Tuesday, August 9, 2011

ඇමරිකන් ගුවන් යානා ආක්‍රමණය

මේ ඊයේ පෙරේදා ඇමරිකන් ගුවන් යානා දහයක් ශ්‍රි ලංකා ගුවන්සීමාව ආක්‍රමණය කළබව පැවසේ. අමෙරිකානු රජය මෙය ප්‍රතික්ශේප කොට නිවේදනයක් නිකුත්කලත් අපේ රට එය භාර ගැනීමට සූදානම් නැත. මේ අතර අන්තර්ජාලයේ සයිබර් දේශප්‍රේමීන් මේ නිර්ලජ්ජිත අමෙරිකානු ආක්‍රමණයට විරුද්ධව දැවැන්ත අරගලයක් ආරම්භ කොට ඇති බව පෙනේ. ඉතාමත්ම දේශහිතයිෂී සී නිවුස් වෙබ් අඩවිය වැනි අඩවිවල සයිබර්-විරුවන් ඇමරිකන් ගැති දේශද්‍රෝහීන්ගේ අම්මා මුත්තාගේ සිට නාථ දෙවියන්, නලින්ද සිල්වා මහාචාරිය තුමාද සිහිපත් කරමින් සිය හැදියාව පෙන්වමින් සිටී.

මේ චෝදනා, අඬහැර, රණගොස අස්සේ සැබැවින්ම සිදුවුනේ කුමක්දැයි කවුරුන්වත් නොදනිති. මේ ලියන මාහට පවා ඇත්තේ අනුමාන පමණකි.

තතුදත් ආරංචිමාර්ග පවසන අන්දමට අමෙරිකානු නාවික හමුදාවට අයත් නිමිට්ස් කාණ්ඩයේ (Nimitz Class) න්‍යශ්‍ය්ඨික බලයෙන් ක්‍රියාත්මක වෙන රොනල්ඩ් රීගන් ගුවන්යානා ගෙනයන නෞකාව මගින් ඉන්දියන් සාගරයේ යුධ අභ්‍යාසයක් හෝ පුහුණු සැසියක් පවත්වා ඇත. ශ්‍රි ලංකාව ගුවන්සීමාවට ඇතුලුවන්නට ඇතැයි සැකකෙරෙන්නේ රොනල්ඩ් රීගන් නෞකාවෙන් ගුවන්ගත වූ යානා දහයකි.

රොනල්ඩ් රීගන් ගුවන් යානා ගෙනයන නෞකාව යනු ගුවන්යානා හා හෙලිකොප්ටර් අනූවකට අධික සංඛ්‍යාවක් ගෙනයාහැකි, නැවියන් 5680 සමග යාත්‍රාකරණ දැවැන්ත පාවෙන ගුවන් කඳවුරකි. මෙහි ගෙනයන යානාවලින් වැඩි හරිය එෆ්/ඒ-18 සුපර් හෝර්නට් වර්ගයේ බහුකාර්‍ය ප්‍රහාරක යානායි. 

රොනල්ඩ් රේගන් නෞකාවෙන් ගුවන්ගත වෙන එෆ්/ඒ-18 ප්‍රහාරක යානාවක්
 රොනල්ඩ් රේගන් නෞකාවේ ගෙනයන යානා වර්ග පිලිබඳව නිවැරදි සංඛ්‍යාලේඛන සොයාගැනීම අපහසු වුවත් සාමාන්‍යයෙන් නිමිට්ස් කාණ්ඩයේ නෞකාවක එෆ්/ඒ-18 සුපර් හෝනට්  (F/A-18 Super Hornet) ප්‍රහාරක යානා 48ක් ගෙන යන අතර මීට අමතරව හෝක්-අයි (Northrop Grumman E-2 Hawkeye) ලෙස හඳුන්වන සතුරු ප්‍රහාර කලින් හඳුනාගත හැකි ගුවන් යානා 4ක්ද, ප්‍රව්ලර් (Northrop Grumman EA-6B Prowler) නමින් හඳුන්වන සතුරු රේඩාර් අඩපණ කරන ඉලෙක්ට්‍රොණික සටන් මෙහෙයුම් (electronic warfare) සඳහා යොදාගන්නා යානා 4ක්ද, වයිකිං (Lockheed S-3 Viking) ලෙස නම් කොට ඇති සතුරු සබ්මැරීන හඳුනා ගැනීමේ උපකණ ගෙනයන යානා 6ක්ද, දිගු දුර ඔත්තුබැලීම සඳහා යොදාගන්නා ලොක්-හීඩ් ශැඩෝ (ES-3A Shadow) වර්ගයේ යානා දෙකක්ද රැගෙන යයි. 

මේ අනුව බලන කල රොනල්ඩ් රේගන් නෞකාව අංගසම්පූර්ණ ගුවන් හමුදා මධ්‍යස්ථානයක් වන අතර එය සතු ප්‍රහාරක බලය හා සතුරන් අඩපණ කිරීමේ බලය මුලුමහත් ශ්‍රී ලංකා ගුවන්හමුදාවම සතු ගුවන් ප්‍රහාරක බලයට වඩා වැඩි බව ඕනෑම කෙනෙකුට සිතාගත හැකිය.

දැන් මෙම දේශසීමා උල්ලංඝණය සිදුකිරීමේ අරමුණ (අරමුණක් තිබුණායයිද අත්වැරදීමක් නොවේ යයිද උපකල්පණය කරමින්) සොයාබලමු.

1/ ශ්‍රී ලංකාව චීනයට හා රුසියාවට ලෙංගතු නිසා ලංකාවට සිය බලය පෙන්වීමට සඳහා.

2/ අනාගත ආක්‍රමණයක් සඳහා ශී ලංකා රේඩාර් හා ගුවන් ආරක්ශක පද්ධතිවල ශක්තිය උරගා බැලීම සඳහා.

3/ ශ්‍රී ලංකාව ප්‍රකෝපකොට රජය ලවා අන්තර්ජාතික ගැටලුවක් නිර්මාණය කරගැනීමේ උපක්‍රමයක් ලෙස.

මෙයින් පලමුවැන්න ගතහොත් අමෙරිකාව, ශ්‍රී ලංකාව චීන හිතවාදී රටක් බැවින් අපට බලය පෙන්වයි. මේ උපකල්පණයේදී අමෙරිකාවට චීනයේ වැදගත්කම හා චීනයට හිතවත් රටවල්වලට අරියාදුකොට චීනය කෝප ගැන්වීමෙන් අමෙරිකාවට ලැබෙන වාසිය සලකා බැලිය යුතුය. අමෙරිකාව දැන් සිටින්නේ ආර්ථික ආගාධයක පතුල සූරමිනි. අමෙරිකාව ණය ගෙවීම පැහැර හරින රටක් ලෙස හංවඩු ගැසීම ජනාධිපති ඔබාමා ඊයේ පෙරේදා නවත්වා ගත්තේ අනූනමයයි දශම නමයකිනි. ඒ හපන්කම කරගත්තේත් රජයේ වියදම් හා සහනාධාර බිලියන ගණනින් කපාහරින බවට පොරොන්දුවී කොන්ග්‍රස් හා සෙනේට් මණ්ඩල ලවා ණය ගැනීමේ සීමාව ඉහල දා ගැනීමට අවසර ලබාගැනීමෙනි. එනම් ගත් ණය වලට පොලී ගෙවන්නට තවත් ණය ගන්නට අනුමැතිය ලබාගැනීමෙනි. අමෙරිකාවත් ලංකාව වගේම ණය පොලී ගෙවන්නට ණය ගන්නා ලෝක ණය කාරයෙකි. එහෙත් වෙන්සකට ඇත්තේ රජතුමාට ණය දෙන්නට කෙනෙකු නැතත් ඔබාමාට ණය දෙන්නට ඔනෑතරම් පොලී මුදලාලිලා සිටීමයි. අමෙරිකවට ණය දෙන පොලී මුදලාලිලා අතරින් ඉදිරියෙන්ම සිටින්නේ කවුද? ...... ඒ අපේ හිත මිතුරු ධනවාදි කොමිය්නිස්ට් චීනයයි..... අපිට අරියාදු කිරීම කෙසේවෙතත් මේ මොහොතේ ණයක් අරගෙන ජාම බේරාගන්නට තිබෙන චීනය නොරොක් කරගැනීමට තරම් ඔබාමා වෘශභයෙකුද? අමෙරිකානු හමුදා නායකයින් අමෙරිකාවට චීනයේ වැදගත්කම නොතේරෙන්නේද?

අනාගත ආක්‍රමණයක් සඳහා අපේ ආරක්ශක පද්ධතිවල ශක්තිය උරගාබැලීම තවත් උපකල්පණයකි. අපේ පිදුරුතලාගල රේඩාර් පද්ධතියෙන් රිංගා අපව නිදිපැදුරේදීම නොකවුට් කරදැමීමට හැකි රේඩාර්වලින් සැඟවී යාහැකි යානා අමෙරිකාව සතුව නොමැතිද? රේඩාර් උපකර්ණ නොමග යැවිය හැකි යානා හයක්ම රොනල්ඩ් රේගන් නෞකාව සතුව ඇත. මේවා ඉදිරියට එවා අපේ රේඩාර් අවුල්කොට දමා මෙම "ආක්‍රමණය" සිදුවූවානම් අපට සාධාරණ සැකයක් ඇතිඅකරගත හැකිය. ඔසාමා මරාදැමීමට අමෙරිකානු හෙලිකොප්ටර් ආවේ ඉන්දියාව සමග ඕනෑම මොහොතක යුද්ධයකට සූදානම්ව සිටිනා පකිස්ථානයේ රේඩාර් යන්ත්‍රවලට පෙනී පෙනීද? මේ තර්ක අමෙරිකාවට සුදුහුණු ගෑම සඳහා ඉදිරිපත් කරණ යැංකි-ඩිකි තර්ක නොව සාධාරන තර්ක වන්න්නේය. අපේ රේඩාර් වල කෙරුවාව දැනගන්නට සුපර් හෝර්නට් දහයක් එවන්නට තරම් අවශ්‍යතාවයක් අමෙරිකාවට ඇතැයි මටනම් නොසිතේ.

ශ්‍රී ලංකා රජය ප්‍රකෝප කිරීමේ උපක්‍රමයක් ලෙස මෙය සිදුකලා යයි යන්න යම් සත්‍යතාවයක් තිබිය හැකි උපකල්පණයකි. ලෝකයේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලින් ඉතා ලෙහෙසිම කාර්‍යය වන්නේ ශ්‍රී ලංකා රජය ප්‍රකෝප කිරීමයි. ක්‍රිකට් තරඟයකට ටිකට් අඩුවෙන් ලැබීම පවා රජය ප්‍රකෝප කරවන අතර හතරවටේ පිස්සු කෙලීමින් හත්පොලේ ගාගනියි. ඉන් පසු අතින් පාඩු කරගෙන මාධ්‍ය බැලයන් ලියනා ලිපි කියවමින් සැනසෙයි, අපි දිනුවා යයි සිතයි. ඒ අනුව ප්‍රකෝප උපකල්පණය නිවැරදි විය හැකිය. එහෙත් ලංකාව ප්‍රකෝප කිරීමට සුපර් හෝර්නට් යානා දහයක් සැතපුම් දහස් ගණනක් පියාසර කරවමින් පැට්රෝල් පුච්චනවා කියන්නේ පැට්රෝල් ගණන් මේ කාළයේ මහත් අපරාධයකි.

ඊට වඩා ගොඩාක් අඩු වියදමකින් අපේ රජය ප්‍රකෝප කරවාගෙන අන්තර්ජාතික විකට සංදර්ශණයකට තල්ලු කරගත හැකිය. නිව්යෝක් නුවර අඩු වියදම් කුලී කාමයක ලගිමින් පීසා හට් එකක අතුගාන වැඩේ කරන වැලේ වැල් නැතිවගිය කොටි හිතවාදියෙක් හමුවීමට අමෙරිකන් රාජ්‍ය දෙපාර්ථමේන්තුවේ පියන් කෙනෙකු යැව්වානම් ඉතා මනරම් සංදර්ශණ මාලාවක් නැරඹීමේ වාසනාව ලබාගන්නට තිබිණි. බිස්කට් වංශගේ උපවාස, රතන සාදුගේ රණගොස, චම්-පකගේ සුමධුර බිරීම් අසමින් ජාති වාත්සල්‍යය ඔප්නංවාගත හැකි අතර ඇමරිකාවට නකුට දෙපැරැන්දේ ගහගෙන රොනඩ් රේගන් නැවැත් ඇදගෙන දුවන්නට හිතන පොරටෝක් හා උද්ගෝසන බලාගන්නට තිබුණි.

මේ නිර්ලජ්ජී අමෙරිකානු ආක්‍රමණය මෙතනින් නවතින්නේ නැත. පිදුරුතලාගල කඳුමුදුනේ ඇමරිකන් කොඩිය ගසා, ත්‍රිකුණාමලය වරායේ රොනල්ඩ් රේගන් නැව ගාල් කොට, කෝටියක් වටිනා ත්‍රිකුණාමලයේ දිරච්ච තෙල් ටැංකිවලින් රොනල්ඩ් රේගන් නැවට හා ප්ලේන් වලට තෙල් ගසා ගන්නට ලැබෙන තෙක් ඇමරිකන් සුද්දා මේ ප්‍රකෝප කිරීම් සිදුකරණු ඇත.

දැන් ඉතින් කරන්නට ඇත්තේ අනාගතයේ එන සුපර් හෝනට් ආක්‍රමණය වලක්වාගෙන හෝර්නට්ලා පන්නා දැමීම සඳහා චීන ආධාර සහිතව හම්බන්තොට යෝධ අහස්කූරු කර්මාන්තශාලාවක් ආරම්භ කොට එය අඩුම ගණනේ තුන් පාරක් වත් විවෘත කිරීමයි.