Sunday, December 5, 2010

අස්පයා පැනගිය පසු ඉන්ක්වයරි දැමීම.

ලන්ඩනයේදී ජනපතිවරයා අපහසුතාවයට පත්විය. එක අතකින් කතාව කරගන්නට බැරිවිය. අනෙක් අතට කොටිවලිග වලින් අපහාසයට ලක්විනි. කොටි හිතවාදීන් ජනපතිවරයාට කරන ලද අපහාසවලට මම දැඩිලෙස විරුද්ධ වෙමි. ඔහු මෙරට රාජ්‍යනායකයායි. මා ඔහුව නිර්දය ලෙස විවේචනය කරන්නෙකු වුවත් ශ්‍රී ලාංකිකයෙකු ලෙස මේ මොහොතේ ඔහුට විඳින්නට සිදුවුනු අපහාසයයෙන් කාළකණ්නි සතුටක් ලැබීමට මට නුපුලුවන. එය මගේ ස්ථාවරයයි.

දැන් අලුතින්ම ලැබෙන ආරංචිය ඔක්ස්ෆර්ඩ් සරසවියේ ශ්‍රී ලාංකික සංවිධායක වරුන් පිලිබඳව සොයා බැලීමට යන බවයි. හැම දෙයක්ම අනාගන්නා අදක්ශ නිවටයින්ගෙන් පිරි ආණ්ඩුව ලන්ඩනයේදී සිය රෙදි ගැලවීයාම වහගන්නට ආරම්භ කර ඇති නිවට මෙහෙයුමේ අලුත්ම ජවනිකාව එයයි.

ත්‍රස්තවාදය පරාජය කළ රටක නායකයෙකු ලෙස ජනපතිවරයාට දෙමල ආර්ථික සරණාගතයින්ගෙන් (economic refugees) පිරි ලන්ඩනයේදී තර්ජනයකට ලක්විය හැකිවබව වාර්තාවී තිබුණේ ඉතා කල් ඇතුවය. එවැනි රටක දේශණයකට ආරාධනා ලැබූකල හැරෙන තැපෑලෙන් "එතුමා එනවෝ!" කියලා කෑ ගැසුවේ දැන් මේ පරීක්ශණ ආරම්භ කොට ඇති නිවට උපදේශකයි හා නිළධාරීන් නොවේද? ඉතා දුර්ලභ අවස්තාවක් ජනපතිට ලැබී ඇති බවට පම්පෝරිගසන්නට පෙර, ආරාධනාව පිලිගන්නට පෙර, ජනපතිගේ ආරක්ශාවේ හා රටේ ආත්මගරුත්වයේ නාමයෙන් ආරාධනය කල එවුන්ගේ හා උන්ගේ සගයින්ගේ පැටිගිරිය යන්නට කලින්, වැඩ වරදින්නට කලින් සොයා නොබැලූයේ මන්ද? 

කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව ජනපතිත් සමග ලන්ඩන් පැටවීගිය මේ නඩය දැන් මුව හමකට උඩ පැන පැන තලන්නට පටන්ගෙන තිබේ. ඔක්ස්ෆර්ඩ් වල ඉන්නා සංවිධායකයින්ට විරුද්ධව මෙහේ උන්නැහේලාට කලහැකි කජ්ජක් නොමැත. කල හැකි එකම දෙය ඒ මිනිස්සුන්ගේ මෙරට සිටින දෙමව්පියන්ට, ඥාතීන්ට විවිධ බොරු චෝදනා යටතේ හිරිහැර කිරීම පමණකි. එවැනි ජඩවැඩ කරන්නට ලෝකයේම අති දක්ශයින් මේ ආණ්ඩුවට ඕනෑ තරම් සිටී. ඊට අමතරව ඔය සංවිධායකයින් යම් දිනක මෙරටට පැමිණිය හොත්, මහා ඝෝෂා නගා උන් අත්අඩංගුවට ගත හැක. එහෙත් ඒ වනවිට උන් බ්‍රිතාන්‍ය පුරවැසිකම ලබා ඇත්නම් ඒ වැඩයට ලෙහෙසි නොවන්නේ සිංහලයින් වුවත් බ්‍රිතාන්‍ය පුරවැසියන් නම් ඔවුන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්‍යාලය හඬනගන නිසාය.

මේ අසාර්ථක ලන්ඩන් සංචාරය මෙතරම් කඩිමුඩියේ සංවිධානය වුනේ ඇයි දැයි පැහැදිලිය. පත්තරේ හෙඩ්ලයින් දාගන්න, සුද්දාගේ රටට ගොස් සුද්දන්ටම සත්තමක් දමා ආවා යයි,හෙඩ්ලයින් දමාගන්නට, මාසගණන් බැලයින් ලවා ලිපි ලියවාගන්නට ජනපතිට ඇති අසීමිත ආසාව එකකි. මහා ඓතිහාසික දේශණයක් සිදුකර පැමිණෙන වීරයෙකුසේ පිම්බෙන්නට තවත් එක අවස්තාවක් උදාකරගැනීම මහින්ද ජනපතිගේ පරම අවශ්‍යතාවයයි.

ගැත්තන්ටද දැවෙන ආශාවක් තිබුණි. ඒ ජනපතිගේ නැට්ටේ එල්ලී මහජන මුදලින් ලන්ඩනයේ සවාරියක් ගැසීමේ, ලන්ඩනයේදී පොටෝ ගහගෙන ඇවිත් නෑදෑ මිත්‍රයින්ට පෙන්නමින්, ෆේස් බුක් එකේ දමාගෙන, පාටි වලදී ගෙට් ටුගෙදර් වලදී පොරවල් වීමේ මහා ආශාව අනෙක් හේතුවයි. දැවෙන ආශාව නිසා ජනපතිගේ බැලයෝ රාජකාරිය දන්නා වගකීමක් ඇති නිළධාරීන් සිදුකල අනතුරු ඇඟවීම පයිසයකටවත් මායිම් නොකලෝය. ජනපතිට කුණු බිත්තර වැදුනත් උන්ට ඕනෑවුනේ කෙසේ හෝ ලන්ඩන් සවාරියේ යෑමය. ඒ නිසාම "බයවෙන්න එපා සෑර් උන්ට කරන්න පුලුවන් දෙයක් නෑ, නොගියොත් හිතයි බයේ කියලා..." යනුවෙන් කියමින් උන් ජනපතිව ගොනාට අන්දන්නට ඇත. 

වැඩේ වැරදී, ජනපති කිචවී, හිස් අතින් අකුලාගෙන පැමිණෙන්නට සිදුවුනු හෙයින් තමුන්ගේ ගැලවිජ්ජාවට ඔක්ස්ෆර්ඩ් සංවිධායකයින්ගේ පැටිගිරිය හොයන්නට දඟලයි. ඔය ඔක්ස්ෆර්ඩ් කාරයින්ගෙන් එකෙක් දෙන්නෙක් කොටි සංවිධානය සමග රහසින් සඹඳතා පැවතූ සිංහල කොටින් බව හෙට අනිද්දාම සත්‍යය ප්‍රථමයෙන් දෙන පිත්තල-වාහිණියේ බ්‍රෙකින් නිවුස් එකක් වුනොත් පුදුමයක් නොවනු ඇත. මේ සිංහල කොටින් පසුගිය ජනපතිවරණයේදී සරත් ෆොන්සේකාට සහය දුන් බවත්, මුදල් දුන් බවත් ඒ සමගම සොයාගනු ලබනු ඇත. කිසිදු පැකිලීමක් නොමැතිව ඒ ගැන සහතික විය හැක.

අවසානයේ නොවැදගත් ගමනක්, හරිහැටි සොයන්නේ බලන්නේ නැතුව ගිහින් වරිගෙත් නහගෙන රට නැවතත් වතාවක් ලෝකයාට පාච්චල් කරගෙන හිස් අතින් පැමිණුනි.

දැන් ඉතින් ඉස්තාලය වසා අස්පයින් පැනයාමට වැරදිකරුවන් සොයමු!

No comments: