Wednesday, August 24, 2011

ගඩාෆිගේ බලකොටු වැනසෙයි:ට්‍රිපොලි අගනුවර නිදහස්! අනේ ඉතින් මොකද කරන්නේ?




ගඩාෆියාට පැනයන්නට සිද්දවුනේ නේටෝ සංවිධානය කෙලින්ම ගඩාෆි පැන්නීමට උදව් කිරීම නිසාය.

රටේ සියලු මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍ය තමන්ට ඕනෑ විධියට නටවාගත්තත්, විරුද්ධ අදහසක් ඉදිපත්කරන, කතාකරන ඕනෑම එකෙක් දේශද්‍රෝහියෙක්, ස්ත්‍රී දූශකයෙක් වංචාකාරයෙක් බවට බොරු සාක්කිවලින් ඔප්පුකරත්, හොරුන්, මිනීමරුවන්, ස්ත්‍රීදූශකයින් නීතිපති ලව්වාම නිදහස් කරවාගෙන, උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණය පවා රබර් මුද්‍රාවක් කරගත්තත් වැඩක් නැත. යන්නට වූ විට, යන්නට වෙන්නේ හමුදා උත්තමාචාර මැද නොව, පැදුරටත් නොකියා කානු අස්සෙන් රිංගාගෙන පණ ගැහි ගැහීය.

මේ සත්‍යය ගඩාෆිට පමණක් නොව ගඩාෆිගේ අතිජාත කිහිලිකරුතුමාටත් පොදුය. ගඩාෆිට යන්නට වුනේ බලසම්පන්න විපක්ශයක් නිසා නොව නේටෝ සහය ලැබූ අවිගත් පක්ශයක් නිසාය. විපක්ශයේ පක්ශ කුඩුපට්ටම් කොට, එකිනෙකා කොටවමින් උන් මරාගන්නාවිට කාළකන්නි සතුටක් ලබමින් ගතකරණ ස්වයංවින්දන සුරාන්තය සදාකාලික නැත. ගඩාෆි ගෑනු බොඩිගාඩ්ලා වටකරගෙන දශක ගණනාවක් මිනීමරමින් පිස්සුකෙලියේ ලිබියාවේ මහරජා ලෙසිනි, නැත්නම් කාලිෆ් උන්නැහේ ලෙසිනි. ගඩාෆිට ඉහලින් කපුටන් පියාඹන්නට ගත්තේත් නේටෝ ප්‍රහාරක යානා ලිබියන් ගුවනේ ගුවන් කරණම් ගසන්නට පටන් ගත්තාට පසුවය.

පාර වැරදී අපේ ගුවන්සීමාවට යාන්තමින් ඇතුලුවුනායයි කියන අමෙරිකන් ප්‍රහාරක යානා නිසා රජතෙම  හා අවසේස ගැරඬි රැළ සරම තෙමාගත්තේ ඇයිදැයි දැන් පැහැදිලිය. ඇමරිකන් ගුවන්යානා හෙළ අහස්කුස පිනුම් ගසන්නට පටන්ගත් දිනක පොලියට ණය දෙන චීනා ගඩාෆිතුමාව අමතක කලාට වඩා ලේසියෙන් තමාව අතහැරදමන බවද, ඉන්දියන්කාරයාද අහක බලාගෙන ඉන්නා බවද රජතෙමේ කාටවත් නොකීවාට හොදින් තේරුම්ගෙන සිටී. එදාට රුසියාවද ප්‍රකාශ නිකුත්කරනවාට වඩා දෙයක් නොකරනු ඇත.

එවැනි සංගදියක් වූ කලෙක බිස්කට්වංශ පවා කැවුම් පෙට්ටියක් කරතියාගෙන බිරින්දෑවද ඉස්සරකරගෙන ඇමරිකන් තානාපති කාර්‍යාලයට නෑගම් යන බවද එතුමා දනී. එදාට යන්නට වෙන්නේ ඩිෆෙන්ඩර් වටකරගත් රෝල්ස්-රොයිස් වලින් නොව කකුල් කෙටිදෙකේ හයියෙනි. 

අටලෝ දහම දන්නා හොඳ බෞද්ධයෙකු වන එතුමා හැමදෑම ජොගින් යන්නේ කවදා හෝ පිහිටවන්නට තිබෙන කකුල්කෙටි දෙකේ සක්තිය රඳවාගන්නට වන්න පුලුවන. උතුමාණෙනි, මුබාරක් ගියා, ගඩාෆිත් ගියා, රස්ෆන්ජානිලා  අසාඩ්ලා වුවත් මේ අවුරුද්ද ඉවරවෙන්නට කලින් යන්නට ඉඩ ඇත. වෙනුසුවේලාවේ චාවේස් උන්නැහේගේ කයියද දැන් දැන් අඩුවී ඇත්තේය. එම නිසා විපක්ශ කුඩුපට්ටම් කොට මට විරුද්ද මොකෙක්ට වත් ඔලුව උස්සන්න හම්බුවෙන්නේ නෑ කියමින් තමුන්වම රවටාගන්න එපා යයි ආයාචා කරන්නට වුවමනාය. අද ආණ්ඩුව ගලවාගන්නට එලවලු වැවීමේ, කාණු සෑදීමේ සිට පේමන්ට් කාරයන් පැන්නීමේ හා ග්‍රීස් යක් නැටුම් නැටීම යනාදී කෝකටත් ඉන්නා හමුදාවද කොතැනක නවතීදැයි කියන්නට බැරිය. මුන් එකෙක් වත් විස්වාස නොකල යුතුය. විශ්වාස කලයුත්තේ නිවැරදිදේ කිරීම නිවැරදි බව පමණකි.

වෙලාව ආවිට රනිල්ද, සජිත්ද, කරූද නොව පිටකොටුවේ නාට්ටාමි කෙනෙකු වටා වුවද රැල්ල හැදෙන්නට  පුලුවන් පමණක් නොව නාට්ටාමිගේ රැල්ලට පහුගිය දොහේ වැරදිලා මේ පැත්තට පාවුනු ඇමරිකන් එෆ්-18 යානා බැකප් එක දෙන්නටද බැරිකමක් නැත. එමනිසා දැන්වත් බොරු නවත්වා පවුලට නොව රටට සේවය කරන්න.