Friday, June 24, 2011

ආසනික් උවදුර : දේශද්‍රෝහී, විනාශකාරී කෘෂිරසායන සමාගම් පන්නා දුටුගැමුණු යුගයේ විදියට ගොවිතැන් කරමු!

අපගේ දේශප්‍රේමී, දේශීය චින්තක නලීන්ද සිල්වාතුමා හා එතුමාගේ අවිද්‍යාඥ නඩය විසින් සිදුකරන ලද අවිද්‍යාත්මක සොයාගැනීම් වලට අනුව අප කන කෑමවලත්, බොන වතුරේත් ආසනික් ඇත. මේ බවට නාථ දෙවියන්ද සහතිකවී ඇති නිසා කිසිදු සැකයක් නැත. මේ සමාගම් ගොවිජනතාව රවටමින් වසවිස විකුණයි. මේ වසවිස තෙල්, පෝර ගහන්නේ නැතුව අපේ මුතුන්මිත්තෝ අපූරුවට කුඹුරුයායවල් අස්වද්දා ආසියාවේ සහල් නැලියබවට ලංකාව පත්කලහ. අස්වැන්න වැඩිවීමට කෘමිනාශක, වල්නාශක, කෘතිම පොහොර ගැසිය යුතුය යන්න අධිරාජ්‍යවාදී, බහුජාතික සමාගම්වල කුමන්ත්‍රණයකි. දැන් රාජපක්ශ රජය කලයුත්තේ සියලු කෘෂිරසායනික සමාගම්, පොහොර සමාගම්, බීජ සමාගම් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කොට රටින් පලවා හැරීමයි.  ඉනික්බිති කළයුත්තේ තට්ට ජැක්සන්, චක්කරවර්ති හාමුදුරුවෝ, මැන්දිස් රෝහණධීර තුන්කට්ටුව ලවා දුටුගැමුණු යුගයේ ගොවිතැන් කලහැටි ගොවි ජනතාවට කියාදීමයි. රජතුමාද දුටුගැමුණුගේ මෙන්ම බුදුහාමුදුරුවන්ගේද නෑයෙකු නිසාද, එතුමාගේ ප්‍රචාරක කසකරුවන් කලක් කියැවූ පරිදි එතුමා ගැමි සුවඳ හඳුනන සදාදරණීය නායකයාද බැවින් උන්නැහේද ගොයි මහත්වරුන්හට ටියුශන් දීමේ වැඩසටහන්මාලාවට දායක කරගත හැකිය.  එවිට විදේශ විනිමයද ඉතුරුකරගෙන, ආසනික් නොකා, වහ නොබී අටුකොටු පුරවාගෙන ආශ්චර්යය කරා යාහැක.

වී ගොවිතැන සඳහා කෘෂිරසායන හා පොහොර භාවිත පිලිබඳ ඉතිහාසය සොයා බැලීමේදී එය හරිත විප්ලවය හා බැඳී පවතින බව වැටහේ. හරිත විප්ලවය යනු කෘෂිරසායනික, කෘත්‍රිම පොහොර හා විද්‍යාගාරවල වැඩිදියුණු කල බීජ වපුරා අති විශාල අස්වැන්නක් ලබා ගැනීමයි. හරිත විප්ලවයට පදනම් වූ ගොවිතැන් කිරීමේ ක්‍රමවේදවල මහත්වූ වෙනසක් 1960 ගණන්වලදී සිදුවිය. මෙහිදී සිදුවූයේ එක් අක්කරයකින් ලැබෙන අස්වැන්න මහත්සේ වැඩිකරගැනීමකි. මේ සඳහා කෘත්‍රිම පොහොර, වගාව සමග තරඟකරමින් හිරු එලිය, ජලය හා පොහොර උදුරාගන්නා වල් පැලෑටි මර්ධනයට වල් නාශක යොදාගැනීම හා වගාවට හානිකරන පලිබෝධකයින් විනාශකිරීම සඳහා පලිබෝධනාශක යොදාගැනීම සිදුවිය. එමෙන්ම විවිධ පර්යේශණාගාර හරහා වැඩි අස්වන්නක් ගෙනදෙන, ඉක්මණින් පලදරන බෝග නිමැවූ අතර ඒවා වේගයෙන් ගොවිජනතාව අතර ප්‍රචලිත කිරීම සිදුවිය. මේ නිසා හැත්තෑව දශකය අවසන් වන විට ශ්‍රී ලංකාවද ඇතුලු බොහෝ රටවල් සහලින් ස්වයංපෝශිත වන්නට හැකියාව ලබාගත් අතර පිලිපීනය, ඉන්දුනීසියාව, වියට්නාමය වැනි රටවල් සහල් අපනයනය කරන්නන් බවට පත්විය. හරිත විප්ලවය මහත් උනන්දුවෙන් වැලඳගත් ඉන්දියාව මිලියන ගණනක් ජනතාව සාගතයෙන් මුදවාගත්තේය. ජනගහනය වැඩිවෙමින් වගාබිම් අඩුවෙමින් යනවිට පවා ලංකාව ඇතුලු ආසියාතික රටවල් සහලින් ස්වයංපෝශිත කිරීමට හරිත විප්ලවය හැකිවූයේ අක්කරයකින් ලබා ගන්නා අස්වැන්න තාක්ශණයේ ආධාරයෙන් නිරන්තරයෙන් වැඩිවෙමින් පැවතුනු බැවිනි.

ආසියාතික සහල් නිපදවන රටවල හරිත විප්ලවය සිදුවූයේ අධිරාජ්‍යවාදී බටහිර ගැති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකාර්මික වැඩසටහන (FAO), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මෙන්ම අධිරාජ්‍යවාදී අමෙරිකානු සම්භවයක් ඇති ෆෝඩ් පදනම (ෆෝඩ් මෝටර් රථ සමාගමේ නිර්මාතෘ හෙන්රි ෆෝඩ් විසින් අරඹන ලද රාජ්‍ය නොවන සංවිධානය) හා රොකෆෙලර් පදනම (දැවැන්ත අමෙරිකානු තෙල් සමාගමක් වුනු ස්ටෑන්ඩර්ඩ් ඔයිල් සමාගමේ නිර්මාතෲ ජෝන් ඩී. රොකෆෙලර් විසින් ආරම්භ කරන ලද රාජ්‍ය නොවන සංවිධානය) විසින් ලබාදුන් මූල්‍යාධාර මත පිලිපීනයේ අන්තර්ජාතික සහල් පර්යේශණ ආයතනයේ (International Rice Research Institute) හා කෘශි පර්යේශණ පිලිබඳ ජාත්‍යන්තර උපදේශණ කණ්ඩායම (Consultative Group on International Agricultural Research) ලෙස හඳුන්වන පර්යේශණායතන තුල නිපැදවූ වැඩි පලදාවක් ඇති සහල් වර්ග නිපැදවීමේ තාක්ශණයන් හට පින්සිදුවන්නටය. බතලගොඩ වැනි ශ්‍රී ලාංකික සහල් පර්යේශණ ආයතනතුල වැඩි පලදා සහල් බිහිවුනේ මෙවැනි පර්යේශණාගාරවල පුහුණුව ලැබූ දේශීය විද්‍යාඥයින්ගේ උත්සහයෙන් හා ඒවාට දායක වුනු මූල්‍යායතන වල අරමුදල් වලිනි.

නලින්ද සිල්වා නඩයට දැන් අවශ්‍යව ඇත්තේ අධිරාජ්‍යවාදීන්ගේ අනුග්‍රහයෙන් බිහිවුනු, බිලියන ගණනකගේ කුසගිණි නිවූ හරිත විප්ලවය දියකර හැරීමයි. ෆෝඩ්, රොකෆෙලර් වැනි එන්.ජි.ඕ ඩොලර් කාක්කන් විසින් බිහිකල හරිත විප්ලවයෙන් අපිට ඇති වැඩක් නැත. මේ හරිත විප්ලවය නිසා බටහිර කෘශි රසායන සමාගම්, පොහොර සමාගම් අධික ලාභ ලබමින් අපේ දුප්පත් ගොවීන් සූරාකමින්, රට වනසන, ජනතාව වකුගඩු රෝගීන් කරන ආසනික් ඇතුලු වස විස වපුරයි. සම්‍යක්දෘශ්ඨික නාථ දෙවියන් පවා සාක්කි කියන මේ අපරාධයෙන් ජනතාව ගලවාගත යුතුමය. පැරණි ක්‍රමයට ගොවිතැන් කොට ගොයි මහත්තයාගේ පවුලට ඊලඟ කන්නෙ වෙනකන් කන්නටවත් ප්‍රමාණවත් නොවන තරමට අක්කරයකට බුසලක් දෙකක් අස්වැන්න ගත්තාම හොඳටෝම ඇතිය. විමල් වීරවන්සයා පාන් කන එකටත් කෙලවා ඇති නිසා වී ගොයිතැන් නොකරන සෙසු ජනීජනයා මුහුදු වෙරලට ගොස් වැඳගෙන හාල් ගේන නැව් කොළඹට ගාල්ලට තිරිකුණාමලයට හා හම්බන්තොට වරායන්ට සේන්දු වනතෙක් බඩගිණි ඉවසාගෙන සිටිය යුතුය. ඕනෑවට වඩා බත් කන එක නවත්වන්නට සිරිමා මැතිනිය කෙරුවා මෙන් සතියට දින දෙකක් තුනක් බත් කන එක තහනම් කරන්නට පුලුවන. මග තැනින් තැන මාර්ග බාධක වලට අමතරව හාල් පොලු දමා බස්වල යන මිනිස්සුන්ගේ බෑග් වල වැඩිපුර හාල් තියෙනවාදැයි මලු ඇර පරීක්සාකර බැලිය යුතු අතර වැඩියෙන් හාල් ගෙනයන දේස ද්‍රෝහීන් අව්වේ දන ගස්වා තබා පසුව උසාවියට ඉදිරිපත් කොට දඬුවම් ලබාදිය යුතුය.කොස් දෙල් හිඟ නිසාත්, කොස් හිටවන කොස් මාමලා වෙනුවට කොස්ගස් කප්පන බාප්පිලා මාමිලා වැඩි නිසා බහුලව තිබෙන බජිරි, සැල්වීනියා වැනි විකල්ප ආහාර හඳුන්වාදීමට පියවරගත යුතුය. වැඩිපුර බත්කන්නන් දේශද්‍රෝහීන් බව කුඩා දරුවන්හට පවා තේරුම්කොට දී උන් හට කුඩා කාලයේම බජිරි කෑමට උගැන්විය යුතුය.

ඒ කෙසේවෙතත්, නලින්ද සිල්වා නඩය කියනා කරුනු සත්‍යය නම් මුලුමහත් ආසියාවම වකුගඩු රෝගීන්ගෙන්, ආසනික් විශවී සෑදෙන ආබාධවලින් බැටකන රෝගීන් ගෙන් පිරී සිටිය යුතුය. ශ්‍රී ලංකාවට සාපේක්ශව වැඩියෙන් පලිබෝධ නාශක, වල් නාශක හා කෘත්‍රිම පොහොර භාවිතාකරන ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය වැනි රටවල් වකුගඩු රෝගීන්ගෙන් උතුරා යා යුතුය. එහෙත් කරුමයට මේවා ඔක්කොම විසවෙන්නේ ලංකාවේ උන්ටමය. සමහරවිට ඔය රටවල වකුගඩු රෝගීන්, උන්ට වකුගඩු අමාරුව ඇති බව දන්නේ නැතුවා වන්නට පුලුවන. දැනගත්තත් නාථ දෙවියන් ඉන්දුනීසියාවේ, තායිලන්තයේ හෝ වියට්නාමයේ වැඩවසන්නේ නැති නිසා වකුගඩු අමාරුව හැදෙන්නේ හාල්වල හා බොන වතුරේ ඇති ආසනික් වලින් බව දැනගන්නට විධියක් නැත. ඒක උන්ගේ කරුමයයි.

නලින්ද සිල්වාගේ ජන්මභූමිය ලංකාව වූ පින නිසා අපට නම් මේ උවදුරෙන් ගැලවෙන්නට ලඟදීම පුලුවන් වනු ඇත. කලයුත්තේ විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන වයිට් වෙදැදුරු ලවා සියලු කෘශිරසායන හා පොහොර තහනම් කරන ලෙස රජතුමාට උපදේසයක් දෙන්නට සැලැස්වීමයි. නිවාඩ් කබ්රාල්ට කිට්ටු වී පොහොර තහනම් කලවිට පොහොර සහනාධාරයට යන බිලියන දෙකතුනක් ඉතිරිවන බවත් ඒ මුදලින් ගිරග්ග සමජ්ජ දෙකතුනක් නටා බඩගිනිකාරයින් තාවකාලිකව ශේප් කරගත හැකි බවත් පවසා සිටිය යුතුය. වයිටා කතාකරාට පස්සේ කබ්බා පොහොර සහනාධාරේ ඉතිරිවෙනවානෙ රජතුමනි කිව්වාම යුද්ධෙ ඉවර කලා වගේ බහුජාතික කෘශි රසායන හා පොහොර සමාගම් ඉවරකර දැමිය හැකිය. ඒ සමගම බත් කෑමේ අවසානයද ආරම්භ කල හැකිය.

3 comments:

Anonymous said...

එක එක බනිස් වලට එක එක කෙසෙල්....

එක එක රටට එක එකක විකාර. ලිබියාවට යුද්ධෙ සිරයාවට සම්බාධක ඇෆ්ගනිස්තානෙ ඉවරයි.

මේ ලිපියෙ දැක්කෙ නලින්ද ස්ලවා නඩයක් ගැන වහෙන් ඔරෝ බනිනව. ඔයා මේකෙ මාතෟකාව මට පෙනනන්න බැරි නලින්ද සිල්වා නඩය කියල දැම්මනම් මේකට තේරුමක් එයි!!!

රංචාගොඩ මුදියන්සේ said...

@ Anno

මට නලින්ද සිල්වා කියන පුද්ගලයා සමග වෛරයක් නැත. මට ගැටලුව ඇත්තේ නලින්ද සිල්වා හා ඔහුගේ නඩය මේ රටේ ජනතාව රවටමින් ගෙන යන බොරු ව්‍යාපාරවලටයි. ලිපියේ මාතෘකාව ලෙස නලින්ද සිල්වා යන්න නොදා මට ගැටලුව ඇති කරුණු යොදා ගත්තේ එබැවිනි.

කෙසේවුවත් නුඹ වැන්නෙකුට "පුද්ගලයා නොව මතය විවේචනය කරන්න" යන නියමය ගැන වැටහීමක් නොමැති බව මට විශ්වාසය.

චමී said...

පෙරදිග ධාන්‍යාගාරය ලෙස අපි විරුදාවලිය ලැබුවේ හරිත විප්ලවයට කලින්. එදා අක්කරයකින් ගත්තෙ වී බුසල් දෙක නම් අපි සහල් අපනයනය කලේ කොහොමද? ඒ ගැන අධ්‍යයනය නොකර ඉතිහාසය හාස්‍යයට ලක් කිරීමට සදාචාරාත්මක අයිතියක් අපට නැහැ. කෘෂි රසායන සහ රසායනික පොහොර වල බලපෑමෙන් හෝ කෙසේ හෝ අද වන විට පිළිකා, වකුගඩු රෝගීන් වැඩි බව නම් අප පිළිගත යුතු නොවේද?