Thursday, June 9, 2011

බැන් කී මූන් නැවත එ.ජා. මහලේකම් වනවාට රුසියාවේ හා චීනයේ සහය හෙවත් වැටත් නියරත් ගොයම් කෑම...

අපේ ප්‍රජාතාන්ත්‍රවාදී දේශප්‍රේමී නට්සි රාජ්‍යයේ ප්‍රධානම හතුරා වන්නේ දකුණු කොරියානු ජාතික වර්තමාන එජා මහලේකම් බැන් කී මූන් මහතාය. ඇමරිකාවේත් බ්‍රිතාන්‍යයේත් නෝර්වේ සුදු කොටි රාජ්‍යයේත් ඒජන්තයෙකු හා බත් බැලයෙකු වන ඔහුගේ දුශ්ඨ දරුස්මාන් වාර්තාවේ යුධ අපරාධ චෝදනාවලින් මේ මුතු කැට දිවයින හා එහි රජකරන පින්බර රාජරාජාධී මහාමාත්‍යවරුන් බේරාගන්නට සුදු අසුන් අරා අසිපත් අමෝරාගෙන අපවෙනුවෙන් සටනට එන්නේ අතිජාත රුසියානු හා චීන මිතුරන්ය. වෙනිසියුවේලාවේ චාවේස්, ඉරානයේ අහ්මඩිනෙජාඩ් හා ලිබියාවේ ගඩාෆි, රුසියානු/චීන සුදු අස්පයින්ගේ බෙටි අස් කිරීම වැනි සේවා පහසුකම් සපයමින් අප වෙනුවෙන් සුදු අධිරාජ්‍යවාධීන්ට විරුද්ධව ගෝසා කරනු ඇත...

වීර වංසලා, රතනලා, දත් දොස්තරලා, ඇල්ලේ ගුණවංශලා හා මෙකී නොකී අවසේශ බැලයින් කිඹිස්සේ එහෙමය...

අහෝ ඛේදයකි! රුසියාවත් චීනයත් අප පරම හතුරු බැන් කී මූන් තවත් අවුරුදු පහක් එජා සංවිධානයේ මුල් පුටුවේ තබන්නට දැනටමත් සිය කැමැත්ත පලකොට ඇත...

දෙවියනි....මේ සිදුවන්නේ කුමක්ද?

මේ පෙනෙන්නට තිබෙන්නේ අමු මෝඩයින් හා තමන් අසන්නට කැමතිදේ පමණක් කියන, දකින්නට කැමතිදේ පමණක් කරන, කපටි කෛරාටික තක්කඩින් රැළක් වටකරගෙන උන්ගේ උපදෙස් අනුව ජාත්‍යන්තරය සමග මුඩුක්කුවේ චන්ඩියා මෙන් ගණුදෙනු කරන්නට ගොස් හොට බිම ඇණගත් පාලකයින්ගේ නරිවාදම් පල්ලෙන් ගලාගෙන යන ආකාරය නොවේද?

ජාත්‍යන්තරය සමග ගණුදෙනු කරන විට අනුගමනය කලයුතු රීති මාලාවක් ඇත. ඉන් ඉතා වැදගත් රීතියක් නම් විවේචනය පිලිබඳ රීතියයි. එනම් රටක හෝ එ.ජා සංවිධානය වැනි අන්තර්ජාතික ආයතනයක ප්‍රතිපත්ති හෝ ක්‍රියාදාමයන් විවේචනය කරනවිට එම විවේචනය විවාදයට තුඩුදෙන ක්‍රියාවට හෝ ප්‍රතිපත්තියට පමණක් සීමා කරමින් කටයුතු කිරීමයි. බොහෝවිට එම ප්‍රතිපත්ති හෝ ක්‍රියාදාමයන්හට මූලීක වුනු නායකයින් පෞද්ගලිකව විවේචනය කිරීමක් හෝ පහරගැසීමක් සිදු නොකරයි. ඉරානය, ලිබියාව හා වෙනිසියුවේලාව වැනි බටහිර සමග නිතර ගැටෙන රටවල් පවා මේ ප්‍රතිපත්තිය අනුගමනය කරයි. උදාහරනයක් ලෙස ඔවුන් ඇමරිකාව, එහි රජය හා ජනාධිපතිවරයා විවේචනය කරනමුත්  ඔවුන්ගේ විවේචනය බැරැක් ඔබාමා ඉලක්කර කරගෙන සිදුකරන පෞද්ගලික මඩ ගැසීමක් බවට පත්කර නොගනී. මේවා සීලාචාර රටවල් එකිනෙකා හා ගැටුම් ඇතිකරගැනීමේදී පවා අනුගමනය කරන මහත්මා රීතීන් වේ.

මෙම රීති සීලාචාර රටවල් වල නායකයින් හා එම රටවල නායකයින් හට උපදෙස් දෙන උගත්, පළපුරුදු, තමුන්ගේ රටට ආදරය කරන උපදේශකයින් නිරන්තරයෙන් පිලිපදියි. ඔවුන් එසේ කරන්නේ තවත් රටක නායකයෙකු හෝ ජාත්‍යන්තර සංවිධානයක නිළධාරියෙකු හට පෞද්ගලික කෝන්තරයක ආකාරයෙන් මඩ ගැසීම ලෝකයා ඉදිරියේ හෙළුවෙන් දඟලමින් කෑකෝ ගැසීමකට සමාන බව දන්නා නිසාය. ලංකාව එසේ ජත්‍යන්තර රීතීන් හට ගරු කරන වැදගත් රටක් නොව මැදමූළන තියරියට අනුව බෝල සෙට් එක පෙනෙන තරමටම සරම උඩට උස්සාගෙන මහ පාරේ ගනුදෙනු බේරා ගැනීමට වෙරිමරගාතේ චැලෙන්ජ් කරන මෝඩ නායකයින්ගේ රටක් බව රුසියාව හා චීනයද ඇතුලු මුලු ලෝකයටම අවබෝධවී අවසන්ය.

ලංකාවේ සංවේදී වෘශභ නඩය බැං කී මූන් හට පහර ගැසුවේ චන්දකාලයේ රනිල්ට හා සරත් ෆොන්සේකාට මඩ ගැසූ ආකාරයටය. මේ ගොන් වහන්සේලා සිතාගෙන ඉන්නට ඇත්තේ ෆොන්සේකාගේ හා රනිල්ගේ පෞද්ගලික ජීවිතවලට පහරදී චන්ද දිනුවාසේ ජාත්‍යන්තරය සමග කරන ගනුදෙනුවලදීද දිනුම ලබාගන්නට පුලුවන් කියාය. ජාත්‍යන්තරයේදී ගණුදෙනු කරන්නට සිදුවන්නේ දිනන පැත්තට පාවෙන, පංචස්කන්ධය පෞරුශත්වය හා නායකත්වය ලෙස සිතාගෙන රැවටෙන චන්දදායකයින් සමග නොව ලෝකය කා වතුර බී නොකෑවාසේ තොලකට පිසදා සිනාසෙන දක්ශ රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන් සමගය. බැන් කී මූන් යනු රාජපක්ශ ජනපතිවරයා හා වීරවංශ ඇතුලු නකුටු බලු රැළ සිතාගෙන ඉන්නා ආකාරයේ මෝඩ ගොනෙකු නොව අති ශූර පරිපාළකයෙකි, දක්ශ  ගනුදෙනුකරුවෙකි (deal maker), බුද්ධිමත්ලෙස සිය බලය හා තනතුර හසුරුන්නෙකි.

විශ්වවිද්‍යාලයෙන් පිටවී විදේශසේවා තෝරාගැනීම් විභාගයෙන් ඉහලම ලකුණු ලබාගෙන (ලංකාවේනම් බාප්පී කෙනෙකු ආණ්ඩුවේ සිටීම ප්‍රමාණවත්ය) දකුණු කොරියානු විදේශ සේවයට ඇතුලත්වුනු ඔහු 1970සිට කොරියානු විදේශ සේවයේ නියුතුව සිටි, හිටපු කොරියානු විදේශ ඇමතිවරයෙක් මෙන්ම දීර්ඝ කාලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල විවිධ තනතුරු හොබවමින් විශාල අත්දැකීම් රාශියක් රැස්කරගත්තෙකි. එලෙසම අප මහා රජිඳා මෙන් නොව දක්ශයින්, බුද්ධිමතුන් සිය උපදේශකයින් ලෙස රඳවාගෙන ඔවුන්ගේ උපදෙස් වලට සවන්දෙමින් ක්‍රියාත්මක වන පාලකයෙකි. බැන් කී මූන් වට්ටන්නට අපේ අන්දොස් අයියලා සිතාගෙන ඉන්නාතරම් ලේසි නැත්තේ එබැවිනි.

බැං කී මූන්ගේ දක්ශකමත් අපේ අයියලාගේ මෝඩ කමත් අතර වෙනස තවත් අවුරුදු පහකට බැන් කී මූන් අපේ සොඳුරු මිතුරන්ගේ චන්දයෙන්ම  පත්වෙන්නට යාමෙන් පෙනී යයි. හම්බන්තොට වරායක් හදන්නට ඉඩදුන් පලියට චීනය හෝ යල් පැනගිය ප්‍රහාරක යානා දෙක තුනක්  ගත්පලියට රුසියාව හෝ සිය ජාත්‍යන්තර උපායමාර්ගික වැඩපිලිවෙලවල් වෙනස් කරන්නේ නැත. චීනයට මෙන්ම රුසියාවටද බැන් කී මූන්, රාජපක්ශ රජය හා ලංකාවට බඩු විකුණා ලැබෙන සොච්චම් ආදායමට වඩා බෙහෙවින් වටින්නේය. (අපිට රුපියල් බිලියන ගණන් වූවාට රුසියාවේ හා චීනයේ ජාතික ආදායම් බලනවිට අපෙන් ලැබෙන සල්ලි ඔවුනට මාරුකාසි තරම්වත් නොවටිනාය. ඇමරිකාව් ණය ගන්නේත් චීනයෙන් බවද මතක් කල යුතුමය )

දෛවයේ සරදම වන්නේ රුසියාවටද චීනයට බැන් කී මූන් වැදගත් වන්නේ ඔහු අපට සතුරෙකු වන්නට හේතුවන කරුනම වන බැවිනි.  මූන් මහලේකම්, ලංකාවේ සිදුවූවායයි පැවසෙන මානව හිමිකම් කඩවීම්වලට කොමිසම් දමමින් වාර්තා වැඩම්මවූවාට රුසියාව චෙච්නියාවේ සිදුකරන දැවැන්ත සමූළඝාතන හෝ චීනය ටිබෙට් රටේ හා සින්ජියාන් පලාත්වල සිදුකරන මානවහිමිකම් හිමිකම් කඩකිරීම් වලට මීක් සද්දයක් නැත. රුසියාවට චෙච්නියාව පාලනය කරගැනීම මෙන්ම චීනයට ටිබෙට් රට හා මුස්ලිම් ජාතිකයින් වෙසෙන් සින්ජියාන් වැනි පලාත්වල බලය රඳවාගැනීම රාජපක්ශ රජයට මුක්කු ගැසීමට වඩා වැදගත්ය. බැන් කී මූන් පත්කරගත් විට තවත් අවුරුදු පහක් රුසියාවටද චීනයටද සිය මානව හිමිකම් කඩකිරීම නිදහසේ කරගෙන ගිය හැකිය.

පොතක් පත්තරයක් නොකියවන්නන් විසින් පාලනය කරන රටක් බැවින් අපේ වගකිව යුත්තන් මේවා නොදන්නවා වූවාට ටයිම්, නිවුස්වීක් වැනි සඟරා සෑම සතියකම මේ තොරතුරු පලකරයි. අමෙරිකාවට මෙන්ම බ්‍රිතාන්‍යයට වුවද බැන් කී මහතා වැදගත් වන්නේද මේ නිසාමය. ඉරාකයේ අමෙරිකන්/බ්‍රිතාන්‍ය හමුදා සිදුකල මිනිස් ඝාතන ගැන සොයන්නට බැන් කී ට වෙලාවක් නැතිවීම, තවත් අවුරුදු පහකට ඔහුට මහ පුටුව ලැබීමේ වාසනාව හිමිකර දෙන්නට විය. ඇෆ්ඝනිස්ථානයේ තත්වයත් එසේමය. ඇෆ්ඝනිස්ථානයට සැතපුම් 7000ක් ඈත නෙවාඩා ප්‍රාන්තයේ ගුවන් කඳවුරක සීතකල කාමරවල සිටිමින්, මුලු ළමා වියම පරිගණක වීඩියෝ ක්‍රීඩා කරමින් ලොකු මහත්වුනු අවුරුදු 20-25 වයස් තරුණයින් මෙහෙයවන මාරාන්තික ප්‍රිඩේටර් නියමු රහිත යානා මගින් පහරදී මරාදැමෙන අහිංසක ඇෆ්ඝන් වැසියන් ගැන හොයන්නට බැන් කී මූන් හට ඉස්පාසුවක් නොමැති වීම ප්‍රසාද ජනකය. ප්‍රිඩෙටර් යානා මෙහෙයවන ඇමරිකන් වීඩියෝ ගේම් ගැටවුන්ගේ වැරදි තීරණ මත මියගිය අහිංසක ඇෆ්ඝන් වැසියන් ගැන හොයන්නට ගියානම් බැන් කී මූන් හට මුල් අවුරුදු පහ ඉක්මවෙන්නටත් කලියෙන් විශ්‍රාම යන්නට සිදුවන්නට ඉඩ තිබුණි. එහෙත් චීන රුසියන් සහය නිසා තවත් අවුරුදු පහක් යනතෙක් රාජපක්ශ රජතුමාට මූන්ගේ මුස්පේත්තු මූන බලමින් බ්ලඩ් ප්‍රෙසර් නග්ගවා ගන්නට සිදුවීම අනිවාර්‍යය.

මේ කිසිවක් නිවැරදි යයි මම නොකියමි. එහෙත් ලෝක සත්‍යය එයයි. ලෝකයේ වැදගත්, සීලාචාර රාජ්‍යයන් ජාත්‍යන්තර ගැටලු පෞද්ගලික මඩ ගැසීම් බවට හරවා නොගන්නේ  මේ ලෝක  යතාර්ථය ඔවුන් දන්නා නිසාය. රාජපක්ස රජය බුද්ධිමත්ව, බැන් කී මූන් හට පෞද්ගලිකව මඩ නොගසමින්, ඔහු වෛරක්කාරයෙකු කරනොගනිමින් එ.ජා වාර්තාවට සිය විරෝධය පලකලානම් දැන් හෝ බැන් කී මූන් සමග රටට වාසිදායක ගනුදෙනුවකට යන්නට තිබුනි. එහෙත් කෙලවරක් නැති මෝඩකම් නිසා ලෝකයේම සහය ඇති බලසම්පන්න මිනිසෙක් රටේ තරහකාරයෙකු වී ඇති අතර, බැන් කී මූන් යනු රට ගිලගන්නට ආ චීන මූනක් ඇති කොටි ත්‍රස්තාවාදියෙකු බව බහුතර ජනතාවගේ සිතට කාවද්ද්දවා ඇත. මේ අනුව "කොටි මූන් "සමග ගනුදෙනුවකට යාම රජයට වමනය කනවා මෙන් අප්පිරියාවෙන් අපහසුවෙන් හැකිවුනත් ඒ සඳහා බැන් කී මූන් පරම හතුරා කරන්නට ගෙතූ බොරු වලට වඩා දස දහසක් බොරු ගොතා කිව යුතුය. "රට පාවාදෙන්නේ නෑ හාමුදුරුවනේ" කියපු කටින්ම රට කන්නට එනවායයි කියූ  මූන් දැන් යහපත්  එකෙකු  බවත්, කොටියා නොවන බවත් කිව යුතුය.

රාජපක්ශ රජයට ලංකාව තුල ඕනෑම ඇත්තක් බොරු කිරීමටද ඕනෑම බොරුවක් බුදුබණටත් වඩා ඇත්ත කිරීමට හැකියාවක් ඇතත් ඒ හැකියාව මේ කුඩා දිවයිනේ සීමා මායිම්වලින් එපිටට නොපවතී. එබැවින් ලෝකයේම හවුල් සංවිධානයක් වන එජා සංවිධානය ඉදිරිපත්කල වාර්තාවක් බැන් කී මූන් මහ ලේකම්ගේ ප්‍රයිවෙට් ප්‍රොජෙක්ට් එකක් මෙන් පෙන්වන්නට ගොස් හත් පොලේ ගාගෙන ඉන්නා රාජපක්ශ රජය බලෙන් හතුරෙකු කරගත් බැන් කී මූන් සමග ඉදිරි වසර පහේදී කෙසේ ගනුදෙනු කරන්නේද යන්න මුලු මහත් ලෝකයාම උපහාසයෙන් යුතුව බලාගෙන සිටිනු ඇත.

8 comments:

Theekshana said...
This comment has been removed by the author.
Theekshana said...

මේවා ngo සල්ලි වලින් යැපෙන ඩොලර් කාක්කන්ගෙ අදිරාජ්ය වාදි කුමන්ත්‍රන කියලා විමල් කාරයා හෙට ඉදලා පටන් ගනී. අපේ රටේ ඉන්න බුද්දිමත් ජනතාවත්(උන්ම තමා ජනතාව බුද්දිමත් කියන්නෙත්) එක ඉස්මුදුනෙන් පිලිගන සාදුකර දෙයි. හි හිහ් හි. නියම ලිපිය සහො නියමම නියමය්

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මරු ලිපිය ..ඇත්තෙන්ම මූන් වෙනුවට කවුරු ඔතනට ආවත් කතන්දරේ එකමයි ..අපි ලෝකයට අනුව හැඩගැසෙන්න ඕනි කියන එක මේ අය දන්නේ නැ , මේ අය ට්‍රයි කරන්නෙ ආපහු ගල් යුගයට යන්න

ජයශ්‍රී said...

අපට "ප්‍රඥාවන්තයින් සිංහාසනාරූඩ කළ මැනවි" කියල කියකිය ඉන්න තමයි සිද්ද වෙන්නේ.

Anonymous said...

Excellent. I really enjoy reading your articles. Keep on writing.

Anonymous said...

බුද්ධිමත් කියල හිතාගෙන ඉන්න නමුත් එහෙම නොවෙන අයගෙන් බ්ලොග් අවකාශය පිරිලා තියෙන්නේ. කලාතුරකින් තමයි ඉහල ගනයේ ලිපි දකින්න හම්බවෙන්නේ. එදා මෙදා තුර ඉහල ගනයේ ලිපි පළවුණු බ්ලොගයක් විදියට තිබුනේ taboosubjects . taboosubjects ලිපි හා සමාන ලක්ෂණ මම මේ ලිපියෙනුත් දකිනවා.
ප.ලි.
kandula කියන නම match වෙන්නේ නැහැ.

Ravi said...

අද මෙව්ව ඉතිං කොච්චර මෙහෙම උනත් හෙටත් අපේ හරක් රැල පරණ විදිහටම තප්පු ලනව, ඒකනෙ දුක.

චතුර විජේකෝන් said...

මේ ගොල්ලන්ගේ ගොංපාට් චණ්ඩිකම් හිංදා අපි ඔක්කොටම හම්බානක කන්න වෙයිද දන්නෑ නේද? හොඳම මඩ කාරයෝ ටික ලං කරගෙන මේගොල්ලො රටේ එවුන්ට මඩ ගහලා ඒ හැන්දෙන්ම ලෝකෙටත් බෙදන්න යනවනේ. කෙහෙල් ගහට කොටපු දාට තමයි ප්‍රශ්ණේ...