේදී සුදු වෑන් පැහැරගැනීම් ගැන ඇසූවිට දුන් තකතිරු පිලිතුරුට නොදෙවෙනි නැත.

රජතුමාට ජෝක් වූවාට රටේ ජනතාවට ජෝක් නැත. රටේ බොහෝ තැන්වල කාන්තාවන් අඳුර වැටෙනවිට දන්නා හඳුනන ආරක්ශාව ඇති ගෙදරකට රොක්වී බියෙන් රාත්‍රිය ගතකරන අතර පිරිම්න්ට රෑ එලිවෙනතෙක් ගැහැණුන් මුරකරනවා හැරෙන්නට වෙන වැඩක් නැත.

මොන මළ විකාරයක්ද මේ?

30 වසරක යුද්ධය නිසා මායිම් ගම්මාන වල අහින්සකයින් රාත්‍රිය ගතකලේ කැලෑවලය. දැන් නැවතත් ඒ තත්වය උදාවී ඇත. ඒත් රජතුමාට එය විහිලුවකි. රටවැසියාගේ ආරක්ශාව හා සුභසිද්ඪහිය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවෙන බවට ප්‍රතිඥාදී ජනපති පුටුවේ ඉඳගත් එතුමාට අමතකම වී ඇති කරුණ රටවැසියාගේ සුභසිද්ධියයි.

මහින්ද රාජපක්ශ හා ගෝඨාබය රාජපක්ශ පොලු මන්න අරගෙන ග්‍රීස් යකුන් ගැවසෙන ගම්මානවල මුර සංචාරය කලයුතුයයි මම නොකියමි. එහෙත් ලක්ශ ගණනක හමුදාවක්, දසදහස් ගණනක පොලීසියක්, බුද්ධි අංශ, අති දක්ශ කොමාන්ඩෝ බළඇණි වලින් සන්නාහ සන්නධවී තව තවක් ආරක්ශක වියදම් වැඩි කරගෙන යන රටකට මේ ග්‍රීස් යක් විගඩම මහත් අවමානයක් නොවේද? ලංකට් නැති සරම්කාරයින්, පාරේ කෙළගසන්නන් අල්ලන්නට සැදී පැහැදී ඉන්නා ආරක්ශක ලේකම්තුමාට එක ග්‍රීස් යකෙක්වත් අල්ලාගන්නට බැරිවීම පුදුමයක් නොවේද?

මේ යක් සෙල්ලමේ මොනවා හෝ හොරයක් තිබෙන බවට සැක හිතෙන්නේ රටේම ආරක්ශකයා මෙන්ම නිළනොවන පාලකයාද වන ආරක්ශක ලේකම්තුමාගේ නිහැඬියාවයි. එතුමා මේ ගැන ගන්නා වැඩ පිලිවෙල මොකක් දැයි මම දන්නා තරමට තවම හෙලිකර නැත.

මේ කළබැගෑනිය ගම්වල මිනිස්සුන්ගේ පිස්සු විකාර මනෝමයක් යයි කියලා අත පිහිදාගන්නට එතුමාට පුලුවන්ද? විශේෂයෙන්ම ආරක්ශ හමුදාව දෙසට ඇඟිල්ල දිගිවෙමින් තිබෙනා මොහොතක ශ්‍රි ලංකා ආරක්ශක හමුදාවල ගෞරවය ආරක්ශා කරගනිමින් සාමාන්‍ය වැසියන්ගේ භීතිය තුරන්කිරීමට දැඩි පියවර ගැනීම එතුමාගේ යුතුකමක් නොවේද? අඩුම ගණනේ ප්‍රාදේශීය බුද්ධි අංශ නායකයින් කැඳවා සිදුවෙමින් තිබෙනා දෙයහි සුළුම මුල සොයාගැනීමට හෝ උත්සාහයක් ගෙන තිබේදැයි යන්නද සැක සහිතය.

රටේම සේනාධිනායක හා ආරක්ශක ඇමති වන ජනපති, සර්වබලධාරී ආරක්ශක ලේකම්තුමා දෙබෑයෝම මේ කර අරින්නේ මොකක් හෝ යටිකූට්ටු සැලසුමක් අතේ පත්තුවී ගලේ පැහැරූ බළලුන් මෙන් ගඳ වහගන්නට මගක් නැති නිසාද?

රටපුරාම හමුදා කඳවුරු විවෘතකරමින් හදිසි නීතියෙන් පසු උදාවන තත්වයන්හට මුහුණු දීම සඳහා රටපුරා භීශණකාරි සයිකෝසිසයක් (fear psychosis) මවා හදිසි නීතිය අහෝසි වීමෙන් නැතිවී යන පීඩක බලය රැක ගැනීමේ විකාරරූපි සැලැස්මක් ලෙස මෙම ග්‍රීස් යක් රංගනය ආරක්ශක අමාත්‍යාංශය අනුග්‍රහයෙන්ම රඟදැක්වෙනවා දැයි බුද්ධිමත් පුරවැසියන් පවා සැක කරන තරමටම ආරක්ශක අමාත්‍යාංශය මේ ග්‍රීස් ගොඩෙහි ලෙස්සා වැටීම කණගාටුදායකය.

මොනතරම් විවේචන තිබුණත් මේ රටේ ජනතාවට කිසිදා අමතක කල නොහැකි අනුපමේය සේවයක් (කොටි වැනසීම) සේවයක් කල, වැඩක් කල හැකි, කොන්ද පණඇති මිනිසුන් සිටිනා ලංකාවේ එකම අමාත්‍යාංශය වන ආරක්ශක අමත්‍යාංය මෙවැනි තත්වයකට වැටෙනවා දැකීම ගෝඨාභය රාජක්ශ මැතිතුමාට එතරම් කැමැත්තක් නොදක්වන මට වුවද කණගාටුවකි.

රජතුමා ජෝක් එකක් විධියට ගත් පලියට ආරක්ශක ලේකම්ට යුතුකම් මගහැරිය නොහැකිය. රජතුමා මෙන්ම එතුමාගේ මුලු ආණ්ඩුවම සම්පූර්ණ ජෝක් එකකි.විහිලු හා විකට රංගන හැරෙන්නට වෙන ගන්නට දෙයක් ඇත්තේම නැත.ජෝකර්ලා නොවී ඉතුරුවී තිබෙන්නේ (පොලීසිය අඩුකලවිට) ආරක්ශක අමාත්‍යාංශය පමනකි. ලේකම්තුමා දැන හෝ නොදැන මේ ග්‍රිස් ගොඩෙහි අමාත්‍යංශය එරී ඇත්නම් එයින් වහා ගොඩවී හානිය අවම කරගැනීම නොපමාව සිදුකල යුතු අතර අහිංසක ජනජීවිතය ඉක්මණින් යථාතත්වයට පත්කල යුතුය.



4 comments:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

තවත් සුපිරි ලිපියක් , රජය ගන්න ක්‍රියාමාර්ග ඉක්මන්ව ගත යුතුයි තමයි , හැබැයි නැගෙනහිර සහ පුත්තලමෙ සීන් දිහා බැලුවාම ග්‍රිස් යකා කථාව වෙනත් ආගමික අන්තවාදයක අතකොලුවක් වෙලාදෝ කියල හිතෙනව .

"ගෝඨාභය රාජක්ශ මැතිතුමාට එතරම් කැමැත්තක් නොදක්වන මට වුවද කණගාටුවකි."

කණ්ඩුල සහෝ ලංකාවට නැවිත්ම ඉන්නද කල්පනාව ??

sina said...

සහතික ඇත්ත මචෝ , අපි වහාම ග්‍රීස් යක්කුත් එක්ක සාම සාකච්චා පටන් ගත යුතුය් , නැත්තම් මේ යුද අපරාද මදිවට ග්‍රීස් යක්කු මාරුව කියලත් කවුරුහරි කිව්වොත් එහෙම ...

Charmi said...

ග්‍රීස් ෆිල්ඩ්ස් කියල ෆිල්ම් එහෙමත් එන්ඩ පුලුවන්

Anonymous said...

[එහෙත් ලක්ශ ගණනක හමුදාවක්, දසදහස් ගණනක පොලීසියක්, බුද්ධි අංශ, අති දක්ශ කොමාන්ඩෝ බළඇණි වලින් සන්නාහ සන්නධවී තව තවක් ආරක්ශක වියදම් වැඩි කරගෙන යන රටකට මේ ග්‍රීස් යක් විගඩම මහත් අවමානයක් නොවේද?]

හැබැයි ඉතින් හමුදාව කඳවුරු ඇතුළෙම තියන්න කියන සම්පන්දන්ලා ගැන කණ්ඩුලට මොකුත් කියන්න අමතක වුණේ මොකද?