කොරියාවට පැනගෙන කුලීවැඩක් හෝ කරගන්නට අවස්ථාවක් උදාකරගන්නට විභාගයකට පෙනී සිටින්නට අයදුම් පතක් ගන්නට ආ අසරණයි රැළක් නිසා සිදුවූ අබග්ගයක් පසුගියදා පත්තරවල පලවිය.
දැන් රජතුමාගේ නිළ පත්තර කඩමාල්ලේ කියැවෙන පරිදි මේ සඳහා ඇප්ලිකේසන් 45,000ක් කොරියාවෙන් ගෙන්නවා ලඟම කඩෙන් ගන්නට පහසුකම් සලස්වා ඇත.
කොටියා පරදවා, අදිරාජ්‍යවාදීන් සමග බැටල් කරන ගමන් රටපුරා හෝටල් හදමින්, හෙලුවැලි මුහුදුවෙරලවල් ඇති කරන්නට පිඹුරුපත් සකසමින් ආර්තිකය නියම ට්‍රැක් එකට දාගන්නට රජතුමා ගන්නා දහිරිය මුන් රැළට නොපෙනෙන්නේද? ටිකක් ඉවසන්නට බැරිද? බඩ ගැන නොහිතා රට ගැන හිතන්නට යයි හෙළ පඬිවරුන් පෝස්ටර් ගසමින් දුන් උපදෙස් මේ ලුම්පන් ගාලට අමතක වී ඇත්තේ ඇයි?
හෙට අනිද්දා එන ආස්චර්යයට පයින් ගසා බලු මස් කන කොරියාවට පනින්නට හදන වැඩි දෙනෙකු සිංහල බෞද්ද තරුණයින් නොවේද? ඇයි මුන්ට මේ තරම් මේ ආස්චර්‍යමත් රට එපා වී ඇත්තේ? රට හදන්නට උඩ පැන පැන මේ හොර හැත්තට චන්දේ දුන්නේ, පිලුණු බත් ගොටු ගිල දමමින් කැම්පේන් ගියේ මුන්ම නොවේද? ඇයි දැන් මේ හැදීගෙන එන අසිරිමත් ආර්ථිකය ඊලඟ වංගුව පනිනකන් ඉන්නේ නැතුව කොරියා යන්නට දඟලන්නේ?
කොරියන් පනින්නට හදන එකේ හෙලුවැලි බීච් එකක බීච් බෝය් කෙනෙක් වෙලා නාකි සුද්දියක් (හෝ සුද්දෙක්) ඇඟ උඩ නග්ගාගෙන කීයක් හරි හොයා ගන්නට සූදානම් වූවානම් නරකද? දේශීය ආර්ථිකය කියන්නේ හෝටල් වල වේටර්කම් කිරීම, බීච් බෝය් ජොබ් එක, හෝටල් වල ස්විමින් පූල් සුද්දකිරීම, තණකොල කැපීම වැනි සේවා අංශයේ රැකියා නොවේද? මේ මෝඩ රැළට එය අවබෝධකර දෙන්නට දේශීය චින්තකලාට වත් යම් වැඩ පිලිවෙලක් නැද්ද?
රාජපක්ශ රජය මොනතරම් කයිවාරු ගැසුවත්, පත්තර පිටු පිරෙව්වත්, කඩේ යන චැනල් හරහා මොනතරම් සංවර්ධනයක් මවා පෑවත් ඇත්ත කතාව වන්නේ මේ රටේ කොල්ලන්ට කෙල්ලන්ට මේ රට තිත්ත වී ඇති බව නොවේද? මේ මිනිසුන් ආණ්ඩුවට චන්දය දුන්නේත්, දෙන්නේත් ඇයි දැයි දැන් ඉතා පැහැදිලිය.
ඇප්ලිකේශන් එකක් ගත්තාම කොරියාවට යන්නට විසා ලැබෙනවා වැනි අසරණ අහිංසක සිතුවිලි හිත්වල පුරවාගෙන ඉන්නා මේ මිනිසුන් ආණ්ඩුවට චන්දය දෙන්නේ රට ගැන හිතා නොව චන්ද කාලෙට ගමට එන ආණ්ඩු පක්ශයේ පල් හොරුන්ගේ බොරු පොරොන්දු වලට රැවටිලාය. රජයේ රැකියා සඳහා බොරු අයදුම් පත් ලක්ශ ගණනක් බෙදා හැර, ඒවා පුරවලා චන්දෙ දුන්නොත් රස්සාව ශුවර් යනුවෙන් මේ හැම එකාටම බොරු පොරොන්දු දී ඇත.
දැන් ඒ බොරු පොරොන්දු ඉටු නොවන බැව තේරුම් ගොස් ඇති හෙයින් මේ අසරණයින් හට ගොඩ එන්නට ඇති එකම මග කෙසේ හෝ පිටරටකට පැන ගැනීමේ සිහිනයයි. හැම චන්දයක්ම දිනුවේත්, අනාගත චන්ද දිනන්නේත් මේ අහිංසකයින් රවටලාය. වෙන කරන්නට දෙයක් නැති තරමටම අසරණ නිසා උනුත් දැන දැනම මේ බොරු බේගල් වලට රැවටෙන්නේ අඩුම ගණනේ සිහිනයක් සමගින් ජීවත් වීම කිසිවක් නොමැතිව ජීවත්වනවාට වඩා හොඳ බැවින් වන්නට ඇත.