Thursday, October 7, 2010

"ඉල්ලුවොත් සමාව දෙනවා" හෙවත් සුනඛපෝතක වීමෙන් ගැලවීමේ මෙහෙයුම

"පිලිවෙලකට ඇවිල්ලා සමාව ඉල්ලුවොත් දෙඤ්ඤං හාමුදුරුවනේ...මම වෛරකරන්නේ නෑ......"

මේ ලෝකය පිලිගත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතභාවය හිමි, ප්‍රෞඪ ඉතිහාසයක් ඇති රටක නායකයාගේ ප්‍රකාශයකි. ඔහු රාජ්‍යත්වයේ සංකේතය වන දළදා වහන්සේගේ නිළ භාරකාරයායි. තමා බෞද්ධයෙකු බව කියමින් අනෙක් නාකයයින්හට අබෞද්ධයින්, පාවාදෙන්නන්, දේශද්‍රෝහීන් යයි ප්‍රසිද්ධියේ චෝදනාකරන විධායක ජනාධිපතිවරයායි.

භික්ශූන් වහන්සේගේ අවවාද අනුශාසනා වලට අනුකූලව රට පාලනය කරනවා යයි තමන්ම නිතර කියාගන්නා මේ මහා බෞද්ධයාගෙන් දේශපාලන සිරකරු ජෙනරාල් සරත් ෆොන්සේකාට සමාව දී නිදහස් කරන ලෙස රටේ පිලිගත්, ගෞරවයට පාත්‍රවුනු සංඝනායකයින් පිරිසක් ඉල්ලා සිටියේ නොබෝදාය. ඒ ඉල්ලීම කරනු ලැබුවේ ඉතා වැදගත් ලෙස, නිසි ප්‍රසිද්ධියක් ලබාදී, නිසි පිළිවෙලකයට අනුවය.

පිලිවෙලකට ඉල්ලුවොත් සමාව දෙනවා කියූ රාජ්‍යනායකයා නිහඬය. ඕපාදූප කොළම් කාරයන් දේශපාලන ඕපාදූප තීරු ලිපිවල ජනාධිපතිතුමා කලායයි කියමින් දමන පල්බොරු හැරෙන්නට සංඝරත්නයේ ඉල්ලීමට පිලිතුරක්වත් නැත. පෙනෙනා විධියට සංඝරත්නයේ ඉල්ලීම වැදගත් ලෙස සිදුකර නැත, රටේ ප්‍රධාන බෞද්ධයාගෙන් නිළ පිළිතුරක් නැත්තේ එබැවින් විය යුතුය.

ඉල්ලිම කර ඇත්තේ හිරකාරයා නොවන බැවින් කිසිදු ප්‍රතිචාරයක් අනවශ්‍යයයි තර්ක කරන කේවට්ටයෝද සිටිති. සිනහවට කාරණය නම් ෆොන්සේකා තරඟ බිමට එනවිට සංඝාඥාවක් නිකුත්කොට වැඩේ නවත්වන බවට සඟ පිරිසක් ප්‍රකාශකරනවිට එය කරතියාගෙන රටවටේ දුවගෙන ගියේත් මේ කේවට්ටයින්ම වීමයි. ප්‍රකාශය ෆොන්සේකාට විරුද්ධවනම්, එය නිළ ප්‍රකාශයක් වීම ඉබේම සිදුවෙයි. නැත්නම් ප්‍රකාශකයින් රටපිලිගත් භික්ශූන්වහන්සේලා වුවත් පයිසයකට මායිම් නොකල යුතුය. ජේවීපී කාරයෙක් හෝ කොන්ද පණ ඇති යූඇන්පී එකෙක් ප්‍රකාශය කරානම් ඌ ඉන්ස්ටන්ට් දේශද්‍රෝහියෙකි.

සිදුවන්නේ කුමක්ද?

සිදුවන්නේ කෙසේහෝ රජතෙමේ බලුවීම වැලැක්වීමේ දැවැන්ත මෙහෙයුමකි. ෆොන්සේකා හිරේ ගියේත් වීරයෙකු ලෙස බව දැන් වාසලට වැටහී තිබේ. ඔහු සිරකරුවන් අතර, ජේලර්ලා අතරද වීරයෙකි. වීරයාට පිලිගැනීමක් ලැබෙන්නට ඔබාමා සමග හිනාවෙන බව පෙනවන ෆොටෝශොප් කරපු ඡායාරූප අවශ්‍යය නැත. යන යන තැන මිනිසුන් හිස නමා සැබෑ වීරයා එනවිට බුහුමන් දක්වයි. හුනස්නෙන් නැගී සිටී. වාසල කුකන්නට මෙන්ම දඩෝරියන්ටත්, හාම්පුතාලාටත් ඉවසන්නට බැරි මේ පිලිගැනීමයි. පට්ටම් ගලවා හිරේ දමා නැතිකරන්නට වලිකෑවද විරුවාගේ රැස් ප්‍රභාව තව තවත් වැඩියේ. රජාට ෆොටෝශොප් නැතුව ජාම බේරාගත නොහැකිවෙමින් තිබේ. පුදුමාකාර උභතෝකෝටිකයෙකි. බෝම්බ ගසා මැරුණේ නැති එකා හිරේදමා නසන්නට, වලලන්නට නොහැකිබව මේ මස්තිශ්ක වලට අවබෝධවන්නේ නැත. එලාර සමග යුධයට ගිය ගැමුණු රජූ වීරයා වුනා මිස ඔහුගේ ජෙනරාල්ලා වීරයන් නොවුනු බවද වාසල කේවට්ටයින් නිතර පවසයි. ඒ නිසා ජෙනරාල් ෆොන්සේකාගේ වීරකමට පැවැත්මක් නැතයි තරක කරයි. ඒත් ගැමුණු වීරයා වුනේ ෆීල්ඩ් එකේ සටන් කල නිසා බව අමතකය. කොතෙක් වලිකෑවද ෆොන්සේකාගේ රැස් ප්‍රභාව මකන්නට නොහැක්කේ එබැවිනි. ගල උඩ සටන් කොට දිනූ එකා වීරයා වෙනවා මිස කට්-අවුට් පප්පලා වීරයින් ලෙස ජනහදවත් තුලට ඇතුලු නොවේ.

හිරේ යැව්වත් විරුවාගේ ප්‍රභාව එසේම නිසා සමාව දුන්නොත් තවත් රජ බලුවේ. බොරු නඩු පැටවූ බව තහවුරුවේ. හිරේ දිගටම ඉන්නට හැරියොත් මැන්ඩෙලා කෙනෙකුට පන්නරය ලැබෙනු ඇතැයි උපදෙස්ද නොලැබී තිබෙන්නට බැරි නැත. ගොඩ යන්නට ඇත් එකම මාර්ගය කෙසේහෝ ෆොන්සේකාව මාලිගාවට ගෙන්වාගෙන " මට සමාව දෙන්න" කියා කියාවා ගැනීමය. එවිට ෆොන්සේකා මහා පාපොච්චාරණයක් කොට හඬා වැටී සමාව ඉල්ලුවායයි දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් දියත් කොට තව යුද්ධාධිකරන දුසිමකටවත් කරන්නට බැරිවෙන ෆොන්සේකා වැරදිකාරයා කිරීම සිදුකොට රජගේ ජාම බේරාගත හැකිය.

අසූචිබුදින්නන් වටකොට ගෙන ඉන්න එතුමාට, සිංහයින් සාගින්නේ මැරෙන්නට ගියත් තණකොල බුදින්නේ නැති බව අමතකවී ඇත. එය එතුමාගේ අවාසනාවය.